එඩ්වඩ් ස්නෝඩන්ට රැකවරණය සැලසූ ශ්‍රී ලාංකිකයන්ගේ අනාගතය අවිනිශ්චිතයි

කතෘගේ සටහන: මේ ලිපිය මුලින්ම Roar Reports මගින් මැයි මස 19 වන දින ප්‍රකාශයට පත් කරන ලදී. සුපුන් කැල්ලපාත, නදීකා නෝනිස්, අජිත් පුෂ්පකුමාර, ෆිලිපීන ජාතික වැනේසා රෝඩෙල් යන අය සහ ඔවුන්ගේ දරුවන් සරණාගතයන් වශයෙන් කැනඩාවේ පදිංචි වීමට අවසර ඉල්ලා නීතිමය වශයෙන් කරන සටන නැවත ජාත්‍යන්තරයේ ආන්දෝලනයක් ඇති කරන හෙයින් මේ ලිපිය ඔබට Roar සිංහල හරහාද ගෙන ඒම මැනවැයි අපි සිතුවෙමු. ඔවුහු මේ වසර ජනවාරියේ ඔවුන්ගේ නීතිඥ වන රොබර්ට් ටිබ්බෝ හරහා කැනඩා රජයට සරණාගත ඉල්ලුම්පත්‍ර ගොනු කර සිටියෝය. ඉල්ලුම්පත්‍ර ඉක්මනින් අනුමත කරන්නට කැනඩා රජය මේ වසර අප්‍රේල් මාසයේදී පොරොන්දු වූවත් තවමත් ඒ පිළිබඳව නිසි ක්‍රියාමාර්ගයක් නොගෙන ඇති බව නීතිඥ ටිබ්බෝ පවසයි. 

පසුගිය සතියේ වාර්තා වුණු විදිහට ස්නෝඩන්ට රැකවරණය සැලසූ පිරිසට සරණාගතභාවය පිරිනමන එක හොංකොං රාජ්‍යය ප්‍රතික්ෂේප කර තිබෙනවා. තමන්ගේ ආරක්ෂාව ගැනවත් නොහිතා 2013 දී ලෝකයම හොයපු ස්නෝඩන්ට හැංගෙන්න උදව් කරපු මේ ශ්‍රී ලාංකිකයන් පිරිස සහ පිලිපීන ජාතික කාන්තාව දැන් තමන්ව තමන්ගේ දරුවන්ගෙන් පවා වෙන් කරලා සරණාගතයන් රඳවා ගැනීමේ මධ්‍යස්ථානවල සිර කරාවි කියලා දැඩි බියකින් පසු වෙන්නේ.

ඔවුන්ගේ අවසාන බලාපොරොත්තුවත් සුන් වෙලා ගිහින් තියෙන තත්ත්වය ගැනත්, ඉදිරියේදී ඔවුන්ට කිරීමට ඉතිරිව ඇති දේ ගැනත් මේ ලිපියේ අඩංගු වෙනවා.

මේ ශ්‍රී ලාංකිකයන් -සුපුන් කැල්ලපාත, නදීකා නෝනිස් යුවල සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනාත්, අජිත් පුෂ්පකුමාරත්- සහ පිලිපීන ජාතික වැනේසා රොඩෙල් ඇමරිකානු ජාතික ආරක්ෂක ඒජන්සියේ (NSA) කොන්ත්‍රාත් සේවයේ යෙදී සිටියදී එහි නීතිවිරෝධී සිවිල් වැසියන් ගැන ඔත්තු බැලීමේ මෙහෙයුම් ගැන ලෝකයට හෙළිදරව් කරපු නිසා ඇමරිකාවෙන් අත්අඩංගුවට ගන්න සොයමින් සිටි එඩ්වඩ් ස්නෝඩන්ට තමන්ගේ නිවෙස්වල රැකවරණය සලසන්න කටයුතු කළා. ඔවුන්ගේ මෙම නිර්භීත ක්‍රියාව ස්නෝඩන්ට ආරක්ෂිතව සිටින්න මොන තරම් වැදගත් වුණාද කියන එක ගැන මාධ්‍යවලින් හෙළිදරව් වීමත් එක්ක හොංකොං රජය ඔවුන්ට විවිධ නඩු පවරන්නත්, පිටුවහල් නියෝග ලබා ගන්නත් උත්සාහ ගත්තා; එහි අවසාන ප්‍රතිඵලය විදිහට තමයි දැන් ඔවුන්ගේ සරණාගතභාවය ලබා ගැනීමේ ඉල්ලීමත් ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. ඔවුන් සරණාගත භාවය ඉල්ලා ඇති කැනඩා රජය තවමත් ප්‍රතිචාරයක් දක්වලා නැති නිසා ඔවුන්ට හොංකොං තුළ රැඳී ඉන්න තිබෙන කාලයත් දැන් ටිකෙන් ටික ගෙවිලා යන්න පටන් අරන්.

අසාධාරණ නීති ක්‍රියාත්මක කිරීම්

මොවුන්ටත්, ස්නෝඩන්ටත් නීති උපදෙස් නොමිලේම ලබා දුන් රොබර්ට් ටිබ්බෝ කියන ඔවුන්ගේ නීතීඥවරයා Roar වෙත අදහස් දක්වමින් කියා සිටියේ හොංකොං රජයේ තීන්දු තීරණ “උසාවි ක්‍රමයට එපිටින් ගිය”, “සම්පූර්ණයෙන්ම අහේතුක”, “සද්භාවයකින් තොරව ලබා දුන්” ඒවා කියලයි. (ඔහු පාවිච්චි කළේ “prejudicial”, “completely unreasonable”, හා “weren’t made in good faith.” කියන පද තුන)

මේ නඩු පැවරීම් සේරම බොහොම හදිසියේ, අසම්පූර්ණව, ඉතාම අසාධාරණ විදිහට සිදු කළ බවත්, එයට දින යොදාගෙන තිබුණේ තමන් රටින් බැහැර ගොස් සිටින වෙලාවක නිසා තමන්ගේ සේවාදායකයන් නියෝජනය කරන්න අවස්ථාවක් ලබා නොදෙමින් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටිනවා. කෙල්ලපාත සහ නෝනිස් යුවල ගැන හරියාකාර විමර්ශනයක් සිදු වුණේ නැති බවටත්, පුෂ්පකුමාරගෙන් ආතක් පාතක් නැති ප්‍රශ්න කිහිපයක් පමණක් ඇසූ බවටත් ඔහු චෝදනා නගනවා. ඒ වගේම පිලිපීන ජාතික රොඩෙල්ගේ විමර්ශනය කරලා තිබෙන්නේ මුහුණට මුහුණ හමු වෙලාවත් නෙවෙයි, සම්පූර්ණයෙන්ම ලිඛිත විමර්ශනයක් කෙරිලා තියෙන්නේ. “මොවුන්ගේ දරුවන්ගේ සුභසිද්ධිය සලසන හැටි, දරුවන්ට සරණාගත බව හිමි වෙනවාද, නැද්ද වගේ වැදගත් ප්‍රශ්න කිසිම එකක් ඔවුන් ඇසුවේ නැහැ. දරුවන්ට අත් වන කලදසාව ගැන කිසිම විමර්ශනයක් කෙරුණේ නැහැ.” නීතීඥ ටිබ්බෝ මහතා කියනවා. කෙල්ලපාත සහ නෝනිස් යුවලට දියණියන් දෙදෙනෙකුත්, වැනේසාට එක් දියණියකුත් සිටිනවා. මේ දරුවන් කිසිම කෙනෙකුට කිසිම රටක පුරවැසිභාවය නැහැ.

ටිබ්බෝ මහතා නියෝජනය කරන අනෙක් පිරිස පිළිබඳව සිදු කෙරෙන විමර්ශන ගැන ඇසුවාම ඔහු කියා සිටියේ මෙවැනි දෙයක්. “මම නියෝජනය කරන සේවාදායකයන් 50 කට වැඩි පිරිසක් හිටියත් ඔවුන්ගෙන් ස්නෝඩන්ට උදව් කරපු පිරිස ගැන විතරයි විමර්ශන සිදු කෙරෙන්නේ. මේක ඔවුන් විතරක්ම ඉලක්ක කරගෙන කෙරෙන දෙයක්, අනිත් කිසිවෙකු ගැන විමර්ශනයක් කෙරෙන්නේ නැහැ.”

මේ වන විට ටිබ්බෝ මහතා උත්සාහ කරන්නේ මේ පිරිසට සරණාගත බව ප්‍රතික්ෂේප කරමින් ලැබුණු තීන්දුව යළි සලකා බලන්න කියලා ඇපෑලක් ඉදිරිපත් කරන්නයි. නමුත් තමන්ට ඒ සඳහා ලැබී තිබෙන සති දෙකක කාලය (මැයි 25 වැනිදාට පෙර එය ඉදිරිපත් කළ යුතුයි) කිසිසේත් ප්‍රමාණවත් නැහැ කියලයි ඔහු කියා සිටින්නේ. “මට මේ ඇපැල් ආයාචන හත ගොනු කරන්න දවස් 13කට වඩා කල් අවශ්‍යයි. අවශ්‍ය ලිපි සේරම බලලා ආයාචනා ගොනු කරන්න අඩුම තරමින් මාස එක හමාරක කාලයක්වත් ඕනෑ. වඩාත් විස්තරාත්මකව, තාර්කිකව ඇපෑල ගොනු කරන්න තව කල් ඉල්ලා සිටින්න මම බලාපොරොත්තු වෙනවා.” ටිබ්බෝ මහතා Roar වෙත කියා සිටියා.

කොහොම වුණත් ටිබ්බෝ මහතාත්, මේ අසාධාරණයට ලක් වෙලා ඉන්න පිරිසත් කියන්නේ තමන්ට එරෙහිව හිතුමනාපෙට, හදිසියේ කරපු විමර්ශනය දිහා බැලුවාම ඒ ඇපැල් ආයාචනයට සතුටුදායක පිළිතුරක් ලැබෙන එක ගැනත් ලොකු බලාපොරොත්තුවක් තියා ගන්න බැහැ කියලයි. “ආගමන විගමන [දෙපාර්තමේන්තුව] උසාවි ක්‍රමයට එපිටින් ගිහින් කටයුතු කරපු විදිහ දිහා බැලුවාම ඇපැල් මණ්ඩලයත් ඒ වගේම වේවි කියලා අපිට ගැටළුවක් තිබෙනවා.” ඔහු කියා සිටියා. “සමහර විට මේ ඇපැල් ආයාචන විභාගයට නොගෙනම ඉවත දමන්න කියලා හොංකොං රජය උපදෙස් දෙන්න පුළුවන්. ඒ වගේම මොවුන්ව අත්අඩංගුවට අරගෙන රඳවා තබාගෙන ඉඳලා රටෙන් පිටුවහල් කරන්නත් උත්සාහයක් ගනීවි කියලා අපිට ලොකු බයක් තියෙනවා.” ටිබ්බෝ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ආගමන විගමන දෙපාර්තමේන්තුව තමන්ව ඒ විදිහට රඳවා තබා ගැනුණොත් ඔවුන්ට තමන්ගේ දරුවන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වේවි කියලා මේ පිරිස ලොකු බියකින් ඉන්නේ. දරුවන්ව රජයේ රැකවරණ ආයතනවලට හරි, දරුවන් හදා ගන්න අයට හරි භාර දීලා වැඩිහිටි පිරිස සංක්‍රමණිකයන් රඳවා තබා ගන්නා මධ්‍යස්ථානවලට යවන්න ඉඩ තියෙනවා. ටිබ්බෝ මහතා කියන විදිහට මේවා සහ හිර ගෙවල් අතර ලොකු වෙනසක් නැහැ, මේ මධ්‍යස්ථාන එක්කෝ ඔවුන්ව දින නියමයක් නැතිව දිගටම රඳවා තබා ගන්න හරි, ඔවුන්ව රටෙනුත් පිටුවහල් කරන්න හරි ඉඩ තිබෙනවා. “ඔවුන්ට ආයෙත් තමන්ගේ දරුවන් දකින්න ලැබෙන්නේ ඔවුන්ව රටෙන් පිටුවහල් කරලා හරින ගුවන් යානයේදී තමයි.” ටිබ්බෝ මහතා කියා සිටියා.

අවාසනාවන්ත ඉරණමක්

වැනේසා රොඩෙල් තමන්ගේ දියණියත් එක්ක සෙල්ලම් කරන අවස්ථාවක්. ඇයගේ නීතීඥ පිරිසත් (වාඩි වී සිටින්නේ ටිබ්බෝ මහතා) රූපයේ සිටිනවා. රූපය : South China Morning Post

කොහොම නමුත් මේ හැමෝටම තමන්ගේ මව්රටට ආපහු යන්න බැරි තත්වයක් තමයි තියෙන්නේ. ටිබ්බෝ මහතා මේ පිරිස අතරින් වැඩිහිටියන් හතර දෙනාටම ඔවුන්ගේ මව්රටවල්වලදී විවිධ හිංසාවන්ට ලක් වෙන්න සිදු වුණු හැටි, ඒවායින් බේරීමට හොංකොං වෙත පලා එන්න සිදු වුණු හැටි ගැන විස්තර කරනවා. ආපහු එම රටවල් කරා යන එකෙන් ඔවුන්ගේ ජීවිත පවා අනතුරේ වැටෙන්න පුළුවන්ලු.

“පුෂ්පකුමාර 2012දී හමුදාවෙන් පලා ඇවිත් ආපහු හමුදාවට හසු වුණු කෙනෙක්. ඔහුට එරෙහිව කිසිම නඩු විභාගයක් තිබිලා නෑ වගේම හමුදා අධිකරණයකට ඉදිරිපත් කරලාවත්, කිසිම අවස්ථාවක නීතීඥයෙකුගේ සහය ලබා ගන්න ඉඩක් දීලාවත් නැහැ. හමුදාව ඔහුව විශේෂයෙන් හදපු ස්ථානයකට ගෙනියලා දින 10ක් පුරාවට ඔහුට විවිධ වධ හිංසා පමුණුවලා තියෙනවා. ඒ විදිහට වධ දෙන එක් අවස්ථාවක ඔහුගේ ජීවිතයත් අහිමි වෙන්න ගිහින්.” ටිබ්බෝ මහතා කියා සිටිනවා. ඔහු වැඩිදුරටත් කියන්නේ පුෂ්පකුමාරව ආපහු ලංකාවට පිටුවහල් කළොත් අනිවාර්යයෙන්ම ඔහුව රඳවා තබාගෙන, ප්‍රශ්න කරලා, හමුදාවට භාර දේවි කියලයි. ඔහුව ශ්‍රී ලංකාවේ අතුරුදහන් වූවන්ගේ ලැයිස්තුවට එක් වෙන්නත් ලොකු ඉඩක් තියෙනවා කියලා ටිබ්බෝ මහතා කියා සිටියා.

කෙල්ලපාතට මුහුණ දෙන්න වෙලා තියෙන්නේත් මීට නොදෙවනි ප්‍රශ්නයකටයි. ඔහු ඒ දවස්වල දේශපාලන පළිගැනීමකට ලක් වූ කෙනෙක්. නෝනිස් සහ රොඩෙල් දෙදෙනාත් කාන්තාවන් වීම නිසා අඩන්තේට්ටම්වලට මුහුණ දෙන්න සිදු වුණු අය. නෝනිස්ගේ ප්‍රශ්නය ගැන විස්තර කරන ටිබ්බෝ මහතා කියා සිටින්නේ “ඇය ලංකාවේදී ප්‍රබල පුද්ගලයන් කිහිප දෙනෙකු අතින්ම අඩම්තේට්ටම් වලට ලක් වුණු” කෙනෙක් වුණත් ඇයට අවශ්‍ය වූ ආකාරයේ ආරක්ෂාවක් ලබා දෙන්න බලධාරීන් සමත් වෙලා නැති බවයි. රොඩෙල්වත් පිලිපීනයේදී අඩම්තේට්ටම් ගණනාවකට ලක් වෙලා තියෙනවා. ඇයව “හොර ජාවාරම්වල බලෙන් යොදවලා, බලහත්කාරයෙන් රැකියාවේ යොදාගෙන” තිබෙනවාලු.

ස්නෝඩන්ගෙනුත් ප්‍රතිචාරයක්

එඩ්වඩ් ස්නෝඩන්ගේ කාටූන් රූපයක්. රූපය : nybooks.com

මේ පිරිස ආර්ථික වශයෙන් ලොකු ගැටළුවකට මුහුණ දීලා හිටියත් ඔවුන්ගේ දයානුකම්පාව නිසා ස්නෝඩන් එළිදරව් කරපු දේවල් එක්ක ලෝකයම ඔහුව හොයන්න පටන් ගත්තාට පස්සේත් ස්නෝඩන්ට තමන්ගේ රැකවරණය තහවුරු කරගන්න හැකියාව ලැබුණා. ඔලිවර් ස්ටෝන්ගේ “Snowden” චිත්‍රපටය හරහා මේ පිරිස ඔහුගේ ආරක්ෂාවට මොන තරම් ඉවහල් වුණාද කියලා එළි වීමෙන් පස්සේ ඒ රහස රැකගෙන හිටපු ස්නෝඩන් පවා මේ පිරිසට වඩාත් මානුෂවාදී විදිහට සලකන්න කියලා බල කරන වැඩසටහන්වලට එළිපිටම තම දායකත්වය දීලා තිබෙනවා. For The Refugees කියන වෙබ් අඩවියට එක් කෙරුණු වීඩියෝවක පෙනී සිටින ස්නෝඩන් ඉල්ලා සිටින්නේ පුද්ගලයන් විදිහට මේ අයගේ තියෙන වටිනාකම් හඳුනා ගන්න කියලයි. “මේ අය හරිම හොඳ මිනිස්සු. ඔවුන් වධහිංසා, දූෂණ, බලහත්කාරකම්, බියවද්දා කප්පම් ගැනීම් (බ්ලැක්මේල්) සහ අපිට හිතා ගන්නත් හරිම අසීරු තවත් පීඩාවන් බොහොමයක් නිසා තමන්ගේ නිවෙස් දාලා එන්න සිදු වුණු අය. මේ එල්ල කරන්නේ කරන්නේ චෝදනාවන් නෙවෙයි, මේ කියන්නේ වාර්තාගත කෙරුණු, සත්‍ය දේවල්.” ඔහු කියා සිටිනවා.

මේ පිරිසට මෑතකදී සරණාගතබව ප්‍රතික්ෂේප වීම ගැන අදහස් දක්වන ඔහු කියා සිටින්නේ මේ ක්‍රියාව පිටුපස ඉන්නේ කවුද කියලා තවම හරියටම අඳුර ගන්න බැරි වුණත් හොංකොං රජය ඇතුළේ සිටින කවුරු හරි කෙනෙක් මේ පිරිස මව්රටවලදී ලක් වෙන්න ඉඩ තියෙන තාඩන පීඩන ගැන හොඳින්ම දැන දැනත් මේ පවුල් තුන පිටුවහල් කරන්න උවමනාවකින් ඉන්න බවක් පේනවා කියලයි. “හොංකොං ආරක්ෂක අමාත්‍ය ලයි ටුං ක්වොක් ඔහුගේ අනුදැනුම යටතේම මේ දේ සිද්ධ වෙන්න ඉඩ හැරියොත් එය ඔහුගේ දේශපාලන ජීවිතයේ ලොකු සන්ධිස්ථානයක් වේවි. සමහර විට අපි වැරදි වෙන්න පුළුවන්, ඔහු මේ පවුල්වල පිරිස යළි පදිංචි කරවලා ආරක්ෂාව ලබා දෙන්න ක්‍රියා කරන්නත් ඉඩ තියෙනවා, හොංකොංවලම බැරි නම් කැනඩාවේ හරි, වෙනත් රටක හරි. නමුත් විශ්වාසයක් තියාගෙන ඉඳලා විතරක් බැහැ. කාලය බොහොම සීමිතයි වගේම ප්‍රතිඵලය හරිම ශෝකජනක එකක්. අපි ඉක්මන් විය යුතුයි, අවදානමක් ගන්න බැහැ මේ වෙලාවේ.” ස්නෝඩන් කියා තිබෙනවා.

මේ අතර හොංකොං ආරක්ෂක ඒජන්සියේ මාධ්‍ය ප්‍රකාශකවරයෙක් South China Morning Post වෙත ප්‍රකාශයක් ලබා දෙමින් කියලා තියෙන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුව මේ පිරිස විතරක් ඉලක්ක කරගෙන නඩු විභාග කටයුතු සිදු කරන බවට තියෙන චෝදනා ප්‍රතික්ෂේප කරනවා කියලයි. දැනට විභාග වෙමින් තියෙන සරණාගත ඉල්ලීම් 9,000 කට වැඩි ප්‍රමාණයම කඩිනම් කරන්න දෙපාර්තමේන්තුව කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් කියා තිබෙනවා. ඔහු තවදුරටත් කියන්නේ තමන්ගේ ආයතනය සරණාගත ඉල්ලුම්පත් භාර ගන්නේ “ඉල්ලුම්කරුවා මව්රටට පිටුවහල් කිරීම නිසා බරපතල තර්ජනවලට, වධහිංසාවන්ට, කුරිරු, ආත්ම ගරුත්වය කෙළෙසෙන, අමානුෂීය දඬුවම්වලට භාජනය වෙන්න ඉඩක් තියෙන බව තහවුරු කර ගන්න ප්‍රමාණවත් පැහැදිලි සාක්ෂි තියෙනවා නම් පමණක්” කියලයි.

සුපුන් කැල්ලපාත සහ නදීකා නෝනිස් යුවල ඔවුන්ගේ දියණියන් දෙදෙනා සමග. රූපය : South China Morning Post

හොංකොං රාජ්‍යයට සරණාගතයන් ලෙස ඇතුළු කර ගන්නා ප්‍රතිශතය කොහොමත් බොහොම අඩු එකක් -දැනට ලැබෙන ඉල්ලුම්පත්වලින් සතුටුදායකව විසඳෙන්නේ 0.7%ක වගේ ඉතාම සුළු ප්‍රමාණයක් විතරයි- බව දැනටමත් නීතීඥ ටිබ්බෝ සහ ඔහුගේ සේවාදායකයන් සියලු දෙනා හොඳින්ම දන්නවා. දැන් ඔවුන්ගේ එකම බලාපොරොත්තුව වෙලා තියෙන්නේ ඇපැල් ඉල්ලීමක් හරි, ඉහළ උසාවියේ නඩුවක් හරි බව ටිබ්බෝ මහතාගේ අදහසයි. “හොංකොං රජය විවිධ අන්තර්ජාතික සම්මුතිවලට අත්සන් කරලා තියෙනවා වගේම ඔවුන් සතුව ව්‍යවස්ථාවක් පවා තිබෙනවා. නමුත් සරණාගතයන් ගැන හරි, රැකවරණය ඉල්ලා සිටින්නන් ගැන හරි සලකා බලනකොට ඔවුන් ක්‍රියා කරන්නේ හරියට මේ අන්තර්ජාතිකව සහ ව්‍යවස්ථාමය වශයෙන් තිබෙන නීතිමය බැඳීම් ඒ තරම් ගණන් ගන්න ඕනේ නැති දේවල් කියලා සලකන ගානටයි.” ඔහු කිව්වා.

සරණාගතයන් පිළිබඳ ප්‍රසිද්ධ නීතීඥයෙක් වගේම ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් (Transparency International) ආයතනයේ ශ්‍රී ලාංකීය ශාඛාවේ සභාපති ලක්ෂාන් ඩයස් මහතා පැහැදිලි කරන විදිහට නීතියේ පැත්තෙන් බැලුවොත් මේ සරණාගත පිරිස තමන්ගේ මව්රටවල් හැර දා එන්න පැහැදිලි අයිතිවාසිකමක් තියෙන අය. “තමන්ගේ මව්රටේ රජයෙන් තමන්ට නිසි රැකවරණය සැලසෙන්නේ නැතිනම් ඒ රට හැර දා ඒම වළක්වන නීති කිසිවක් නැහැ. රජය තමන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න අපොහොසත් නම්, තමන්ට රටේ වැදගත් පුරවැසියෙකු විදිහට සලකන්නේ නැති නම්, තමන්ට එරෙහිව අසාධාරණ ලෙස නඩු විභාග කෙරෙනවා නම් හරි එහෙම වෙන්න ඉඩ තියෙන බවට පැහැදිලි සාක්ෂි පාදක කරගත් සාධාරණ සැකයක් තියෙනවා නම් අන්තර්ජාතික වශයෙන් හා නීතිමය වශයෙන් එවැන්නන්ට වෙනත් ඕනෑම රටකට ගිහින් සරණාගතභාවය අයදුම් කරන්න නීතිමය වශයෙන් අවසර තිබෙනවා.” ඔහු කියා සිටියා.

කොහොම වුණත් ශ්‍රී ලංකාව පැත්තෙන් බැලුවාම නම් ඩයස් මහතා කියන්නේ අන්තර්ජාතික නීතිය යටතේ ඔවුන්ට නඩු විභාගවලින් මිදෙන්න රටෙන් පිට වෙලා යන එක නීති විරෝධී නොවුණත් රටේ බලතල තියෙන පිරිස ඒ කාරණාව පිළි නොගන්න ඉඩක් තියෙනවා කියලයි.  “ශ්‍රී ලංකාවේ ආධිපත්‍යය තියෙන පිරිස ඔවුන්ව සළකන්නේ දේශද්‍රෝහීන් විදිහටයි. දැනට තියෙන රජය ඒ විදිහට හිතන්නේ නැති වුණත් තවමත් විවිධ ආරක්ෂක බලඇණිවල සහ විවිධ රාජ්‍ය දෙපාර්තමේන්තුවල ඒ වගේ ආකල්ප තියාගෙන ඉන්න පිරිස් සිටිනවා. ඒ නිසා මේ පිරිස ආපහු මෙරටට ආවොත් CID එක, TID එක වගේ ආරක්ෂක සංවිධාන සහ පොලීසිය අතින් ඔවුන් විවිධ හිරිහැරවලට භාජනය වෙන්න ඉඩක් තිබෙනවා. ඔවුන්ව දේශද්‍රෝහීන් විදිහට සලකලා අත්අඩංගුවට ගන්න, රඳවා තබා ගන්න, පරීක්ෂණවලට ලක් කරන්න සහ ප්‍රශ්න ඇසීම්වලට යොමු කරවන්න ඉඩක් තියෙනවා.” ඩයස් මහතා වැඩි දුරටත් කියා සිටියා.

වැනේසා සහ අජිත් ඔලිවර් ස්ටෝන්ගේ “Snowden” චිත්‍රපටයේ ප්‍රචාරක පුවරුවක් ඉදිරිපිට. ඔවුන්ගේ අත්වල තිබෙන්නේ මේ චිත්‍රපටයේ ස්නෝඩන්ගේ චරිතය රඟපාන ප්‍රසිද්ධ හොලිවුඩ් රංගන ශිල්පී ජෝසප් ගෝඩන්-ලෙවිට්ගේ රූප දෙකක්. මේ චිත්‍රපටය පසුගිය අවුරුද්දේ ප්‍රදර්ශනය වීමත් එක්ක තමයි මුල් වරට මේ පිරිස ගැන ලෝකය පුරාම අවධානය යොමු වෙන්න පටන් ගත්තේ. රූපය: rt.com

භූගෝලීය වශයෙන් බොහෝ දුරස්ථ වුණත් ශ්‍රී ලංකා පොලීසිය නිසා මේ සරණාගත පිරිසට ඇති වෙන බලපෑම් නම් තවමත් නැත්තටම නැති වෙලා නැහැ. මීට කලින් වාර්තා වුණු විදිහට ටිබ්බෝ මහතා සහ හොංකොංවල ශ්‍රී ලංකා සරණාගත පිරිස විශ්වාස කරන්නේ ශ්‍රී ලංකා පොලීසිය කෙල්ලපාත, නෝනිස්, ඔවුන්ගේ දියණියන් දෙදෙනා සහ පුෂ්පකුමාර ගැන පසුගිය අවුරුද්දේ අවසානය වන විටත් හොංකොංවලට පැමිණ පරීක්ෂණ සිදු කරමින් සිටි බවයි. මේ පළ වෙන වාර්තා සියල්ල ශ්‍රී ලංකා පොලීසිය ප්‍රතික්ෂේප කළත්, මේ සිද්ධිය නිසා හොංකොංවල ඉන්න 250කට වැඩි ශ්‍රී ලාංකීය සරණාගත පිරිසට තවත් බියෙන් කල් ගෙවන්න සිද්ධ වෙන වාතාවරණයක් උදා වෙලා තියෙනවා.

Roar වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා රජය කියා සිටින්නේ මේ පිරිස ආපහු ශ්‍රී ලංකාවට පිටුවහල් කරලා එවන්න කියලා තම රජය කිසිම කෙනෙකුගෙන් කිසිම ආකාරයේ ඉල්ලීමක් සිදු කරලා නැහැ කියලයි. “[ඔවුන්] පැහැදිලිවම වෙනත් රටකට ගිහින් සරණාගතභාවය ඉල්ලා සිටින පිරිසක්. ඉතින් ඒ වගේ ඉල්ලීමක් පිළිගන්නවාද නැද්ද කියන එක සම්පූර්ණයෙන්ම අදාළ රටට අයිති රාජකාරියක්.” කියලා ශ්‍රී ලංකා විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශිකා මහිශිනී කොළොන්න මහත්මිය Roar වෙත ප්‍රකාශ කළා.

සරණාගත පිරිසට හොංකොං රජයෙන් ලැබුණු තීන්දුව බොහොම අවාසනාවන්ත එකක් බවට පත් වෙලා. South China Morning Post වෙත සම්මුඛ සාකච්ඡාවක් දෙමින් කෙල්ලපාත කියා සිටියේ “අපි දැන් බියෙන් ජීවත් වෙන්නේ. අපිට රෑට නිදා ගන්නත් බයයි දැන්. හෙට දවසේ වෙන්නේ මොනවාද කියන එක ගැන හැම වෙලාවකම අවිනිශ්චිතබවකින් ඉන්නයි වෙලා තියෙන්නේ” කියලයි.

හොංකොං රජය ඔවුන්ගේ ඇපැල් ආයාචනය භාර ගන්න තුරු හරි, කැනඩා රජය ඔවුන්ගේ උදව්වට ඇවිත් ඒ රටේ සරණාගත ලියාපදිංචිය ලබා දෙන තුරු හරි ඔවුන්ට ඉන්න සිදු වෙලා තියෙන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වැට උඩ තමයි.

මොවුන්ට උපකාර කරන්න පුළුවන් ක්‍රම ගැන වැඩිදුර විස්තර දැන ගන්න www.fortherefugees.com වෙත පිවිසිලා බලන්න. ස්නෝඩන්ට ආරක්ෂාව සලසා දුන් පිරිස ගැන තවත් බොහෝ තොරතුරු Roar හි පළ කළ අනෙකුත් ලිපි හරහා දැන කියා ගන්නත් අවස්ථාව තිබෙනවා.

පරිවර්තනය – ඉන්ද්‍රජිත් ගමගේ

කවරයේ පින්තුරය – South China Morning Post

Related Articles