Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලී ක්වාන් යූගේ පුද්ගලික ලේකම් සිංගප්පූරුවේ අගමැති ධුරයට?

සිංගප්පූරුවේ මුදල් ඇමති හෙන්ග් ස්වී කියෙට්, එරට මීළඟ අගමැති ලෙස පත්වීමේ ඉඩක් තිබෙන බව එරට මාධ්‍ය වාර්තා ප්‍රකාශ කළා.

හෙන්ග්ගේ සිංගප්පූරුවේ පාලක මහජන ක්‍රියාකාරී පක්ෂයේ පළමු උප මහ ලේකම් ධූරය සඳහා පත් වීමත් සමග මෙසේ අනාවැකි පළ වන්නට වුණා.

මේ අනුව සිංගප්පූරුවේ මීළඟ අගමැති ලෙස හෙන්ග් පත්වීමේ විශාල ඉඩක් ඇති බව යි එරට මාධ්‍ය සඳහන් කරන්නේ. මේ අතර වෙළෙඳ සහ කර්මාන්ත ඇමති චෑංග් චුන් සිංග් පක්ෂයේ දෙවන උප මහ ලේකම් ලෙස නම් කෙරුණා. හෙන්ග් සහ චෑංග් කදිම සුසංයෝගයක් වනු ඇතැ යි සිංගප්පූරු අගමැති ලී සියෙන් ලූන්ග් සඳහන් කළා.

මේ සමග සිංගප්පූරුවේ සිව්වන පරම්පරාවේ නායකත්වය රට බාර ගැනීමට සූදානම් කෙරෙනු ඇති බව යි මාධ්‍ය වාර්තා ප්‍රකාශ කරන්නේ. එළඹෙන වසරේ දී හෙන්ග් එරට උප අගමැති ලෙස නම් කෙරෙනු ඇති බවට ද අනාවැකි පළ වී තිබෙනවා.

හෙන්ග් ස්වී කියෙට්

හෙන්ග් ස්වී කියෙට් දේශපාලනයට පැමිණීමට පෙර රාජ්‍ය සේවයෙහි දිගු කලක් සේවය කළා. 1961 දී උපන් ඔහු රැෆ්ල්ස් ආයතනයෙන් අධ්‍යාපනය ලබා, පසු ව කේම් බ්‍රිජ් සරසවියෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් ලබා ගත්තා. ඔහුගේ මුල්ම රැකියා ස්ථානය වූයේ සිංගප්පූරු පොලිස් සේවය යි. පසු ව කේම් බ්‍රිජ් සරසවියෙන් ම ආර්ථික විද්‍යාව පිළිබඳ ශ්‍රාස්ත්‍රවේදී උපාධිය ද ලබාගත් ඔහු හාර්වර්ඩ් සරසවියෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳ ව ශ්‍රාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්තා.

සිංගප්පූරු පරිපාලන සේවයට ඇතුළත් වූ හෙන්ග් 1997 දී සිංගප්පූරුවේ පළමු අගමැති ලී ක්වාන් යූගේ පෞද්ගලික ලේකම් ලෙස පත් කෙරුණා. එවකට ලී ක්වාන් යූ එරට ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු ලෙස සේවය කළා.

ලී ක්වාන් යූ (EPA)

2001 සිට වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් ධුරයට පත් වූ හෙන්ග්, 2006 දී සිංගප්පූරු මූල්‍ය අධිකාරිය හෙවත් මහ බැංකුවේ ප්‍රධානියා ලෙස පත් කෙරුණා.

ඔහු දේශපාලනයට පිවිසියේ 2011 දී. එම වසරේ පවත්වන ලද මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඔහු, අධ්‍යාපන ඇමතිවරයා ලෙස පත් කරනු ලැබුණා. 2015 මහ මැතිවරණයෙන් යළි පාර්ලිමේන්තුවට තේරී පත් වූ හෙන්ග්, මුදල් ඇමති ධුරයට පත් කරනු ලැබුණා. මීට අමතර ව ඔහු සිංගප්පූරුවේ අනාගත ආර්ථිකය පිළිබඳ කමිටුවේ ප්‍රධානියා ද වනවා.

මුදල් ඇමති ලෙස කටයුතු කරන අතරතුර 2016 මැයි මාසයේ දී හෙන්ග් දරුණු ලෙස රෝගාතුර වුණා. ඔහු ආඝාත තත්ත්වයකට පත් වූයේ 2016 මැයි 12 වන දා කැබිනට් රැස්වීමක් අතරතුර දී යි. නමුත් එම වසරේ ම අගෝස්තුව වන විට ඔහු නැවත රාජකාරි සඳහා පැමිණියා.

නව නායකත්වයක්

සිංගප්පූරුවේ වර්තමාන අගමැති ලී සියෙන් ලූන්ග් දැනට 66 හැවිරිදි වනවා. ඔහු 2004 සිට එරට අගමැති ධුරය දරන අතර, ඔහු සිංගප්පූරුවේ පළමු අගමැති ලී ක්වාන් යූගේ පළමු පුත්‍රයා යි. එමෙන්ම ඔහු මහජන ක්‍රියාකාරී පක්ෂයේ මහ ලේකම් ද වනවා.

2015 සිංගප්පූරු මහ මැතිවරණයෙන් මහජන ක්‍රියාකාරී පක්ෂය (People’s Action Party) බලාපොරොත්තු වූවාට වඩා හොඳ ප්‍රතිඵල පෙන්නුම් කළා. විශේෂයෙන් ම 2011 මහ මැතිවරණයේ දී ඔවුන් ලැබූ අනපේක්ෂිත පසුබෑමෙන් පසු ව මෙය වැදගත් ජයග්‍රහණයක් වුණා.

ලී සියෙන් ලූන්ග් (MCI Photo/Terence Tang)

මීළඟ මැතිවරණයෙන් පසු ව රට බාරගැනීමට නව නායකත්වයක් සූදානම් කළ යුතු බව ලී සියෙන් ලූන්ග් සඳහන් කළේ 2015 සැප්තැම්බර් 11 වන දා පවත්වන ලද මැතිවරණයෙන් දින දහහතකට පසු ව යි. මේ අනුව මීළඟ මහ මැතිවරණයෙන් පසු ව තමන් අගමැති ධූරයෙහි කටයුතු නොකරනු ඇති බවට ද ලී එදින ම​ ඇඟවීමක් කළා.

අගමැති අනුප්‍රාප්තිකයෝ

සිංගප්පූරුව 1959 සිට ම පාලනය වන්නේ මහජන ක්‍රියාකාරී පක්ෂය අතිනුයි. මේ හේතුවෙන් එරට පාලනය සඳහා කණ්ඩායම් ගොඩනැඟීම පක්ෂය තුළින් ම සිදුවන තත්ත්වයක් මතු ව තිබෙනවා. සිංගප්පූරු කැබිනට් මණ්ඩලය තුළ සිටින්නේ අධ්‍යාපන මට්ටමෙන් ඉහළ ස්ථානයක සිටින අය යි. ඔවුන් සාමාන්‍යයෙන් අමාත්‍ය මණ්ඩලය වෙත ඇතුල් වන්නේ කනිෂ්ඨ අමාත්‍යවරයෙකු ලෙස යි. පසු ව ඔවුන් පිළිබඳ ඇගයීමක් ද සිදුවෙනවා. ඒ ඇගයීම එම තැනැත්තාගේ අනාගතය සඳහා බලපානවා.

මහජන ක්‍රියාකාරී පක්ෂ ප්‍රධානීන් 2017 දී (The Straits Times)

සිංගප්පූරුව කලින් පාලනය කළ අගමැතිවරුන් දෙදෙනා ම තම අනුප්‍රාප්තිකයාට පාලන බලය පවරා දිගටම කැබිනට් මණ්ඩලයෙහි රැඳී සිටියා. ලී ක්වාන් යූ 1990 දී අගමැති ධුරයෙන් විශ්‍රාම ගෙන ජ්‍යෙෂ්ඨ අමාත්‍ය නම් ධූරයක් තබා ගත්තා. ඔහුගෙන් පසු ව අගමැති පුටුවට පැමිණි ගෝ චොක් ටොංග් 2004 දී විශ්‍රාම ගියේ ලී සියෙන් ලූන්ග්ට අවස්ථාව ලබා දෙමින්. එවිට ගෝ චොක් ටොංග් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ධුරයට පත් කෙරුණ අතර, ලී ක්වාන් යූ උපදේශක අමාත්‍ය නම් ධුරයකට පත් කරනු ලැබුණා.

මීළඟ මහ මැතිවරණය

සිංගප්පූරුවේ මීළඟ මහ මැතිවරණය 2020 දී පැවැත්වීමට නියමිත යි. විවිධ විපක්ෂ දේශපාලන පක්ෂ ක්‍රියාත්මක වුව ද​, මෙතෙක් එරට පාලනය කළ මහජන ක්‍රියාකාරී පක්ෂයට එරෙහිව ප්‍රබල විපක්ෂයක් තවමත් ගොඩනැඟී නැහැ. මෙවන් තත්ත්වයක් යටතේ, 2020 දී පවත්වන මහ මැතිවරණයකින් මහජන ක්‍රියාකාරී පක්ෂය පරාජය වනු ඇතැ යි සිතිය නොහැකියි.

මේ අතර සිංගප්පූරුවේ මතු ව ඇති තවත් කතාබහකට අනුව එරට රජය නියමිත කාලයට පෙර මැතිවරණයක් කැඳවීමට වුව ද ඉඩ තිබෙනවා. එවන් තත්ත්වයක දී 2020ට පෙර ම සිංගප්පූරුවේ අලුත් අගමැති කෙනෙකු පත්වීමට ඉඩ තිබෙනවා.

කිනම් තත්ත්වයක් යටතේ වුණත්, නව සිංගප්පූරු අගමැතිවරයෙකුට වැඩි වන වයස්ගත ජනගහනය​, විදේශික ශ්‍රමිකයන් පිළිබඳ මතභේද​, ලෝක ආර්ථිකයෙහි පසු බැසීම, සහ සංරක්ෂණවාදයෙහි වර්ධනය යනා දී කරුණු නිසා ඇති වන අභියෝගවලට මුහුණ දීමට සිදුවනු ඇති. මීළඟ අගමැතිවරයා ආර්ථිකය පිළිබඳ මනා අවබෝධයකින් යුක්ත වීම වැදගත් වන බව මේ අනුව පැහැදිලියි.

 

Related Articles