රටම වෙළාගන්නා දැඩි නියඟයක රතු එළි

දීර්ඝ නියං සමයක පූර්ව ලකුණු දැනටත් ක්‍රමක්‍රමයෙන් පහළ වෙමින් පවතිනවා. 1974 කාලයේදී මෙන් බලවත් ඉඩෝරයක් නැවතත් ඇති වේවිදැයි කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පුරෝකථනය කරමින්ද සිටිනවා. මේ වන විට රජරට වැව් වල ජල ධාරිතාව සීග්‍ර ලෙස අඩු වෙමින් පවතින අතර විදුලි උත්පාදන සඳහා යොදා ගන්නා ජලාශ වල ජල මට්ටම සීග්‍රයෙන් පහළ බසිමින් පවතිනවා. වර්තමානයේදී කුඹුරු අක්කර විශාල ගණනාවක් විනාශවී තිබෙන අතර දිස්ත්‍රික් දොළහකට බලපා තිබෙන වියළි කාලගුණ තත්වය හේතුවෙන් පුද්ගලයන් ලක්ෂ හතකට අධික ප්‍රමාණයක් පීඩාවට පත් වී ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරනවා.

තවදුරටත් වර්ෂාව නොලැබුනොත් පානීය ජලය අඛණ්ඩව ලබා දෙන්නට ඇති හැකියාව මාස දෙකකට වඩා වැඩිනොවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා. ජල විදුලිය පිළිබඳවත් විවිධ ගැටළු පැනනගිමින් තිබෙනවා.

ඉතින් මේ පූර්ව ලක්ෂණ සියල්ලම දැඩි නියඟයක රතු එළි ලෙස හදුන්වන්නට පුළුවන්. පානීය ජලය, විදුලිය හා ආහාර අර්බුදය ඇති විය හැකි උග්‍රතම අවස්ථා තුනයි. ශ්‍රී ලංකාව මේ වන විටත් වෙලාගෙන තිබෙන ඒ පූර්ව නියං තත්වය පිළිබඳව ඔබව දැනුවත් කිරීම සඳහා මෙම ලිපිය ගෙන එන්නට අදහස් කළා. ලිපිය කියවන විට ඔබේ ප්‍රදේශයත්  දැඩි වියළි තත්වයකට ලක් වී තිබෙන්නට පුළුවන්. ඉතින් ඒ පිළිබඳවත් comment එකකින් සටහන් කරලා යන්න ඔබට හැකියාව තිබෙනවා.

වත්මන් තත්වය

මහවැලි ගඟේ (මනම්පිටියේ) ජල මට්ටම වෙනස් වීම (www.irrigation.gov.lk)

1960 ගණන් වන විටත් නොනැසී පැවතුණු ශ්‍රී ලංකාවේ ජල මුලාශ්‍ර, වත්මන වන විට විනාශ වී යාම නියං තත්වයට හේතුවූ මූලික කාරණය ලෙස හදුන්වන්නට පුළුවන්. ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා නොකරමින් ඒවා විකෘති කරමින් සිදු කරනු ලබන වන සංහාරය ජල පෝෂක ප්‍රදේශ වැනසී යාමට හේතුවක් වෙනවා. මේ අනුව රටේ ප්‍රධාන ගංඟා වල ජල මට්ටම අඩුවීමක් දකින්නට පුළුවන්. බොහෝ ගංඟා වල වැලි හෑරීම හා ඉවුරු විනාශ කිරීම නිසා කරදිය ගොඩබිම වෙත ගලා ඒම මේ වන විටත් සිදුවී අවසන්.

17 වනදා දහවල් වන විට මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන අපදා කළමනාකරණ මධ්‍යස්ථාන අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කරන්නේ මේ වන විට පවුල් 113,436 කට අයත් පුද්ගලයන් 606,478ක් පමණ නියඟයෙන් පීඩාවට පත් වී ඇති බවයි. දිස්ත්‍රික් දොළහ ලෙස හදුනාගෙන ඇත්තේ ත්‍රිකුණාමලය, ගම්පහ, මහනුවර, කළුතර, හම්බන්තොට, මොනරාගල, බදුල්ල, අනුරාධපුරය, යාපනය, මන්නාරම, මඩකලපුව හා රත්නපුරයි. මින් වැඩිපුරම බලපෑමක් එල්ල වී තිබෙන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයටයි. එහි පීඩාවට පත් පුද්ගලයන් ගණන ලක්ෂ තුනකට අධිකයි.

මේ වන විට විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රධාන ජලාශවල ජල මට්ටම සැලකිය යුතු තරම් පහළ බැස තිබෙනවා. රන්දෙණිගල සක්‍රිය ජල ධාරිතාව සමස්ත ජල ධාරිතාවෙන් 46% ක් දක්වා පහළ බැස තිබෙනවා. කොත්මලේ ජල ධාරිතාව 42%ක් දක්වා පහල බැස තිබෙන අතර වික්ටෝරියා ජලාශයේ ධාරිතාව සමස්ත ධාරිතාවෙන් 26%ක් දක්වා අඩු වී තිබෙනවා. කැළණි ජලාශ පද්ධතියට අයත් කාසල්රීහි ජල ධාරිතාව මේ වන විට 53%ක්. මාවුස්සාකැලේ එම අගය 39%ක් වෙනවා. සමොනලවැව ජලාශයේ ජල මට්ටම 24%ක් දක්වා පහළ බැස තිබෙන අතර උඩවලව ජලාශයේ සක්‍රිය ජල ධාරිතාව 34%ක් බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසනවා.

විශේෂයෙන් ලක්ෂපාන, නව ලක්ෂපාන, විමල සුරේන්ද්‍ර, පොල්පිටිය හා කැනියොන් බලාගාරවලට ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන මාවුස්සාකැලේ හා කාසල්රී ජලාශ දෙකහි ජල මට්ටම අඩුවීම මහත් ගැටළුවක් ඇති කරන්නට හේතු වෙනවා. මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පහල බැස පැරණි මස්කෙළිය නගරයේ නටඹුන් මතු වී ඇති අයුරු දැක ගන්නට පුළුවන්.

මේ සමඟම වියළි කලාපයේ පවතින කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා ගන්නා වැව් වල ජල මට්ටමත් ඉතා ඉක්මනින් අඩුව යන බව දැකගත හැකියි. නුවර වැව, තිසා වැව, කන්තලේ, මාදුරු ඔය හා කවුඩුල්ල යන වැව් වල සැලකිය යුතු තරම් ජල මට්ටම පහළ බැස ඇති බව මහවැලි අධිකාරිය පෙන්වා දෙනවා.

වී ගොවිතැන විනාශයි. අප්‍රේල් වන විට සහල් හිඟයක්

පොළොන්නරුවට වර්ෂාපතනය ලැබී ඇති ආකාරය (www.irrigation.gov.lk)

පවතින මෙම තත්වය හේතුවෙන් මෙවර වී වගා කර තිබෙන්නේ පෙර කන්නයන්හි වගා කළ මුළු ප්‍රමාණයෙන් තුනෙන් එකක භූමි ප්‍රමාණයක පමණයි. වගා කර ඇති ප්‍රමාණයෙනුත් 20%ක් පමණ මේ වන විට විනාශ වී ඇති බව ගොවිජන සේවා සංවර්ධන කොමසාරිස් සුනිල් වීරසිංහ මහතා ප්‍රකාශ කරනවා. මේ තත්වය දිගටම පැවතුනහොත් අප්‍රේල් මාසය වන විට දේශීය වශයෙන් දරුණු සහල් හිඟයකට මුහුණ පෑමට සිදුවන බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

ඉතිරිව පවතින හෙක්ටයාර් දෙලක්ෂයක පමණ වී ගොවිතැන මෙරට සහල් අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට ප්‍රමාණවත් වන්නේ නැහැ. වෙනත් වර්ෂ වල සාමාන්‍යයෙන් කන්නයකට වගා කරන භූමි ප්‍රමාණය හෙක්ටයාර් හත්ලක්ෂ පනස්දහසක් වැනි විශාල අගයක් ගන්නවා.

අඛණ්ඩව පානීය ජලය තව මාස දෙකක් යනතුරු පමණයි

පානීය ජල හිඟයෙන් පීඩා විදින බදුල්ලේ ජනතාව (Department of Government Information)

තව දුරටත් වර්ෂාව නොලැබුනහොත් රටපුරා පානීය ජලය අඛණ්ඩව ලබා දීමට හැකි වන්නේ ඉදිරි මාස දෙකක කාලයක් යනතුරු පමණක් බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා. එසේ වුවහොත් ජලය ලබා දීමට හැකි වන්නේ යම්කිසි පාලනයකට යටත්ව බව පවසනවා.

නමුත් ඊට ප්‍රථමව නුදුරේදීම පොලොන්නරුව හා අනුරාධපුරය වැනි දිස්ත්‍රික්ක වලට ජල අර්බුදය බලපාන බව ජල සම්පාදන මණ්ඩලයේ දිස්ත්‍රික් ඉංජිනේරු කාර්යාල සදහන් කරනවා.

පොළොන්නරු  දිස්ත්‍රික් ඉංජිනේරු ශාන්ත කුමාර මහතා මෙසේ පවසනවා.

“වෙනත් කාල වලදී ප්‍රධාන පානීය ජල මුලාශ්‍රය වන  මහවැලි ගඟේ ජල මට්ටම මෙතරම් අඩු වන්නේ නෑ. කෙසේ හෝ ප්‍රධාන ජල මුලාශ්‍ර උපයෝගී කරගනිමින් මාර්තු මස වනතුරු පොළොන්නරු දිස්ත්‍රික්කයේ 30700 ක් පමණ වන සමස්ත ජල පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සපුරන්නට වාරිමාර්ග දෙපාර්තුමේන්තුවෙන් අපට සහතිකයක් ලබා දී තිබෙනවා. නමුත් නියඟය දරුණුයි.”

විදුලියත් කැපෙයිද?

නියඟය කොතරම් දරුණු වූවත් හැකි උපරිම ආකාරයෙන් ජල විදුලිය වෙනුවට තාප බලාගාර වලින් උත්පාදනය කරන විදුලියෙන් තත්වය කළමනාකරණය කිරීමට හැකි සෑම ප්‍රයත්නයක්ම දරණ බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය නිවේදනය කරනවා.

දැනට ගිවිසුම් කාලය අවසන් වී ඇති දැවිතෙල් විදුලි බලාගාර වල ගිවිසුම් කාලය දීර්ඝ කර ගැනීම, රට තුළ අඛණ්ඩ විදුලි සැපයීමක් පවත්වා ගැනීම සඳහා සීමාසහිත ඇඹිලිපිටිය සමාගම, සීමාසහිත ජෙනරේෂන් මාතර හා හෙළදනව් සමාගම වැනි පුද්ගලික විදුලි සමාගම් වලින් විදුලිය ලබා ගැනීම, මෙගාවොට් 60ක ධාරිතාවයකින් යුත් විදුලි ජනක යන්ත්‍ර කිහිපයක් මිලදී ගෙන ජාතික විදුලි ධාරිතාව ඉහළ දැමීම හා පෞද්ගලික විදුලිජනක යන්ත්‍ර මඟින් විදුලිය නිෂ්පාදනය කරන කර්මාන්තකරුවන්ගෙන් විදුලි ඒකකයක් රුපියල් 36කට ලබා ගැනීම වැනි යෝජනාවන්ට මේ වනවිට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

පවතින වියලි කාලගුණික තත්වය හේතුවෙන් විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටින අතර රාජ්‍ය ආයතන වල වායු සමීකරණ යන්ත්‍රයන්හි උෂ්ණත්වය 26c ට වඩා අඩු නොකරන ලෙස චක්‍රලේඛයක් නිකුත් කරන බවටත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසනවා.

අභියෝගයට පිළිතුරු

ජනාධිපති හමු වූ ඌනා මැකෝලි (www.colombopage.com)

පීඩාවට පත් ජනතාවට පානීය ජලය ලබා දීම, මතුවිය හැකි සෞඛ්‍ය ගැටළු සඳහා විසදුම් ලබා දීම, ආහාර හා අනෙකුත් අත්‍යවශ්‍යතා සපුරාලීම හා විදුලිබල උත්පාදන අභියෝගතා ජය ගැනීම උදෙසා ජනාධිපතිවරයා මේ වන විට ජනාධිපති කාර්ය සාධන බළකායක් පත් කර තිබෙනවා. ජාත්‍යන්තර සංවිධාන වල උපකාරය ඇතුව සියළුම මෙහෙයුම් ක්‍රියාවලි සඳහා ත්‍රිවිධ හමුදාව යොදා ගැනීමට එහිදී තීරණය වී තිබෙනවා.

ඉදිරියේදී මතුවිය හැකි නියං තත්වය හමුවේ පීඩාවට පත්වන ශ්‍රී ලාංකික ජනතාවට සහන සැලසීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හා ඊට අනුබද්ධිත සියළුම ආයතන වල සහය ලැබෙන බව එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත ඌනා මැකෝලි නිවේදනය කර තිබෙනවා. නියං තත්වය පිළිබඳව පරික්ෂා කිරීම, සමීක්ෂණය හා සන්නිවේදනය යන ක්ෂේත්‍ර වල විශේෂඥ දැනුම සැපයීමට හැකි බවද ඇය පවසනවා.

ඉදිරි ආහාර අර්බුදය සදහා සුදානම් වීමේදී කොස්කොළ දළු හා ක්‍රෝටන් කොළ දළු ආහාරයට ගැනීම විකල්පයක් ලෙස කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා කළ ප්‍රකාශයනම් මේ වන විට ජනතාව අතරේ දැඩි මතභේදයට ලක් වී තිබෙනවා. එය ප්‍රායෝගික නොවන හාස්‍යජනක ප්‍රකාශයක් ලෙස ඇතැමුන් සලකනවා.

1974 මෙන් දැඩි නියඟයක් සමඟ බැඳුණු බරපතළ ආහාර අර්බුදයක් ඇති වීම මේ වන විට ක්‍රමයෙන් පෙන්නුම් කරන බව ලිපිය කියවීමේදී ඔබට වැටහෙනු ඇත. මනුෂ්‍ය වර්ගයා වඩා යහපත් ආකාරයෙන් පරිසරය සමඟ කටයුතු නොකිරීමේ ප්‍රතිවිපාක වැටහෙන්නේ මෙවැනි අවස්ථාවලදීයි. ඉක්මනින් වර්ෂාව ලැබේවා යන්න ප්‍රාර්ථනා කිරීම මෙන්ම ඒ සඳහා පරිසරය විකෘති නොකර මනුෂ්‍ය පැවැත්ම ස්ථිර කරගැනීමට ප්‍රයෝගිකව කටයුතු කරන්නට අවස්ථාවත් එළැඹී තිබෙනවා.

මුලාශ්‍ර- ලංකාදීප, දිනමිණ, දිවයින හා ලක්බිම පුවත්පත්

Related Articles