Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ස්ලෝවකියාවේ ප්‍රථම ජනාධිපතිවරිය – සුසානා චැපුතොවා

ස්ලෝවකියාවේ ප්‍රථමවරට කාන්තාවක් ජනාධිපති ධූරයට පත් වී තිබෙනවා. ඇය නමින් සුසානා චැපුතොවා (Zuzana Čaputová). එරට දේශපාලන දූෂණ හා මහා පරිමාණ වංචාවලට එරෙහිව සටන් වැදුණු සුසානා එලෙස ස්ලෝවැකියාවේ ජනාධිපති ධූරයට පත්වීම විමතියට පත්වීමට තරම් කරුණක් නොවන බව දේශීය මාධ්‍යයන් වාර්තා කරනවා. හතළිස් පස් හැවිරිදි වියේ පසුවන සුසානා පරිසර නීතිඥවරියක සහ සිවිල් සමාජ ක්‍රියාකාරිනියක් වශයෙන් බොහෝ කාලයක් තිස්සේ කටයුතු කර තිබෙනවා.

නමුත් ඇය එරට ජනතාව අතර ජනප්‍රිය වන්නේ මෑතක සිට යි. ඒ පසුගිය වසරේ පෙබරවාරි මාසයේ එරට ගවේෂණාත්මක මාධ්‍යවේදී යැන් කුසියැක්‌ (Ján Kuciak) ඝාතනය වීමේ සිදුවීම මුල්කරගෙන යි. එහිදී රටපුරා පැතිරී ගිය විරෝධතා රැල්ලේ ප්‍රධාන සාමාජිකාවක් ලෙස ඇය ක්‍රියා කරනවා.

පරිසර නීතිඥවරියක සහ සිවිල් සමාජ ක්‍රියාකාරිනියක් වශයෙන්

සුසානා (The Moscow Times)

1973 වසරේ උපත ලබන සුසානා චැපුතොවා තම උසස් අධ්‍යාපනය අවසන් කිරීමෙන් අනතුරුව ස්ලෝවැකියානු රජයේ නීති දෙපාර්තමේන්තුවට අනුයුක්තව කටයුතු කරනවා. ඉන්පසුව ඇය රාජ්‍ය නොවන සංවිධාන කිහිපයකම නීති අංශයේ රැකියාවන්හි නිරත වෙනවා.

එම රාජ්‍ය නොවන සංවිධාන ඔස්සේ එරට ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම, කාන්තා සමානාත්මතාව හා ස්භාවික පරිසරයේ දිගුකල් පැවැත්ම සම්බන්ධයෙන් තම රාජකාරි කටයුතු සිදු කරනවා. 2010 වසරේ සිට ස්ලෝවැකියා රජය විසින් එරට ගොඩබිම, වායුව හා ජලය දූෂණය වෙනුවෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධයෙන් ඇය හඩ නැඟීම ආරම්භ කරනවා. ඒ නීතිවේදිනියක් ලෙස යි.

තවද පරිසරයට කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් 2013 වසරේ සිට එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන නඩුවක පැමිණිලිකාර පාර්ශවය ලෙස ක්‍රියා කරන්නේ ද සුසානා ඇතුළු පිරිසක්. පරිසර නීතිය සම්බන්ධයෙන් වැඩි දුර අධ්‍යාපනය ලබන ඇය එරට වඩාත්ම ප්‍රසිද්ධ වන්නේ පරිසරවේදිනියක් ලෙස යි.

පරිසරවේදිනියකට අමතරව ජන වාර්ගයන් අතර සමානාත්මතාවය, සමරිසි පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ද ඇය, විශාල උනන්දුවක් දක්වනවා.

දේශපාලන දිවිය

ජනාධිපතිවරණය ජය ගැනීමෙන් පසුව (Committee to Protect Journalists)

2017 වසරේ දෙසැම්බර් මාසයේ දී එරට Progressive Slovakia පක්ෂයට බැඳෙන බව ඇය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනවා. 2018 වසරේ ජනවාරි මාසයේ දී Progressive Slovakia පක්ෂයේ ප්‍රථම උප සභාපතිනිය වීමේ හැකියාව ඇයට හිමි වෙනවා.

එරට අලුතෙන්ම බිහි වූ මෙම පක්ෂයේ ආරම්භක සාමාජිකාවක් වන ඇයගේ සිවිල් සංවිධාන ක්‍රියාකාරිත්වය හා පරිසරවේදිනියක් ලෙස ක්‍රියාකාරිත්වය පක්ෂයේ ජනප්‍රිය වීමට බොහෝ සෙයින් බලපෑ ප්‍රධාන හේතුන් ලෙස නම් කළ හැකි යි.

මාධ්‍යවේදී යාන් කුසියැක්ගේ ඝාතනයත් සමග කරළියට පැමිණීම

මාධ්‍යවේදී යාන් කුසියැක්ගේ ඝාතනයත් සමග ඇති වූ විරෝධතා (EurActiv)

ස්ලෝවකියාවේ ගවේෂණාත්මක මාධ්‍යවේදියකු වූ 27 හැවිරිදි යාන් කුසියැක් පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී ඝාතනයට ලක්වෙනවා. ඔහුගේ ඝාතනය සමඟ ස්ලෝවැකියාව තුළ දැවැන්ත උද්ඝෝෂණ රැල්ලක් නිර්මාණය වෙනවා. මහජනතාව මේ සම්බන්ධයෙන් රජයට දැඩි ලෙස දෝෂාරෝපණ එල්ල කරනවා. ඇති වූ මෙම දැවැන්ත අර්බුදකාරී තත්ත්වය හමුවේ එවකට අග්‍රාමාත්‍යරයාට ධූරයෙන් ඉවත් වීමට ද සිදුවෙනවා.

මෙම විරෝධතා මෙහෙයවීමේ නායකත්වය ලබා ගන්නේ  සුසානා චැපුතොවා යි. ඒ හරහා රටේ ඉමහත් ජනප්‍රියත්වයක් ඇතිකර ගැනීමට ඇය සමත් වෙනවා. මෙම ජනප්‍රියත්වය හේතුවෙන්ම තම පක්ෂය නියෝජනය කරමින් 2019 වසරේ ජනාධිපතිවරණය සඳහා අපේක්ෂිකාවක් ලෙස ඇය ඉදිරිපත් වෙනවා.

පරිසර සම්මාන හිමිකර ගැනීම

මාධ්‍ය සාකච්ජාවක (LinkedIn)

ඇමෙරිකා එක්සත් ජනපදයේ Goldman Environmental පදනම විසින් 2016 වසරේ දී ලෝකයේ පරිසරය වෙනුවෙන් ඉමහත් සේවයක් ඉටුකරන පරිසරවේදීන්ට පිරිනමන Goldman Environmental සම්මානය දිනා ගැනීමට සුසානා සමත් වෙනවා.

2019 ජනාධිපතිවරණය

මැතිවරණ ව්‍යාපාරය (Euronews)

2018 වසරේ මාර්තු 29 වන දා තමන් එළඹෙන ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට සුදානම් බව ඇය විසින් නිල වශයෙන් නිවේදනය කරනවා.

ජනාධිපතිවරණය වට දෙකක් ඔස්සේ පැවති අතර එහි අවසන් ප්‍රතිඵලවලින් 58.4%ක ජන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට සුසානා සමත් වෙනවා. සුසානා චැපුතොවාගේ ප්‍රධාන ප්‍රතිවාදියා ලෙස ජනාධිපතිවරණ සටන සඳහා ඉදිරිපත් වෙන්නේ පාලක පක්ෂයේ මාර්කෝස් සෙෆ්කොවික් ය (Maroš Šefčovič). ජනාධිපතිවරණ ඡන්ද විමසීමෙන් ඔහුට හිමිවෙන ජන්ද ප්‍රතිශතය 41.6ක් පමණ යි. වර්තමානයේ යුරෝපා සංගමයේ බලශක්ති කොමසාරිස්වරයා ලෙස කටයුතු කරන්නේ ද මාර්කෝස් සෙෆ්කොවික් ය.

2019 ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ඇය 2019 වසරේ එළඹෙන ජූනි මාසයේ 15 වැනි දින එරට ප්‍රථම ජනාධිපතිවරිය ලෙස වැඩ භාර ගැනීමට නියමිත යි. එමෙන්ම ස්ලෝවැකිය දේශපාලන ඉතිහාසයේ ලාබාලතම ජනාධිපතිවරිය වන්නේත් ඇය යි.

කවරයේ පින්තූරය - Expres

මූලාශ්‍රයයන් -

nytimes.com

foreignpolicy.com

bbc.com

Related Articles