Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගෝලීය කුසගිනි දර්ශකය ගැන ඔබ දැන ගත යුතු කරුණු 7ක්

වර්තමානය වන විට ලෝකයේ බොහෝ රටවල් ආශ්‍රිත ව පවතින ප්‍රධාන ගැටලුවක් ලෙසින් දරිද්‍රතාව හඳුන්වා දෙන්නට පුළුවන්. දරිද්‍රතාවෙන් පීඩා විඳින රටවල්වල ජනතාව ඉතාමත් දුක් සහිත ජීවිතයක් ගත කරනවා. ඔවුන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ කුසගින්න යි. අධික කුසගින්න හමුවේ පසුගිය දශක කිහිපය තුළ විශාල මිනිස් ජීවිත ප්‍රමාණයක් අහිමි වුණා. එනිසා ලෝකයේ රටවල්වල පවතින කුසගින්න මැනීම සඳහා 2006 දී ගෝලීය කුසගිනි දර්ශකය හඳුන්වා දුන්නා. එම දර්ශකය පිළිබඳ ඔබ දැන ගත යුතු කරුණු 7කි මේ.

1) ගෝලීය කුසගිනි දර්ශකය හඳුන්වා දුන්නේ ඇයි?

ප්‍රමාණවත් තරම් ආහාර පරිභෝජනය කිරීමට නොහැකි වීම නිසා ඇතිවන අපහසුව, එහෙම නැතිනම් කායික වේදනාව කුසගින්න ලෙසින් හඳුන්වනවා. ලෝකය පුරා කුසගින්නෙන් පෙළෙන ජනතාවට සහන සැලසීම සඳහා විවිධ ව්‍යාපෘති පසුගිය දශක කිහිපය තුළ ක්‍රියාත්මක වුණා. එහි දී වැඩි වශයෙන් කුසගින්නෙන් පෙළෙන රටවල් හඳුනා ගැනීම සඳහා නිසි ක්‍රමවේදයක් නොමැති වීම විශාල ගැටලුවක් වුණා. එම ගැටලුවට පිළියමක් ලෙසින්  2006 දී ගෝලීය කුසගිනි දර්ශකය හඳුන්වා දුන්නා. එම දර්ශකය මඟින් ගෝලීය, කලාපීය, සහ ජාතික මට්ටමින් කුසගින්න මැන බලනවා.

කුසට අහරක් නොමැතිව දුක් විඳින මිනිස්සු – worldvision.ca

 

ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනයේ මූලිකත්වයෙන් නිර්මාණය වුණු මෙම  දර්ශකය මඟින් වැඩි කුසගිනි තත්ත්වයක් පවතින රටවල් සහ කලාප හඳුනා ගන්නට පුළුවන්. ඉන් පසුව  එවැනි රටවල් සහ කලාපවල කුසගිනි තත්ත්වය අවම කිරීම සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. එහි දී සෑම වසරකට වරක් ම තෝරා ගත් රටවල් ප්‍රමාණයක් ගෝලීය කුසගිනි දර්ශකයට ඇතුළත් කරනවා. අවසන් වරට 2021 දී ඉදිරිපත් කළ ගෝලීය කුසගිනි දර්ශක වාර්තාව සඳහා රටවල් 135ක දත්ත ලබා ගෙන තිබුණා. 

2) ගෝලීය කුසගිනි දර්ශකයේ GHI අගය සෙවීමට යොදා ගන්නා දර්ශක 

ගෝලීය කුසගිනි දර්ශකයේ GHI (Global Hunger Index) අගය හෙවත් ගෝලීය කුසගිනි දර්ශක අගය සෙවීම සඳහා ප්‍රධාන දර්ශක 4ක් භාවිත කරනවා. එම දර්ශක පිළිබඳ තොරතුරුයි මේ.

ඌන පෝෂණය- යම් රටක සිටින මන්දපෝෂණයෙන් පෙළෙන ජනගහනයේ කොටස 

ළමා නාස්තිය- යම් රටක සිටින අවුරුදු 5ට අඩු දරුවන් අතුරින් උසට සරිලන ලෙස බර විශාල ලෙස අඩු, එනම් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් කොටස 

ළමා වියැකී යාම- යම් රටක සිටින අවුරුදු 5ට අඩු දරුවන් අතුරින් උසට සරිලන ලෙස බර අඩු, නිදන්ගත මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් කොටස

ළමා මරණ- යම් රටක වයස අවුරුදු 5ට අඩු දරුවන්ගේ මරණ අනුපාතිකය 

මන්දපෝෂණයෙන් පෙළෙන දරුවෙක් – afro.who.int

 

3). GHI දර්ශක 4 සඳහා දත්ත ලබා ගන්නා ආකාරය 

ගෝලීය කුසගිනි දර්ශකයේ GHI අගය සෙවීම සඳහා යොදා ගන්නා දර්ශක 4ට  අදාළ දත්ත  ලබා ගන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ තිබෙන සංවිධාන හරහා යි. එහි දී ඌන පෝෂණය පිළිබඳ දත්ත එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය (FAO) හරහා ලබා ගන්නවා. ළමා නාස්තිය සහ ළමා වියැකී යාම පිළිබඳ දත්ත යුනිසෙෆ්, ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක බැංකුවේ ඒකාබද්ධ දත්ත ගබඩාව ආදියෙන් ලබා ගන්නවා.

ළමා මරණ පිළිබඳ දත්ත ලබා ගන්නේ එක්සත් ජාතීන්ගේ ළමා මරණ ඇස්තමේන්තු සඳහා අන්තර් ආයතන කණ්ඩායම (UN IGME) හරහා යි. ඒ අයුරින් ලබාගන්නා දත්ත ඇසුරින් GHI අගය ගණනය කිරීම සඳහා විශේෂිත වුණු ක්‍රමවේදයක් තිබෙනවා.  

යුනිසෙෆ් සංවිධානයේ ලාංඡනය – logos-world.net

 

4).  GHI අගය ගණනය කරන ආකාරය 

GHI අගය ගණනය කිරීමේ දී ඒ සඳහා යොදා ගන්නා දර්ශක හැඳින්වීම සඳහා කෙටි යෙදුම් භාවිත කරනවා. පහතින් දක්වා තිබෙන්නේ ඒවා යි.

1). the proportion of the population that is undernourished – PUN

  මන්දපෝෂණයෙන් පෙළෙන ජනගහනයේ අනුපාතය 

2). Prevalence of wasting in children under 5 years Old – CWA

    වයස අවුරුදු 5ට අඩු ළමයින් තුළ නාස්තිය පැතිරීම 

3). Prevalence of stunting in children under 5 years Old – CST 

    වයස අවුරුදු 5ට අඩු ළමයින් තුළ ළමා වියැකී යාම පැතිරීම 

4). the proportion of children dying before the age of five – CM 

    වයස අවුරුදු 5ට පෙර මිය යන දරුවන්ගේ අනුපාතය 

ඉහත දර්ශකවල සම්මත අගයන් ගණනය කිරීම සඳහා සූත්‍ර 4ක් තිබෙනවා. එම සූත්‍ර පහතින් දක්වා තිබෙනවා. 

1). Standardized PUN- PUN/80 x 100

2).  Standardized CWA- CWA/30 x 100

3). Standardized CST- CST/70 x 100

4). Standardized CM- CM/35 x 100 

ඉහත සූත්‍ර මඟින් ලබා ගන්නා අගයන් භාවිත කර GHI අගය ගණනය කරනවා. ඒ සඳහා භාවිතාකරන සූත්‍රය පහතින් දක්වා තිබෙනවා.

GHI Value=  1/3 (Standardized PUN) + 1/6 (Standardized CWA) + 1/6 (Standardized CST) + 1/3 (Standardized CM) 

5). GHI අගයන් මඟින් කුසගින්න ගැන කළ හැකි අනුමාන 

GHI අගය ගණනය කිරීමෙන් පසුව 0-100 අතර අගයක් ලැබෙනවා. සාමාන්‍යයෙන් යම් කිසි රටක GHI දර්ශකයේ අගය 50 ඉක්මවා යන්නේ බොහොම කලාතුරකින්. GHI දර්ශක අගය මඟින් අදාළ රටේ කුසගින්න පිළිබඳ එළඹිය හැකි නිගමනය පහතින් දක්වා තිබෙනවා.

1) GHI අගය- 9.9ට අඩු හෝ සමාන (කොළ වර්ණය)- කුසගිනි මට්ටම අඩු

2) GHI අගය- 10.0-19.9 අතර  (ලා කොළ වර්ණය)- කුසගිනි මට්ටම මධ්‍යස්ථ 

3) GHI අගය- 20.0- 34.9 අතර  (කහ වර්ණය)- කුසගිනි මට්ටම බරපතල

4) GHI අගය- 35.0- 49.9 අතර  (තැඹිලි වර්ණය)- කුසගිනි මට්ටම භයානක 

5) GHI අගය- 50ට සමාන හෝ වැඩි  (රතු වර්ණය)- කුසගිනි මට්ටම අතිශයින් භයානක 

2021 GHI අගයන්ට අදාළ සිතියම – wikipedia.org

 

6). වර්තමානය වන විට වැඩි ම GHI  අගයක් සහිත රටවල්

අවසන් වරට ගෝලීය කුසගිනි දර්ශක වාර්තාවක් ප්‍රකාශයට පත් කළේ 2021 වසරේ දී යි. ඒ සඳහා රටවල් 135ක දත්ත යොදා ගෙන තිබුණත් ප්‍රමාණවත් තරම් දත්ත නොමැතිවීම හේතුවෙන් GHI අගය ගණනය කිරීමට හැකි වුණේ රටවල් 116ක පමණ යි. 

2021 ගෝලීය කුසගිනි දර්ශක වාර්තාවට අනුව කුසගිනි මට්ටම අතිශයින් භයානක තත්ත්වයේ පවතින්නේ සෝමාලියාව තුළ පමණ යි. එම වාර්තාවට අනුව සෝමාලියාවේ GHI අගය 50.8ක් ලෙසින් සටහන් වුණා. 2012 දී සෝමාලියාවේ GHI අගය 65.1ක් තරම් ඉහළ අගයක් ගත්තා. පසුගිය දශකය තුළ එම අගයේ යම් අඩුවීමක් පෙන්නුම් කරනවා. 

2021 ගෝලීය කුසගිනි දර්ශක වාර්තාවට අනුව 115 වන ස්ථානයේ සිටින්නේ යේමනය යි. එරට GHI අගය 45.1ක් ලෙස සටහන් වුණා. යේමනයේ GHI අගය 2012 දී 34.5ක් සහ 2018 දී 39.7ක් ලෙසින් සටහන් වුණා. එයින් පැහැදිලි වන්නේ යේමනයේ කුසගිනි තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් වැඩිවන බව යි. 

2021 ගෝලීය කුසගිනි දර්ශක වාර්තාවට අනුව 114 වන ස්ථානයේ සිටින්නේ මධ්‍යම අප්‍රිකානු  සමූහාණ්ඩුව යි. එරට GHI අගය 43ක් ලෙස සටහන් වුණා. මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුවේ GHI අගය 2019 දී 53.6ක් සහ 2018 දී 53.7ක් ලෙසින් සටහන් වුණා. එයින් පැහැදිලි වන්නේ මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුව කුසගින්න සමඟින් ද්වන්ධ සටනක නිරතවෙමින් සිටින රටක් බව යි. 

කුසගින්නේ ජීවත් වන සෝමාලියානු පවුලක් – oxfamamerica.org

 

7). ගෝලීය කුසගිනි දර්ශකයේ ශ්‍රී ලංකාව සිටින තැන 

2021 දී නිකුත් කරන ලද ගෝලීය කුසගිනි දර්ශක වාර්තාවට අනුව ශ්‍රී ලංකාව 65 වන ස්ථානයේ පසුවෙනවා. ශ්‍රී ලංකාවේ GHI අගය 16ක් ලෙසින් සටහන් වුණා. එමඟින් පැහැදිලි වන්නේ අප රට මධ්‍යස්ථ කුසගිනි තත්ත්වයේ පසුවන බව යි. 2012 දී ශ්‍රී ලංකාවේ GHI අගය 20.6ක් ලෙස සටහන් වුණා. එම යුගයේ දී ශ්‍රී ලංකාව බරපතල කුසගිනි මට්ටමේ මුල් හරියේ සිටින රටක් බවට පත්ව තිබුණා. නමුත් 2018 වන විට අප රටේ GHI අගය 17.9ක් දක්වා අඩු වී තිබුණා. 2019 සහ 2020 යන වසරවල එම අගය පිළිවෙළින් 17.1 සහ 16.3 දක්වා අඩු වුණා. 

ආහාර නොමැතිව දුක් විඳින අප රටේ දරුවෝ – Unicef Sri Lanka-Facebook Page

 

එම දත්තවලින් පැහැදිලි වන්නේ ගෙවුණු දශකය තුළ ශ්‍රී ලංකාවේ කුසගිනි තත්ත්වය ක්‍රමයෙන් යහපත් අතට පත්ව ඇති බවයි. නමුත් අද වන විට අප රට තුළ දරුණු ආර්ථික අර්බුදයක් ඇතිව තිබෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉදිරි කාලයේ දී අප රටට දරුණු ආහාර අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති බව මේ වන විටත් අනතුරු ඇඟවීම් කරනවා. එනිසා ඉදිරි වසරවල දී ශ්‍රී ලංකාව ගෝලීය කුසගිනි දර්ශකය තුළ පහළට යාමේ අවදානමක් පවතිනවා. 

කවරයේ ඡායාරූපය- කුසගින්නේ සිටින දරුවෙක් - worldvision.org

මූලාශ්‍ර:

globalhungerindex.org

ifpri.org

landportal.org

who.int

reliefweb.int 

Related Articles