Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සසිකලාගේ ආගමනය සමඟ ඇවිලුන තමිල්නාඩු දේශපාලනය​

තමිල්නාඩුවේ ටික දිනක් තිස්සේ පැවති බල අරගලය 2017 පෙබරවාරි 16 වනදා නිමාව දුටුවේ බලාපොරොත්තු නොවූ ආකාරයෙන්. ඒ එඩපිඩි කේ. පලනිස්වාමි මහ ඇමති ලෙස දිවුරුම් දීමෙන්.

සෙනසුරාදා දිනයේ පලනිස්වාමි තමන්ට ප්‍රාන්ත සභාවේ බහුතරයක් ඇති බවට සනාථ කළ යුතු වුණා. ඒ සඳහා පැවති ඡන්ද විමසීම අවස්ථා කිහිපයකදී ම උණුසුම් වුණේ ප්‍රධාන විපක්ෂය වන DMK පක්ෂයේ විරෝධතා හේතුවෙන්. කෙසේ වෙතත් පලනිස්වාමි එම අභියෝගය ද ජයගත්තා.

තමිල්නාඩුවේ මෙම බල අරගලයට හේතු වූයේ හිටපු මහ ඇමතිනී ජයලලිතා ජෙයරාම්ගේ අභාවයෙන් පසු ඇගේ කිට්ටු මිතුරිය වූ වී. කේ. සසිකලා ක්‍රියාකාරී දේශපාලනයට පිවිස මහ ඇමති ධූරය ලබා ගැනීමට උත්සාහ කිරීමයි.

සසිකලා (Press Trust of India)

ජයලලිතා මිය ගියේ 2016 දෙසැම්බර් 5 වනදා. ඉන් දිනකට පසු ඕ. පන්නීර්සෙල්වම් නව තමිල්නාඩු මහ ඇමති ලෙස දිවුරුම් දුන්නා. මීට පෙර දෙවතාවක් ඔහු තමිල්නාඩුවේ මහ ඇමති ලෙස කටයුතු කර තිබුණත් ඒ දෙවතාවෙම ඔහු එම ධූරය දැරුවේ ජයලලිතාට එරෙහි චෝදනා එල්ල වූ අවස්ථාවල ඇය වෙනුවෙන්. ඒ දෙවතාවේම , ඇගේ නැවත පැමිණීමත් සමඟ පන්නීර්සෙල්වම් එම ධූරය අතහැරියා.

මෙවර ඔහුගෙන් එම ධූරය ලබාගන්න ජයලලිතා සිටියේ නැහැ. නමුත් ඒ වෙනුවට ඔහු ඉවත් කර මහ ඇමති වීමට බලාපොරොත්තු වූයේ සසිකලා.

වී. කේ. සසිකලා

වී. කේ. සසිකලා නටරාජන් බොහෝ කලක් ජයලලිතාගේ මිතුරියක වී සිටියා. ජයලලිතාගේ නිල නිවස වසර ගණනාවක් තිස්සේ සසිකලාගේ ද නිවස බවට පත්ව තිබුණා. සසිකලාගේ පවුලේ අයත් මෙම මිත්‍රත්වය හේතුවෙන් විශේෂ සැලකුමට බඳුන් වුණා.

කෙසේ නමුත් 2011 දෙසැම්බර් 19 වනදා ඇයවත් ඇගේ පවුලේ අය පිරිසකුත් ජයලලිතා විසින් සමස්ථ ඉන්දීය අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් (AIADMK) පක්ෂයෙන් ඉවත් කෙරුණා. ජයලලිතා චෝදනා කළේ සසිකලාගේ ආධාරකරුවන් තමන්ට විරුද්ධව කටයුතු කරන බවයි.

කෙසේ වෙතත් 2012 මාර්තු 31 වනදා සසිකලාට පමණක් යළිත් පක්ෂ සාමාජිකත්වය ලබා දෙනු ලැබුණා. සසිකලා යලිත් ජයලලිතා සමඟ වූ මිත්‍රත්වය වර්ධනය කරගත්තා.

තත්ත්වය කෙසේ වීද යත් ජයලලිතා පසුගිය අවුරුද්දේ රෝහල්ගත වූ විට ඇයව දකින්නට අවසර ලැබෙන්නේ කාටද යන්න පවා තීරණය කළේ සසිකලා විසින්.

සසිකලා සහ ජයලලිතා ටික කළකට පෙර (Reuters)

2016 දෙසැම්බර් 29 වනදා පක්ෂ නායකත්වය විසින් සසිකලා එම පක්ෂයේ මහ ලේකම් බවට පත් කෙරුණා. මේ අතර පන්නීර්සෙල්වම් වෙනුවට සසිකලා මහ ඇමති බවට නම් කෙරෙනු ඇතැයි ද අනාවැකි පළ වුණා.

පන්නීර්සෙල්වම් කැරළි ගසයි

මුලින් වාර්තා වූයේ පන්නීර්සෙල්වම් සසිකලාට ඉඩ දී මහ ඇමති ධූරයෙන් ඉවත්වන බවයි. පෙබරවාරි 5 වනදා ඔහු පෞද්ගලික හේතු මත සිය ධූරයෙන් ඉවත්වන බව ප්‍රකාශ කළා. මේ අනුව සසිකලා මහ ඇමති ලෙස නම් කෙරෙනු ඇතැයි බලාපොරොත්තු වුණා.

කෙසේ නමුත් තමිල්නාඩු ආණ්ඩුකාර විද්‍යාසාගර රාඕ එම පියවර ගැනීමට ඉක්මන් වූයේ නැහැ. මක් නිසාද යත්, සසිකලාට එරෙහිව නඩුවක් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වීමට නියමිත වූ බැවින්.

ජයලලිතා ස්මාරකය

මේ දිනවල තමිල්නාඩුවේ AIADMK පක්ෂ නායකයන් නිතර යන එන තැනක් වී ඇත්තේ ජයලලිතා ස්මාරකයයි. පෙබරවාරි 7 වනදා එහි ගිය පන්නීර්සෙල්වම් විනාඩි 40 ක් පමණ එරමිණියා ගොතාගෙන භාවනාවේ නිරත වුණා. දකුණු ඉන්දීය ජනමාධ්‍යවලට එය යම් පෙරළියක් පිළිබඳ හොඳම ඉඟියක් වුණා.

පන්නීර්සෙල්වම් පෙබරවාරි 7 වනදා ජයලලිතා ස්මාරකය අසළ (Romani Agarwal – Express Press Service)

සිය භාවනාව අවසන් කළ පන්නීර්සෙල්වම් ස්මාරකය අසළදී මාධ්‍ය අමතමින් තමන් ඉල්ලා අස්වීමට ගත් තීරණය වෙනස් කරන බව ප්‍රකාශ කළා. ඔහු ප්‍රකාශ කළේ තමන් එම මුල් තීරණය ගත්තේ බලපෑම් මත බවයි.

මේ අතර සසිකලා සිය නිල බලය ක්‍රියාවේ යොදවමින් පන්නීර්සෙල්වම් පක්ෂ භාණ්ඩාගාරික තනතුරෙන් ඉවත් කළා. ඇය විසින් ඔහුව හැඳින්වූයේ ද්‍රෝහියකු ලෙසයි. භාරතීය ජනතා පක්ෂයේ සහ තමිල්නාඩු විපක්ෂ DMK පක්ෂයේ අවශ්‍යතා ඉටු කරමින් සිටින බව සසිකලා පාර්ශවය පන්නීර්සෙල්වම්ට චෝදනා කළා.

පන්නීර්සෙල්වම් එම චෝදනාවලට පිළිතුරු දුන්නේ පෙබරවාරි 8 වනදා හිටපු මහ ඇමතිණී ජයලලිතා ජෙයරාම්ගේ මරණය පිළිබඳ පරීක්ෂණයක් අරඹමින්. තමිල්නාඩු ජනතාව ජයලලිතාගේ මරණය පිළිබඳ සත්‍යය දැනගත යුතු බව ඔහු කියා සිටියේ සසිකලා ඊට සම්බන්ධ විය හැකි යැයි අඟවමින්.

කෙසේ නමුත් මේ වනවිට සසිකලා සිය සම්පූර්ණ ශක්තිය යොදාගෙන තමිල්නාඩු ප්‍රාන්ත මන්ත්‍රීන් තමන් වෙත රඳවා ගැනීමේ උත්සාහයක නිරත වුණා. මදුරාසියෙන් කිලෝමීටර 80 ක් පමණ ඈතින් පිහිටි නිවාඩු නිකේතනයකට සිය මන්ත්‍රීන් කැඳවූ ඇය පන්නීර්සෙල්වම් විසින් ඔවුන් “බිලී බා ගැනීමේ” උත්සාහය ව්‍යර්ථ කිරීමට හැකි සෑම පියවරක් ම ගත්තා.

මේ අනුව ප්‍රාන්ත සභාවේ AIADMK පක්ෂ මන්ත්‍රීන් 134 දෙනාගෙන් දස දෙනකු පමණ හැර අනෙක් පිරිසගේ සහය සසිකලා පාර්ශවට ලබාගත හැකි වුණා.

සසිකලා බන්ධනාගාරයට

මේ අතර පෙබරවාරි 15 වනදා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය සසිකලාට එරෙහි නඩුව පිළිබඳ සිය තීන්දුව ප්‍රකාශ කළා. කර්ණාටක මහාධිකරණය විසින් 2014 සැප්තැම්බරයේ දී ජයලලිතා සිරගත කළේ මෙම නඩුව සම්බන්ධයෙනුයි. සසිකලා ද මෙම නඩුවේ වරදකාරියක වූවා. පසුව ඔවුන් නිදහස් කෙරුණ අතර එම තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනයක් ගොනු කර තිබුණා. ශ්‍රේෂ්ඨාධිකරණය කර්ණාටක මහාධිකරණයේ තීන්දුව නිවැරදි බව ප්‍රකාශ කර සසිකලා උසාවියට භාර විය යුතු යයි තීන්දු කළා.

උසාවියට භාර වීමට පෙර ඇය AIADMK පක්ෂය තුළ සිය බලය ස්ථාවර කරන ආකාරයේ පියවර කිහිපයක් ම ගත්තා. මේ අනුව සිය සහෝදරයාගේ පුත්‍රයා වන ටී.ටී.වී. දිනකරන් සිය පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් ලෙස නම් කරන්නට ඇය තීරණය කළා. තවත් ඇගේ හිතවතුන් කිහිප දෙනෙකුම පක්ෂය වෙත ළං කරගන්නට ඇය ක්‍රියා කළා.

මහ ඇමති පලනිස්වාමි

ඇගේ කඳවුරේ ප්‍රබලයකු වූ එඩපඩි කේ. පලනිස්වාමි මහ ඇමති ලෙස නම් කෙරුණේ මේ අනුවයි. පන්නීර්සෙල්වම්ට බහුතර බලයක් පෙන්විය නොහැකි නිසාත්, සසිකලාට එරෙහි නඩු තීන්දුව ප්‍රකාශ වී අවසන් වූ නිසාත් තමිල්නාඩු ආණ්ඩුකාර විද්‍යාසාගර් රාඕ පලනිස්වාමිට රජයක් පිහිටුවන්නට ආරාධනා කළා. මේ අනුව පෙබරවාරි 16 වනදා පලනිස්වාමි නව තමිල්නාඩු මහ ඇමති ලෙස දිවුරුම් දුන්නා.

බල අරගලයේ ප්‍රධාන සාමාජිකයන්. වමේ සිට – සසිකලා, පන්නීර්සෙල්වම්, සහ පලනිස්වාමි. පසුපස පින්තූරයේ දැක්වෙන්නේ AIADMK පක්ෂයේ ආරම්භක නායක එම්. ජී. රාමචන්ද්‍රන් සහ ජයලලිතා ය . (thedailystar.net)

පෙබරවාරි 18 වන සෙනසුරාදා පලනිස්වාමි මීළඟ අභියෝගයට මුහුණ දුන්නේ තමිල්නාඩු ප්‍රාන්ත සභාව තුළ වූ විශ්වාසය පළ කිරීමේ ඡන්ද විමසීමේ දීයි. මෙම ඡන්දයේ දී විපක්ෂ DMK පක්ෂය රහසිගත ඡන්දයක් ඉල්ලා සිටි නමුත් කතානායකවරයා එයට ඉඩ දුන්නේ නැහැ. DMK පක්ෂය සහ කොන්ග්‍රස් පක්ෂය දිගටම පලනිස්වාමිට විරුද්ධත්වය ප්‍රකාශ කළ අතර සභාව කිහිප විටක් ම කල් තබනු ලැබුණා. කෙසේ වෙතත් විපක්ෂය සභාවෙන් ඉවත් කෙරුණ අතර පසුව පලනිස්වාමි මහ ඇමති ලෙස ස්ථිර කරනු ලැබුණා.

පක්ෂය තුළ ඇතිවූ බෙදීම තවමත් සන්සිඳී නැහැ. තමන්ට පක්ෂය තුළ විශාල බලයක් නොමැති වුවත් පන්නීර්සෙල්වම් කියා සිටින්නේ පලනිස්වාමි මහ ඇමති ලෙස පත් කිරීමට තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ පැවති විශ්වාසය පළ කිරීමේ ඡන්දය වලංගු ද නැද්ද යන්න ජනතාව විසින් තීරණය කළ යුතු බවයි. තම සටන අවසන් නැති බවත් ඔහු ප්‍රකාශ කළා.

මේ අතර පක්ෂය තුළ වන මෙම බෙදීම සමථයකට පත් කරගැනීමට ද ඇතැම් අය උත්සාහ දරමින් සිටිනවා. මේ නිසා පක්ෂය බෙදෙයි ද නැද්ද යන්න පිළිබඳ ඉදිරියේදී දකින්න ලැබෙනු ඇති.

මූලාශ්‍ර

  1. What’s going on in Tamil Nadu?, Dhaka Tribune, Feb 14, 2017
  1. TN turmoil deepens, O Panneerselvam orders Jayalalithaa death probe, Sasikala puts up show of strength, Hindustan Times, Feb 8, 2017
  1. Who is TTV Dinakaran?, The Financial Express, Feb 16, 2017
  1. E Palaniswami is new Tamil Nadu CM: All you need to know about how Sasikala’s pick got the throne, First Post, Feb 16, 2017

කවරයේ ඡායාරූපය : සසිකලා නටරාජන් (Yahoo News)

Related Articles