බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ප්‍රවේශය (බිම්ස්ටෙක් - BIMSTEC) සමුළුවට මෙවර ශ්‍රී ලංකාව සත්කාරකත්වය සපයන බව මේ වන විට නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. ඒ, බිම්ස්ටෙක් සංවිධානයේ මහලේකම් එම්. සහිදුල් ඉස්ලාම් විසින්. 

2018 - 2020 වසර දක්වා බිම්ස්ටෙක් සභාපතිත්වය දරන්නේ ශ්‍රී ලංකාව යි. කත්මණ්ඩු නුවර පැවැති බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ සිව්වැනි සමුළුව අවසානයේ දී එනම්, 2018 අගෝස්තු 31 වැනි දින එහි සභාපතිත්වය ශ්‍රී ලංකාවට පිරිනැමෙනවා. එහි දී නේපාල අගමැති කේ. පී. ෂර්මා ඔලිගෙන් බිම්ස්ටෙක් සංවිධානයේ සභාපති ධුරය පිරිනැමෙන්නේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට යි. නමුත්, මේ වන විට බිම්ස්ටෙක් හි සභාපතිවරයා බවට පත් වී සිටින්නේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යි. ඒ අනුව බිම්ස්ටෙක් හි පස්වන සමුළුව සැප්තැම්බර් මාසයේ දී මෙරට දී පැවැත්වෙනවා.

බිම්ස්ටෙක් ආරම්භය 

බිම්ස්ටෙක් රටවල් හත (Tehelka)

1997 වසරේ දී ශ්‍රී ලංකාව ඇතුළු බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල් හතරක් එකතු වී ඒ ආකාරයෙන් පිහිටුවා ගත් සංවිධානයක් හඳුන්වන්නේ බිම්ස්ටෙක් නමින්. බංගලාදේශය, ශ්‍රී ලංකාව, ඉන්දියාව හා තායිලන්තය මෙහි ආරම්භක සාමාජිකයන් වුණා. ආරම්භයේ දී මෙම සංවිධානය හඳුන්වනු ලබන්නේ BIST-EC (Bangladesh, India, Sri Lanka, and Thailand Economic Cooperation) නමින්. අද වන විට එහි සාමාජිකයන් ගණන හතක් දක්වා ඉහළ ගිහින් තිබෙනවා. මෙම සංවිධානයේ ලේකම් කාර්යාලය පිහිටා තිබෙන්නේ බංගලාදේශයේ, ඩකා නගරයේ යි. 

වර්තමානය වන විට බිම්ස්ටෙක් යනු බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ‍්‍රී ලංකාව සහ තායිලන්තය යන දකුණු හා අග්නිදිග ආසියානු රටවල් 7කින් සමන්විත කලාපීය හවුලක් ලෙස වර්ධනය වී තිබෙනවා. මෙහි ප‍්‍රධාන අරමුණ වන්නේ, බෙංගාල බොක්ක ආශි‍්‍රත දකුණු ආසියානු සහ අග්නිදිග ආසියානු රටවල, තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාවය ඇති කිරීම යි. ඒ වෙනුවෙන් අන්‍ය රටවල් සමග සහයෝගයෙන් කටයුතු කිරීම සිදුවෙනවා. මෙම රටවල් අතර සිදුවන ආනයන-අපනය වෙළඳාම තීරුබදු රහිතව කරගෙන යාම මෙහි මූලික අරමුණ වෙනවා. මීට අමතරව රටවල් පොදුවේ මුහුණ දෙන ප්‍රශ්න හා ස්භාවික විපත් අවම කිරීමට එකට එකතු වී තීරණ ගැනීම ද සිදුවෙනවා.

බිම්ස්ටෙක් වත්මන් තත්ත්වය 

මෙහි දී රටවල් අතර පවතින සම්බන්ධතා ප්‍රධාන වශයෙන් අංශයන් 14ක් ඔස්සේ විහිදී යනවා. වෙළඳාම හා ආයෝජනය, ප්‍රවාහනය හා සන්නිවේදනය, බලශක්තිය, සංචාරක කර්මාන්තය, තාක්ෂණය, ධීවර කර්මාන්තය, කෘෂිකර්මාන්තය, මහජන සෞඛ්‍ය, දුප්පත්කම අවම කිරීම, ත්‍රස්තවාදය මැඩ පැවැත්වීම, ස්භාවික විපත් කළමනාකරණය, මහජන සම්බන්ධතා, සංස්කෘතික සම්බන්ධතා හා දේශගුණික වෙනස් වීම් එම අංශයන් 14ට ඇතුළත් වෙනවා. 

නමුත්, මේ වන විට එය ක්ෂේත්‍ර හතක් දක්වා අඩුකර තිබෙනවා. ශ්‍රී ලංකාව විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන ක්ෂේත්‍රයේ නායකත්වය සපයනවා. ඊට අමතරව බංග්ලාදේශය වෙළඳ හා ආයෝජන, භූතානය පරිසර හා කාලගුණික විපර්යාසය, මියන්මාරය කෘෂිකර්ම හා ආහාර සුරක්ෂිතතාව, ඉන්දියාව ආරක්ෂාව, නේපාලය අන්තර් පුද්ගල සබඳතා හා තායිලන්තය සබඳතා ක්ෂේත්‍රයට නායකත්වය දෙනවා.

බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ (බිම්ස්ටෙක්) ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම මාර්තු 01 සිට 03 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ දී පැවැත්වුණු අතර, එහි දී බිමස්ටෙක් ප්‍රඥප්තිය පිළිබඳ අවසන් තීරණයකට එළැඹී තිබෙනවා. ඒ අනුව, සමුළුව සැප්තැම්බර් මාසය සඳහා යෝජනා වී තිබෙනවා.

බිම්ස්ටෙක් හි වැදගත්භාවය 

නේපාලයෙන් ශ්‍රී ලංකාවට හිමි වූ සභාපතිත්වය (Sunday Observer)

ශ්‍රී ලංකාව සාමාජිකයෙකු වන දකුණු ආසියාතික රටවල සංගමය හෙවත් සාක් සංවිධානය මේ වන විට පවතින්නේ අර්බුදකාරී තත්ත්වයක යි. ඊට ප්‍රධාන හේතුව වන්නේ, ඉන්දියාව හා පාකිස්ථානය යන අප කලාපීය ප්‍රබලයන් දෙදෙනා අතර ඇති විරසකභාවය යි. සාර්ක් සංවිධානයේ ක්‍රියාත්මක වෙන ආර්ථික, වෙළඳ, සාමාජයීය, හා සංස්කෘතික ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට යාමේ දී මෙම විරසකය එම ව්‍යාපෘති සඳහා ඉතා අහිතකර අන්දමින් බලපානවා. එය කෙතරම් බල පා ඇත්දැ යි පවසනවා නම්; වාර්ෂිකව පැවැත්වෙන සාක් සමුළු ද මේ වන විට නොකඩවා පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබෙනවා. උදාහරණයක් ලෙස 2016 දී පාකිස්තානයේ පැවැත්වීමට නියමිත සමුළුව නොපැවැත්වුණු අතර, 2019 වසරේ දී එය පැවැත්වීම පිළිබඳව තවමත් ස්ථිර තීරණයක් නෑ.

සැප්තැම්බර් මාසයේ දී සමුළුව පවත්වන බව නිල වශයෙන් නිවේදනය කිරීම (wp.com)

ඒ හේතුවෙන් වර්තමානයේ දී කලාපීය සංවිධානය ලෙස ක්‍රියාකාරී මට්ටමේ පවතින බිම්ස්ටෙක් ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වෙනවා. 

මූලාශ්‍රය - https://bimstec.org/

කවරයේ පින්තූරය- orfonline