“ලංකාවේ අවසන් දළ ඇතාත් මරු දකියි”

නෑ, එහෙම දෙයක් තවම නම් වෙලා නෑ. නමුත් මේ බොහොම මෑත අනාගතයේ දවසක අපට දකින්න ලැබෙන්න පුළුවන් හෙඩ්ලයින් එකක්. ඔබට දැන් තරහ යන්නත් පුළුවන් බොරු කතාවක් කියලා අපිව ‍රැවැට්‍ටුවා නේද කියලා. නෑ, මේක බොරු කතාවකුත් නෙවෙයි. ඒ නිසා, දැන් ආටිකල් එක කියවන්න පටන්ගත්ත එකේ, කියවලම ඉවර කරන්න. මොකද මේ සිදුවන දේ ගැන ඔබ දැනගත යුතුයි. ඔබ මෙය නොකියවා මේ පි‍ටුව ක්ලෝස් කළත්, අප දන්නා දෙය අප ඔබට දැනුම්දිය යුතුයි. ඒ අපේ වගකීම.

ගල්ගමුවේ දළ පූට්‍ටුවා  (Saranga Deva De Alwis)

අලි ඇතුන් ඝාතන ‍රැල්ලක්

පසුගිය නොවැම්බර් 24 වන දා පටන් ගත වූ මාස 2කටත් අඩු කාලය තුල ඝාතනයට පත් වූ සහ අතුරුදන් වූ  ඇතුන් ගණන 12කට අඩු නැහැ. ඇතුන් ගහනය 130ක් පමණ වල ලංකාවට, මාස දෙකක් තුළ ඇතුන් 12ක් අහිමි කිරීම දරාගත නොහැකි පාඩුවක්, අපරාධයක්.

පෙරේදා විදුලිසැර වද්දවා මරා දැමුණු තබ්බෝව ඇතා  (Shashikalana Rathwaththa)

මේ සියල්ල ඇරඹුණේ නොවැම්බර් 24 වන දා පොල්පිතිගමින් ඇතෙකුගේ දළ යුගලක් හමුවීමත් සමඟයි. අත්අඩංගුවට ගත් දළ යුගලය මෑතකදී අතුරුදන් වූ ගල්ගමුවේ දළ පූට්‍ටුවාගේ යැයි පරිසරවේදීන් සහ වනජීවී ඡායාරූප ශිල්පීන් ඇතුළු කීපදෙනෙක් හඳුනාගන්නා තෙක්, එම ඇතාට සිදු වූ දෙය වනජීවී දෙපාර්තමේන්තුව වත් දැන සිටියේ නැහැ. ඉන් දින 4කට පසු, නොවැම්බර් 29වන දා කහල්ල-පල්ලෙකැලේ රක්ෂිතයෙන් මේ 50හැවිරිදි දැවන්තයාගේ මියගොස් සති තුනක් පමණ ගතව තිබූ මළ සිරුර හමුවුණා.

වස දී ඝාතනය කළ සෙල්ලන්කන්දේ ඒක දන්තගේ පශ්චාත් මරණ පරීක්ෂණය අවස්ථාවේ දී  (Shashikalana Rathwaththa)

ඉන්පසු එකදිගටම වාගේ තබ්බෝව ඇතා, රිටිගල ඇතා, සෙල්ලන්කන්දේ ඒක දන්ත, තවත් තබ්බෝව ඇතෙක්, කල්ලාරු ඇතා අවසන් ගමන් යැවුණා. මෙයින් ඇතැමෙක් වෙඩි තබාත්, විදුලිසැර වද්දවාත්, සෙල්ලන්කන්දේ ඒකදන්තට වස දීත් ඝාතනය කර තිබුණා. මොවුන්ගේ මෘත ශරීර හමුවූවත්, දැනට අතුරුදන්ව සිටින දිඹුලාගල ඇතා, අනුරාධපුරේ මිහිඳු, දර්ශන, සහ ගෝටාභයට සිදුවූවක් කිසිවෙකුත් දන්නේ නැහැ. ඔවුන් අතුරුදන්. මෙම ‍රැල්ලේ නවතම ගොදුර ලෙස පෙරේදා (14.01.2018) තබ්බෝවේ දී තවත් දළ ඇතෙක් විදුලිසැර යොදා ඝාතනය කෙරුණා. මෙයින් බහුතරය මරා දැමුනේ අභයභූමි, සහ රක්ෂිත තුලම වීම ඛේදනීයයි.

කල්ලාරු මහ ඇතාගෙන් ඉතිරිව ඇත්තේ මෙපමණයි. දළ දෙක කපාගෙන ගොසින්.  (Shashikalana Rathwaththa)

වනජීවී සංරක්ෂණයේ ප්‍රතිපත්ති රහිත ක්‍රියාකලාපය

2017 වසරේ ජනවාරි සිට ඔක්තෝබරය තෙක් වාර්තා වූ අලි ඝාතනයන් ගණන 206ක්. මෙයින් 11ක් දළ ඇතුන්. 2016දි මේ ගණන 260ක්. වසරකට අලි ඇතුන් 250කට අධිකව මරා දැමුනත්, වනජීවීන් වෙනුවෙන් පෙනී සිටින බව කියනා අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තු වලට නිවැරදි සංරක්ෂණ ප්‍රතිපත්තියක් තවමත් නැහැ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලාංඡනයේ සිටින මහ දළ ඇතා ඔබ දැක ඇති. “පොඩි පූට්‍ටුවා” යනුවෙන් හැඳින්වුණු මේ ඇතා මරා දමා තිබුණේ උද්‍යාන භාරකරුගේ නිල නිවස අසලදී යි. තම දෙපාර්තමේන්තුවේ ලාංඡනයට යොදාගත් ඇතා පවා ආරක්ෂා කරගැනීමට නොහැකි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවකුයි ලංකාවේ ඇත්තේ.

පොඩි පූට්‍ටුවා  (Leopard Trails)

ඇතුන්ට කරපටි? නැත. DNA ඩේටාබේස්? නැත.

2011 වසරේ දී අඩුම තරමින් ‍තෝරාගත් දළ ඇතුන්ට හෝ ඔවුන්ගේ ආරක්ෂාව උදෙසා රේඩියෝ සංඥා කරපටි පැළඳවිය යුතු යැයි විවිධ පාර්ශවයන්ගෙන් යෝජනා වුණා. නමුත් මේ වනතුරුත් එය ක්‍රියාවට නංවා නැහැ. එකල ව.ස.දෙ. හි අධ්‍යක්ෂ ජනරාල්ව සිටි සරත් පතිරත්න 2017 අගෝස්තුවේ දී කරපටි 200ක් ගෙන්වීමට සූදානම් යැයි ප්‍රකාශ කළත්, ඔහු විශ්‍රාම ගියා මිස අලින්ට කරපටි දැමීමක් සිදුවූයේ නැහැ.

ශ්‍රී ලංකාව සතු වන්නේ ගණනින් 130ක් වූ සීමිත ඇත් ගහනයක්. මොවුන්ගේ DNA දත්ත ගබඩාවක් සෑදීම සිදු කළ යුතු වුවත්, එය නොව, මොවුන්ගේ සංචරණය, හැසිරීම සහ ආරක්ෂාව තහවුරුවට අත්‍යවශ්‍ය, ප්‍රායෝගිකව කළ හැකි සහ යුතුම ක්‍රියාව වන කරපටි පැළඳවීමට පවා කිසිදු සූදානමක් දෙපාර්තමේන්තුවට නැහැ. දැනට කරපටි පළඳවා සිටින අලි ඇතුන් කීපදෙනාට ද ඒවා පළඳවා ඇත්තේ ඔවුන් පිළිබඳව සමීක්ෂණයන් සිදුකරන ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු විසින්.

කරපටි පැළඳි අප්‍රිකානු ඇතෙක්  (World Wildlife Fund)

අපරාධකරුවන් නිදැල්ලේ!

ආසන්න කාලයේ මරා දැමුණු ඇතුන්ගෙන්, ඝාතකයින්ව අත්අඩංගුවට ගැණුනේ ගල්ගමුව දළ පූට්‍ටුවාගේ, තබ්බෝව ඇතාගේ, සහ රිටිගල ඇතාගේ පමණයි. එයිනුත් තබ්බෝව සහ රිටිගල ඇතුන්ගේ මරුවන් ඇප පිට නිදහස්ව සිටිනවා. ඉතුරු අලි ඇතුන්ගේ ඝාතකයින් තවමත් නිදැල්ලේ. හසු වූ මස්වැද්දන් අතරේ ග්‍රාමසේවකයින්, පොලිස් නිලධාරීන් වැනි රජයේ සේවකයින් සහ නීතිය ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින්නන් ද සිටීම ඛේදනීයයි.

(Shashikalana Rathwaththa)

2009 වසරේ දී අවසන් වරට සංශෝධිත වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥාපනත සංශෝධනය කිරීමට 2016 දී වනජීවි අමාත්‍යාංශයෙන් විද්වත් කමිටුවක් පත්කර අවුරුද්දකුත් මාස 2ක් ඉක්මවීගොස් අවසන්. නමුත් එම විද්වත් කමි‍ටුවෙන් ඉදිරිපත් වූ සංශෝධනයක් ගැන නම් තවමත් අසන්නට ලැබී නැහැ.

පරිසරවේදීන්ගෙන් විවිධ චෝදනා

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පහළ මට්ටමේ නිලධාරීන් බොහොමයක් දෙන තම වගකීම නිසිලෙස ඉටුකිරීමට හැකිතාක් උත්සාහ ගත්තත්, එහි ඉහළ මට්ටමේ නිලධාරීන් ඉතාම අකාර්යක්ෂම, නිද්‍රාශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නන් බව බහුලවම එල්ලවෙන චෝදනාවක්. නීතිය වෙනුවට දේශපාලන බලය ක්‍රියාත්මක වීමත් පරිසර අපරාධයන් සිදුකරන්නන්ට දඬුවම් දීමට නොහැකි වීමට හේතුවක් වෙලා. 2016 වසරේ යාල කන්කොටා නම් කොටියා ඝාතනය සම්බන්ධව රජයේ එක්තරා ප්‍රබල ඇමතිවරයෙකුගේ ආධාරකරුවෙකුට එරෙහිව චෝදනා එල්ල වුණත්, එම සිදුවීම අවසන් වුණේ එම අපරාධකරු අල්ලාගත් උද්‍යාන භාරකරුට අදාල ඇමතිගෙන් සමාව ඉල්ලීමට බල කිරීමෙනුත්, එම සිදුවීම පිළිබඳව කලකිරුණු එකල වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා අස්වීමෙනුත්. වරක්, යාල කොට දළ පූට්‍ටුවාගේ දළ යුගලය සොයාගත් වරදට ඒ වනජීවී නිලධාරීන්ව මාරුකර යැවුණේ කිලිනොච්චියටයි.

ගල්ගමුවේ දළ පූට්‍ටුවාගේ දළ යුගල (Shashikalana Rathwaththa)

නොවැම්බරයේ මරා දැමුණු ගල්ගමුවේ දලපූට්‍ටුවා ඝාතනයට කොන්ත්‍රාත්තුව ලබාදුන්නේ මන්ත්‍ර ගුරුකම් වලට ප්‍රසිද්ධ එක්තරා භික්ෂුවක බව ඇතැම් පරිසරවේදීන් චෝදනා කළා. එම භික්ෂුවගේ විහාරස්ථානය පරීක්ෂා කිරීමට නිකුත්කෙරුනු වරෙන්තු නවත්වාදැමුවේ විෂයයට සම්බන්ධ ඇමතිවරයෙකු බවත් ඔවුන් චෝදනා කරනවා. පරිසරවේදීන්ගෙන් එල්ල වන චෝදනා අතරේ,

  • විශ්‍රාම ගිය නිලධාරීන් නැවතත් දේශපාලන පත්වීම් ලබා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පත්ව සිටින බවත්,
  • දෙපාර්තමේන්තුව තුල සිදුවන දූෂණ සහ අක්‍රමිකතා යට ගැහෙන බවත්,
  • මියයන ඇතැම් අලි ඇතුන්ගේ සිරුරු මරණ පරීක්ෂණයකින් තොරවම විනාශ කෙරෙන බවත්,
  • ඔවුන්ගේ ඝාතනයන් දෙපාර්තමේන්තුවේ අනුදැනුම ඇතිවම වාර්ෂික සංඛ්‍යාලේඛණ වලට ද වාර්තා නොකෙරෙන බවත්,
  • බහුතරයක් ඉහළ නිලධාරීන්ට විෂයය පිළිබඳව ඇත්තේ අලින් ගම්වැදීම ක‍ටුකම්බි ගසා වැලැක්වීමට යෝජනා කෙරෙන තරමේ දැනුමක් බවත්,

වැනි චෝදනාවන් වනවා. මේවායේ සත්‍යාසත්‍ය භාවය කෙසේ වුවත්, දැනට සිදුව ඇති මරණ සංඛ්‍යාව සලකා බැලූ කළ අමාත්‍යංශය සහ දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය ඉතාමත්ම අකාර්යක්ෂම සහ වගකීම් රහිත බව නොකියා බැහැ.

08.12.2017 වන දින මරාදැමුණු රිටිගල ඇතා (Supun Jayaweera)

ශ්‍රී ලංකාව වර්ග කිලෝමීටර 65 000ක කුඩා දූපතක්. අපට තෙල් ලිං, දියමන්ති ආකර නැහැ. සොබාදහමෙන් අපට දීලා තියෙන දායාදය තමයි ඉතා ඉහළ ජෛව විවිධත්වය. ජෛව විවිධත්වය අතින් අපි ඉන්නෙ ලෝකෙ පළවෙනි ස්ථාන 10 අතරේයි. ගූග්ල් එකේ සෙක්ස් හොයලා පිට පිට කප් ගැහුවා කියලා හිනාවෙවී කියෙව්වට, මේ කතාව දන්නෙ ඔබෙන් කීයෙන් කී දෙනා ද? මේ ගැන සැලකිලිමත් වෙන්නෙ, හඬක් නගන්නෙ එයිනුත් කීදෙනා ද? ඔබේ රට ගැන, ඔබට ලැබී තිබෙන සම්පත් ගැන ඔබට හැඟීමක් නැති නම් “මම ශ්‍රී ලාංකිකයෙක්” යැයි ආඩම්බරෙන් කීමේ අර්ථයක් තිබෙනවා ද?

පහත සිටින්නේ මෙලොව ඉතිරිව සිටින එකම සුදු රයිනෝ සත්ත්වයායි. මෙම සතා ‍රැකගැනීමට ඌ වටා දිවා රෑ ආයුධ සහිත නිලධාරීන් රඳවා තබන තත්ත්වයකුයි ඇතිව ඇත්තේ. මේ රයිනෝ සතා වෙනුවට දළ ඇතෙකු ආදේශ කරගන්න. සමහරවිට ඒ අපේ අනාගතය වනු ඇති.

(CNN)

තොරතුරු ලබාදීමේ විශේෂ ස්තුතිය පරිසරවේදී ශශිකළණ රත්වත්තට.

cover image: කෙන්යාවේ ට්සවෝ වනෝද්‍යානයේ දී මරා දැමුනු සටාවෝ ඇතා (thestandnews.com)

Related Articles