Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රුසියාවට අහිමි වූ ඉන්ටර්පෝල් හි සභාපතිත්වය කිම් ජොන්ට

2016 වසරේ සිට ඉන්ටර්පෝල් හෙවත් ජාත්‍යන්තර පොලීසියේ ප්‍රධානියා ලෙස කටයුතු කළ මෙංග් හොංග්වෙයි පසුගිය දා තම ඉල්ලා අස්වීමේ ලිපිය ඉන්ටර්පෝල් ආයතනය වෙත ඒවා තිබුණා.

ඔහුගේ ඉල්ලා අස්වීම පිළිබඳ ව විවිධ මත, විවිධ පුද්ගලයන් විසින් ඉදිරිපත් කරන අතර, ඇත්තට ම එම ඉල්ලා අස්වීම සැක සහිත බව පෙනී යනවා. පසු ව ඉන්ටර්පෝල් ආයතනයේ ප්‍රධාන තනතුර සඳහා රුසියානු ජාතිකයෙක් වන ඇලෙක්සැන්ඩර් ප්‍රොකොප්චුක් හා දකුණු කොරියානු ජාතික කිම් ජොන් යැන් යෝජනා වෙනවා.

අවසානයේ ඉන්ටර්පෝල් හි ඡන්ද විමසීමකින් පසු ව එහි ප්‍රධානියා ලෙස පත්වෙන්නේ දකුණු කොරියානු ජාතික කිම් ජොන් යැන්. ඔහුගේ ධූර කාලය ඉදිරි වසර දෙක සඳහා බලපැවැත්වෙනවා.

මෙංග් හොංග්වෙයි අතුරුදහන් වීම  

මෙංග් හොංග්වෙයි  (South China Morning Post)

චීන ජාතික මෙංග් හොංග්වෙයි පසුගිය සැප්තැම්බර් 25 වන දා තම මව් රටට පැමිණෙනවා. ඒ සමග ම ඔහු අතුරුදහන් වෙනවා. සති දෙකක් යනතුරු ඔහු පිළිබඳ ව කිසිදු තොරතුරක් වාර්තා වෙන්නේ නෑ.

චීන රජය විසින් ඔහු ව අත්අඩංගුවට ගත් බව මුලින්ම චීනයේ පුවත්පතක වාර්තා වෙන්නේ ඔක්තෝම්බර් 5 වන දා යි. ඒ වන විටත් චීන ආරක්ෂක අංශ විසින් මෙංග් හොංග්වෙයි  අත්අඩංගුවට ගත් බව ඔහුගේ පවුලේ සමීපතමයන්ටවත් දැනුම් දී තිබුණේ නෑ.

ඉන්පසු ව, ඉන්ටර්පෝල් ආයතනය විසින් චීන රජයෙන් මේ පිළිබඳ ව විමසීමක් කරනවා. ඉන් අනතුරුව යි ඔහු ව අත්අඩංගුවට ගත් බව චීන රජය විසින් නිල වශයෙන් සඳහන් කරන්නේ.

ඉන්පසු ව, ඉන්ටර්පෝල් ආයතනය විසින් මෙංග් හොංග්වෙයි ඉල්ලා අස්වීමේ ලිපියක් එවූ බව සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කරනවා. ඒ ඔක්තෝම්බර් 7 වන දා යි.

පසු ව, චීන රජය මෙංග් හොංග්වෙයිට විරුද්ධ ව දුෂණ චෝදනා ඇති බවත්, ඒ හේතුවෙන් ඔහු ව අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ප්‍රකාශ කරනවා.

චීන රජය විසින් තමා ව ද අත්අඩංගුවට ගැනීමට සැරසෙන බව ප්‍රංශයේ වාසය කරන ඔහුගේ බිරිඳ ප්‍රකාශ කර තිබෙනවා. තමාට මේ පිළිබඳ ව මාධ්‍ය ඉදිරියේ කතා නොකරන ලෙස නිර්නාමික දුරකථන ඇමතුම් ලැබෙන බව ද ඇය විසින් ප්‍රංශ පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

රුසියානු සිහිනය

ඇලෙක්සැන්ඩර් ප්‍රොකොප්චුක් (censor.net.ua)

ඉන්ටර්පෝල් ආයතනයේ නව සභාපතිවරයා සඳහා රුසියානු ජාතික ඇලෙක්සැන්ඩර් ප්‍රොකොප්චුක් හෝ දකුණු කොරියානු ජාතික කිම් ජොන්යැන් පත් කිරීමට සැරසෙන බව ජාත්‍යන්තර මාධ්‍ය විසින් ප්‍රකාශයට පත් කරන්නේ මේ අතරවාරයේ යි.

රුසියානු ජාතිකයෙකු ඉන්ටර්පෝල් හි ප්‍රධානියා බවට පත් කිරීම පිළිබඳ ව ඇමෙරිකාව තදින් සිතා බැලිය යුතු කාරණයක් බව පවසමින් ඇමෙරිකානු සෙනට් මණ්ඩලය ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත විවෘත ලිපියක් භාර දෙනවා.

එහි සඳහන් වෙන්නේ ඇලෙක්සැන්ඩර් ප්‍රොකොප්චුක් පත් නොකිරීම සඳහා ඉන්ටර්පෝල් හි ඡන්ද ප්‍රකාශ කරන සාමාජිකයන් දැනුවත් කරන ලෙස යි.

ඔවුන්ගේ ප්‍රධානම චෝදනාව වන්නේ මීට පෙර සිට ඉන්ටර්පෝල් ආයතනයේ “රතු වරෙන්තු”වලට මුවා වෙමින් ඇලෙක්සැන්ඩර් ප්‍රොකොප්චුක් විසින් පුටින්ට අවශ්‍ය දේශපාලනික විරුද්ධවාදීන් අත්අඩංගුවට ගත් බව යි. ඔහුට සභාපති ධූරය හිමිවුවහොත්, එවැනි පක්ෂග්‍රාහී ක්‍රියාමාර්ග රැසක් නැවත ගනු ඇති බව යි ඔවුන් ප්‍රකාශ කරන්නේ.

ඇමෙරිකාවට අමතර ව බ්‍රිතාන්‍ය ද, ඊට අමතර ව රුසියානු මානව හිමිකම් ක්‍රියාකාරීන් ද මේ පිළිබඳ ව දැඩි ලෙස චෝදනා කරනවා. එම චෝදනා ප්‍රතික්ෂේප කරන රුසියානු රජය මොහු උප සභාපති ව සිටින සමයේ එවැනි ක්‍රියා සිදු නොකර ඇති බවත්, තම රටට එරෙහි ක්‍රියාමාර්ගවලට ඇමෙරිකාව ඇතුළු බලවේග නැවතත් අවතීරණය වෙමින් සිටින බවත් ප්‍රකාශ කරනවා.

ඇලෙක්සැන්ඩර් ප්‍රොකොප්චුක්

ඉන්ටර්පෝල් (Wikipedia)

ඇලෙක්සැන්ඩර් ප්‍රොකොප්චුක් යනු ඉන්ටර්පෝල් ආයතනයේ උප සභාපතිවරුන් තිදෙනාගෙන් එක් අයෙක්. 2016 වසරේ සිට ඔහු එම තනතුරේ කටයුතු කරනවා. ඉන්ටර්පොල් ආයතනයේ එතරම් උසස් තනතුරක පත් වූ ප්‍රථම රුසියානුවා ඔහු යි.

රුසියානු අභ්‍යන්තර කටයුතු ඒජන්සියේ මේජර් ජෙනරාල්වරයෙකු ලෙස කලක් කටයුතු කළ ඔහු, නීති විද්‍යාව පිළිබඳ ව උපාධිදාරියෙකු මෙන්ම ආර්ථික විද්‍යාව පිළිබඳ ව ආචාර්ය උපාධියක් ඇති අයෙක්.

වැඩි ම ඡන්දයෙන් සභාපති වූ, කිම් ජොන් යැන්

කිම් ජොන් යැන් (VOA News)

පසුගිය නොවැම්බර් 18 සිට 21 දක්වා ඩුබායි හි පැවති ඉන්ටර්පෝල් සභාපතිවරයා තේරීමේ ඡන්දයෙන් කිම් ජොන් යැන්ට ඡන්ද 101 ලැබෙන අතර, ඇලෙක්සැන්ඩර් ප්‍රොකොප්චුක්ට ලැබෙන්නේ ඡන්ද 61 පමණයි. ඒ අනුව ඉදිරි වසර දෙක සඳහා ඉන්ටර්පෝල් හි සභාපතිත්වය හිමිවෙන්නේ කිම් ජොන්යැන්ට.

කිම් ජොන් යැන් ද 2015 වර්ෂයේ සිට ඉන්ටර්පෝල් හි උප සභාපති ලෙස කටයුතු කළ අයෙක්. මෙංග් හොංග්වෙයි අතුරුදහන් වීමෙන් පසු සභාපති ධූරයේ වැඩ බලන්නේ ද ඔහු යි. විශ්වවිද්‍යාල කිහිපයකින් උපාධි ලබා ඇති ඔහු කාලයක් දකුණු කොරියානු පොලීසියේ උසස් තනතුරක් දැරූ අයෙක්.

දකුණු කොරියානු ජාතිකයෙකුට ඉන්ටර්පෝල් හි ප්‍රධාන තනතුර හිමිවීම සම්බන්ධයෙන් තම ජනතාව වෙනුවෙන් තමා සතුට ප්‍රකාශ කරන බව, දකුණු කොරියානු ජනාධිපති මුන් ජේ සාමාජ ජාලා පණිවුඩවල සඳහන් කර තිබෙනවා.

රුසියාව හා චීනය එක් පසෙකත්, ඇමෙරිකාව බ්‍රිතාන්‍ය හා යුරෝපීය රටවල් එක් පසෙකත් සිට තම බලපරාක්‍රමය ලොවට පෙන්වමින් සිටින කාලයක, අමෙරිකාවට හිතවාදී දකුණු කොරියාවට ඉන්ටර්පෝල් හි සභාපතිත්වය හිමි වීම දේශපාලනික හා ආර්ථික අතින් බටහිරට ශක්තියක් ගෙන දීමක් බව යි විචාරකයන් මේ පිළිබඳ ව අදහස් දක්වමින් ප්‍රකාශ කරන්නේ.

කවරයේ පින්තූරය: Stuff.co.nz

මූලාශ්‍රයයන්:

bloomberg.com

interpol.int

independent.co.uk

cbsnews.com

nytimes.com

Related Articles