Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කැනඩාවේ අගමැති වීමට බලාපොරොත්තු වන​ සීක් ජාතිකයා

කැනඩාවේ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (New Democratic Party – NDP) නායකත්වය සඳහා ඔක්තෝබර් 1 වනදා පවත්වන ලද ඡන්ද විමසීමෙන් සීක් ජාතිකයකු වන 38 හැවිරිදි ජග්මීත් සිං ජයග්‍රහණය කළා. ඒ අනුව ඔහු කැනඩාවේ ප්‍රධාන දේශපාලන පක්ෂයක නායකයා ලෙස තේරී පත්වූ පළමු “සුළු ජනවර්ගයකට අයත්” පුද්ගලයා බවට පත් වුණා.

මෙහිදී අපේක්ෂකයන් සිව් දෙනෙක් තරඟ වැදුණ අතර ජග්මීත් සිං පළමු වටයේදීම සියයට පනහක් ඡන්ද ලබා ගනිමින් නායකත්ව තරඟය ජය ගැනීම කැපී පෙනුණා. නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ඉතිහාසයේ නායකත්ව තරඟයක් පළමු වටයෙන්ම ජයග්‍රහණය කිරීමට මීට පෙර සමත්ව ඇත්තේ ටොමී ඩග්ලස් සහ ජැක් ලේටන් පමණයි.

ජග්මීත් සිං නායකත්ව ඡන්ද විමසීම පැවති රැස්වීමේ ප්‍රතිඵල නිකුත් වීමට පෙර (The Canadian Press)

ජග්මීත් සිං පළමු වටයේ ඡන්ද විමසීමේදී NDP පාක්ෂිකයන්ගේ ඡන්ද 35,266 ක් ලබා ගත්තා. ඒ සියයට 53.8 ක ප්‍රතිශතයක්. ඔහුගේ ප්‍රධානම ප්‍රතිවාදියා වූ චාර්ලි ඇන්ගස් ඡන්ද 12,705 ක් ලබාගත් අතර එය සියයට 19.4 ක ප්‍රතිශතයක් වුණා. නිකී ඈෂ්ටන් ඡන්ද 11,374 ක් සහ ගයි කැරොන් ඡන්ද 6,164 ක් ලබා ගත්තා.

නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය​

කැනඩාවේ ක්‍රියාත්මක වන මධ්‍ය වාමාංශික පක්ෂයක් වන නව ප්‍රජාතාන්ත්‍රික පක්ෂය වෙනත් පක්ෂ කිහිපයක එකතුවෙන් 1961 දී පිහිටුවනු ලැබුණා. එය එකළ කැනඩාවේ බටහිරදිග ප්‍රාන්තවල වඩාත් ජනප්‍රිය වූ අතර අදටත් එම ප්‍රදේශවල ඊට ප්‍රබල සහයෝගයක් දකින්න පුළුවන්.

මුල් කාලයේ කැනඩාවේ තුන්වන විශාලම පක්ෂය වූ නමුත් පසු කලෙක මෙය දිනා ගන්නා ආසන සංඛ්‍යාව අනුව ක්විබෙක් ප්‍රාන්තයේ ක්‍රියාත්මක ක්විබෙක් පක්ෂයට වඩා පසු බැස්සා. ක්විබෙක් පක්ෂය ප්‍රාදේශීය පක්ෂයක් වුවද එය එම ප්‍රාන්තයේ ආසන වැඩි ප්‍රමාණයක් දිනාගත් අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමස්ථ රට පුරාම එතරම් ආසන දිනාගත්තේ නැහැ. (කැනඩාවේ පවතින්නේ කොට්ඨාශ ක්‍රමයයි).

කෙසේ නමුත් 2011 මහ මැතිවරණය වනවිට හිටපු නායක ජැක් ලේටන් විසින් නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඉතා ජනප්‍රිය තලයකට රැගෙන ආ අතර එය ක්විබෙක් ප්‍රාන්තයේ පවා ජනප්‍රියත්වයට පත් වුණා. එකළ ලිබරල් පක්ෂය ජනප්‍රියත්වයෙන් පහළ වැටී තිබුණ අතර  කොන්සර්වේටිව් පක්ෂය මැතිවරණය ජය ගනිද්දී නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය දෙවන ස්ථානයට පත් වුණා. මේ අනුව එම පක්ෂය පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය බවට පත් වුණා.

ජැක් ලේටන්ගේ මරණයෙන් පසු තෝමස් මුල්කෙයාර් පක්ෂ නායකත්වයට පත්වූ අතර 2015 දී එය නැවතත් තුන්වන ස්ථානයට පසු බැස්සා.

2017 අප්‍රේල් මාසයේදී පක්ෂ ෆෙඩරල් සම්මේලනය විසින් තීරණය කළේ මුල්කෙයාර් වෙනුවට නව නායකයකු පත් කරගත යුතු බවයි. ඒ සඳහා නියෝජිතයන් සියයට 52 ක් කැමැත්ත පළ කළා. මේ අනුව නායකත්වය සඳහා තරඟය ඔක්තෝබර් 1 වනදාට නියම කෙරුණා.

ජග්මීත් සිං

1979 ජනවාරි 2 වනදා කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ ස්කාබරෝ හි උපන් ජග්මීත් සිංගේ පියා ජග්තරන් සිං නම් වන අතර මව හර්දීප් කවුර් නම් කාන්තාවක්. ඔවුන් පන්ජාබයේ සිට කැනඩාවට සංක්‍රමණය වූවන් වනවා.

ජග්මීත් සිං නායකත්ව ඡන්ද විමසීම පැවති රැස්වීමේදී සිය දෙමාපියන් සමඟ (AP)

සිය පියා රෝගාතුර වීම හේතුවෙන් වයස අවුරුදු විසි ගණන්වලදී ජග්මීත් සිං පවුලේ බර තමා අතට ගත්තා. ඔහු නීතිය හැදෑරූ අතර පසුව ටොරොන්ටෝ ප්‍රදේශයේ නීතීඥයකු ලෙස කටයුතු කළා. ඔහු සාමාන්‍යයෙන් පෙනී සිටියේ අපරාධ නඩුවල විත්ති පාර්ශවය වෙනුවෙන්.

2011 ෆෙඩරල් මැතිවරණයට ඔහු ටොරොන්ටෝ හි බ්‍රමලියා-ගෝර්-මෝල්ටන් ආසනයෙන් තරඟ වැදී ඡන්ද 509 කින් පරාජය වුණා. එම වසරේම පැවති ඔන්ටාරියෝ ප්‍රාන්ත මැතිවරණයේදී ඔහු ප්‍රාන්ත සභාවට තේරීපත් වුණා.

නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට නව ජීවයක්

ජග්මීත් සිංගේ ජයග්‍රහණයට හේතු වූ ප්‍රධානම කරුණක් වූයේ තරුණයින් සහ සුළු ජාතිකයන් අතර ඔහු ජනප්‍රිය වීමයි. එහෙත් පක්ෂයේ ප්‍රවීණයන් විශාල පිරිසක් ද ඔහු පිළිබඳ බලාපොරොත්තු තබාගෙන සිටිනවා. 2015 මැතිවරණයේදී තුන්වන ස්ථානයට යළිත් පසු බැස ගිය පක්ෂයට අරමුදල් පිළිබඳ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුව තිබෙනවා. නමුත් ජග්මීත් සිං පසුගිය මාස කිහිපය තුළ සිය නායකත්ව තරඟයේදී අන් තරඟකරුවන් තිදෙනාටම වඩා අරමුදල් එක් කිරීමෙන් ඒ අංශයෙන් ද ඔහුගේ හැකියාව පෙන්වා තිබෙනවා.

ඔහුගේ ආකර්ශණීයත්වය වැඩි වීමට ඔහුගේ ඇඳුම් පැළඳුම් මෙන්ම ජීවන රටාවද හේතු වී තිබෙනවා. ඔහු ඉතා හොඳින් අඳින පළඳින අයකු වන අතර දීප්තිමත් වර්ණයෙන් යුතු තලප්පාව ද ඔහුගේ ඇඳුම් මෝස්තරවල අනිවාර්ය අංගයක්. එමෙන්ම ඔහු ආත්මාරක්ෂක සටන් කලාවන් හි නිරත වන අතර පාපැදියෙන් ගමන් බිමන් යන අයකු ලෙස ද ප්‍රකටයි.

පාපැදි සවාරියක් අතරතුර (Jagmeet Singh / Twitter)

ජග්මීත් සිංගේ ජනප්‍රියත්වය ඉහළ යෑමට මීට සති කිහිපයකට පෙර සිදුවූ සිද්ධියක් බලපෑවා. එහිදී ඔහු සහභාගී වූ රැස්වීමකට බාධා කළ කාන්තාවක් ඔහු කැනඩාවේ ෂාරියා නීතිය හඳුන්වා දීමට උත්සාහ කරන බවට චෝදනා කළා. (සිං, සීක් ජාතිකයකු වන අතර ෂාරියා යනු ඉස්ලාම් ලබ්ධිකයන්ට අදාළ නීතියයි). මේ අවස්ථාවේ ජග්මීත් සිං හැසිරුණ ආකාරය බොහෝ දෙනාගේ පැසසුමට හේතු වූ අතර ඔහු පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍ය ද වාර්තා කළා.

එම අවස්ථාවේ වීඩියෝ දර්ශන​ ඔබට පහතින් නරඹන්න පිළිවන්.

සිංගේ බලාපොරොත්තුව වන්නේ 2019 ඔක්තෝබරයේදී පවත්වනු ලබන ෆෙඩරල් මහ මැතිවරණයේදී ලිබරල් පක්ෂයේ අගමැති ජස්ටින් ටෲඩෝ සහ කොන්සර්වේටිව් පක්ෂය පරාජය කර අගමැති ධූරයට පත්වීමයි. කැනඩාවේ අගමැති ලෙස ප්‍රධාන කරුණු හතරක් පිළිබඳ තමා අවධානය යොමු කරන බව සිං ප්‍රකාශ කළා. එම කරුණු නම් ආදායම් විශමතාව​, දේශගුණික විපර්යාස​, කැනඩාවේ ආදිවාසීන් හා සංහිඳියාව සහ මැතිවරණ ප්‍රතිසංස්කරණයි.

ජග්මීත් සිං ඔන්ටේරියෝ ප්‍රාන්ත පාර්ලිමේන්තුවේදී (Toronto Star)

සුළු ජනවර්ගයක අයකු සහ සීක් ලබ්ධිකයකු වශයෙන් ඔහුට කැනඩාවේ ඇතැම් ජන කොටස්වල මනාපය දිනාගැනීමේදී අභියෝගයක් එල්ල වීමේ ඉඩක් තිබෙනවා. විශේෂයෙන්ම ආගමික පසුබිමින් යුතු පුද්ගලයන්ට එතරම්ම කැමැත්තක් නොදක්වන ක්විබෙක් ප්‍රාන්ත වැසියන් අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනප්‍රියත්වය නැංවීම ඔහුට ඇති ප්‍රබල අභියෝගයක්. 2011 දී පක්ෂයේ ජයග්‍රහණයට මෙන්ම 2015 දී පක් ෂයේ පසුබෑමට ක්විබෙක් ප්‍රාන්ත වැසියන් එය කෙරෙහි දැක්වූ ආකල්ප ඉතා වැදගත් වුණා.

කෙසේ නමුත් ජග්මීත් සිං පවසන්නේ එන ඕනෑම අභියෝගයක් තමා ප්‍රේමයෙන් සහ ධෛර්යයවන්තකමෙන් බාර ගන්නා බවයි. ප්‍රේමය සහ ධෛර්යයවන්තභාවය (Love and Courage) ඔහුගේ නායකත්ව සටනේ සටන් පාඨය වුණා.

සටහන​: කැනඩාවේ ප්‍රාන්ත හඳුන්වන්නේ Province යන නමින්. එය සිංහලයට නැගූ විට පළාත ලෙස දැක්විය හැකි නමුත් එම ප්‍රදේශ සතු පාලන බලතල සැළකීමේදී ලංකාවේ පළාත්වලට වඩා බෙහෙවින් වෙනස් හෙයින් ප්‍රාන්ත යන නම මෙම ලිපියේදී භාවිතා කරන ලදී.

Cover Image: ජග්මීත් සිං (sikhpress.ca)

Related Articles