Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කතුන්ට රිය පැදවීමේ අයිතිය ලබා දුන් සෞදි රජ කුමරුගේ ‘වංචා දූෂණ මුලිනුපුටා දැමීමේ මහා මෙහෙයුම’

ත්‍රස්තවාදී තර්ජන, ස්වාභාවික විපත්, කාලගුණික විපර්යාස, දේශපාලන බල පෙරලි ආදිය මැද ගෙවී ගිය 2017 වසරේ පුවත් සිරස්තල අතර මුල් තැනක් ගත් රටක් ලෙස සෞදි අරාබිය හැඳින්විය හැකියි. ඒ දශක ගණනාවකට පසු සෞදියේ සිදුවූ සමාජ සහ ආර්ථික ප්‍රතිසංස්කරණයන් නිසායි.

කාන්තාවන්ට රිය පැදවීමට අවසර දීම, සෞදි අරාබිය තුල තහනම් කර තිබූ චිත්‍රපට ප්‍රදර්ශනය නැවත ඇරඹීමට තීරණය කිරීම, සෞදි ආගමික පොලිසියේ බලතල කපා හැරීම ඇතුළු බොහෝ ප්‍රතිසංස්කරණ දෙස ලෝකය සාධනීයව බලා සිටි නමුත් නොවැම්බර් මස මුල් සතියේ දී කිරුළ හිමි කුමරු මුහම්මද් බින් සල්මාන් (MbS)  මූලිකත්වය දරණ සෞදි අරාබි දූෂණ වංචා විමර්ශන කොමිසම විසින් දියත් කළ ‘දූෂණය මුලිනුපුටා දැමීමේ මහා මෙහෙයුම’ (Purge) ජාත්‍යන්තර ප්‍රජාවගේ සිත්වලට තිගැස්මක් එක් කළා.

ඒ සෞදි රජපවුලේ ඉතාම බලසම්පන්න කුමාරවරුන් ආසන්න වශයෙන් 11ක් සහ සෞදිය සොලවාගෙන සිටි ධන කුවේරයන්, ප්‍රබල දේශපාලනඥයන් ඇතුළු 200කට ආසන්න පිරිසක් දූෂණ වංචා චෝදනා මත සිරගත කිරීමත් සමඟයි. එම පිරිසේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතැමෙකුගේ බැංකු ගිණුම් 2000කට අධික ප්‍රමාණයක් තහනම් කිරීමට ද විමර්ශන කමිටුව කටයුතු කළා. අත්අඩංගුවට ගත් පිරිසෙන් 23 දෙනෙකු නිදහස් කිරීමට බලධාරීන් ක්‍රියාකළ බව දෙසැම්බර් 26 වන දා සෞදි මාධ්‍ය විසින් වාර්තා කර සිටි නමුත් මේ ‘මෙහෙයුම’ පිලිබඳ සම්පූර්ණ තතු ලෝකය ඉදිරියේ තැබීමට සෞදි බලධාරීන් තවමත් ක්‍රියා කර නැහැ.

ලොව තිගැස්මට ලක් කළ  ‘දූෂණය මුලිනුපුටා දැමීමේ සෞදි අරාබි මහා මෙහෙයුම’ පිලිබඳ මූලික කරුණු කාරණා කිහිපයක් ඔබ වෙත ගෙන ඒමේ උත්සාහයක් තමයි මේ. ලිපියට පාදක වන්නේ මෙහෙයුම පිලිබඳ සැකසුණ මැදපෙරදිග සහ බටහිර මාධ්‍ය වාර්තායි.

ඇරඹුම

සිරකරුවන් රඳවා සිටින රිට්ස් කාල්ටන් තරු පහේ හෝටලය/destinia

2017 නොවැම්බර් 04 වනදා සෞදි රජය විසින් රියාද් අගනුවර පිහිටා තිබෙන සුපිරි රිට්ස් කාල්ටන් (Ritz Carlton) හෝටල කළමනාකාරිත්වයට දැනුම් දෙන්නේ ඒ වන විට හෝටලයේ රැඳී සිටින අමුත්තන් හෝටලයෙන් පිට කරන ලෙසට සහ අලුතෙන් අමුත්තන් පිළි ගැනීම තාවකාලිකව නතර කරන ලෙසයි.

මධ්‍යම රාත්‍රිය වන විට රටේ ප්‍රබල දේශපාලනඥයන්, ධන කුවේරයන් සහ රජ පවුලේ කුමාරවරුන් පිරිසකගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කෙරන අතර ඔවුන් සිරබාරයට ගෙන රැගෙන එන්නේ මේ තරු පහේ හෝටලය තුලටයි. එතැන් සිට මේ දක්වා රිට්ස් කාල්ටන් හෝටලය සුපිරි සිරගෙයක් ලෙස පවතිනවා. මේ තත්වය 2018 මාර්තු පමණ වන තෙක් පවතිනු ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මේ පිලිබඳ නිවේදනයක් නිකුත් කරමින් සෞදි රජු සල්මන් බින් අබ්දුල්ලාසිස් අල් සෞද් තම පුද්ගලික අරමුණු වෙනුවෙන් මහජන මුදල් අයථා ලෙස පරිහරණය කර ඇති බවට සැක කෙරෙන පිරිසක් අත්අඩංගුවට ගැනීමට සෞදි අරාබි දූෂණ වංචා කමිටුව ක්‍රියා කර ඇති බව පැවසුවා. කිරුළ හිමි කුමරු MbS මූලිකත්වය දරණ මෙම කමිටුවට අත්අඩංගුවට ගැනීම් සඳහා වරෙන්තු නිකුත් කිරීමට මෙන්ම අවශ්‍ය විටෙක පුද්ගලයන් හා ආයතනවල මුදල් ගණුදෙනු කිරීම් අත්හිටවීමටත් බලය ඇති බව රජු විසින් ප්‍රකාශ කළා.

අත්අඩංගුවට ගත් පිරිස නින්දේ පසුවන අයුරු/Daily Mail

අත්අඩංගුවට ගත් පිරිස අතර කැපී පෙනෙන චරිත වූවේ ආයෝජන සමාගමක හිමිකරුවෙකු සහ බිලියනපතියෙකු වන අල්වලිද් බින් තලාල් (තලාල් ලොව ධනවත්ම පුද්ගලයන් ලැයිස්තුවේ ඉහලින්ම සිටින්නෙකු ලෙස සැලකෙනවා), ජාතික ආරක්ෂක බලකායේ (National Guard – මෙය සෞදි අරාබියේ සන්නද්ධ​ හමුදාවන්ගෙන් එකක් වනවා) ප්‍රධානී අදෙල් ෆාකි සහ සෞදි අරාබි ආර්ථික අමාත්‍යවරයා යි. අත්අඩංගුවට ගැනීමට දින කිහිපයකට පෙර බින් තලාල් කුමරු, සෞදි කිරුළ හිමි කුමරු පිලිබඳ ප්‍රශංසා මුඛයෙන් අදහස් දක්වා තිබීම විශේෂත්වයක්.

අල්වලිද් බින් තලාල් කුමරු/ The Australian

නොවැම්බර් 05 සිට 11 දක්වා කාලය තවත් කණ්ඩායමක් අත් අඩංගුවට ගත් අතර ඔවුන්ද රිට්ස් කාල්ටන් හෝටලයේ රඳවනු ලැබුවා. මෙම සිද්ධිය පිලිබඳ විමර්ශන කටයුතු සඳහා අමතර විනිශ්චයකාරවරුන් 50 දෙනෙකු පමණ නම් කිරීමටත් සෞදි රජු පියවර ගත්තේ මෙම කාලය අතරතුරදී යි.

ජාත්‍යන්තර ප්‍රතිචාර

ඉතා ක්ෂණිකව සිදු වූ මේ අත්අඩංගුවට ගැනීම් රැල්ල නිසා ජාත්‍යන්තරයේ මේ පිලිබඳ විශේෂ කතා බහක් ඇති වුණා. මෙයින් විශේෂයෙන්ම කැළඹීමට පත් වුණේ සෞදි අරාබිය තුල ආයෝජනයන් සිදු කරන ජාත්‍යන්තර ව්‍යාපාරික ප්‍රජාවයි. සෞදි කොටස් වෙළඳ පොළ පහත වැටීමත් මේ සිද්ධියට සමගාමිව සිදු වුණා.

නමුත් එයට ප්‍රතිචාර දක්වමින් සෞදි රජය මේ මෙහෙයුම ආයෝජනවල සුරක්ෂිතබව කෙරෙහි කිසිම අයුරකින් බලපෑමක් ඇති නොකරන බවට සපථ වුණා.

සෞදි අරාබි අත්අඩංගුවට ගැනීම් පිලිබඳ අදහස් දක්වමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියේ එය අගය කළ යුතු පියවරක් බවයි. ‘ඔවුන් සිටින්නේ තමන් ගැන විශ්වාසයෙන්. තමන් කරන්නේ කුමක් ද යන්න ගැන ඔවුන්ට හොඳ විශ්වාසයක් තිබෙනවා,’ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ට්‍රම්ප් කියා සිටියා.

ට්‍රම්ප් ගේ ට්විටර් සටහන/Twitter

ඇමරිකානු රාජ්‍ය ලේකම් ටිලර්සන් සෞදි විශේෂ අමාත්‍යවරයා හා මේ පිලිබඳ සාකච්ඡා කිරීමටත් කටයුතු කළා. නමුත් ඔවුන් කතා බහ කළේ මොනවා පිළිබඳවද යන්න මාධ්‍ය වෙත හෙළිදරව් වී නැහැ. අත්අඩංගුවට ගත් පිරිස සමඟ සෞදි රජය ගණුදෙනු කරන ආකාරය ගැන විමසිල්ලෙන් සිටින බව තිලර්සන් පවසා සිටියා.

ලෝක බැංකු උප සභාපති හෆීස් ඝනෙම් පවසා සිටියේ දූෂණය තුරන් කිරීම සෞදි අරාබියේ සංවර්ධන කටයුතුවලට මහෝපකාරීවන බවයි. නමුත් සෞදි අරාබියේ වාතාවරණය පිලිබඳ කිසිවක් සඳහන් නොකිරීමට ඔහු වග බලාගත්තා.

එක්සත් අරාබි එමීර් සහ කුවේට් රාජ්‍යයන්වළ මහ බැංකු අත්අඩංගුවට ගත් අයගේ ගිණුම් පිළිබඳ​ තොරතුරු තමන්ට ලබා දෙන මෙන් සෞදි රජයෙන් ඉල්ලා සිටියේත් මේ අතරතුරදී යි.

යේමනයේ හූති කැරළිකරුවන් පවසා සිටියේ අත්අඩංගුවේ පසුවන සෞදි කුමාරවරුන්ට යේමනය තුළ දේශපාලන රැකවරණය (political asylum) ලබා දීමට තමන් කැමැත්තෙන් පසුවන බවයි. යේමනයේ හූති කැරලිකරුවන්ට එරෙහිව යුධ වැදී සිටින මැද පෙරදිග රටවලට නායකත්වය ලබා දෙන්නේ සෞදි අරාබියයි.

ප්‍රශ්න කිරීම් සහ නිදහස් කිරීම්

අත්අඩංගුවට ගත් පිරිසෙන් 23 දෙනෙකු දෙසැම්බර් මස 26 වන දින නිදහස් කළ බව මාධ්‍ය විසින් වාර්තා කර තිබුණා. ඒ සිරකරුවන් සහ සෞදි බලධාරීන් අතර ඇතිවූ එකඟතාවන්ට අනුව. එහිදී වන්දි වශයෙන් යම් මුදල් ප්‍රමාණයක් ගෙවා නිදහස ලැබීමට ඔවුන්ට හැකිවෙනවා. නමුත් මේ ආකාරයෙන් නිදහස් කළ  අයගේ නම් ලැයිස්තුව මාධ්‍ය වෙත ලබා දීමට සෞදිය මෙතෙක් කටයුතු කර නැහැ. නමුත් ඒ අතර සෞදි ටෙලිකොම් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි සෞද් අල් ධවීශ් සිටිනවා.

මේ 23 දෙනාට පෙර මිතෙබ් බින් අබ්දුල්ලා කුමරු ඩොලර් බිලියනයක වන්දියක් ගෙවීමෙන් පසු නිදහස් කිරීමට බලධාරීන් කටයුතු කළා.

මිතෙබ් බින් අබ්දුල්ලා කුමරු/ The Independence

වන්දි ගෙවා සමථයට පත්වීමට කැමැත්ත පල කරන අනෙක් සිරකරුවන් ද කඩිනමින් නිදහස් කිරීමට කටයුතු කරන බවත් එල්ල වූ චෝදනා නොපිළිගන්නා සිරකරුවන් උදෙසා සාධාරණ නඩු විභාගයක් ලබා දීමටත් කටයුතු කරන බව බලධාරීන් පවසනවා.

මොවුන්ගෙන් ලබා ගන්නා මුදල් තැන්පත් කිරීමට සෞදි මුදල් අමාත්‍යාංශය විශේෂ ගිණුමක් ද විවෘත කර ඇතැයි පැවසෙනවා. මෙයට ලැබෙන මුදල් දිගු කාලීන සංවර්ධන ව්‍යාපෘති සඳහා යෙදවීමට බලාපොරොත්තු වන බව සෞදි බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

මෙහෙයුම සඳහා මුල් වූ හේතූන්

දේශපාලන විශ්ලේෂකයන් පවසන අන්දමට සෞදි අරාබියේ මෙම මෙහෙයුම හුදෙක්ම වංචා දූෂණ විරෝධී මෙහෙයුමක් ලෙස ගත නොහැකියි. ඔවුන්ට අනුව මෙය සෞදි කිරුළ හිමි කුමරු MbS සෞදි අරාබිය සහ මුස්ලිම් ලෝකය තුල සිය බලය සහ ආධිපත්‍යය තව දුරටත් තහවුරු කරගැනීමට දරණ උත්සාහයක්.

MbS කිරුළ හිමි කුමරු තනතුරට පත්වුණේ ඔහුගේ පියා වත්මන් සෞදි රජු සල්මාන්ගෙන් පසුව රජ වීමට නියමිතව තිබූ ඔහුගේ මාමණ්ඩිය පසෙකට කරමින්. සෞදි රජු සල්මාන් විසින් පසුගිය වසර දෙක පුරා නිකුත් කරන ලද රාජාඥාවන් පිටුපස ඇත්ත වශයෙන්ම සිටින්නේ MbS බව ප්‍රසිද්ධ රහසක්. ලෝකයේ ලාබාලම ආරක්ෂක ඇමතිවරයා ලෙස ද සැලකෙන MbS, එම තනතුරට පත්වූ පසු ඉරානය සහ යේමනයේ හූති කැරළිකරුවන් කෙරෙහි ඉතා දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන අයෙක්. කටාර් රාජ්‍යය වෙත පසුගිය කාලයේ පැනවූ මැද පෙරදිග සම්බාධක පිටුපස සිටින මහමොළකරුවා ද ඔහුයි.

කිරුළ හිමි කුමරු තනතුරට පත් වූ දා සිට MbS විසින් සෞදිය තුල සිදු කරන ලද සමාජ හා ආර්ථික ප්‍රතිසංස්කරණ ප්‍රමාණය ඉතා විශාලයි. දශක ගණනාවක සිට පාෂාණිභූත තත්වයක පවතින සෞදි අරාබිය මේ ප්‍රතිසංස්කරණ නිසා තරමක් සෙලවී ඇති බව සැබෑවක්.

දූෂණ වංචා චෝදනා හේතුවෙන් සිරගත කර ඇති අය අතර සිටින සමහර කුමාරවරුන් සහ ව්‍යාපාරිකයන් රටක ආර්ථිකය සහ සමාජය කෙරෙහි තීරණාත්මක බලපෑමක් ඇති කළ හැකි තරමට බලවත් අය බව අමුතුවෙන් කිව යුතු නැහැ. මේ සියළුම දෙනා දණ ගැස්වීම මගින් තමාට අනාගතයේදී අභියෝගයක් විය හැකි අය දුර්වල කිරීම මෙන්ම තමාට අභියෝග කරන්නට බලාපොරොත්තුවන කිසිවෙකු සිටිනවානම් එවන් පිරිස් අධෛර්යය​ කිරීමත් MbS ගේ අදිටන විය හැකි බවයි විශ්ලේෂකයන් පවසන්නේ.

අනෙක් කාරණය නම් සෞදිය මේ වන විට මුහුණ දෙන ආර්ථික අවපාතන තත්වය යි. සම්පූර්ණයෙන්ම පාහේ බොර තෙල් මත යැපෙන ආර්ථිකයක් හිමි සෞදි අරාබිය 2014 වසරේ ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල සීග්‍රයෙන් පහත වැටීම නිසා දැඩි අර්බුධයකට මුහුණ පෑවා. එහි බලපෑමක් ලෙස මේ දක්වාත් සෞදි ආර්ථිකය පිඩනයට පත් කරනවා. 2016 වසරේ සෞදියේ අයවැය පරතරය ඇමරිකානු ඩොලර් බිලියන 547 ක් තරම් වූ ඉහල අගයක් ගත්තා.

MbS සැලසුම් කරන්නේ තෙල් මත යැපෙන සෞදි ආර්ථිකය 2030 වනවිට එයින් සම්පූර්ණන්ම මුදවා ගැනීමටයි. බොර තෙල් වෙනුවට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරමින් ආර්ථිකය ගොඩ නංවා ගැනීම MbSගේ සැලසුමයි.

මේ අරමුණ වෙනුවෙන් සෞදිය තුල මුල් බැසගෙන ඇති දැඩි මතධාරී ඉස්ලාමය මෙන්ම නීති රීති ලිහිල් කළ යුතු බවත් බටහිර ආයෝජකයන් සඳහා තාම රටේ දොරටු විවර කළ යුතු බවත් ඔහු වටහාගෙන සිටිනවා. පසුගිය මාස කිහිපයේ ඔහු විසින් කළ සමාජ ප්‍රතිසංස්කරණවල අරමුණ එයයි. (උදා : කාන්තාවන්ට රිය පැදවීමේ අයිතිය ලබා දීම, සෞදි ආගමික පොලිසියේ බලතල කප්පාදු කිරීම, සෞදිය තුල සිනමාපට ප්‍රදර්ශනයට අවසර ලබා දීම)

ඒ දිගු කාලීන අරමුණ කරා යාමට නම් අයවැය හිඟය පියවාගැනීම අත්‍යාවශ්‍ය වන අතර මේ දූෂණ වංචා පිටුදැකීමේ මෙහෙයුම මගින් රැස් කරගන්නා මුදල් ඒ සඳහා යෙදවීමට MbS සහ සෞදි රජය බලාපොරොත්තු වනවා.

මේ ගැන අදහස් දක්වමින් සෞදි රජයේ ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියේ ‘වෙලාවේ හැටියට ඩොලර් බිලියන 100ක් හෝ මේ මෙහෙයුම මගින් ලබා ගැනීමට හැකිනම් එය ආර්ථිකයට ඉතාම යහපත් දෙයක් වනු ඇති’ බවයි.

මේ ආකාරයෙන් සිදුවන ‘වංචා දූෂණ මුලිනුපුටා දැමීමේ සෞදි අරාබි මහා මෙහෙයුමේ’ අවසානය කුමක් වේද යන්න දැනගැනීමට තවත් මාස කිහිපයක යනතුරු බලා සිටීමට ලෝකයට සිදු වේවි.

Cover Photo : සෞදි කිරුළ හිමි කුමරු MbS

Related Articles