රුසියාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ දී එයට, එරට භූමියට අයත් කොටස් වෙනත් රටකට පැවරීම තහනම් කෙරෙන වගන්තියක් ඇතුළත් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

මේ පිළිබඳ කරුණු විමසීම සඳහා ජනාධිපති ව්ලදිමීර් පුටින් පසුගිය සතියේ උපදේශන කමිටුවක් කැඳවා තිබුණා.

මෙම යෝජනාව මුලින්ම ඉදිරිපත් ව තිබුණේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළියෙල කිරීම පිළිබඳ වන කාර්යය සාධන බලකායේ රැස්වීමක දී, එහි සාමාජිකයකු වන ව්ලදිමීර් මෂ්කොෆ් විසින්. ඔහුගේ තර්කය වී ඇත්තේ; ව්ලදිමීර් පුටින් ධුරයෙන් ඉවත් වූ පසු දිනෙක, විදෙස් රටවල් රුසියාවේ විවිධ ප්‍රදේශ සඳහා අයිතිවාසිකම් කීමට ඉඩ තිබෙන හෙයින් මෙවන් කොන්දේසියක් ඇතුළත් විය යුතු බව යි. යම්කිසි ලෙසකින් දුර්වල නායකයකු රුසියාවේ යම් දිනෙක බලයට පැමිණියහොත්, මෙවන් ඉල්ලීම් දැඩි විය හැකි බවට තර්කයක් මතුව තිබෙනවා.

දුර්වල පාලනයක් පිළිබඳ අත්දැකීම් සඳහා රුසියානුවන්ට බොහෝ ඈත අතීතයට යන්නට අවශ්‍ය නැහැ. බොරිස් යෙල්ත්සින් පාලන සමය තුළ රටේ වූ අස්ථාවරත්වය පිළිබඳ බොහෝ රුසියානුවන්ට අදට ද අමතක නැහැ. එම සමයෙහි රටේ එක් කොටසක් (චෙච්නියාව​) ස්වාධීන වීමට ගත් උත්සාහය රුසියානුවන්ට අමතක විය නොහැකියි.

කියවන්න​: රුසියාවට ලජ්ජාසහගත පරාජයක් ගෙනා පළමු චෙච්නියානු යුද්ධය

නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ​ පුටින් සිය කැමැත්ත පළ කරන ලද බව වාර්තා වුණා. එමෙන්ම, එවන් කොන්දේසියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු ආකාරය පිළිබඳ නීති විශාරදයින්ගෙන් කරුණු විමසීමට ඔහු අදහස් කර තිබෙනවා.

කියවන්න​: රුසියාවේ අගමැති ඉල්ලා අස්වීම- පුටින්ගේ අලුත්ම පියවර

මෙම කොන්දේසිය මූලික වශයෙන් ප්‍රදේශ තුනක් පිළිබඳ වැදගත් වනු ඇතැ යි අපේක්ෂා කෙරෙනවා. එනම් කුරීල් දූපත්, ක්‍රිමියාව සහ කලිනින්ග්‍රාද් යන ප්‍රදේශ යි.

මෙවන් කොන්දේසියක් පැනවීම පිළිබඳ සලකා බැලීම, ජපානය හා රුසියාව අතර දේශසීමා පිළිබඳ සාකච්ඡාවලට ද බලපානු ඇතැ යි අපේක්ෂා කෙරෙනවා.

දේශසීමා ගැටළු

දැනට රුසියාවට බලපාන ප්‍රධාන දේශසීමා ගැටළු වන්නේ කුරීල් දූපත්වලින් හතරකට ජපානය අයිතිවාසිකම් කීම සහ ක්‍රිමියාව පිළිබඳ යුක්‍රේනය සමග ඇති මතභේදය යි. මීට අමතරව කලිනින්ග්‍රාද් ප්‍රදේශය පිළිබඳ  ඇතැම් අවස්ථාවන් හි අසන්නට ලැබුණ ද දැනට ඒ පිළිබඳ එතරම් කතාබහට ලක් වන්නේ නැහැ.

කුරීල් දූපත් පිළිබඳ ප්‍රශ්නය දෙවන ලෝක යුද්ධ සමය කරා දිවෙන අතර, කලිනින්ග්‍රාද් ද එකල සිට රුසියානු පාලනය යටතේ වන ප්‍රදේශයක්. ක්‍රිමියාව පිළිබඳ අර්බුදය හටගත්තේ 2014 දී යි.

කුරීල් දූපත්

සයිබීරියාවේ ඈත පෙරදිග පිහිටි කම්චැට්කා අර්ධද්වීපයේ දකුණුදිග කෙළවරෙහි සිට ජපානයේ හොක්කයිදෝ දූපත කරා ඇති ප්‍රදේශය පුරා පැතිර ඇති කුරීල් දූපත් සමූහයෙහි ප්‍රධාන දූපත් 56ක් වනවා. එයින් හොක්කයිදෝ දූපත ආසන්නයේ පිහිටි දූපත් හතරකට ජපානය අයිතිවාසිකම් කියනවා. ඒ අතර මෙම දූපත් සමූහයෙහි ප්‍රධානම දූපත් දෙක ද වනවා.

කලින් කලට කුරිල් දූපත්වල අයිතිය හුවමාරු වීම​ (Wikimedia Commons)

ජපානය හා රුසියාව අතර මෙම ප්‍රදේශය සහ සහාලින් (Sakhalin) දූපත පිළිබඳ වන මතභේදයන් 19 වන සියවස මැද භාගය කරා දිවෙනවා. එහෙත්, මෙය දෙපාර්ශවය අතර ප්‍රබල ගැටළුවක් බවට පත් වූයේ 1945 දී, දෙවන ලෝක යුද්ධය අවසානයේ දී, සෝවියට් දේශය විසින් මෙම දූපත් අල්ලා ගැනීමෙන් පසු යි.

දෙවන ලෝක යුද්ධයෙන් පසු මිත්‍ර රටවල් හා ජපානය අතර ඇති වූ සාම ගිවිසුමට සෝවියට් දේශය ඇතුළත් වූයේ නැහැ. කුරීල් දූපත් හතරේ අර්බුදය හේතුවෙන් සාම ගිවිසුමක් අත්සන් කිරීම අදටත් කල් යමින් තිබෙනවා.

රුසියාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට එහි භූමියට අයත් කොටසක් වෙනත් රටකට පැවරිය නොහැකි ලෙස කොන්දේසියක් ඇතුළත් වුවහොත්, එය ජපානය සමග වන සාකච්ඡාවලට කෙළින්ම බලපානු ඇතැ යි සැක මතු කෙරෙනවා.

ක්‍රිමියාව

සෝවියට් දේශය නිර්මාණය වූ මුල් කාලයේ ක්‍රිමියාව අයත් වූයේ රුසියාවට යි. 1954 දී සෝවියට් රජය විසින් එම ප්‍රදේශය යුක්‍රේනයට පවරා දෙනු ලැබුණා. එය පැවතුණේ ස්වතන්ත්‍ර සමූහාණ්ඩුවක් ලෙස යි. එනම් පූර්ණ සෝවියට් සමූහාණ්ඩුවලින් පහළ මට්ටමේ ස්වතන්ත්‍ර පාලනයක් හිමි ප්‍රදේශයක් ලෙස යි.

සෝවියට් දේශයේ අවසන් වසර කිහිපය තුළ ක්‍රිමියාවෙහි අනාගතය පිළිබඳ යම් අවිනිශ්චිතභාවයක් තිබුණා. එක්තරා අවස්ථාවක ක්‍රිමියාව වෙනම ම සෝවියට් සමූහාණ්ඩුවක් බවට පත් කිරීමට පවා යෝජනා වුණා. නමුත්, සෝවියට් දේශය බිඳ වැටුණ අතර ක්‍රිමියාව යුක්‍රේනයේ කොටසක් ලෙස පැවතුණා.

රුසියාව (නිල්), යුක්‍රේනය (කොළ) සහ ක්‍රිමියාව (කළු)

යුක්‍රේනයේ කොටසක් ලෙස පවතින සමයෙහි ක්‍රිමියාවේ ස්වතන්ත්‍ර බලතල අඩු කෙරුණා. මෙහි ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයක් වූ රුසියානු ජාතිකයන් ඒ පිළිබඳ එතරම් සතුටින් පසු වූයේ නැහැ.

2014 පෙබරවාරියේ දී යුක්‍රේන ජනාධිපති වික්ටර් යනුකොවිච් බලයෙන් ඉවත් වීමත් සමග එහි බලයට පැමිණි අන්තර්වාර පාලනයට එරෙහිව ක්‍රිමියාවේ උද්ඝෝෂණ ඇති වුණා. එයින් පසුව ඉතා වේගයෙන් කරුණු සිදුවුණා. 2014 මාර්තු 16 වන දා එහි ජනමත විචාරණයක් පවත්වන බවට නිවේදනය කෙරුණා. මාර්තු 11 වන දා ක්‍රිමියාව යුක්‍රේනයෙන් වෙන්ව යන බවට නිවේදනය කළා. ජනමත විචාරණයේ දී එය රුසියාවට එක් වීමට කැමැත්ත පළ කළා.

කියවන්න: රුසියාව විසින් ක්‍රිමියාව ඈඳා ගැනීම

ක්‍රිමියාව තවදුරටත් යුක්‍රේනයේ කොටසක් බව යුක්‍රේනය සහ බොහෝ රටවල් පිළිගන්නවා. එහෙත්, රුසියාව සලකන්නේ එය තමන්ට අයත් බව යි. එමෙන්ම, එම ප්‍රදේශය සමග ගමනාගමනය දියුණු කිරීමට ද රුසියාව කටයුතු කර තිබෙනවා.

කලිනින්ග්‍රාද්

කලිනින්ග්‍රාද් යනු සියවස් ගණනක ඉතිහාසයකින් යුක්ත වූ නගරයක් වුණා. එය 13 වන සියවසෙහි සිටම පැවතියේ ජර්මන් නගරයක් ලෙස යි. එහි පැරණි නම වූයේ ක්‍යූනිග්ස්බර්ග් යන්න යි.

දෙවන ලෝක යුද්ධයෙන් පසු මෙම ප්‍රදේශය සෝවියට් දේශය විසින් අත්පත් කරගනු ලැබුණා. එය කොමියුනිස්ට් නායකයකු වූ මිහායිල් කලිනින්ගේ නමින් කලිනින්ග්‍රාද් ලෙස නම් කෙරුණා. මෙහි වූ ජර්මානුවන් බොහෝ දෙනෙකු පිටමං කරනු ලැබුණා. කලක් ඔවුන්ගේ අයිතීන් පිළිබඳ ප්‍රශ්නය ජර්මනියේ කතාබහට ලක් වූ කරුණක් වුණා.

රුසියාවේ ප්‍රධාන භූමියේ සිට කලිනින්ග්‍රාද් වෙත ඍජු ගොඩබිම් සම්බන්ධයක් නැහැ. සෝවියට් දේශය පවතින සමයේ මෙය ගැටළුවක් වූයේ නැහැ. වර්තමානයේ ද එහි අයිතිය පිළිබඳ විශාල අර්බුද නැහැ. බෝල්ටික් මුහුදේ රුසියානු බලය සඳහා මෙය වැදගත් ස්ථානයක් වනවා. එහෙයින් යුරෝපා රටවල් එම ප්‍රදේශය පිළිබඳ විමසිල්ලෙන් පසුවනවා.

කලිනින්ග්‍රාද් පිහිටීම (Encyclopaedia Britannica)

ක්‍රිමියාව යුක්‍රේනයට පවරා දුන් ලෙසටම කලිනින්ග්‍රාද් ද සෝවියට් ලිතුවේනියාවට පවරා දීම පිළිබඳ කෘශ්ෂොෆ් වරක් සලකා බැලුවා. එහෙත් ලිතුවේනියාවේ කොමියුනිස්ට් නායකයින් ඊට කැමැත්තක් දැක්වූයේ නැහැ.

වර්තමානයේ ජර්මනිය කලිනින්ග්‍රාද් ප්‍රදේශයට අයිතිවාසිකම් කියන්නේ නැහැ. එමෙන්ම එය ලිතුවේනියාව හා එක් විය යුතුයැ යි ද, ස්වාධීන විය යුතුයැ යි ද වන මතවාදයන්ට වැඩි ජනප්‍රියත්වයක් ඇත්තේ ද නැහැ. අනාගතයේ දී රුසියාව විශාල ලෙස අස්ථාවර වූයේ නැතිනම් මෙම ප්‍රදේශය පිළිබඳ ගැටළුවක් ඇති වේයැ යි සිතන්නට අපහසු යි.

කවරයේ ඡායාරූපය: Sputnik