අපේ රටේ පොදු ප්‍රවාහන සේවයේ ගුණාත්මක බව විශාල වශයෙන් දුර්වල තත්වයක පවතින බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහන බස් සේවය- වර්ථමානයේදී බස් එකක ගමන් කරන විට අපි හැමෝටම නොයෙකුත් අපහසුතා වලට මුහුණ දෙන්න සිද්ධ වෙන එක සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. ඒ අපහසුතා ඉවත් කරලා රටට අවශ්‍ය ගුණාත්මක පොදු ප්‍රවාහන සේවාවක් ලබාදීම සඳහා මේ දවස් වල මහනුවර නගරය අශ්‍රිතව නුවර-දිගන හා නුවර-පිළිමතලාව-කඩුගන්නාව බස් මාර්ග වල බස් රථ 55ක් පමණ යොදාගනිමින් “සහසර” නමින් නියමු ව්‍යපෘතියක් ආරම්භ වෙලා තියනවා. මේ මුලික අදියරේ නියමු ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් එය මුළු රටේම පොදු ප්‍රවාහන සේවයේ ගුණාත්මකභාවය ඉහල නැංවීම සදහා භාවිත කළ හැකි බව ජනාධිපති ලේකම් කාර්යාලයේ උපාය මාර්ගික ව්‍යවසාය කළමණාකරණ ආයතනය පවසනවා. මේ ලිපියේ අරමුණ “සහසර” පිළිබඳව ඔබව දැනුවත් කිරීමයි. කියවල බලන්න කොතරම් දුරට මේ  ක්‍රමය සාර්ථක වේවිද කියල.

සහසර: අරමුණු

5,500 වූ බස් රථ ප්‍රමාණයට 38,000 සේවක පිරිසක් ඇති වර්ථමාන ශ්‍රී ලංගම මේ වන විට දැඩි මුල්‍ය අර්බුදයකට ලක් වී පාඩු ලබන රාජ්‍ය ආයතනයක් බවට පත් වී අවසානයි. ප්‍රවාහන සේවයේ අකාර්යක්ෂමතාව හේතුවෙන් 2008 දී ජනගහණයෙන් 65% භාවිතා කළ පොදු ප්‍රවාහන සේවය අද වන විට 45% දක්වා පහළ බැස තියනවා. ඊට සමගාමීව වාර්ෂිකව මෝටර් රථ 100,000ක්ද, ත්‍රී විලර 130,000 ක්ද, වෑන් රථ 40,000 ක් හා මෝටර් බයිසිකල් 370,000 ක්ද ප්‍රවාහන පද්ධතියට එකතු වෙනවා. ඒ තුලින් මාර්ග තදබදය ,පරිසර දුෂණය හා රටේ ආර්ථික මට්ටම පහල බැසීම නොදැනුවත්ම සිදු වෙනවා. රටේ පොදු ප්‍රවාහන සේවය බලගැන්වීම මගින් විකල්ප මාධ්‍ය වෙත යොමුව සිටින මගීන් නැවත පොදු ප්‍රවාහන සේවය වෙත නැඹුරු කර ගැනීමෙන් මාර්ග තදබදය අවම කිරීම හා මගී සුරක්ෂිතභාවය තහවුරු කර ගුණාත්මක සේවාවක් ලබාදීම “සහසර” ව්‍යාපෘතියේ මුලික අරමුණුයි.

ක්‍රියාත්මක වීමට බලපෑ හේතු

1 – නියමිත කාලසටහනක් නොමැති වීම

(www.sypte.co.uk)

ලංකාවේ බස් රථ වලට නියමිත කාලසටහනක තිබුනත් ඒ අනුව ඔවුන් ගමන් කරන්නේ නැති තරම්. විශේෂයන්  කාර්යාල හා පාසල්  පටන් ගන්නා හා නිමවෙන වේලාවන් වලදී බස් ගමන් කරන්නේ ඉබි වේගයෙන්. ඔවුන්ගේ මුලික අරමුණ වන්නේ මුදල් ඉපයීම පමණයි. නියමිත ප්‍රමාණයකින්  තොරව මගින් පටවා ගැනීම සිදුවන්නේ හරියට පොල් පටවනවා වගේ. මේ හේතුව නිසා මගීන්ට වගේම ඊළග ගමන් වාරය සදහා පැමිණෙන බස් හිමියන්ටත් අසාධාරණයක් වෙනවා. ඔවුනුත් පළමු ක්‍රමයම අනුගමනය කරන බැවින්  අවසානයේදී සියළු පාඩු විදින්න වෙන්නේ මගීන්ට. පුද්ගලික බස් රථ රදා පවතින්නේ මගීන් ගණන අනුවයි. මුළු පාරම ඉඩ අරගෙන මන්දගාමිව ගමන් කරන බස්රථ නිසා තදබදය ඇති වේලාව තුළ තදබදය තවත් දෙගුණ තෙගුණ වෙනවා. තවත් අවස්ථා වල ඉතාමත් වේගයෙන් ගමන් කිරීම අනතුරු වලට ලක්වීමේ අවධානම වැඩි කරනවා. විශේෂයෙන් රියදුරන් හා කොන්දස්තරවරුන්ගේ අවිනීත ක්‍රියාකලාපය මෙවැනි බස් වල දකින්න පුළුවන්. නියමිත වේලාවන්ට ගමන් නොකිරීම මගීන් පොදු ප්‍රවාහන සේවයට එකතු නොවීමේ ප්‍රධාන කරුණක් ලෙස සහසර ව්‍යාපෘතිය හදුනාගෙන තිබෙනවා.

2 – මාරු කාසි ප්‍රශ්නය

(www.abc.net.au)

දැනට හදුනාගෙන ඇති තවත් ගැටළුවක් තමයි නියමිත මුදල් ප්‍රමාණයට වඩා වැඩියෙන් අයකිරීම. ඔබත් නිසැකවම මේ ප්‍රශ්නෙට මුහුණ දීල ඇති. කොන්දොස්තරට අවශ්‍ය මාරු කාසි දෙන්න බැරි වුනොත් බස් එකෙන් එලියට යන ලෙස නියම කරන අවස්ථාත් තියනවා.මාරු කාසි ඔහු ළඟ නැති වුනොත් ඒ පාඩුව විදදරා ගැනීමට සිදුවෙන්නෙත් මගීන්ට. මෙවැනි ගැටළු නිසා පොදු ප්‍රවාහනයෙන් මගීන් ඈත් වීම වේගවත් වෙනවා.

කොහොමද වෙන්නේ?

(www.visitlondon.com)

මධ්‍යම පළාත් ප්‍රවාහන අධිකාරිය, ජනාධිපති ලේකම් කාර්යාලයේ උපාය මාර්ගික ව්‍යවසාය කළමණාකරණ ආයතනය, මොරටුව විශ්ව විද්‍යාලය, මහජන බැංකුව සමඟ Dialog සමාගම එකතු වෙලා තමයි මේ ව්‍යාපෘතිය ආරම්භ කරලා තියෙන්නේ. මේ පද්ධතිය සදහා “සහසර පෙරගෙවුම් කාඩ්පත” නමින් Touch Card එකක් හදුන්වා දී තිබෙනවා. මෙය Near Field Communication System නමින් හදුන්වයි. Card එක නොමිලයේ ලබාදීම හදුන්වා දෙන මසක් කාලය තුල සිදු වුවත් ඉන් අනතුරුව රු :200ක් දී මිලදී ගත යුතු වෙනවා. මෙම කාඩ්පත සාමාන්‍ය වෙළඳසැල්වලින්, බස් නැවතුම්පොළවලින් මෙන්ම බස් කොන්දොස්තර වරුන්ගෙන් පවා මිලදී ගන්න පුළුවන්. Card එක reload කල හැකියි. Card එක කොන්දොස්තර අත ඇති යන්ත්‍රයට ලංකලවිට අවශ්‍ය මුදල අයවීමක් සිදු වෙනවා.

හිතන්න ඔබ සතුව Card එකක් නෑ කියල. සෑම බස් රථයකම කොන්දොස්තරවරයා සතුව රීලොර්ඩ් කළ Touch Card එකක් තිබෙනවා. ඔහු ඔබෙන් මුදල් අයකරගෙන ඔහුගේ Card එකෙන් ගෙවීම සිදු කරනවා. අනතුරුව දවස අවසානයේදී එම මුදල් නැවතත් ඔහුගේ Card එකට රීලොර්ඩ්  කර ගත යුතුයි. නමුත් මෙය  තුලින් අපේක්ෂිත ඉලක්කය හරියාකාරව සපුරාගන්න බෑ. කොන්දස්තරවරයා සතුව Card රීලොර්ඩ් කිරීමේ හැකියාවක් පවතිනවා.

එක මාර්ගයක හෝ එක් ප්‍රදේශයක(නුවර-දිගන මාර්ග බස් රථ දුම්බර කලාපය ලෙසත් නුවර-කඩුගන්නාව මාර්ග බස් රථ දෙනුවර කලාපය ලෙසත්) ගමන් කරන සෑම බස් රථයකම අදායම් මුදල පොදු ගිණුමකට බැර වීමක් තමයි වෙන්නේ. නියමිත් වේලාවට නියමිත් බස් නැවතුම් පොළවල් වලට ළඟා වුයේද? නියමිත් වෙලාවට එයින් පිට වුයේද? කොපමණ වාර ගණනක් සම්පුර්ණ කලේද? මේ කරුණු මත තමයි ආදායම සාධාරණව බෙදීම සිදුවන්නේ. එනම් ගමන් කල දුර මතයි අදායම රදා පවතින්නේ. මගීන් ගණන අනුව මුදල් බෙදීමක් සිදු වෙන් නෑ. ඒ යටතේ බස් රථවලට ගනු ලබන මගීන් ප්‍රමාණයට ප්‍රමුඛතාවයක් ලැබෙන්නේ නෑ.

මෙහෙයුම සිදුවන්නේ මෙහෙමයි

(www.transport.gov.scot)

GPS, CCTV පද්ධති තුලින් බස් රථ මෙහෙයුම් මැදිරියේ සිට නිරීක්ෂණය කිරීම සිදු කරනවා. බස් රථ ධාවනය සම්බන්ධයෙන් සියළුම කටයුතු මෙහෙයුම් මැදිරියක් මගින් අධීක්ෂණය කරයි. එහිදී මගීන්ට යම් අපහසුතාවයක් වේ නම් අදාළ දුරකථන අංක ඔස්සේ මෙහෙයුම් මැදිරිය අමතා ක්ෂණිකව පැමිණිලි ඉදිරිපත් කිරීමට පුළුවන්. සෑම දිනකම අවසානයේදී අදාළ අදායම අදාළ බස් හිමියන්ට බෙදා දීම සිදු කරනවා. මෙය නියමු ව්‍යාපෘතිය තුල සාර්ථකයි. කළමනාකරණය හා මෙහෙයවීම සදහා මුදල්, බස් අදායමෙන් වෙන් කළත් පෙර තිබු ක්‍රමයට වඩා වියදම 3% අඩු වී තිබෙන බව සමීක්ෂණ වලින් තහවුරු වී තිබෙනවා. දිගුකාලීන සැලසුම් සැකසීම සඳහා උපදේශක කමිටුවකින්ද “සහසර “ සමන්විතයි.

බස් පොරයට තිත

(newsfirst.lk)

නිසි වෙලාවට ආරක්ෂාකාරීව, සුවපහසුව ගමනාන්තයට ළඟා වීමට හැකිවීම මගීන්ට මින් ලැබෙන හොඳම ප්‍රතිලාභයයි. ඒ වගේම අනවශ්‍ය වියදම් මඟහැරීම. අනතුරු වලට මුහුණ දීමේ හැකියාව අඩු කිරීම , රථයේ ධාරිතාවට සුදුසු මගීන් ප්‍රමාණයක් නංවා ගැනීම, රියදුරු හා කොන්දොස්තර විනීත වීම, අවදානම් සහගත ලෙස මාර්ගයේ ධාවනයේ  නොයෙදීම වැනි කරුනුත්, අපේක්ෂිත ප්‍රතිලාභයි. ඒ වගේම අදාළ ධාවන කලාපයේ ගමන් ගන්නා බස් රථ සියල්ලම සාමූහිකව තම සේවයේ යෙදීමද අපේක්ෂා කරනවා. මේ පිළිබඳව පාරිභෝගික පැමිණිලි  081 2222229 යන අංකය ඔස්සේ මධ්‍යම පළාත් ප්‍රවාහන අධිකාරියට දැනුම් දෙන්න පුළුවන්.

බස් හිමියනුත් කැමතියි

වෙනදාට වඩා ඉක්මනින් ගමනාන්තයට ළඟා වන බැවින් ධාවනය වන වාර ගණන වැඩිවීමක් වෙනවා. ඒ වගේම කොන්දොස්තරවරයාට වංචා සහගත ක්‍රම වලින් මුදල් ඉපයීමේ හැකියාව ඉතාමත් අඩුයි. නියමිත වේගයෙන් ගමන් කිරීම නිසා ඉන්ධන දහනය සාපේක්ෂව අඩු අගයක් ගන්නවා.මේ කරුණු හේතුවෙන් බස් හිමියන්ගේ උනන්දුව මේ සදහා යොමු වී තිබිම සාර්ථකත්වයට හේතුවක්.

මෙයට සමාන ආකාරයෙන් වර්ෂ කිහිපයකට පෙර කොට්ටාව -කොලඹ  බස් රථ (138) කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක කළ Touch Card ව්‍යාපෘතිය අසාර්ථක විය.කෙසේ නමුත් තවදුරටත් අත්හදා බැලීම් සිදුකළ යුතුව ඇති බැවින්  මෙහි නියමු ව්‍යාපෘතිය අදියර කිහිපයකින් පැවැත්වීමට තීරණය කර ඇත.මෙය සාර්ථක වුවහොත් ඉදිරියේදී අනෙකුත් නගර වලද “සහසර” දකින්නට ලැබේවි.

කවරයේ පින්තුරය: newsfirst.lk