Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රුසියාවට 2018 සිසිර ඔලිම්පික් උළෙල තහනම් වෙයි

රුසියාවට 2018 සිසිර ඔලිම්පික් උළෙලට සහභාගී වීම තහනම් කරන බව අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව දෙසැම්බර් 5 වනදා ප්‍රකාශ කළා.

ස්විට්සර්ලන්තයේ ලුසාන් නුවරදී කැඳවන ලද මාධ්‍ය හමුවක් අමතමින් අන්තර්ජාතික ඔලිම්පික් කමිටු සභාපති තෝමස් බාක් මේ බව කියා සිටියා.

කෙසේ නමුත් රුසියාවේ ක්‍රීඩකයන්ට 2018 සිසිර ඔලිම්පික් උළෙල තහනම් වන්නේ නැහැ. ඔවුන් තහනම් උත්තේජක භාවිතා කර නැතැයි සනාථ වුවහොත් ඔවුනට ඔලිම්පික් ධජය යටතේ ඔලිම්පික් උළෙලට තරඟ කළ හැකියි. ඔවුන්ව Olympic Athletes from Russia (රුසියාවෙන් පැමිණි ඔලිම්පික් ක්‍රීඩකයන්) ලෙස වර්ගීකරණය​ කෙරෙනු ඇති.

මීට අමතරව කිසිදු රුසියානු ක්‍රීඩා නිලධාරියකුට 2018 ප්‍යොංග්වෑංග් සිසිර ඔලිම්පික් උළෙලට සහභාගී වීමට අවසර නොදෙනු ලබන බවත්, හිටපු ක්‍රීඩා ඇමති වයිටලි මුට්කෝ ජීවිතාන්තය දක්වා ඔලිම්පික් කටයුතුවලින් තහනමට ලක් කෙරෙන බවත් තෝමස් බාක් සඳහන් කළා.

තෝමස් බාක් (වමේ) සහ ව්ලැඩිමීර් පුටින් (Bild.de)

මේ අතර රුසියාව විසින් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට ඇමරිකන් ඩොලර් මිලියන 15ක වන්දියක් ගෙවිය යුතු බවද බාක් කියා සිටියා. අදාළ පරීක්ෂණ සඳහා වූ වියදම් පියවා ගැනීම සහ තහනම් උත්තේජක පිළිබඳ පරීක්ෂණ කටයුතු දියුණු කිරීමට අවශ්‍ය පහසුකම් වර්ධනය සඳහා මේ මුදල් යොදා ගැනීමට කටයුතු කරන බව ඔහු කියා සිටියා.

අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ මෙම තීරණයට හේතු වූයේ රුසියාව විසින් රාජ්‍ය අනුග්‍රහයද සහිතව තහනම් උත්තේජක භාවිතා කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලද බව පසුගිය වසරේදී නිකුත් වූ මැක්ලරෙන් වාර්තාව සහ ෂ්මිඩ් වාර්තාව නම් පරීක්ෂණ වාර්තා වලින් සනාථ කරනු ලැබීමයි.

නීතිය පිළිබඳ මහාචාර්යවරයකු වන කැනේඩියානු ජාතික රිචර්ඩ් මැක්ලරෙන් ප්‍රමුඛ පරීක්ෂණ කමිටුවක් විසින් කොටස් දෙකකින් නිකුත් කළ මෙම වාර්තාව රුසියානු ක්‍රීඩා ක්ෂේත්‍රය දැඩි අපකීර්තියකට පත් කිරීමට හේතු වුණා. මේ අතර හිටපු ස්විට්සර්ලන්ත ජනාධිපති සැමුවෙල් ෂ්මිඩ් ප්‍රධාන කමිටුවක් විසින් කරන ලද පරීක්ෂණවල නවතම වාර්තාව දෙසැම්බර් 5 වනදා එළි දැක්වුණා.

වයිටලි මුට්කෝ (Getty Images)

ෂ්මිඩ් වාර්තාව අනුව මෙම තහනම් උත්තේජක භාවිතා කිරීමේ වැඩපිළිවෙලට රුසියානු රාජ්‍ය අනුග්‍රහය ලැබී ඇති බව පැවසෙන නමුත්, රජයේ ඉහළම ස්ථරවලින් ඊට අනුග්‍රහයක් ලැබුණු බවට කරුණු මෙතෙක් වාර්තා වී නැතැයි ද එම වාර්තාව විසින් කියා සිටිනවා. මෙහි රජයේ ඉහළම ස්ථර යන්නෙන් ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හැඟවෙන බව පෙනී යනවා. මේ අනුව ෂ්මිඩ් වාර්තාවේ දැක්වෙන කරුණු අනුව ඉහත කී තහනම් උත්තේජක වැඩපිළිවෙල පිළිබඳ පුටින් දැන නොසිටි බවක් හැඟවෙනවා.

කෙසේ නමුත් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රමුඛ රුසියානු රජය මෙම වාර්තාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන අතර අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සිය රටට එරෙහිව ගෙන යනු ලබන පරීක්ෂණ දේශපාලන අවශ්‍යතා මත කරන්නක් බව කියා සිටිනවා.

2010 සිසිර ඔලිම්පික් උළෙල​

විශ්ලේෂකයන් කියා සිටින පරිදි රුසියාව මෙම තහනම් උත්තේජක වැඩපිළිවෙලට අත ගසන්නට ඇත්තේ 2010 වැන්කූවර් සිසිර ඔලිම්පික් උළෙලෙන් පසුවයි. එම ඔලිම්පික් උළෙලේදී රුසියාව ජයග්‍රහණය කිරීමට සමත් වූයේ පදක්කම් 15 ක් පමණයි. මේ අනුව 2014 දී රුසියාවේ සෝචි නුවරදී පැවැත්වීමට නියමිත වූ සිසිර ඔලිම්පික් උළෙලේදී සිය රට අසාර්ථක වේ යයි රුසියානු ක්‍රීඩා බලධාරීන් බිය පත් වූ බව විශ්වාස කෙරෙනවා. ඒ හේතුවෙන් මෙම වංචාකාරී වැඩපිළිවෙලට ඔවුන් එළඹි බවයි විශ්වාස කෙරෙන්නේ.

රුසියානු පිළ 2014 සෝචි සිසිර ඔලිම්පික් උළෙලේදී (Reuters)

2014 සෝචි ඔලිම්පික් උළෙල රුසියාවට ඉතා සාර්ථක උළෙලක් බවට පත් වූ අතර ඔවුන් පදක්කම් 33 ක් දිනා ගත්තා. නමුත් පසු කාලීනව කෙරුණු පරීක්ෂණ අනුව රුසියානු ක්‍රීඩකයන් ගණනාවකට ඔවුනගේ පදක්කම් අහිමි කෙරුණ අතර මේ අනුව දැනට ඇමරිකා එක්සත් ජනපදය සහ නෝර්වේ රාජ්‍යය ඇතුලු රටවල් කිහිපයක්ම පදක්කම් සටහනේ රුසියාවට වඩා ඉදිරියට පැමිණ තිබෙනවා.

තහනම් උත්තේජන චෝදනා හේතුවෙන් 2016 ඔලිම්පික් තරඟාවලිය ද රුසියාවට අහිමි වීමේ අවදානමක් ඇතිවූ අතර ඒ අවස්ථාවේ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සම්පූර්ණ තහනමකට නොගොස් එක් එක් ක්‍රීඩාවට අදාළ ෆෙඩරේශනයට ඒ පිළිබඳ තීරණ ගැනීම පැවරුවා. මේ අනුව ඇතැම් ක්‍රීඩාවල අන්තර්ජාතික පාලන අධිකාරීන් විසින් රුසියානු ක්‍රීඩකයන්ට 2016 ඔලිම්පික් උළෙල තහනම් කළා.

ඉසින්බයේවා (Getty Images)

කෙසේ නමුත් මේ අවස්ථාවේදී ඇතැම් නිර්දෝෂී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටද එම අභාග්‍ය සම්පන්න ඉරණමට මුහුණ දීමට සිදු වුණා. විශේෂයෙන්ම කාන්තා රිටි පැනීමේ ලෝක සහ ඔලිම්පික් වාර්තා හිමි එලේනා ඉසින්බයේවා මෙම තීරණයට එරෙහිව ප්‍රබල සටනක් ගෙන ගිය නමුත් ලෝක ආධුනික මළල ක්‍රීඩා ෆෙඩරේශනය ඒ සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළේ නැහැ. මේ හේතුවෙන් ඉසින්බයේවාට තවත් ඔලිම්පික් රන් පදක්කමක් දිනා ගැනීමට වූ අවස්ථාව​ මග හැරී ගිය බව ඇතැමුන් විශ්වාස කරනවා.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රතිචාර දක්වයි

හිම මතින් ලිස්සා ගොස් පැනීමේ (ski jumping) ක්‍රීඩිකා ඉරීනා අව්වකුමෝවා රුසියාවේ රූපවාහිනියට කියා සිටියේ තමන් රුසියාව නියෝජනය කිරීමට මිස වෙනත් ධජයක් යටතේ තරඟ වැදීමට සූදානම් නොවන බවයි.

මේ අතර ස්නෝබෝර්ඩ් ක්‍රීඩක නිකොලායි ඔල් යුනින් ප්‍රකාශ කළේ මෙම තීරණය පිළිබඳ තමන් පුදුම නොවන බවත් ඉදිරියේදී කුමක් වන්නේදැයි බලා සිටින බවත්. මධ්‍යස්ථ ධජයක් යටතේ තරඟ වැදීම පිළිබඳ ඔහු පැහැදිලි තීරණයකට පැමිණ නැති බවත් ඔල් යුනින් සඳහන් කළා.

මෙම තත්ත්වය පිළිබඳ රුසියානු රජය කිනම් පියවරක් ගනීද යන්න අපට තව ටික දිනකින් දැක ගන්නට පිළිවන්.

Cover: Reuters

Related Articles