Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හිටපු රුසියානු ඔත්තුකරු සර්ගේයි ස්ක්‍රිපාල්ට විෂ දුන්නේ කවුද​?

හිටපු රුසියානු ඔත්තුකරුවකු වූ සර්ගේයි ස්ක්‍රිපාල් සහ ඔහුගේ දියණිය යූලියා 2018 මාර්තු 4 වනදා බ්‍රිතාන්‍යයේ සැලිස්බරි නගරයේ සාප්පු සංකීර්ණයක් අසල වූ බංකුවක සිහිසුන්ව සිටිය දී සොයාගන්නා ලද්දේ ඒ අසලින් ගිය වෛද්‍යවරයකු සහ හෙදියක විසිනි. ඔවුන් රෝහල්ගත කෙරුණු අතර අදටත් ඔවුනගේ තත්ත්වය බරපතල යි. ස්නායු පද්ධතියට බලපාන විෂක් (nerve agent) ඔවුනට ශරීරගත වී ඇති බව වෛද්‍ය වාර්තාවලින් කියැවුණා.

මේ අතර මෙම සිද්ධියේ දී සර්ගේයි සහ යූලියාට වෛද්‍ය ප්‍රතිකාර කළ පුද්ගලයින් ද​​, ඔවුනගේ නිවෙස පරීක්ෂා කළ පොලිස් නිලධාරීන් ද ඇතුළු 21 දෙනකුටත් ප්‍රතිකාර කිරීම අවශ්‍ය වූ අතර එක් පොලිස් නිලධාරියකුගේ ද තත්ත්වය අයහපත් බව වාර්තා වුණා.

සර්ගේයි සහ යූලියා (The Australian)

මෙම සිද්ධිය පිළිබඳ සම්පූර්ණ සැකය යොමු වන්නේ රුසියාවේ ඔත්තු සේවය වන FSB ආයතනය වෙත යි. මාර්තු 12 වන දා පාර්ලිමේන්තුව ඇමතූ බ්‍රිතාන්‍ය අගමැතිණි තෙරේසා මේ කියා සිටියේ ස්ක්‍රිපාල් සහ ඔහුගේ දියණියට ශරීරගත වී ඇත්තේ රුසියාවේ නිෂ්පාදිත නොවිචොක් (Novichok) නම් විෂ බවයි. රුසියාව මෙම ප්‍රහාරය පිටිපස සිටීමට බොහෝ දුරට ඉඩ ඇති බව තෙරේසා මේ සඳහන් කළා.

මෙම විෂ ස්ක්‍රිපාල් සහ ඔහුගේ දියණියගේ ශරීරයෙන් හමුවූයේ කෙසේ ද යන්න පිළිබඳ රුසියාව විසින් පැහැදිලි කළ යුතු යයි බ්‍රිතාන්‍ය අගමැතිණිය කියා සිටියා. නමුත් මේ පිළිබඳ රුසියාව ප්‍රතිචාර නොදැක්වූ අතර සිය රජය ස්ක්‍රිපාල්ට විෂ ප්‍රහාරයක් එල්ල කළේ ය යන චෝදනාව ද ඔවුන් තරයේ ප්‍රතික්ෂේප කරනවා.

බ්‍රිතාන්‍ය ඔත්තුකරුවෙක්?

මේ වනවිට 66 හැවිරිදි වන​ සර්ගෙයි ස්ක්‍රිපාල් පැරණි සෝවියට් සංගමයේ හමුදා බුද්ධි අංශය​ යටතේ සේවය කර​, එහි කර්නල් පදවියක් දක්වා උසස් වූවෙක්. බෝල්ටික් මුහුදුබඩ පිහිටි රුසියානු ප්‍රධාන භූමියෙන් වෙන් වූ, නමුත් රුසියානු පාලනය යටතේ පවතින ප්‍රදේශයක් වන කලිනින්ග්‍රාද් ප්‍රදේශයේ උපන් ඔහු 1970 දශකයේ අගභාගයේ දී සෝවියට් දේශයේ ඩෙසන්ට්නිකි නම් වාසර (airborne) බලකායට බැඳුණා. සෝවියට් දේශය විසින් ඇෆ්ඝනිස්ථානය ආක්‍රමණය කළ අවස්ථාවේ මුලින්ම එම රටට ගිය හමුදා අතර ඔහු ද සිටියා. ඔහු බුද්ධි අංශ සමඟ සම්බන්ධ වූයේ ඉන් ටික කලකට පසුවයි.

වාසර බලකායේ සිටියදී (BBC)

සාමාන්‍යයෙන් සෝවියට් බුද්ධි අංශවලින් වඩා ප්‍රකට වන්නේ KGB ආයතනය යි. නමුත් ස්ක්‍රිපාල් බඳවා ගනු ලැබුණේ එයට නොවේ. ඔහු සෝවියට් හමුදා බුද්ධි අංශය වූ GRU ආයතනය වෙත බඳවා ගනු ලැබුණා. සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු ද කලක් ඔහු එහි සේවය කළ බව සඳහන්. 1999 දී හෝ 2000 දී ඔහු ඉන් ඉල්ලා අස් වුණා.

ස්ක්‍රිපාල් බ්‍රිතාන්‍ය ඔත්තුකරුවකු ලෙස සැකපිට අත්අඩංගුවට ගන්නා ලද්දේ 2004 දී යි. ඉන් දෙවසරකට පසු ඔහුව වසර 13කට සිරගත කෙරුණා. සිර කඳවුරේ දී ඔහුට හානි සිදු කිරීමට අපරාධකරුවන් උසි ගන්වන ලද බව සඳහන්. කෙසේ නමුත් ස්ක්‍රිපාල් සෝවියට් හමුදාවේ සේවය කරන සමයේ හොඳ බොක්සිං ක්‍රීඩකයකු වූ හෙයින්, ඔහුට හානි සිදු කිරීමට ඔහු හා ආරවුල් ඇතිකරගත් ඇතමුන් ආපසු ගියේ මතකයේ රැඳෙන ආකාරයේ “ප්‍රතිඵල” ද සමඟ බව සඳහන් වනවා.

ස්ක්‍රිපාල්ගේ පවුලේ අය ප්‍රකාශ කරන්නේ ඔහු බ්‍රිතාන්‍යයට සේවය නොකළ බවත් ඔහුට එරෙහි චෝදනා තනිකරම ගොතන ලද ඒවා බවත්. ඔහුගේ මිතුරන් සඳහන් කර ඇති පරිදි ස්ක්‍රිපාල් සංවිධානයෙන් ඉල්ලා අස් වන්නේ ද එහි වූ දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ කළකිරීමෙන්. මේ පිළිබඳ ඔහු දැරූ අදහස් සහ ඔහු දැනගෙන සිටි කරුණු මත ඔහුව අපකීර්තියට පත් කිරීම සඳහා මෙම චෝදනා ගොතන ලද බව ස්ක්‍රිපාල්ගේ හිතවතුන් විශ්වාස කරනවා.

යූලියා උපන් සමයේ පවුලේ ඡායාරූපයක් (BBC)

හිටපු FSB නිලධාරියකු වූ ඇලෙක්සැන්ඩර් ලිට්විනෙන්කෝගේ ඝාතනය ඔබට මතක ඇති. ලිට්විනෙන්කෝ පොලෝනියම් ශරීරගත වීමෙන් 2006 දී මිය ගිය අතර ඔහු ද FSB ආයතනය හැර ගියේ එහි වූ දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ කළකිරීමෙන්. නමුත් ස්ක්‍රිපාල් මෙන් නොව ලිට්විනෙන්කෝ රුසියාවෙන් පළාවිත් තමා සතුව පැවති තොරතුරු හෙළිදරව් කළා. (FSB යනු සෝවියට් දේශය බිඳ වැටුණ පසු KGBය වෙනුවට පිහිටවන ලද ආයතනයයි. ජනාධිපති ධුරයට පැමිණීමට පෙර ව්ලැඩිමීර් පුටින් ද එහි අධ්‍යක්ෂවරයා ලෙස කලක් සේවය කළා)

බ්‍රිතාන්‍යයට පැමිණීම​

ස්ක්‍රිපාල් 2010 දී රුසියාවෙන් පිට කරනු ලැබුණා. ඒ, ඇමරිකාවේ දී අත් අඩංගුවට ගන්නා ලද රුසියානු ඔත්තුකරුවන් පිරිසක් හා හුවමාරුවක ප්‍රතිඵලයක් ලෙසයි. මේ අනුව සුප්‍රසිද්ධ ඇනා චැප්මන් ඇතුළුව​ රුසියාව වෙනුවෙන් ඔත්තුකරුවන් ලෙස කටයුතු කළ දස දෙනෙකු නිදහස් කෙරුණ අතර ඒ වෙනුවට, ඔත්තුකරුවන් ලෙස රුසියානු අත් අඩංගුවේ සිටි සිව් දෙනෙකු නිදහස් කෙරුණා. ස්ක්‍රිපාල්, සිය බිරිඳ ලුද්මිලා සහ දරුවන් වූ අලෙක්සාන්දර් සහ යූලියා සමඟ බ්‍රිතාන්‍යයට පැමිණ සැලිස්බරිහි පදිංචි වුණා. ලුද්මිලා සහ අලෙක්සාන්දර් මේ වන විට ජීවතුන් අතර නැහැ.

යූලියා නිතර රුසියාවට ආ ගිය අතර ස්ක්‍රිපාල්ට ශරීරගත වූ විෂ ඇගේ ගමන් මල්ලකට රහසේ ඇතුල් කරන ලද්දේ ද යන සැකය ද මතුවී තිබෙනවා.

බ්‍රිතාන්‍යයට පැමිණි පසු ස්ක්‍රිපාල් බොහෝ කොටම නිහඬ ජීවිතයක් ගෙවූ බවත්, ඔත්තු සේවා සමඟ සබඳතා නොපැවැත්වූ බවත් විශ්වාස කෙරෙනවා. ඔහුට ජීවිත තර්ජන තිබුණ බව නම් පැහැදිලියි. ඒ බව මීට ටික දිනකට පෙර ස්ක්‍රිපාල් වෙත තමන් දැන්වූ බව බ්‍රිතාන්‍යයේ ජීවත් වන හිටපු රුසියන් මේජර්වරයකු වන බොරිස් කර්පිච්කොව් සඳහන් කළා.

ඝාතන ඉලක්ක ලැයිස්තුව​

කර්පිච්කොව් මාධ්‍ය හමුවේ කියා සිටියේ පෙබරවාරි මාසයේ දී ලැබුණ තර්ජනාත්මක දුරකථන ඇමතුමක් මගින් මේ බව දැනුම් දුන් බවයි. ඔහුට මෙම දුරකථන ඇමතුම දෙන්නට ඇත්තේ රුසියානු ඔත්තු සේවය විසින් බවයි ඔහු සැක කරන්නේ. තමන් ද ස්ක්‍රිපාල් ද ඇතුළු අට දෙනෙකු රුසියානු ඔත්තු සේවයේ ඝාතන ඉලක්ක ලැයිස්තුවක සිටින බව එම දුරකථන ඇමතුමින් තමන් වෙත දන්වන ලද බව කර්පිච්කොව් කියා සිටිනවා.එම අවස්ථාවේ තමන් ඒ පිළිබඳ අනවශ්‍ය ලෙස කරදර නොවුණ ද ස්ක්‍රිපාල්ට එල්ල වූ ප්‍රහාරයෙන් පසු තමන් ද බියට පත්ව සිටින බවයි කර්පිච්කොව් කියා සිටින්නේ.

මෙම සිද්ධියට ප්‍රතිචාරයක් ලෙස රුසියානු තානාපති නිලධාරීන් 23 දෙනෙකුට රටින් පිටවන ලෙස නියෝග කරන බව බ්‍රිතාන්‍යය මාර්තු 14 වන බදාදා ප්‍රකාශ කළා. ඒ සඳහා ඔවුනට සතියක් කල් දෙනු ලැබුණා. තවද, බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක යෙදෙන ලෙස රුසියානු විදේශ ඇමති සර්ගේයි ලැවරොව් වෙත කර තිබූ ආරාධනාව ද අවලංගු කරන බව බ්‍රිතාන්‍යය කියා සිටියා. මේ අනුව මෙම අර්බුදය කලක් පවතින රාජ්‍යතාන්ත්‍රික ගැටුමක් කරා යොමු වීමේ අවදානමක් මතුව තිබෙනවා.

Cover Image: මෙම සිද්ධියෙන් පසු සැලිස්බරි නගරයේ පොලිස් සෝදිසි මෙහෙයුම් සිදු වුණා (Getty Images)

Related Articles