රුසියාවේ අගමැති ඉල්ලා අස්වීම- පුටින්ගේ අලුත්ම පියවර​

ජනවාරි 15 වන දා රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් සිය වාර්ෂික “රාජ්‍යයේ තත්ත්වය පිළිබඳ කතාව” එරට පාර්ලිමේන්තුවේ උභය මන්ත්‍රණ සභා ඉදිරියේ සිදුකිරීමට නියමිතව තිබුණා. එය සාමාන්‍යයෙන් සෑම වසරකම සිරිතක් ලෙස සිදුකෙරෙන්නක් බැවින්, ඒ පිළිබඳ අසාමාන්‍ය ලෙස විශේෂ අවධානයක් යොමු විය යුතු වූයේ නැහැ. නමුත්, ඔහුගේ කතාවෙන් අනතුරුව සිදු වූ සිද්ධීන් හේතුවෙන් රුසියාව මෙන්ම සමස්ථ ලෝකයම තුෂ්ණිම්භූත වුණා.

පුටින්ගේ කතාවේ දී ඔහු ජාතික මෙන්ම ජාත්‍යන්තර තත්ත්වයන් පිළිබඳ අවධානය යොමු කළා. ජාත්‍යන්තර වශයෙන් ලෝක සාමය පවත්වා ගැනීම න්‍යෂ්ටික බලවතුන්ගේ වගකීමක් බව ඔහු පෙන්වා දුන්නා. කතාව තුළ, විශේෂයෙන් ඉංග්‍රීසි මාධ්‍යයන් මූලිකවම මෙම කරුණ කෙරෙහි අවධානය යොමු කළා.

පුටින් දේශීය වශයෙන් ආණ්ඩුක්‍රම​ ව්‍යවස්ථාවට සැලකිය යුතු වෙනස්කම් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළා. එහෙත් ඒ සඳහා මෙතරම් හදිසියෙන් යමක් කෙරෙනු ඇතැ යි එම අවස්ථාවේ විශ්වාස කෙරුණේ නැහැ. පුටින්ට 2024 තෙක් ජනාධිපති ලෙස ධුරය දැරිය හැකි හෙයින් එවන් කඩිනමක අවශ්‍යතාවයක් එකවර දිස් වූයේ ද නැහැ.

අගමැති මෙද්වේදව්

දිමිත්‍රි මෙද්වේදව් පිළිබඳ බාහිර ලෝකයේ බොහෝ දෙනකු දැනගත්තේ 2008 දී ඔහු ජනාධිපති ධුරයට පත් වූ පසු යි. එහෙත් ඔහු හා ව්ලදිමීර් පුටින් අතර සම්බන්ධය 1990 දශකය කරා දිවෙනවා. එකල සාන්ත පීතර්බුර්ග් නගරාධිපති අනතෝලි සොබ්චක් යටතේ මේ දෙදෙනාම සේවය කළා. පුටින් 1999 දී අගමැති ධුරයට පත් වූ පසු මෙද්වේදව් මොස්කව් වෙත ගෙන්වා ගැනුණා. පුටින් වැඩ බලන ජනාධිපති ලෙස පත් වූ පසු ජනාධිපති කාර්යය මණ්ඩලයේ උප ප්‍රධානියා ලෙස පත් වූ මෙද්වේදව්, 2000 ජනාධිපතිවරණයේ දී පුටින්ගේ ඡන්ද ව්‍යාපාරය මෙහෙයවූ කළමණාකරු වුණා. 2003 දී ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානියා ලෙස පත් වූ ඔහු 2005 දී පළමු නියෝජ්‍ය අගමැති ලෙස පත් වුණා.

කියවන්න​: පුටින් ජනාධිපති ධූරය කරා පැමිණි ගමන

පුටින්ට තුන්වන ධුර කාලයක් පිට පිටම දැරිය නොහැකි වූයෙන් 2008 ජනාධිපතිවරණය සඳහා වෙනත් අයෙකු “එක්සත් රුසියාව” පක්ෂයෙන් යෝජනා කළ යුතු වුණා. පුටින් ඒ සඳහා යෝජනා කළේ මෙද්වේදව්ගේ නම යි. ඔහු 2008 ජනාධිපතිවරණය ජයගෙන එම ධුරයට පත් වූ පසු පුටින්ව සිය අගමැති ලෙස පත් කළා. බොහෝ දෙනෙකු කීවේ රුසියාවේ සැබෑ පාලකයා තවමත් පුටින් ම බව යි.

පුටින් සහ මෙද්වේදව් (Sputnik)

2012 ජනාධිපතිවරණයේ දී පුටින්ට නැවත ජනාධිපති ධුරය සඳහා තරග කළ හැකි වූ අතර, ඔහු එම ධුරයට පත් වූ පසු මෙද්වේදව් අගමැති ලෙස පත් කෙරුණා. එතෙක් වසර හතරක් වූ රුසියානු ජනාධිපති ධුර කාලය වසර හයක් දක්වා දිගු කෙරුණ අතර 2018 දී නැවතත් පුටින් ජනාධිපති ලෙස පත් වුණා.

මෙද්වේදව් ඉවත් කෙරෙන රාවයන්

දිමිත්‍රි මෙද්වේදව් අගමැති ධුරයෙන් ඉවත් කෙරෙන රාවයන් මතු වූ පළමු අවස්ථාව මෙය නොවෙයි. මීට පෙර වතාවක හෝ දෙකක ඔහු ඉවත් කිරීමට ඇති ඉඩකඩ පිළිබඳ වාර්තා පළ වුණා.

මෙයින් ප්‍රධානම අවස්ථාව වූයේ 2018 දී ජනාධිපති ධුරයට නැවත තරග කළ පුටින් ජයග්‍රහණය කළහොත්, මෙද්වේදව් අගමැති ලෙස පත් නොකරනු ඇතැ යි මොස්කව් පාලනයට විරුද්ධ මාධ්‍ය විසින් වාර්තා කිරීම යි. ඊට හේතුව ලෙස කියැවුණේ මෙද්වේදව් සුඛෝපභෝගී භාණ්ඩ සඳහා මුදල් අවභාවිත කළ බවට පළ වූ දූෂණ චෝදනා රජයට අයහපත් ලෙස බලපෑම යි. එකල රුසියාවේ මතු වූ දූෂණ විරෝධී උද්ඝෝෂණ සඳහා මෙද්වේදව් ද වගකිව යුතුයැ යි පුටින් පාලනය විශ්වාස කළ බව මෙම වාර්තා කියා සිටියා. නමුත්, එසේ වාර්තා වූ ලෙස මෙද්වේදව් ඉවත් කිරීමට ක්‍රියා කෙරුණේ නැහැ.

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ 

පුටින් 2020 ජනවාරි 15 දා තම කතාවේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන හඳුන්වා දීම පිළිබඳ අදහස් පළ කළා. ඔහු කියා සිටියේ, අගමැතිවරයාට හා පාර්ලිමේන්තුවට වැඩි බලයක් ලැබෙන ලෙස සංශෝධන ඇතුළත් විය යුතු බව යි.

පුටින් රුසියාව පාලනය කළේ ජනාධිපති සතුව වැඩි බලයක් සහිත පාලනයක් යටතේ යි. එය සිදුවූයේ බොරිස් යෙල්ත්සින් පාලන සමයේ දී, 1993 වසරේ, ජනාධිපති සහ පාර්ලිමේන්තුව (ඩූමාව) අතර ඇති වූ සිවිල් යුද්ධයකින් පසු යි. යෙල්ත්සින් විසින් එහි දී ඩූමා ගොඩනැගිල්ලට යුධ ටැංකි යොදාගෙන පහර දුන්නා. මෙම සිද්ධීන්ගෙන් පසු ජනාධිපති සතුව වැඩි බලයක් කේන්ද්‍ර වන පරිදි ව්‍යවස්ථාවක් සකස් කෙරුණා.

නමුත් දැන් පුටින් අදහස් කරන්නේ එම බලතල සීමාවකට යටත් කර පාර්ලිමේන්තුවට වැඩි බලයක් පැවරීම යි. මෙහි අරමුණ විධායක බලයක් සහිත අගමැතිවරයකු ලෙස 2024න් පසු ද දිගටම බලයේ සිටීමයැ යි මතයක් පළ වනවා.

එහෙත් ඊට වෙනස් මතයක් ලෙස දැක්වෙන්නේ, පුටින් ජනප්‍රිය සහ සාර්ථක ජනාධිපතිවරයකු ලෙස ධුරයෙන් 2024 දී හෝ ඉන් පෙර හෝ විශ්‍රාම ගැනීමට ඉඩ ඇති බව යි. අනවශ්‍ය තරම් කල් බලය අල්ලාගෙන සිටීමේ අවදානම ඔහු දන්නා බවත්, එම අවදානම ඔහු නොගනු ඇති බවත් එම මතයෙන් දැක්වෙනවා.

මේ අතර රුසියාවේ පළාත් ප්‍රධානීන් සහ වෙනත් නිලධාරීන්ගෙන් සැදුම්ලත් රාජ්‍ය කවුන්සිලය ශක්තිමත් කිරීම පිළිබඳ ද පුටින් අදහස් දක්වා තිබෙනවා. ඇතැම් විට විශ්‍රාම ගැනීමෙන් පසු ඔහු එහි සාමාජිකයකු ලෙස ජ්‍යෙෂ්ඨ නායකයකුගේ භූමිකාවෙහි කටයුතු කිරීමට අදහස් කරනවා විය හැකියි.

නව අගමැතිවරයා

රුසියාවේ නව අගමැති ලෙස මිහායිල් මිෂුස්තින්ගේ නම යෝජනා කරන ලද්දේ ව්ලදිමීර් පුටින් විසින්ම යි.

හිටපු අගමැති දිමිත්‍රි මෙද්වේදව් ඉල්ලා අස් වූ පසු ජනාධිපති ව්ලදිමීර් පුටින්, 53 හැවිරිදි මිෂුස්තින් හමුවුණා. එයින් පසු ඔහුව අගමැති ධුරයට යෝජනා කෙරෙන බව ප්‍රකාශ කෙරුණා.

මිෂුස්තින් මොස්කව් නගර වැසියෙක්. ඔහු 1990 දශකයේ තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රයේ කටයුතු කළා. 2010 සිට ඔහු රුසියානු ෆෙඩරල් බදු සේවයේ ප්‍රධානියා වනවා.

පුටින් සහ මිෂුස්තින් (AP)

දේශපාලන ක්ෂේත්‍රයේ ක්‍රියාකාරිකයකු නොවුණත්, ඔහු දක්ෂ නිලධාරියෙක්. බදු එකතු කිරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමෙන් බදු ආදායම සියයට 20කින් වර්ධනය කිරීමට ඔහු සිය ධුර කාලයේ දී සමත් වුණා. එසේ කෙරුණේ විශාල බදු ඉහළ දැමීම් නොමැතිව යි.

මිෂුස්තින් දේශපාලන ලෝකයේ එතරම් ප්‍රබලයකු නොවෙතත් කාර්යක්ෂම නිලධාරියකු වනවා. 1999 දී අගමැති ලෙස පත් වීමේ දී පුටින් පිළිබඳ ද එම විස්තරය ම කිව හැකි වුණා.

මිෂුස්තින්ව කරලියට ගෙන ඒම, තමා විශ්‍රාම ගැනීමෙන් පසු රටේ කටයුතු සාර්ථක ලෙස කරගෙන යා හැකි, සාපේක්ෂව වයසින් අඩු අයකු හඳුන්වා දීමට පුටින් ගත් ක්‍රියාමාර්ගයක් ලෙස ද සලකන්නට පුළුවන්.

කවරයේ ඡායාරූපය: ව්ලදිමීර් පුටින් (TASS)

Related Articles