අලි ඇතුන් හා සම්බන්ධ විවිධ සෆාරි සවාරි ආදිය පිළිබඳ ශ්‍රී ලංකාව ලොව සුපතල වේ. ඒ වර්ග සැතපුමකට සිටින විශාලතම ආසියානු අලින් සංඛ්‍යාවක් සිටින රට ලංකාව වීමයි. එහෙත් මෙරට ජීවත් වන අලින් විශාල සංඛ්‍යාවක් වන්දවියාමේ තර්ජනයට ලක්ව සිටීමට අමතරව  සාගින්නේ පෙළෙමින් ද  සිටින බව හෙළි වී ඇත.

මෙය සිදුවුයේ කෙසේද?

යාල ප්‍රදේශයේදී දකින ලද සාගින්නේ පෙලෙන තරුණ අලියෙක්..

ලංකා සංරක්ෂණ සහ පර්යේෂණ කේන්ද්රයේ දොස්තර ප්රිතිවිරාජ් ප්‍රනාන්දු මහතා පවසන ආකාරයට නම් මෙයට ප්‍රධාන හේතුවක් වනුයේ අලි අැතුන් එක්තරා ප්‍රදේශ කිහිපයකට පමණක් සීමාකොට තිබීමයි.

“ලංකාවේ අලින් මුහුණපාන විශාල ගැටළුවක් වනුයේ ආහාර සොයාගැනීමයි. බහුතරයක් දෙනා විසින් අලින් හට විසීමට වඩාත් සුදුසු යයි සලකනු ලබන ප්‍රදේශ වලට පමණක් අලින් සිමා කිරිම නිසා එම සතුන් හට අවශ්‍ය ආහාර සොයාගැනීම ගැටළුවක් බවට පත්වී තිබෙනවා.”

අලියෙකු දිනකට ආහාර කිලෝ 100 – 300 අතර ප්‍රමාණයක් අවශ්‍ය අතර උන් දෙෙනිකව ඒ සඳහා පැය 17-19 අතර කාලයක් වෙන්කරයි. එලෙසින් ආහාර සොයන අලින් විශාල සංඛ්‍යාවක් සඳහා ආහාර සැපයීමට ලංකාවේ ඇති වනාන්තර ප්‍රමාණවත් නොවේ.

සාමාන්‍යයෙන් සලකන විට අලින් යනු *generalist feeders* ගණයට අයත් වන සතුන් වර්ගයක් වුවද අලින් විසින් වැඩිවශයෙන් අනුභව කරනු ලබන්නේ තණකොළ වර්ගයන් සහ ඒ ආශ්‍රිත ශාක වර්ග වේ. මෙයට හේතු වී ඇත්තේ තණකොළ වර්ගවල අන් ශාක මෙන් විෂ වර්ග හෝ කටු වැනි වෙනත් ගුණාංග සතු නොවීමයි. ලංකාවේ තත්වය සැලකීමේදී අලින් විසින් ආහාරයට ගනු ලබන විශේෂිත තණකොළ වර්ග මෙහි වැවෙනුයේ සීමිත කාලයන්හිදී පමණක් වන අතර එයද සීමිත ප්‍රදේශ වල පමණි.

“මිනිසුන් අත නැතැබූ කැලෑ තුළ අලින් හට කෑ හැකි ආහාර වර්ග තරමක් සීමිතයි සංරක්ෂිත උද්‍යාන අාදී ප්‍රදේශවලට කොටු කිරීමෙන් උන්ට අවශ්‍ය අවශ්‍ය අහාර සොයා ගැනීම අපහසුයි,” ඔහු තවදුරටත් පැවසිය.

සංරක්ෂණය සම්බන්දයෙන් ඇති ගැටළු

අලි දෙනක් සහ ඇගේ පැටවා- යාල

අාචාර්ය ප්‍රනාන්දු පවසන පරිදි වයසින් මේරූ ලෙස සැලකිය හැකි වනාන්තර අලින් සදහා එතරම් සුදුසු නොවේ- නමුත් මෙතරම් කලක් අලින් සංරක්ෂිත කලාප වලට වෙන්කොට තැබීමට හේතුවුයේ අලි-මිනිස් ගැටුම් අවම කරගැනීමේ මාර්ගයක් ලෙසයි.

දැනට භාවිතා වන අලි උද්‍යාන බොහොමයක් අලින්හට වාසය කිරීමට සුදුසු නැති තත්වයේ පවතින බව ඔහු වැඩිදුරටත් පවසයි. මෙයට අමතර තවත් ගැටළුවක් වී අැත්තේ එම උද්‍යාන වල ඉඩ ප්‍රමාණයට අනුකුලව සිටිය හැකි අලින් ප්‍රමාණය ඉක්මවා ගොස් තිබිමයි.

“කලින් උද්‍යානයේ ආරක්‍ෂිත ලෙස සිටි අලින් දැන් අලුතින් එකතුකරනු ලබන අමතර අලින් නිසා අනාරක්ෂිත තත්වයකයි සිටින්නේ” මෙය බරපතල ගැටළුවක් වන අතර එයට දිර්ගකාලින පිළිවෙතක් තවමත් යොදා නැති බව ඔහු පවසයි.

මෙයට උදාහරණ ලෙස ලුණුගම්වෙහෙර, තබ්බෝව සහ යාල සැලකිය හැක. අලි මිනිස් ගැටුම් සහ ඉදිකිරීම් කටයුතු නිසා අලින් තවදුරටත් උද්‍යාන වලට කොටුවන අතර එම උද්‍යාන වල ඉඩ පහසුකම් සහ ආහාර නොමැතිකමින් එම අලින් පිඩාවට පත් වන බවද ආචාර්ය ප්‍රනාන්දු මහතා පැවසිය.

උඩවලවේ සිටින අලිද මේ දිනවල ආහාර නොමැතිකමින් පීඩාවට පත් වී සිටියි. එයට හේතු වී ඇත්තේ සම්පුර්ණයෙන්ම වෙනස් කරුණකි.

“මෙම උද්‍යානයේ ඇති තන බිම් අලින්ට අනුභවයට වඩාත් සුදුසු බැවින් උඩවලවට වැඩිපුර අලින් යැවුවද, මේ දිනවල ස්වභාවික ක්‍රියාවලි හේතුවෙන් එම තන බිම් නැවත වනාන්තර බවට හැරෙමින් පවතියි. මේ නිසා උඩවලවේ අලින්ට මේ දිනවල ආහාර අහේනියක් ඇති වී අතර උද්‍යානය වටා ඇති මායිම් නිසා එලියට ගොස් ආහාර සොයාගැනීමට නොහැකි තත්වයක්ද පැනනැගී ඇත.”

මෙම තත්වයක් නුදුරු අනාගතයේදී මාදුරු ඔය ආශ්‍රිතවද ඇතිවිය හැකි අතර ඒමගින්ද ඉහත ගැටළුවම මතුවීමට ඉඩ ඇත.

ගැටළුවට ප්‍රතිකර්ම යෙදීම මෙතරම් මන්දගාමී වී ඇත්තේ ඇයි?

“උදාහරණයක් ලෙස යාල සැලකුවහොත් 2004 සිට එහි සිටින අලින්ටද මෙම ගැටලුවට මුහුණ දෙමින් සිටින අතර ඉන් වඩාත් පිඩාවට පත්වනුයේ තරුණ වියේ පසුවන අලින් වේ. එහි ප්‍රතිපලයක් ලෙස ඉතා කුඩා අලි පැටවුන් සහ වයසක අලින් පමණක් වැඩිවශයෙන් දක්නට ඇති අතර තරුණ වියේ අලි ගහනය අඩු වෙමින් පවති.”

ප්‍රතිකර්මයක් ලෙස ගත හැකි ක්‍රියාමාර්ග

බහුතරයක් අලින් වාසය කරනුයේ සංරක්ෂිත උද්‍යාන වලින් පිටතය

මෙම ගැටලුවට යෙදිය හැකි සරලතම පිලියම වනුයේ එම අලින්හට ආහාර බහුල ලෙස සොයගතහැකි වන සංරක්ෂණ දිපාර්තමෙන්තුවට අයත් ප්‍රදේශ වල වාසය කිරීමට ඉඩ දීමයි.

“වත්මන් තත්වය සැලකීමේදී වඩාත් කාලෝචිත ක්‍රියාවක් ලෙස දැක්විය හැක්කේ සිටින අලි ගහනය බේරාගැනීමට ක්‍රියාකිරීම මිස අලින් වැඩිකිරීමට ක්‍රියා කිරීම නොවේ” ආචාර්ය ප්‍රනාන්දු කියා සිටියි.

“අලි ගහනය උද්‍යාන වලට සිමා කිරීමට ක්‍රියා කිරීම වෙනත් ප්‍රශ්න බොහොමයකට තුඩුදිය හැකි අතර උද්‍යාන වලින් පිටත වාසය කරන අලින්හට එලෙසින්ම සිටින්නට හැරීම ඉතා වැදගත් වේ.” ඔහු තවදුරටත් පැවසුවේ දැනට එලෙස උද්‍යාන වලින් පිටත ලංකාවේ මුළු අලි ගහනයෙන් 70% පමණ සිටිනබවද මතකයට නංවමිනි.

අලින්ව මෙලෙස උද්‍යාන වලට දමා ආරක්ෂා කිරීමට මුල්දුන් කරුණ වන අලි මිනිස් ගැටුම් වලින් මෙයට ඇති බලපෑම කුමක්ද? කරුණු සැලකීමේදී අලි සංරක්ෂනය සඳහා ලංකාවේ යොදාගනු ලබන සම්ප්‍රදායික ක්‍රමවේද මෙම තත්වයට සරිලන්නේ නොමැති බවද ඔහු පවසයි.

“අවුරුදු ගණනක් පුරාවට ලංකාවේ විවිධ ප්‍රදේශ වල කරගෙන යන ඉදිකිරීම් කටයුතු ප්‍රමාණය වැඩිවී ඇතත්, මෙම ක්‍රියා වලින් අලින්හට සිදුවන බලපෑම තුරන් කිරීමට යොදාගනු ලබන ක්‍රමවේද වල දියුණුවක් තවමත් දැකගැනීමට නොමැත.”

“ලංකාවේ අලි ගහනයෙන් බහුතරයක් සිටිනුයේ වියලි කලාපයේ වන අතර මෙම ප්‍රදේශ වල දැකිය හැකි පරිසරයට අහිතකර මානව (anthropogenic) ගුණාංග සලකා බැලීමේදී ප්‍රශ්නය වඩාත් පැහැදිලි වේ. අවුරුදු දහස් ගණනක් තිස්සේ වියලි කලාපයේ දක්නට ලැබෙන වගා බිම් සහ ජලාශ වල‍ට හුරුවී ඇති අලින් සංරක්ෂණයේ නාමයෙන් උද්‍යානයක් හෝ සීමිත ඉඩකට දමා වැටක් ගැසීමෙන් මුල් ප්‍රශ්නයට අමතරව තව ප්‍රශ්න බොහොමයක් මතුවේ.”

අලි මිනිස් ගැටුම සංරක්ෂණමය ගැටළුවක් ලෙසට සලකනවාට වඩා සංවර්ධනමය ගැටළුවක් ලෙස සැලකීමෙන් වඩාත් කාර්යක්ෂම විසඳුම් සැලසුම් කල හැකි බවද ආචාර්ය ප්‍රනාන්දු පැවසිය.

“අලි මිනිස් ගැටුමට වැඩියෙන්ම හේතුවී ඇත්තේ සංවර්ධනමය කාරණා වන අතර මෙම ප්‍රශ්නයට පිළියම් දීමට අවශ්‍ය සම්පත් සහ හැකියාව ඇත්තේ සංවර්ධනමය අංශයට ම වේ,” යැයි ඔහු තවදුරටත් පැවසිය.

උඩවලවේ අලි

වනජීවී සංරක්ෂන දෙපාර්තුමේන්තුව විසින් 2011 දී පවත්වන ලද සංගණනයට අනුව එම වසරේ ලංකාවේ අලින් 5879 පමණ සිට ඇත- මෙය ලෝක ආසියානු අලි ගහනයෙන් ⅕ පමණ වේ. කෙසේවෙතත් අවසානයේ අප සිතිය යුත්තේ සංරක්ෂණයේ නාමයෙන් ලංකාවේ අලි සාගින්නේ පෙළෙන්නේ නම් ඒ සඳහා යොදා ඇති ක්‍රමවේද කොතරම් කාර්යක්ෂමද යන්න වේ.

චායාරුපකරණය : ප්රිතිවිරාජ් ප්‍රනාන්දු