Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දකුණු යේමනයේ ප්‍රධාන නගරය අල්ලාගත් බෙදුම්වාදීන්

දකුණු යේමනයේ ප්‍රධාන නගරය වන ඒඩ්න් නගරයෙහි බලය මෑතක් වනතෙක් පැවතියේ අන්තර්ජාතිකව පිළිගත් යේමන රජය අත යි. එහෙත් අගෝස්තු 11 වනදා එම නගරයේ පිහිටි ජනාධිපති මන්දිරය සහ හමුදා කඳවුරුවල බලය දකුණුදිග අන්තර්වාර කවුන්සිලය නම් වූ බෙදුම්වාදී සංවිධානය අතට පත් වුණා. මෙය යේමන සිවිල් යුද්ධය වෙනස් අතකට ගෙන යාමට හේතු වී තිබෙනවා.

යේමන සිවිල් යුද්ධය​

යේමන සිවිල් යුද්ධය ඇරඹුණේ 2011 දී අරාබිකරය ඔස්සේ පැතිර ගිය අරාබි වසන්තය උද්ඝෝෂණ මාලාව අතරතුර යි. එවකට යේමන ජනාධිපති වූ අලි අබ්දුල්ලා සාලෙහ් විසින් ගෙන ගිය පාලනයට එරෙහිව ජනතාව විරෝධතා ඇරඹුවා. කෙසේ වෙතත් සාමකාමී උද්ඝෝෂණවලින් සාලෙහ් ඉවත් කිරීමට හැකි වූයේ නැහැ. මේ අතර යේමනයේ විවිධ ගෝත්‍රික කණ්ඩායම් සිය බලය තහවුරු කර ගැනීමට එකිනෙකා හා සටන් කිරීමට පටන් ගත්තා. කෙටි කලෙකින් යේමනය පුරා අවි ගැටුම් වර්ධනය වුණා.

සාලෙහ් 2012 දී ඉල්ලා අස් වූ අතර උප ජනාධිපති අබ්ද් රබ්බු මන්සූර් හාදි එම තනතුරට පත් වුණා.

ඉන්පසුව ද යේමනයේ සාමකාමී තත්ත්වයක් වූයේ නැහැ. කල් යාමේ දී උතුරුදිග යේමනයෙන් බිහි වූ හූති ව්‍යාපාරය සිය බලය වර්ධනය කර ගන්නට වුණා. ඔවුනට ඉරානයේ සහාය ලැබෙන බව චෝදනා කෙරෙන නමුත් ඔවුන් එය ප්‍රතික්ෂේප කරනවා.

2015 දී හිටපු ජනාධිපති සාලෙහ් හූති ව්‍යාපාරය සමග සන්ධානගත වුණා. එම වසරේම සැප්තැම්බරයේ දී හූති කැරලිකරුවන් යේමන අගනගරය වන සනා හි බලය තහවුරු කර ගත්තා.

අලි අබ්දුල්ලා සාලෙහ් (AFP)

මේ අතර සෞදි අරාබිය ප්‍රමුඛ සන්ධානයක් හූති කැරලිකරුවන්ට එරෙහිව යුධ මෙහෙයුම් ඇරඹුවා. ඊට මැද පෙරදිග රටවල් කිහිපයක්ම සම්බන්ධ වූ අතර, මන්සූර් හාදිගේ යේමන රජය සහ හූති කැරලිකරුවන්ට එරෙහි වෙනත් සන්නද්ධ කණ්ඩායම් ඊට එකතුව සිටියා. දකුණුදිග අන්තර්වාර කවුන්සිලය ද එවැනි එක් සංවිධානයක්.

මේ අතර 2017 දෙසැම්බරයේ දී හූති ව්‍යාපාරය සහ සාලෙහ් අතර ගැටුමක් ඇති වුණා. මෙහිදී හූති සටන්කාමීන් විසින් සනා නගරයේ දී සාලෙහ්ගේ සටන්කාමීන් පරාජය කළ අතර එම සටන් අතරතුර සාලෙහ් ද මියගියා.

යේමනයේ දිගටම සටන් පැවති අතර 1990ට පෙර උතුරු යේමනයට අයත් වූ ප්‍රදේශ සියල්ලක්ම පාහේ මේ වනවිට හූති පාලනය යටතේ පවතිනවා.

දකුණු යේමනය

යේමනයේ බ්‍රිතාන්‍ය පාලනයට යටත්ව තිබුණු ප්‍රදේශ ඒකාබද්ධව 1967 දී දකුණු යේමනය ස්වාධීන රාජ්‍යයක් ලෙස ස්ථාපිත කරනු ලැබුවා. එහි රජය වාමංශික නැඹුරුවකින් යුතු වූ අතර 1969 දී එහි වාමාවාදී කණ්ඩායම සිය බලය තහවුරු කරගත්තා. 1970 දී ඔවුන් දකුණු යේමනය නිල වශයෙන් මාක්ස්වාදී රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කළා.

නිරවි යුද්ධයේ අවසන් සමයේ දී දකුණු යේමනය සහ උතුරු යේමනය එක්සත් වීමට සාකච්ඡා ඇරඹුවා. මේ අනුව 1990 මැයි 22 වනදා එම රාජ්‍යයන් දෙක එක්සත් යේමනයක් බවට පත් වුණා. ඒ අනුව දකුණු යේමනයේ නායකයා වූ අලි සෙලිම් එල් බෙයිද් එක්සත් යේමනයේ උප ජනාධිපති ලෙස පත් කෙරුණා. යේමනයේ ජනාධිපති වූයේ එතෙක් උතුරු යේමන ජනාධිපති වූ අලි අබ්දුල්ලා සලේහ්.

1990 ට පෙර යේමනය (2018 Geopolitical Futures)

මෙම එක්සත් කිරීම පිළිබඳ දකුණු යේමනයේ එතරම් තෘප්තිමත්භාවයක් වූයේ නැහැ. ඔවුන් අඩු සැලකිල්ලට පාත්‍ර වන්නේ ය යන අදහස එම නායකයින්ට තිබුණා. එහි ප්‍රතිඵලය වූයේ 1994 දී හටගත් සිවිල් යුධ තත්ත්වයක්. එහි දී දකුණු යේමන් සේනා පරාජය වීමෙන් පසු සාලෙහ් සමස්ථ රටෙහිම සිය බලය තහවුරු කරගත්තා.

දකුණුදිග අන්තර්වාර කවුන්සිලය

දකුණුදිග අන්තර්වාර කවුන්සිලය පිහිටුවන ලද්දේ 2017 මැයි මාසයේ යි. මෙම කවුන්සිලයේ ප්‍රධානියා වන්නේ අයිදරූස් අල් – සුබයිදි ය​. ඔහු කලින් මන්සූර් හාදිගේ රජය යටතේ ඒඩ්න් ප්‍රදේශයේ ආණ්ඩුකාරයා ව සිටියෙකි. ඔහුව එම තනතුරින් ඉවත් කළ පසු ඔහු දකුණුදිග අන්තර්වාර කවුන්සිලය පිහිටුවා ගත්තා​. දකුණු යේමනයේ ප්‍රදේශ කිහිපයක හිටපු ආණ්ඩුකාරවරුන් ඇතුළු පිරිසක් ඔහු හා එක් වුණා.

දකුණුදිග අන්තර්වාර කවුන්සිලය වඩා පුළුල් වූ දකුණුදිග ව්‍යාපාරයේ සාමාජිකයන් වනවා. දකුණු යේමනය යළි ස්වාධීනත්වය ප්‍රකාශ කළ යුතු බව ඔවුන් සඳහන් කරනවා.

දකුණුදිග අන්තර්වාර කවුන්සිලය ආධාර ලැබූයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන්. ඔවුන් මෙම අගෝස්තුවට පෙර දකුණු යේමනයේ සැලකිය යුතු ප්‍රදේශයක් පාලනය කරමින් සිටියා. දකුණු යේමනයේ ප්‍රධාන නගරය වන ඒඩ්න්, මන්සූර් හාදිගේ රජයේ මූලස්ථානය වූ අතර හාදි රැඳී සිටියේ සෞදි අරාබියේ යි.

දකුණු යේමන බෙදුම්වාදීන් (Reuters)

එකම සන්ධානය ඇතුළත සිටිය ද මන්සූර් හාදි රජය සහ දකුණුදිග අන්තර්වාර කවුන්සිලය අතර එදිරිවාදිකම බරපතල වුණා. විශේෂයෙන්ම හූති කැරලිකරුවන් සමග සටන් සාර්ථක නොවීම පිළිබඳව ද හාදිගේ රජය වෙත දෝෂාරෝපණය කරනු ලැබුණා.

හූති කැරලිකරුවන් විසින් මෑතක දී ඒඩ්න් හි යේමන් හමුදා කඳවුරක් වෙත ප්‍රහාරයක් එල්ල කළා. දකුණුදිග අන්තර්වාර කවුන්සිලය චෝදනා කරන්නේ මන්සූර් හාදිට සහාය පළ කරන ඉස්ලාමීය පක්ෂයක් මෙම ප්‍රහාරය සඳහා හූති කැරලිකරුවන්ට ආධාර කළ බව යි.

ඒඩ්න් හි පාලනය බෙදුම්වාදීන් විසින් අල්ලාගැනීමත් සමග යේමනයේ සිවිල් යුද්ධය තවත් සංකීර්ණ අතට හැරුණා. විශේෂයෙන්ම හූති කැරලිකරුවන්ට එරෙහි සන්ධානය තුළ බෙදීමක් ඇති වීම හේතුවෙන් එම කැරලිකරුවන් වෙත වාසියක් සැලසේ යයි සැක මතු වනවා.

සෞදි අරාබිය​ දකුණුදිග බෙදුම්වාදීන්ගේ ක්‍රියාව විවේචනය කරනවා. ඔවුන් සඳහන් කරන්නේ බෙදුම්වාදීන් ඒඩ්න් නගරයෙන් ඉවත් විය යුතු බව යි.

අගෝස්තු 15 වනදා දකුණු යේමන බෙදුම්වාදීන්ට සහාය පළ කරන දැවැන්ත රැලියක් ඒඩ්න් හි පැවැත්වුණා. දකුණුදිග යේමනයේ විවිධ පෙදෙස්වලින් පැමිණි අය මෙයට සහභාගී වූ බව වාර්තා වුණා. මේ අතර​, දකුණු යේමන් සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ වෘත්තීය සමිති කිහිපයක් විසින් දකුණුදිග අන්තර්වාර කවුන්සිලයේ නායක අයිදරූස් අල්-සුබයිදි වෙත ඉදිරිපත් කළ පෙත්සමක් මඟින් දකුණු යේමනයේ ස්වාධීනත්වය ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටියා.

කවරය: අගෝස්තු 15 වනදා දකුණු යේමනයේ බෙදුම්වාදීන්ට සහාය දෙමින් විශාල රැලියක් පැවතුණා. (Reuters)

Related Articles