Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගුවනේ විකුම් පාන දඩයක්කරුවෝ 7ක්

ප්‍රහාරක හෙලිකොප්ටරයක් ​​යනු විවිධ යුද අවියෙන් සන්නද්ධ හෙලිකොප්ටරයක්. ප්‍රහාරක ගුවන් යානයක සතු මූලික කාර්යභාරය නම් සතුරු පාබළ හමුදා, මිලිටරි වාහන සහ බළකොටු වැනි බිම් ඉලක්කවලට සම්බන්ධ වීමේ හා සහාය වීමේ  ප්‍රහාරාත්මක වගකීම යි. ප්‍රහාරක හෙලිකොප්ටර ප්‍රබල අවි බලය නිසා ඔවුන් සමහර විට ‘හෙලිකොප්ටර් තුවක්කු’ ලෙස ද හඳුන්වනවා.

ප්‍රහාරක හෙලිකොප්ටර් යානාවලට ස්වයංක්‍රීය අවි, මැෂින් තුවක්කු, රොකට් ඇතුළු ආයුධ සහ ඒජීඑම් -114 හෙල්ෆයර් වැනි යුද ටැංකි නාශක මිසයිල ද භාවිත කළ හැකියි. සමහර ප්‍රහාරක හෙලිකොප්ටර් යානාවලට ගුවනට මිසයිල රැගෙන යාමේ හා විදීමේ හැකියාවක් ඇතත් ඒවා බොහෝ විට වෙනත් හෙලිකොප්ටර්වල සහ සැහැල්ලු සටන් ගුවන් යානාවල ආරක්‍ෂාව පතා ක්‍රියාත්මකයි.

නවීන ප්‍රහාරක හෙලිකොප්ටර

නවීන ප්‍රහාරක හෙලිකොප්ටරයකට මූලික භූමිකා දෙකකි: පළමුව, භූමි භටයන් සඳහා සෘජු හා නිවැරදි සමීප ගුවන් ආධාර සැපයීම ද දෙවනුව, කණ්ඩායම් සතුරාගේ සන්නාහය විනාශ කිරීම සඳහා යුද ටැංකි නාශක භූමිකාව නිරූපණය ද ඒ භූමිකා දෙකයි. ප්‍රහාරක හෙලිකොප්ටර් යානා, ප්‍රවාහන හෙලිකොප්ටර් සඳහා ආරක්‍ෂක ආධාරක වශයෙන් හෝ සන්නද්ධ ඔත්තු බැලීමේ භූමිකා සඳහා ද භාවිත කරනවා. සටන්වල දී, ප්‍රහාරක හෙලිකොප්ටරයක් ​​විනාශ වීමට පෙර තමන්ගේම නිෂ්පාදන මිල මෙන් 17 ගුණයක් පමණ වටිනා ඉලක්ක විනාශ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

ප්‍රහාරක යානා මෙන් ම ප්‍රහාරක හෙලිකොප්ටර් යානා ද ඒ අතින් රටක හමුදාවකට අතවශ්‍ය දෙයක් වී හමාරයි. අමෙරිකාව, රුසියාව වැනි රටවල් ප්‍රබල ප්‍රහාරක ගුණ සහිත හෙලිකොප්ටර් යානා නිපදවා තිබෙනවා. සතුරන්ට එරෙහි ව ප්‍රහාර එල්ල කිරීම සඳහා ලෝකයේ විවිධ රටවල් විවිධ වර්ගයේ යුද හෙලිකොප්ටර් යානා යොදා ගැනීම සුලබ දසුනක්. මේ එවැනි ජනප්‍රිය හා ප්‍රබල ප්‍රහාරක හෙලිකොප්ටර් යානා 7ක් පිළිබඳ තොරතුරුයි.

 ka-52 alligator හෙලිකොප්ටරය- cdn.jetphotos.com

රුසියානු KA-52 හෙලිකොප්ටරය

රුසියානු කමෝව් (kamov) සමාගම නිෂ්පාදනය කර ඇති මෙම ප්‍රහාරක හෙලිකොප්ටර් යානය නියමුවන් දෙදෙනකුට ගමන් කිරීමට හැකි වන පරිදි නිෂ්පාදිතයි. මෙය ලෝකයේ නිෂ්පාදනය කළ ප්‍රබලත ම හෙලිකොප්ටර් යානා වලින් එකක්. 1997 වසරේදී මුල් වරට පියාසර කරවූ මෙම යානය නිර්මාණය කර ඇත්තේ ගොඩබිම් ඉලක්ක හා සතුරු හෙලිකොප්ටර් යානාවලට පහර දීමට හැකි ආකාරයෙන්. ඕනෑම කාලගුණික තත්ත්වයක් යටතේ දිවා රාත්‍රී දෙකේම පියාසර කිරීමට හැකියාව ඇති මෙම හෙලිකොප්ටර් යානයට යුද ටැංකිවලට පහර දීමට යොදා ගන්නා 9K121 Vikhr වර්ගයේ යුද ටැංකි නාශක මිසයිල (anti tank missiles) රැගෙන යා හැකියි. මෙය Shipunov 2A42 30mm cannon වර්ගයේ ස්වයංක්‍රීය ව ක්‍රියාත්මක වන අවියකින් ද සමන්විතයි.

මෙම අවිය මඟින් මීටර් 1500ක පමණ දුරින් පිහිටි ඉලක්කවලට පවා පහර දීමට හැකියි. මීට අමතර ව S-8 80mm වර්ගයේ ගුවනේ සිට ගොඩබිම් ඉලක්කවලට පහර දීමට හැකියාව ඇති රොකට් වලින් ද එය සමන්විතයි. VK 2500 වර්ගයේ ඇන්ජින් දෙකකින් බලය සැපයෙන මෙම හෙලිකොප්ටර් යානයට උපරිම වේගය ලෙස පැයට කිලෝමීටර් 310ක වේගයෙන් පියාසර කළ හැකියි. නේටෝ සංවිධානය හෝකම් බී (Hokum B) නමින් හදුන්වන මෙය කිලෝග්‍රෑම් 7700ක බරකින් ද යුක්තයි. විනාඩියකට අඩි 1970ක උසක් දක්වා පියාසර කළ හැකි යානයට ඉන්ධන ලීටරයකින් කිලෝමීටර් 0.426 ක දුරක් ද ගමන් කළ හැකියි.

KA-50 හෙලිකොප්ටර්ය- wallpaperflare.com

 

රුසියානු KA-50 හෙලිකොප්ටර් යානය

රුසියානු කමෝව් (Kamov) සමාගම නිෂ්පාදනය කර ඇති KA-50 හෙලිකොප්ටර් යානය ප්‍රථම වරට පියාසර කළේ 1982 වසරේදීයි. එක් ගුවන් නියමුවකුට පමණක් ගමන් කළ හැකි අයුරින් නිපදවා ඇති මෙම හෙලිකොප්ටර් යානය (Black shark) කළු මෝරා යන අන්වර්ථ නාමයෙන් ද හඳුන්වනවා. ඕනෑම කාලගුණික තත්ත්වයක් යටතේ එයට දිවා රාත්‍රී දෙකේ ම පියාසර කළ හැකියි.

එන්ජින් දෙකකින් බලය සැපයෙන මෙම හෙලිකොප්ටර් යානයට උපරිම වේගය ලෙස පැයට කිලෝමීටර් 390ක පමණ වේගයකින් පියාසර කළ හැකි අතර කිලෝග්‍රෑම් 7800ක බරින් ද යුතුයි. KA-50 හෙලිකොප්ටර් යානයට 9K 121 vikhr වර්ගයේ යුද ටැංකි නාශක මිසයිල 12 ක් සවි කළ හැකි වන අතර shipunov 2A42 ස්වයංක්‍රීය අවියකින් ද මෙම හෙලිකොප්ටර් යානය සමන්විතයි.

AH 64 Apache හෙලිකොප්ටරය – airforce-technology.com

අමෙරිකානු AH 64 Apache හෙලිකොප්ටර් යානය

අමෙරිකානු බෝයිං McDonnell Douglas (Boeing) සමාගම නිෂ්පාදනය කර ඇති AH 64 Apache හෙලිකොප්ටර් යානය නිර්මාණය කර ඇත්තේ නියමුවන් දෙදෙනකුට ගමන් කිරීමට හැකි වන පරිදියි. මෙය දැනට ලෝකයේ නිපදවා ඇති ප්‍රබලත ම හෙලිකොප්ටර් යානාවලින් එකක් ලෙස ද සලකනවා. 1975 වසරේ දී මුල් වරට එය පියාසර කර තිබෙනවා. මෙම හෙලිකොප්ටර් යානය ඊජිප්තුව, ග්‍රීසිය, ඊශ්‍රායලය, නෙදර්ලන්තය, ජපානය, සෞදි අරාබිය, බ්‍රිතාන්‍යය, ඉන්දියාව වැනි රටවලට අමෙරිකාව අලෙවි කළා.

AH 64 Apache යානය ගල්ෆ් යුද්ධය සමයේ දී හා ඇෆ්ගනිස්තානයේ සිදු කළ මෙහෙයුම්වලදී ද යොදා ගැනුණා. M 230 30mm චේන් ගන් වර්ගයේ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන අවියකින් හා ගුවනේ සිට ගොඩබිම් ඉලක්කවලට හා යුද ටැංකිවලට පහර දීමට හැකියාව ඇති AGM 114 D hellfire වර්ගයේ මිසයිලවලින් ද එය සන්නද්ධයි.

මෙම හෙලිකොප්ටර් යානය ගුවන් ඉලක්ක විනාශ කළ හැකි AIM 92 වර්ගයේ මිසයිලවලින් ද සමන්විතයි. එය කිලෝග්‍රූම් 5165 ක පමණ බරකින් යුතුයි. ටර්බොෂාප්ට් වර්ගයේ එන්ජින් දෙකකින් බලය සැපයෙන මෙම යානයට මෙහි උපරිම වේගය ලෙස පැයට කිලෝමීටර් 279ක වේගයකින් ද පියාසර කළ හැකියි. AH 64 Apache හෙලිකොප්ටර් යානය ද ඕනෑම කාලගුණික තත්ත්වයක් යටතේ දිවා රාත්‍රී දෙකේම පියාසර කළ හැකි ආකාරයෙන් නිපදවූවක්. එය ලෝකයේ නිෂ්පාදනය කර ඇති ජනප්‍රිය ම යුද හෙලිකොප්ටර් යානාවලින් එකක් ද වනවා.

Z-10 හෙලිකොප්ටරය- army-technology.com

චීන Z-10 හෙලිකොප්ටර් යානය

චීනය නිපදවා ඇති මෙම හෙලිකොප්ටර් යානය 2003 වසරේදී මුල් වරට පියාසර කළා. නියමුවන් දෙදෙනකුට ගමන් කිරීමට හැකි වන පරිදි නිෂ්පාදනය කර ඇති මෙම හෙලිකොප්ටර් යානය 30 mm cannon වර්ගයේ අවියකින් සහ HJ-9 හා HJ-10 වර්ගයේ යුද ටැංකි නාශක මිසයිල පද්ධතියකින් හා TY 90 වර්ගයේ ගුවන් ඉලක්ක විනාශ කළ හැකි මිසයිලවලින් ද සමන්විතයි.

ටර්බොෂාප්ට් වර්ගයේ එන්ජින් දෙකකින් බලය සැපයෙන මෙම හෙලිකොප්ටර් යානයට උපරිම වේගය ලෙස පැයට කිලෝමීටර් 300ක පමණ වේගයෙන් පියාසර කළ හැකියි.

Mi- 24 හෙලිකොප්ටරය -wikipedia.org

 

රුසියානු Mi- 24 හෙලිකොප්ටර් යානය

රුසියානු මිල් (mil) සමාගම නිෂ්පාදනය කර ඇති මෙම හෙලිකොප්ටර් යානය ලොව ජනප්‍රියත ම හෙලිකොප්ටර් යානාවලින් එකක්. මෙය 1969 වසරේදී මුල් වරට පියාසර කරවූවක්. පාවෙන යුද්ධ ටැංකිය නමින් ද හඳුන්වන මෙම හෙලිකොප්ටර්  යානය මේ වනවිට ලෝකයේ විවිධ රටවල් 40කට අධික ප්‍රමාණයකට අලෙවි කර තිබෙනවා. Mi- 24 හෙලිකොප්ටර් යානා 3500කට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කර ඇති අතර ශ්‍රී ලංකාවේ හා දැනට ලෝකයේ සිදු වූ යුද ගැටුම් 40 කට අධික ප්‍රමාණයකට එය භාවිත කර තිබෙනවා.

නේටෝ සංවිධානය හයින්ඩ් (HIND) නමින් ද හඳුන්වන එන්ජින් දෙකකින් බලය සැපයෙන මෙම යානයට කිලෝග්‍රූම් 2400ක බරක් රැගෙන පියාසර කළ හැකියි. එහි උපරිම වේගය වන පැයට කිලෝමීටර් 310ක වේගයකින් පියාසර කළ හැකි වන පරිදි නිමවූවක්. මෙය කිලෝග්‍රූම් 8400ක බරකින් ද යුක්තයි.

Mi- 24 ඛාණ්ඩයට අයත්ව විවිධ වෙනස්කම්වලින් සමන්විත හෙලිකොප්ටර් යානා රැසක් ද නිෂ්පාදනය කරන තිබෙනවා. ගුවන් නියමුවාට අමතරව සෙබළුන් 8 දෙනකුට ගමන් කළ හැකි අයුරින් මෙය නිපදවා තිබෙනවා. මෙය ගුවනේ සිට ගොඩබිම ඉලක්කවලට පහර දීමට හැකි S-8 80mm caliber වර්ගයේ මිසයිල හා UPK- 23 වර්ගයේ අවියකින් හා යුද ටැංකි නාශක මිසයිලවලින් ද සන්නද්ධයි.

 AH-2 Rooivalk හෙලිකොප්ටරය –  business insider.com

දකුණු අප්‍රිකානු AH-2 Rooivalk හෙලිකොප්ටර් යානය 

දකුණු අප්‍රිකානු ඩෙනෙල් (Denel Aviation) සමාගම නිෂ්පාදනය කර ඇති AH-2 Rooivalk හෙලිකොප්ටර් යානය නිෂ්පාදනය ආරම්භ කරන්නේ 1999 වසරේ සිටයි. එය නියමුවන් දෙදෙනකුට ගමන් කිරීමට හැකි වන පරිදි නිෂ්පාදනය කළ යානයක්. එය 20mm cannon වර්ගයේ අවියකින් සහ අමෙරිකාවේ නිෂ්පාදිත, යුද ටැංකිවලට පහර දීමට යොදා ගන්නා TOW වර්ගයේ යුද ටැංකි නාශක මිසයිල  (anti tank missiles) හා දකුණු අප්‍රිකාවේ නිෂ්පාදිත ZT-6 mokopa වර්ගයේ යුද ටැංකි නාශක මිසයිලවලින් ද සන්නද්ධයි.

මෙය ගුවන් ඉලක්ක විනාශ කළ හැකි මිසයිල හතරකින් සන්නද්ධ වන අතර එයට Turbomeca Makila 1k2 turboshaft වර්ගයේ  එන්ජින් දෙකකින් බලය සැපයෙනවා. මෙම හෙලිකොප්ටර් යානයට කිලෝග්‍රූම් 3560 ක පමණ බරක්  රැගෙන  උපරිම වේගය ලෙස පැයට කිලෝමීටර් 278ක පමණ වේගයෙන් පියාසර කළ හැකියි. මෙහි ඇති ඉන්ධන ටැංකිය ඉන්ධන ලීටර් 1828 ධාරිතාවකින් යුතුයි. එක් ඉන්ධන ලීටරයකින් කිලෝමීටර් 0.616 දුරක් පියාසර කිරීමට ද එයට හැකියි. 

AH-1Z Viper හෙලිකොප්ටරය – wikipedia.org 

 

ඇමරිකානු AH-1Z හෙලිකොප්ටරය 

ඇමරිකානු බෙල් (Bell ) සමාගම නිෂ්පාදනය කර ඇති AH-1Z හෙලිකොප්ටර් යානය නියමුවන් දෙදෙනකුට ගමන් කිරීමට හැකි වන පරිදි නිෂ්පාදනය කළ යානයක්. T700-GE 401c turboshaft වර්ගයේ එන්ජින් දෙකකින් බලය සැපයෙන මෙම යානයට උපරිම වේගය ලෙස පැයට කිලෝමීටර් 337 ක පමණ වේගයෙන් පියාසර කළ හැකියි.

උණ්ඩ 750ක් සහිත 20mm cannon වර්ගයේ අවියකින් සහ යුද ටැංකි නාශක මිසයිලයක් වන  AGM-114A hellfire  වර්ගයේ හා නෞකා නාශක AGM-114F hellfire මිසයිලවලින් ද සන්නද්ධ කර ඇති අතර ගුවන් ඉලක්කවලට පහර දීමට හැකියාව ඇති AIM-9 වර්ගයේ air to air මිසයිල ද සවි කළ හැකියි. මෙම හෙලිකොප්ටර් යානය කිලෝග්‍රූම් 5500ක බරින් ද යුතුයි.

කවරයේ ජායාරූපය: රුසියානු KA52 හෙලිකොප්ටරය - alphacoders.com

මූලාශ්‍ර :

airforce-technology.com

Military.com

naval-technology.com

army.cz.com

Military-today.com

Business-insider.com

Related Articles