කිම් – ට්‍රම්ප් දෙවන හමුව හැනෝයි නගරයේදී

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොංග්-උන් අතර දෙවන හමුව පෙබරවාරි 27 සහ 28 දෙදින තුළ වියට්නාමයේ අගනුවර වන හැනෝයි නගරයේ දී පැවැත්වෙනවා.

මේ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පෙබරවාරි 8 වන දා නිවේදනය කෙරුණා. දෙදෙනා අතර හමුව වියට්නාමයේ දී සිදුවන බව ඔහු කළින් ප්‍රකාශ කර තිබුණත්, එය සිදු වන්නේ හැනෝයි නගරයේ දී බව නිවේදනය කළේ පසුගිය 8 වන දා යි.

ට්‍රම්ප් සඳහන් කළේ උතුරු කොරියාව සඳහා නම් කර ඇති විශේෂ ඇමරිකානු නියෝජිතයා වන ස්ටීවන් බීගන් බදාදා සිට සිකුරාදා දක්වා උතුරු කොරියාවේ දී ළඟ එන හමුව පිළිබඳ සාකච්ඡා පැවැත්වූ බව යි. බීගන් එහිදී උතුරු කොරියාවේ ඇමරිකාව පිළිබඳ විශේෂ නියෝජිත කිම් හ්යොක් චොල් සමග සාකච්ඡා පැවැත්වූවා. බීගන් පෙබරවාරි 27 ට පෙර නැවත වතාවක් උතුරු කොරියානුවන් සමග ළඟ එන හමුව පිළිබඳ සාකච්ඡා කරනු ඇතැ යි ද ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

දෙවන සමුළුවේ අරමුණ​

මෙම හමුවීම පිළිබඳ අදහස් දක්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ තමා සාමය තවදුරටත් තහවුරු කිරීම සඳහා තමන් කිම් ජොංග්-උන් ව හමුවන බව යි.

තමා නොමැතිව වෙනත් අයකු ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති වශයෙන් කටයුතු කරමින් සිටියේ නම් මේ වන විට තම රට සහ උතුරු කොරියාව යුධ වැදී සිටිනු ඇති බවත් ඔහු වරක් සඳහන් කළා.

ස්ටීවන් බීගන් (AFP)

මාස 15 ක පමණ කාලයක් තිස්සේ කිසිදු මිසයිල ප්‍රහාරයක් උතුරු කොරියාව වෙතින් එල්ල නොවූ බවත්, එය ඉතා වැදගත් තත්ත්වයක් බවත් ට්‍රම්ප් පෙන්වා දුන්නා.

සිංගප්පූරු සමුළුවේදී එකඟ වූ පරිදි සම්පූර්ණ න්‍යෂ්ටික අවිහරණය​, ඇමරිකා – උතුරු කොරියා සබඳතා පරිවර්තනය කිරීම සහ කොරියානු අර්ධද්වීපයේ කල් පවතින සාමයක් ස්ථාපිත කිරීම යන අරමුණු ඉදිරියට ගෙන යාම පිළිබඳව නායකයින් දෙදෙනා සාකච්ඡා කරනු ඇති බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

කිම් සහ ට්‍රම්ප් 2018 ජූනි 12 වන දා සිංගප්පූරුවේ දී පළමු වතාවට මුණ ගැසුණා. ඇමරිකානු ජනාධිපතිවරයකු සිය ධුර කාළය තුළ උතුරු කොරියානු නායකයකු මුණ ගැසුණ පළමු අවස්ථාව ලෙස එම හමුව ඉතිහාසගත වුණා.

එම අවස්ථාවේදී න්‍යෂ්ටික අවිහරණය පිළිබඳ එකඟතා ඇති වුවද පසු කාලීනව ඒ පිළිබඳව විවිධ මත ගැටුම් දෙරට අතර ඇති වුණා. නමුත් එම මත ගැටුම් නිරාකරණය කරගනිමින් දිගටම සාම වැඩපිළිවෙල ඉදිරියට කරගෙන ගිය අතර එහිදී දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන් ද වැදගත් කාර්ය භාරයක් ඉටු කළා.

වියට්නාමය තෝරාගැනීම

මෙම හමුව සඳහා වියට්නාමය​ තෝරාගැනීම පිළිබඳවත් විවිධ අදහස් මතු වුණා. කෙසේ නමුත් ඇමරිකාව සහ උතුරු කොරියාව යන රටවල් දෙකම විවිධ හේතූන් මත වියට්නාමය කෙරෙහි සිය කැමැත්ත පළ කර තිබෙනවා.

උතුරු කොරියාව සහ වියට්නාමය අතර සමානකම් ගණනාවක් තිබෙනවා. මේ රටවල් දෙකම ඇමරිකාව ප්‍රමුඛ සන් ධානයන් සමග යුධ වැදී, පසු කලෙක බටහිර රටවල් විසින් කොන් කරන ලද රාජ්‍යයන් වුණා. එමෙන්ම රටවල් එකම ඒකාධිපති, කොමියුනිස්ට් පාලන තන්ත්‍රයන් යටතේ පාලනය වනවා.

එක්සත් ජනපද නාවික හමුදා ගුවන් යානා වියට්නාමයට බෝම් බ දමයි. 1968. (Public Domain)

නමුත් 1986 සිට වියට්නාමය සිය ගමන් මඟ වෙනස් කර තිබෙනවා. ඔවුන් එම වසරේ සිට ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිසංස්කරණයන් අනුව​, විවෘත ආර්ථිකය කරා නැඹුරු වුණා. ඉන් කලකට පසු වියට්නාමය සිය පැරණි සතුරා වූ ඇමරිකා එක්සත් ජනපදය සමග ද මිත්‍රත්වය වර්ධනය කරගත්තා. හිටපු ජනාධිපති බරක් ඔබාමා මෙන්ම නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග ද වියට්නාමය සමීප සබඳතාවක් ගොඩ නගාගත්තා.

ආර්ථිකය ලිබරල්කරණය කළ ද වියට්නාමය තවමත් පවතින්නේ කොමියුනිස්ට් තනි පක්ෂ පාලනය යටතේ යි. මේ අනුව​, පාලන තන්ත්‍රය ලිහිල් නොකර​, ආර්ථිකය ලිහිල් කිරීම පිළිබඳ චීනය මෙන්ම වියට්නාමය ද කදිම නිදසුනක් සපයනවා. තව ද​, චීනයේ අනුගමනය කළ ක්‍රමයට වඩා වියට්නාම ප්‍රතිසංස්කරණයන් කෙරෙහි කිම් ජොංග්-උන් අවධානය යොමු කරන බව වාර්තා පළ වනවා.

මේ වනවිටත් උතුරු කොරියානු සිසුන් පිරිසක් වියට්නාමයේ ආර්ථික ක්‍රමය හැදෑරීමට පටන් ගෙන තිබෙනවා. එමෙන්ම, කිම් ජොංග්-උන් ද මීට පෙර අවස්ථාවක දී වියට්නාමයට සංචාරය කිරීමේ කැමැත්තක් පළ කළ බව වාර්තා වුණා.

ඩොනල්ඩ් ට්‍රම්ප් 2017 නොවැම්බරයේදී වියට්නාමයේ සංචාරය කළේ ය (AFP/Getty Images)

දිගු ගුවන් ගමන් හුරු නැති හෙයින් තම රටට බොහෝ ඈත ස්ථානයකට සංචාරය කිරීම කෙරෙහි උතුරු කොරියානු නායකයා කැමැත්තක් නොදක්වන බව යි සඳහන් වන්නේ. නමුත් වියට්නාමය ඒ අතින් ද පහසු ස්ථානයක්. එරටට ගුවනින් ඇති දුර සිංගප්පූරුවට ඇති දුරටත් අඩු හෙයින් ඒ පිළිබඳ ගැටළුවක් මතු නොවනු ඇතැයි සිතිය හැකියි.

තවද ආරක්ෂාව අතින් ද වියට්නාමය ඉතාම සුදුසු ස්ථානයක් වනවා. කිම් සහ ට්‍රම්ප් යන දෙදෙනාම හමුව සඳහා වියට්නාමය තෝරා ගැනීමේ දී මේ හේතුව ද සලකන්නට ඇති බව අනුමාන කළ හැකියි.

මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම හමුව සඳහා වියට්නාමය තෝරා ගැනීමට කැමැත්ත පළ කිරීමේ තවත් හේතුවක් ද තිබිය හැකියි. උතුරු කොරියාව ආර්ථික ප්‍රතිසංස්කරණයන් කරා නැඹුරු වීමේ දී එරට චීනයට සමීප කරනු වෙනුවට වියට්නාමය වෙත සමීප කරවීම තමන්ට ද වාසිදායක බව ඇමරිකානු නායකත්වය කල්පනා කරනු නිසැක යි. චීනය සමග තීරුබදු යුද්ධයක් පවතින සමයක​, ඊට යාබද උතුරු කොරියාව හැකි තරම් චීනයෙන් ඈත් කිරීමට ට්‍රම්ප් උත්සාහ කරනු ඇති. එහෙත් එවැනි අවස්ථාවක දී චීනය කෙසේ කටයුතු කරනු ඇතිදැ යි බලා සිටින්නට සිදු වනවා. වර්තමානයේ දී උතුරු කොරියානු ආනයන – අපනයන ආර්ථිකයෙන් සියයට 90ක් පමණම සිදු වන්නේ චීනය හරහා වීම ඊට හේතුව යි.

Related Articles