මාතර වතුර හම්බන්තොටට ගෙන යාමේ අලකලංචිය

යුනෙස්කෝ ලෝක උරුමයක් වන සිංහරාජය මැද්දෙ වැව් දෙකක් හදන බව කියූ ඇමැති කතාවකින් පසුගිය දිනවල ජනමාධ්‍ය වගේම සමාජ මාධ්‍යත් කැළඹී ගියා. හම්බන්තොට දිස්ත්‍රික්කයට පිරිසිදු ජලය රැගෙන යාමට ලෝක උරුම සිංහරාජ වනාන්තරය මැද වැව් දෙකක් ඉදිකිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව කිව්වේ වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ වීරකැටිය ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින්. එහිදී ඇමැතිවරයා පැවසුවේ එක් වැවක් අක්කර පහක් පමණ වන බවත්, ඒ වෙනුවට තව අක්කර 50-100ක් වන වගා කිරීමට පියවර ගන්නා බවත්.

 හම්බන්තොටට වතුර                                                                                                  

වාරිමාර්ග ඇමති චමල් – lankafocusnews.com

තංගල්ල, බෙලිඅත්ත, වීරකැටිය, වලස්මුල්ල ආදී ප්‍රදේශවලට පානීය ජලය ලබාදීම සඳහා ගිං ගඟේ සහ නිල්වලා ගඟේ ජලය ගිරුවාපත්තුවට ගෙන ඒමට මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ වාරි ව්‍යාපෘතියක් ආරම්භ කළ නමුත් එය ක්‍රියාත්මක නොවූ බව ඇමැතිවරයා පවසා සිටියා. චීන සමාගමක් සකස්කර ඇති සැලැස්ම අනුව සිංහරාජ වනාන්තරය තුළ වැව් දෙකක් නිර්මාණය කිරීමට කටයුතු කරන බව තමයි ඇමැතිවරයා කිව්වේ. 

නමුත් එම අමාත්‍යවරයාම පසුව පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේ සිංහරාජ කැලෑව තුළ වැව් සාදන බවට පළවන වාර්තා අසත්‍ය බවත්, එම කැලෑව මුදුනේ වැව් සෑදීමේ කිසිම සැලැස්මක් නැති බවත්. ගිං ගඟේ පහළ ජනතාව පදිංචිව සිටින කොටසේ අක්කර පහක ජලාශයක් ඉදිකිරීමට සැලැස්මක් තිබෙන අතර, ඒ සැලැස්ම යුනෙස්කෝ සංවිධානයට  අධ්‍යයනය කර තීරණයක් ලබාදීමට ඉදිරිපත් කළ බවත් ඇමැතිවරයා පැවසුවා.

ගිං – නිල්වලා හැරවීම

සිංහරාජ මායිමෙන් ගලන ගිං ගඟ- flickr.com

චමල් ඇමැතිවරයා මෙසේ පවසා ඇත්තේ ගිං-නිල්වලා ගංගා හැරවීමේ ව්‍යාපෘතිය ගැන යි. ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලට වැටෙන ජලය හම්බන්තොටට සැපයීම එහි අරමුණ යි. පසුගිය ආණ්ඩුව කාලෙත් මෙම ව්‍යාපෘතිය ඇරඹීම ගැන සැලසුමක් පැවතුණා. එහි මූලික ව්‍යාපෘති සකස්  කළ විට පරිසරවේදීන්ගේ විශාල විරෝධයක් ද එල්ලවුණා.

එම ව්‍යාපෘති වාර්තාවට අනුව තද වැසි කාලයට ගිං හා නිල්වලා ගංගාවලට ලැබෙන, ගං වතුර උවදුරට ද හේතුවන අතිවිශාල ජලස්කන්ධය උමං තුනක් ඔස්සේ හම්බන්තොට දිස්ත්‍රික්කයට ලබාදීමට නියමිත වුණා. ඒ අනුව වාර්ෂිකව ඝන මීටර් මිලියන 400ක ජල ධාරිතාවක් එම ප්‍රදේශවලට සැපයීම ව්‍යාපෘතියේ සැලැස්ම වී තිබුණා. එම ජලය වගා කටයුතුවලට, පානීය ජලය ලෙස මෙන්ම කර්මාන්තවලට ලබාදීමටත් සිදුවෙනවා. නමුත් පරිසරවේදීන් පවසන්නේ හම්බන්තොට පානීය ජල ගැටලුව ඉදිරියට දමා එහි ගොඩනැගෙන චීන කර්මාන්තපුරයට ජලය ලබාදීම මෙහි මූලික අරමුණ බව යි.

ගිං – නිල්වලා හැරවීමේ ව්‍යාපෘති සිතියම -lankaviews.com

කෙසේ වුවත් මෙම ජලාශ ඉදිකිරීම මෙන්ම උමං සකස් කිරීමට ද නියමිතව ඇත්තේ රටේ ජෛව විවිධත්වයෙන් ඉහළ නිරිතදිග තෙත් කලාපයේ සිංහරාජ වනයේ පරිවාර වනාන්තරවලට යාබදව නිසා ඒ ගැන පසුගිය ආණ්ඩුව සමයේ ද විරෝධතා එල්ල වුණා. වැහි කාලයට ගිං, නිල්වලා ද්‍රෝණිවලට විශාල ජල කඳක් ලැබුණත් පායන කාලයට එම ප්‍රදේශයේ ජනතාවටත් පානීය ජල ප්‍රශ්නය සහ තේ වගාවලට ජලය ප්‍රමාණවත් නොවීමත් ගැටලුවක් බවට පත්වෙලා. එසේ තිබිය දී ගිං හා නිල්වලා ගංගාවල ජලය වසර මුළුල්ලේම හම්බන්තොටට හරවා යැවීම ගිං ගංගා සහ නිල්වලා නිම්නයේ ජනතාව ගැටලු රාශියකට ඇදදමන්නක් බව මෙම ව්‍යාපෘතියට විරුද්ධ මතවාදීන් පවසනවා. හම්බන්තොට නව සංවර්ධන ව්‍යාපෘති සඳහා පරිසරය අවතැන් කරමින් ජලය ලබාගැනීම සාධාරණ නැති බව යි ඔවුන් පවසන්නේ. 

මෙම ප්‍රදේශයේ වඳවීමේ තර්ජනයට ලක්වූ ශාක හා සත්ව විශේෂ බහුලව වාර්තා වෙනවා. ඉදිකිරීමට යෝජිත ලංකාගම මාදුගැටේ ජලාශයේ සිට කොටපොළ ජලාශයට ජලය ගෙන යන උමග ඉදිවන්නේ දියදාව රක්ෂිත වනාන්තරය යටින්. මේ භූගත උම නිසා වනාන්තරවල ජල මූලාශ්‍රවලටත් බලපෑම් එල්ලවන බව පරිසරවේදීන්ගේ අදහස යි.

දිගම උමං කැලේ යටින්

සිංහරාජ වනය -Trillopilia.com 

මෙරට දිගම උමං පද්ධතිය මේ යටතේ ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීමට නියමිත වන්නේ කුඩා ජලාශ දෙකක්. පළමුව ලංකාගමට නුදුරු මාදුගැටේ ප්‍රදේශයෙන් ගිං ගඟ හරස් කර කුඩා ජලාශයක් ඉදිකිරීමට නියමිත අතර දැනට අර්බුදයට හේතුවී ඇත්තේ මේ ජලාශය යි. එයට ලංකාගම ගැමියන්ගේ ඉඩම් ද, වනාන්තර කොටසක් ද යටවීමට නියමිත යි. මාදුගැටේ ජලාශයට එකතු වන ජලය කි. මී. 18ක් දිග උමඟක් ඔස්සේ කොටපොළට ගෙන ඒමට නියමිත යි. කොටපොළ දී කොටපොළ ගඟ හරස් කර එහි අමුණකට එක්වන ජලයත් රැගෙන තවත් කි.මී. 5ක් දිග උමඟකින් අම්පනාගලට වතුර යොමු කරනවා. ඊට පසු නිල්වලා ගඟේ අනිත් අතු ගංගා වන සියඹලාගොඩ ඔය අම්පනාගල දී හරස්කර ජලාශයක් ඉදිකිරීමට නියමිත යි. හම්බන්තොටට යවන්නේ එහි ජලයයි. ඒ සඳහා  කි.මී. 16ක් දිග උමඟක් එහි සිට ඉදිකිරීමට නියමිත වෙනවා. එසේ උමඟක් ඔස්සේ කටුවනට යැවෙන ජලය මුරුතවෙල වැව, කිරම වැව, ඌරුබොක්ක ඔය ආදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ වාරිමාර්ගවලට ලැබීමට නියමිත යි. මෙම ව්‍යාපෘතිය මඟින් අස්වැද්දීමට නියමිත ඉඩම් ප්‍රමාණය අක්කර ලක්ෂයක් ලෙස සඳහන් වෙනවා.

ගිං නිල්වලා හැරවීමේ ඉතිහාසය

උමං මාර්ග ගමන් කිරීමට යෝජිතව ඇත්තේ දියදාව වනාන්තරය යටින් – southernsrilanka.com

සිංහරාජයේ දකුණු ප්‍රදේශයෙන් ආරම්භ වන ගිං ගඟ තවලම, නෙළුව හා අගලිය ප්‍රදේශ හරහා ගලා ගොස් ගිං තොටින් මුහුදට එක් වෙනවා. ගිං ගඟෙහි සමස්ථ ගංඟා ද්‍රෝණිය වර්ග කිලෝමීටර 922ක් පමණ වන අතර එය  දිගින් කිලෝමීටර 113ක්. නිල්වලා ගඟ ආරම්භ වන්නේ දෙනියායේ ගොංගල කඳුවැටිවලින් වන අතර දිග කිලෝමීටර 72ක් පමණ වෙනවා. මෙම ගංඟා ද්‍රෝණිය වර්ග කිලෝමීටර 960ක් විශාල යි.  

නිල්වලා ගඟේ ජලය හම්බන්තොටට හරවා හැවීමේ යෝජනාව මුලින්ම එන්නේ වර්ෂ 1887 දී යි. පසුව 1936 දී මොරවක ආසනය නියෝජනය කළ කොමියුනිස්ට් පක්ෂ නායක දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ නිල්වලා ගඟේ ඉහළ ප්‍රදේශයෙන් ජලාශයක් ඉදිකර එම ජලය හම්බන්තොටට යැවීමට යෝජනාවක් ඉදිරිපක් කළා. 1968 දී කළු, නිල්වලා, ගිං ගංගාවල ජලය වියළි කලාපයට හරවා යැවීමට ඇමෙරිකානු සමාගමක් සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව එක්ව ශක්‍යතා අධ්‍යයනයක් ද සිදු කර තිබෙනවා.

මාදුගැටෙන් සිංහරාජයට මොකද වෙන්නේ? 

නිල්වලා නදියේ සුන්දරත්වය- southernsrilanka.com

සිංහරාජ වනාන්තර සීමාවේ ඉදිකිරීමට යෝජිත මාදුගැට ජලාශය අක්කර අඩි 15000ක ජල ධාරිතාවයකින් යුක්ත යි. එහි වේල්ලේ උස මී. 70ක් වන අතර දිග මී. 324ක් වෙනවා. මේ නිසා පවුල් 25-30 දක්වා සංඛ්‍යාවක් අවතැන්වීමට නියමිත යි. වාරිමාර්ග අමාත්‍යංශ ලේකම් අනුර දිසානායක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මෙහි ඉදිකිරීම් ක්‍රියාත්මක කරන්නේ සියලු පාරිසරික, තාක්ෂණික, භූගෝලීය තොරතුරු විශ්ලේෂණ සිදුකරමින්, ජාතික හා ජාත්‍යන්තර එකඟතාවලට අනුකූලව සහ අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව බව යි.  

ගිං ගඟ මතින් දිවෙන අධිවේගී මාර්ගය- maga.lk

වාරිමාර්ග ඇමැතිවරයා ද පසුගිය දා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේ සිංහරාජයට යාබදව ඉදිකිරීමට යෝජිත මාදුගැටේ ජලාශය නිසා සිංහරාජ ලෝක උරුම වනාන්තරයට හානියක් සිදුවේදැ යි අධ්‍යයනය කිරීමට යුනෙස්කෝ සංවිධානයට එම ව්‍යාපෘති සැලැස්ම ඉදිරිපත්කර ඇති බවයි. නමුත් අවසානයේ අමාත්‍ය චමල් රාජපක්ෂ සමග මෙරට යුනෙස්කෝ කොමිසමේ නිලධාරින් කළ සාකච්ඡාවේ දී සිංහරාජයේ වැව් ඉදිකිරීම නවතා දැමීමට අමාත්‍ය චමල් ප්‍රතිඥා දී තිබුණු බව ඔවුන් මාධ්‍යවලට සඳහන් කළා. මාදුගැටේ ජලාශය  ක්‍රියාත්මක නොකිරීමට වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ එකඟ වූයේ නම් ඒ බව සඳහන් ලිඛිත ප්‍රකාශයක් ලබා දෙන මෙන් පරිසරවේදීන් සහ පරිසර සංවිධාන යුනෙස්කෝ ශ්‍රී ලංකා නියෝජිත ආයතනයෙන් ඉල්ලා සිටිනවා.

ගිං ගඟේ ගංවතුර -adederana.lk

චීන සමාගමක සැලසුම් මත ක්‍රියාත්මකවීමට නියමිත අදාළ ජලාශය නිසා ලෝක උරුම සිංහරාජ රක්ෂිතයට අයත් හෙක්ටයාර 5ක භූමි ප්‍රමාණයකට බලපෑම් එල්ල වෙතැ යි ඇස්තමේන්තු  කර තිබෙනවා. එම ව්‍යාපෘතිය නවතා දමන ලෙස ශ්‍රී ලංකා රජයට බල කරන ලෙස ශ්‍රී ලංකාවේ පරිසර සංවිධාන ගණනාවක් පැරිසියේ පිහිටි යුනෙස්කෝ මූලස්ථානයට ඉල්ලීම් ඉදිරිපත් කරලා.

පසුගිය වසරේ, මතභේදයට තුඩුදුන් සිංහරාජය ආශ්‍රිත ලංකාගම මාර්ගය සංවර්ධනය කිරීමේ දී ද යුනෙස්කෝ ශ්‍රී ලංකා නියෝජිතයන් නිසි මැදිහත්වීමක් නොකළ බවට පරිසරවේදීන් චෝදනාකර සිටිනවා. යුනෙස්කෝ ශ්‍රී ලංකා නියෝජිතයන් දේශපාලන බලපෑම්වලට ලක්ව ක්‍රියා කරන බවට පසුගිය කාලය පුරා, පරිසරවේදීන් සහ පරිසර සංවිධාන වෙතින් චෝදනා එල්ල වුණා.        

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

Bbc.com

vikalpa.org

irrigationmin.gov.lk

කවරය - නිල්වලා ගඟ -  dreamstime.com      

Related Articles