Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාවේ නවතම තානාපති කාර්යාලය ඉතියෝපියාවේ

මෙම වසරේ ජනවාරි අග ඉතියෝපියාවේ සංචාරයක් ඇරඹූ විදේශ අමාත්‍ය මංගල සමරවීර ඉතියෝපියාවේ කතානායකවරයා, විදේශ අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා මුණ ගැසී සාකච්ඡා පැවැත්වූවා. මෙහිදී විදේශ අමාත්‍යවරුන් දෙදෙනා විසින් දෙරට අතර තානාපති සබඳතා පිළිබඳව මෙන්ම අන්‍යෝන්‍ය සහයෝගීතාව පිළිබඳව ද අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තැබුණා.

ඉතියෝපියාව පිළිබඳ හිතන විට අපට මුලින්ම මතකයට එන්නේ දුර්භික්ෂයෙන් පෙළෙන රටක්. එයට හේතු වුණේ 1980 දශකයේ එරටට බලපෑ දරුණු සාගතයයි. නමුත් යාබද සෝමාලියාව මෙන් නොව, ඉතියෝපියාව එම ඉතිහාසය පසු කර ගොස් තිබෙනවා. අද ඉතියෝපියාව අප්‍රිකාවේ වේගවත්ම සංවර්ධන වේගයකට උරුම කියන රටක්. අප්‍රිකා සංවර්ධන බැංකුව සඳහන් කරන පරිදි 2005 – 2015 සමයේ ඉතියෝපියාවේ සාමාන්‍ය වාර්ෂික ආර්ථික වර්ධන වේගය සියයට 10.8 ක් වැනි ඉතා ඉහළ තත්ත්වයක පැවතුණා.

ඉතියෝපියාව (operationworld.org)

ඉතියෝපියාවේ අඩිස් අබාබා අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පෙබරවාරි 2 වනදා විවෘත කෙරුණා. එම අවස්ථාවට ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මංගල සමරවීර සහ ඉතියෝපියානු විදේශ අමාත්‍ය වොර්ක්නෙහ් ගෙබෙයෙහු (Workneh Gebeyehu) ද සහභාගී වුණා.

අඩු සබඳතා ඇති කලාපයක්

පොදු රාජ්‍ය මණ්ඩල සාමාජික රටවල් ගණනාවක් ම අප්‍රිකාවේ තිබෙන අතර ඒ හේතුවෙන් ඇතැම් රටවල් සමඟ ශ්‍රී ලංකාව පැවැත්වූ සබඳතා වර්ධනය වුණා. එමෙන්ම නොබැඳි සංවිධානය ලෝකයේ ප්‍රබල අන්තර්ජාතික සංවිධානයක් ව පැවති සමයේදී, පොදු රාජ්‍ය මණ්ඩල සාමාජිකයන් නොවන ඇතැම් රටවල් සමඟ ද ශ්‍රී ලංකාව සබඳතා ඇති කරගත්තා. නමුත් බොහෝ රටවල් සමඟ ශ්‍රී ලංකාව එතරම් පුළුල් සබඳතා ඇති කරගත්තේ නැහැ.

මේ සඳහා උදාහරණයක් ලෙස අප්‍රිකාවේ ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාල සංඛ්‍යාව සැළකිය හැකියි. වර්තමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල පවතින අප්‍රිකානු රටවල් වන්නේ ඊජිප්තුව , ලිබියාව , නයිජීරියාව , උගන්ඩාව , කෙන්යාව , සීෂෙල්ස් සහ දකුණු අප්‍රිකාව යන රටවල් සහ මෑතදී තානාපති කාර්යාලය විවෘත කළ ඉතියෝපියාවයි.

ශ්‍රී ලංකාව සහ ඉතියෝපියාව අතර තානපති සබඳතා ඇරඹී ඇත්තේ 1972 දී. මෙතෙක් කාළයක් කෙන්යාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ඉතියෝපියාවේ ද ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස කටයුතු කළා.

දෙරටෙහි විදේශ ඇමතිවරු අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තබති, 2017 පෙබරවාරි 01. (ට්විටර් Ethiopian Diplomacy)

පසුගිය මහින්ද රාජපක්ෂ රජය සමයේ ශ්‍රී ලංකාව ඇතැම් අප්‍රිකානු රටවල් සමඟ සබඳතා වර්ධනය කරගත්ත ද එවන් ඇතැම් පියවරයන් එවක විපක්ෂයේ දැඩි දෝෂදර්ශණයට හේතු වුණා. මුවම්මර් ගඩාෆිගේ පාලන සමයෙදී ලිබියාව සමඟත්, සීෂෙල්ස්, උගන්ඩාව සහ ස්වාසිලන්තය සමඟත් වර්ධනය කරගත් සබඳතා මෙසේ දැඩි විවේචනයට ලක් වුණා.

නව රජය බලයට පැමිණි පසු විදෙස් තානාපති කාර්යාල සඳහා අනවශ්‍ය වියදම් කපා හැර , ඉතාම වැදගත් නගරවල තානාපති කාර්යාල විවෘත කිරීම පිළිබඳව අවධානය යොමු වුණා. ඉතියෝපියාවේ අඩිස් අබාබා වෙත අවධානය යොමු වූයේ ඒ අනුවයි.

අඩිස් අබාබා වෙත විශේෂ අවධානයක් යොමු වීමට හේතු වූයේ අප්‍රිකානු එකමුතුවේ මූලස්ථානය එහි පිහිටා තිබෙන නිසාවෙනි. අප්‍රිකාවේ රටවල් 54 ක් එහි සාමාජිකත්වය දරනවා. අප්‍රිකාවේ තිබෙන තානාපති කාර්යාල සඳහා වියදම් අවම කරගන්නා ගමන් ම අප්‍රිකානු රටවල් බොහොමයක් සමඟ සබඳතා පැවැත්වීමට රජය මෙමගින් බලාපොරොත්තු වෙනවා.

ඉතියෝපියානු විදෙස් ඇමති ශ්‍රී ලංකාවේ

ඉතියෝපියාවේ එවක විදේශ අමාත්‍ය වූ ටෙඩ්‍රොස් අදනොම් 2016 සැප්තැම්බරයේදී ශ්‍රී ලංකාවට පැමිණියා. අදනොම් ශ්‍රී ලංකාවට පැමිණියේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි අග්නිදිග ආසියානු කලාපයේ 69 වන සැසිය සඳහා සහභාගී වීමටයි. මෙම සංචාරයේදී ඔහු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙන්ම නියෝජ්‍ය විදේශ අමාත්‍ය හර්ෂ ද සිල්වා ද මුණ ගැසී සාකච්ඡා පැවැත්වූවා.

ටෙඩ්‍රොස් අද්නොම් සහ ජනාධිපති සිරිසේන හමුව (ජනාධිපති මාධ්‍ය ඒකකය )

පසුගිය දෙසැම්බරයේදී අප්‍රිකානු කොමිසමේ සභාපතිනී න්කොසසානා ද්ලාමිනී සූමා හමුවූ ඉතියෝපියාවේ ශ්‍රී ලංකා තානාපති සුමිත් දසනායක සිය අක්තපත්‍ර ප්‍රදානය කළා. ඔහු අප්‍රිකානු එකමුතුව සහ එක්සත් ජාතීන්ගේ අප්‍රිකානු ආර්ථික කොමිසම සඳහා ද ශ්‍රී ලංකා නියෝජිතයා වනවා. ද්ලාමිනී සූමා හමුවේ ශ්‍රී ලංකා තානාපතිවරයා සිය අක්තපත්‍ර ප්‍රදානය කළේ ඒ හේතුවෙන්.

මෙම වසරේ ජනවාරි අග ඉතියෝපියාවේ සංචාරයක් ඇරඹූ විදේශ අමාත්‍ය මංගල සමරවීර ඉතියෝපියාවේ කතානායකවරයා, විදේශ අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා මුණ ගැසී සාකච්ඡා පැවැත්වූවා. මෙහිදී විදේශ අමාත්‍යවරුන් දෙදෙනා විසින් දෙරට අතර තානාපති සබඳතා පිළිබඳව මෙන්ම අන්‍යෝන්‍ය සහයෝගීතාව පිළිබඳව ද අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තැබුණා.

මංගල සමරවීර සහ ඉතියෝපියානු ජනාධිපති අතර හමුව (විදේශ අමාත්‍ය මාධ්‍ය ඒකකය )

ශ්‍රී ලංකාව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළියෙල කරමින් සිටින බවත් බහු වාර්ගික , බහු ආගමික සහ භාෂා ගණනාවක් කතා කරන රටක් වන ඉතියෝපියාවෙන් ද ඒ සඳහා ආදර්ශ ලබාගැනීමට හැකිවනු ඇති බවත් ඉතියෝපියානු ජනාධිපති මුලාටු තෙෂෝම් හමුවූ අවස්ථාවේ දී සමරවීර කියා සිටියා.

නව තානාපති කාර්යාලය විවෘත කරන අවස්ථාවට සහභාගී වෙමින් ඔහු තවදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාව සාම්ප්‍රදායික මිතුරන් සමඟ සබඳතා වර්ධනය කරන ගමන් ම විශේෂයෙන්ම අප්‍රිකානු කලාපය කෙරෙහි අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි.

දෙරටෙහි විදෙස් ඇමතිවරුන් තානාපති කාර්යාලය විවෘත කරති (විදේශ අමාත්‍ය මාධ්‍ය ඒකකය )

නව ගිවිසුම්වලින් සහ අඩිස් අබාබා හි තානාපති කාර්යාලයක් පිහිටුවීමෙන් පසුව ඉතියෝපියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සබඳතා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කළ හැකියි.

මූලාශ්‍ර : Ethiopia Economic Outlook (African Development Bank Group), ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය , ඉතියෝපියානු විදේශ අමාත්‍යාංශය ෆේස්බුක් පිටුව

Related Articles