Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සහල් ආනයනය අත්හිටුවීමෙන් සහල් මිල යළි වැඩිවේ ද?

මේ වන විට රට තුළ අවශ්‍ය තරම් සහල් තොග තිබෙන බැවින්, සහ අසීමිත ලෙස සහල් ආනයනය කිරීම නිසා දේශීය ගොවීන්ට වී සඳහා ප්‍රමාණවත් මිලක් නොලැබී යාමේ අවදානමක් පවතින බැවින් එළැඹෙන දෙසැම්බර් මාසය දක්වා සහල් ආනයනය අත්හිටුවීමට කෘෂිකර්ම අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇත.

කෙසේ වෙතත්, 2021 දී රසායනික පොහොර සහ පළිබෝධනාශක ආනයනය සහ භාවිතය මත පැනවූ තහනම හේතුවෙන් මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රය, විශේෂයෙන් ම වී ගොවිතැන, බරපතල පසුබෑමකට ලක්ව ඇත. එහි පසුගිය කන්නයේ අස්වැන්න ද අපේක්ෂිත අයුරින් නොලැබීම ගැටලුව තවත් උග්‍ර කරන්නක් බවට පත් ව ඇත.  මේ තත්ත්වය තුළ සහල් ආනයනය අත්හිටුවන්නේ නම් එය සිදු කළ යුත්තේ ඉතාමත් ප්‍රවේශමෙන් බව පැහැදිලි වේ.

වී අස්වනු නෙළීම – www.randeepa.com

රසායනික පොහොර තහනම

2021 අප්‍රේල් මස රසායනික පොහොර සහ පළිබෝධනාශක ආනයනය තහනම් කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය. අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී කෙටි කාලයක් තුළ රසායනික පොහොර සහ පළිබෝධනාශක ආනයනය සම්පූර්ණයෙන් ම තහනම් කරමින් ගැසට් නිවේදනයක් පළ විය. දිගින් දිගට ම එල්ල වූ විරෝධතා සහ කාබනික යෙදවුම් යෙදූ වගාවල අස්වැන්න ශීඝ්‍රයෙන් අඩු වීම හේතුවෙන් 2021 නොවැම්බර් මස එම තහනම ඉවත් කිරීමට රජය තීරණය කළේ ය. කෙසේ වෙතත් ඒ වන විට පොහොර සහ පළිබෝධනාශක හිඟය හේතුවෙන් බොහෝ වගා, විශේෂයෙන්ම වී වගාවන්හි අස්වැන්න විශාල වශයෙන් අඩු වී තිබිණි.

මෙරට වාර්ෂික සහල් අවශ්‍යතාව

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මෙරට වාර්ෂික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් මිලියන 2.4 කි. ඒ අනුව මෙරට එක් පුද්ගලයෙක් වසරකට පරිභෝජනය කරන සහල් ප්‍රමාණය ආසන්න වශයෙන් කිලෝග්‍රෑම් 110 කි. ඊට අමතර ව රටේ සමස්ත වී නිෂ්පාදනයෙන් 1%ක් වැනි ප්‍රමාණයක් බිත්තර වී සඳහා වෙන් කෙරේ. සාමාන්‍යයෙන් හෙක්ටයාරයක වපසරියකින් යුතු භූමියක් අස්වැද්දීම සඳහා අවශ්‍ය වන බිත්තර වී ප්‍රමාණය කිලෝග්‍රෑම් 102ක් බව දෙපාර්තමේන්තුව සතු දත්ත පෙන්නුම් කරයි.

මෙරට වාර්ෂික සහල් අවශ්‍යතාය මෙට්‍රික් ටොන් මිලියන 2.4 කි – www.adaderana.lk

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව රසායනික පොහොර සහ පළිබෝධනාශක තහනම පැනවීමට පෙර වගා කළ ආසන්නත ම කන්නය වූ 2020/ 21 මහා කන්නයේ මෙරට වී වගා කළ සමස්ත භූමි ප්‍රමාණය හෙක්ටයාර 681,521ක් වන අතර, ලැබූ අස්වැන්න වී මෙට්‍රික් ටොන් මිලියන 3.06කි. කෙසේ වෙතත් තහනම පැනවීමෙන් පසු වගා කළ 2021 යල කන්නයේ වී වගා කර ඇති භූමි ප්‍රමාණය සහ අස්වැන්න සැලකිය යුතු ලෙස අඩු වී ඇත. එම කන්නයේ වගා කර ඇති සමස්ත භූමි ප්‍රමාණය හෙක්ටයාර 445,084ක් වන අතර, ලැබූ අස්වැන්න වී මෙට්‍රික් ටොන් මිලියන 2.08කි.

සහල් හිඟය සහ සහල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම

2021 යල කන්නයේ වී අස්වැන්න අඩු වීමත් සමඟ රටේ සහල් මිල විශාල වශයෙන් ඉහළ ගිය අතර, එය තරමක සහල් හිඟයක් ඇති වීමට පවා හේතු විය. විශේෂයෙන් ම 2021 වසරේ මැද භාගය වන විට බොහෝ ප්‍රදේශවල වෙළෙඳසල්වල සහල් හිඟයක් පැවතිණි. ඊට වී අස්වැන්න අඩු වීම පමණක් නොව වී මෝල් හිමියන් සහ ව්‍යාපාරිකයන් සහල් තොග සැඟවීම ද හේතු විය.

මේ තත්ත්වය මත සහල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම සම්බන්ධයෙන් හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමට පවා එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිදු විය. එකල වී මෝල් හිමියන් සහ වෙනත් ව්‍යාපාරිකයන් සැඟවූ සහල් තොග රාජ සන්තක කිරීම සඳහා අත්‍යවශ්‍ය සේවා පිළිබඳ කොමසාරිස් ජනරාල්වරයෙක් පත් කිරීමට ද ජනාධිපතිවරයා පියවර ගත්තේ ය. එම කොමසාරිස්වරයා පසුගිය වසරේ සැප්තැම්බර් මස පොලොන්නරුව ප්‍රදේශයේ පිහිටි මහා පරිමාණ වී මෝල් කිහිපයක් වටලා සහල් මෙට්‍රික් ටොන් 10,000ක් රාජ සන්තක කිරීමට පියවර ගෙන තිබිණි.

සහල් මෝලක් වැටලූ අවස්ථාවක් – www.lankaexpress.com

 මේ කාලය ඇතුළත ඒ වන විට කිලෝවක් රුපියල් 100කට අඩු මිලක් යටතේ මිල දී ගත හැකි වූ නාඩු සහල්, සහ රුපියල් 103කට මිල දී ගත හැකි වූ සම්බා සහල් ද ඇතුළු සියලු සහල් වර්ගවල මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගියේ ය. සහල් සඳහා වරින් වර ගැසට් නිවේදන මගින් පාලන මිල ගණන් ප්‍රකාශයට පත් කිරීමට එවකට පැවැති රජය පියවර ගත් නමුත් එම මිල ගණන්වලට සහල් මිල දී ගැනීමට නොහැකි බව පාරිභෝගිකයන් නිරන්තරයෙන් චෝදනා කරන අයුරු දක්නට ලැබිණි.  සහල් මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාමට රජය වරින් වර සහල් සඳහා පාලන මිල ගණන් පැනවීම සහ මහා පරිමාණ සහල් මෝල් හිමියන්ට අවශ්‍ය ආකාරයෙන් කටයුතු කිරීම යන කරුණු ද හේතු වූ බවට චෝදනා එල්ල විය.

සහල් ආනයනය

රට තුළ උද්ගත වූ සහල් හිඟය සහ සහල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම සැලකිල්ලට ගනිමින් ආරක්‍ෂිත තොගයක් ලෙස සහල් යම්කිසි ප්‍රමාණයක් ආනයනය කිරීම සම්බන්ධයෙන් 2021 සැප්තැම්බර් මස රජයේ අවධානය යොමු විය. ඒ අනුව සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි විය. එම සහල් තොගයෙන් කොටසක් ඉන්දියාවෙන් ආනයනය කළ අතර ඉතිරි ප්‍රමාණය මියන්මාරය සහ පාකිස්තානය යන රටවලින් ආනයනය කර තිබිණි.

2021 දී සහල් මිල දී ගැනීමට ජනතාව පෝලිම්වල රැඳී සිටි අයුරු – www.foreignpolicy.com

 2021 නොවැම්බර් මස අමෙරිකානු ඩොලර් මිලියන 9.2ක වියදමින් තවත් සහල් මෙට්‍රික් ටොන් 20,000ක් ආනයනය සඳහා ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය. මේ ආකාරයෙන් 2021 සැප්තැම්බර් සිට මේ දක්වා අවස්ථා ගණනාවකදී මෙරටට සහල් ආනයනය කළ අතර කෘෂිකර්ම අමාත්‍යංශයේ නිලධාරියෙක් සඳහන් කළේ ආනයනය කළ සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 500,000කට අධික බව යි.

සහල් ආනයනය අත්හිටුවීමට සැලසුම්

මේ වන විට 2022 යල කන්නයේ අස්වනු නෙළීම ආරම්භ වී ඇති පසුබිමක සහල් ආනයනය දිගින් දිගට ම සිදු කිරීම හරහා දේශීය ගොවීන්ට වී සඳහා ප්‍රමාණවත් මිලක් නොලැබී යාමේ අවදානමක් ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පසුගිය දා සඳහන් කළේ ය. එම අවදානම සහ මේ වන විට රට තුළ ප්‍රමාණවත් තරම් සහල් තොග තිබීම සැලකිල්ලට ගනිමින් සහල් ආනයනය එළැඹෙන දෙසැම්බර් මාසය දක්වා අත්හිටුවීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇත. ඊට අදාළ අනුමැතිය ලබා ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ද පසුගිය දා ඉදිරිපත් කර තිබිණි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර/ www.themorning.lk

විශේෂ කමිටුවක්

අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සැලකිල්ලට ගනිමින් දෙසැම්බර් දක්වා සහල් ආනයනය අත්හිටුවීමට ඇති හැකියාව සොයා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය පියවර ගෙන තිබිණි. කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්, වෙළෙඳ අමාත්‍යංශ ලේකම්, සහ මුදල් අමාත්‍යංශයේ සහ මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් කණ්ඩායමකින් සමන්විත එම කමිටුව පත් කළේ අගෝස්තු මස මුල් භාගයේ වුවත් මේ වන තෙක් සහල් ආනයනය සම්බන්ධයෙන් එය අවසන් තීරණයක් ගෙන නැත.

සහල් ආනයනය අත්හිටුවන්නේ නම් සලකා බැලිය යුතු කරුණු

මේ වන විට යෝජනා වී ඇති පරිදි සහල් ආනයනය අත්හිටුවන්නේ නම් අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් පිළිබඳ ව විවිධ පාර්ශව අදහස් පළ කර ඇත. විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් පෙන්වා දී ඇත්තේ සහල් ආනයනය අත්හිටුවන්නේ නම් එය සිදු කළ යුත්තේ නිසි දත්ත පදනම් කරගෙන බව යි.

කෙසේ වෙතත් පසුගිය මහා කන්නයේ සිදු වූ වී වගා හානිය සහ මේ වන තෙක් ආනයනය කර ඇති සහල් ප්‍රමාණය සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය සතුව දත්ත නොමැති බව සහල් මෝල් හිමියන් චෝදනා කර ඇත. රට තුළ අවශ්‍ය තරම් සහල් තොග තිබේ නම් සහල් ආනයනය අත්හිටුවීම සුදුසු නමුත්, ඊට පෙර අදාළ දත්ත සපයා ගැනීම ඉතා වැදගත් බව ඔවුහු පෙන්වා දී ඇත.

වී අස්වනු නෙළීම –  www.Flickr.com

 මෙම සැලසුම සම්බන්ධයෙන් අදහස් දක්වමින් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විද්වතුන් පෙන්වා දී ඇත්තේ සහල් ආනයනය අත්හිටුවීමට පෙර, පසුගිය මහා කන්නයේ වගා හානි හේතුවෙන් රටට අහිමි වූ වී ප්‍රමාණය සහ ආනයනය කර ඇති සහල් ප්‍රමාණය විධිමත්ව ගණනය කළ යුතු බව යි. අදාළ ගණනය කිරීම්වල දී, මහා කන්නයේ අහිමි වූ වී ප්‍රමාණයෙන් නිෂ්පාදනය කළ හැකි ව තිබූ සහල් ප්‍රමාණය සහ මේ වන විට ආනයනය කර ඇති සහල් ප්‍රමාණය සමපාත වන්නේ නම් සහල් ආනයනය අත්හිටුවීමේ ගැටලුවක් නොමැති බව ඔවුන්ගේ මතය යි.

මේ වන විට රට තුළ උද්ගත වී ඇති ඉන්ධන අර්බුදය වැනි හේතු නිසා වී අස්වනු නෙළීමේ ක්‍රියාවලියට යම් යම් බාධා එල්ල වී තිබීම ද සහල් ආනයනය අත්හිටුවීමට අදාළ ක්‍රියාවලියේ දී සැලකිල්ලට ගත යුතු කරුණකි. අස්වනු නෙළීමේ ක්‍රියාවලියට එල්ල වී ඇති බාධා හේතුවෙන් යල කන්නයේ වී අස්වැන්න අඩු වුවහොත් රට තුළ සහල් හිඟයක් නැවැතත් ඇති වීමේ සහ සහල් මිල ඉහළ යාමේ අවදානමක් පවතී. කෙසේ වෙතත් අස්වනු නෙළීම සඳහා අවශ්‍ය ඉන්ධන හිඟයකින් තොර ව ගොවීන්ට සැපයීමට කෘෂිකර්ම අමාත්‍යංශය, බලශක්ති අමාත්‍යංශය සමඟ එක්ව විශේෂ වැඩසටහනක් සකස් කර ඇති බව පසුගිය දා වාර්තා විය.

කෘෂිකර්ම අමාත්‍යංශයේ සහල් ආනයනය අත්හිටුවීමේ සැලසුම පිළිබඳ ව අදහස් දක්වන පාරිභෝගිකයන් පෙන්වා දෙන්නේ ගොවීන්ගේ යහපත මෙන් ම පාරිභෝගිකයාගේ යහපත පිළිබඳ ව ද අවධානය යොමු කරමින් මේ සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු බව යි. විශේෂයෙන් ම රසායනික පොහොර සහ පළිබෝධනාශක හිඟය හේතුවෙන් පසුගිය යල කන්නයේ අස්වැන්න ද සාමාන්‍ය යල කන්නයක අස්වැන්නට සාපේක්ෂව 40-50% අතර ප්‍රතිශතයකින් අඩු විය හැකි බවට කෘෂි විශේෂඥයන් අනතුරු අඟවා තිබේ. එබැවින්, දේශීය සහල් නිෂ්පාදනය සමහරවිට රටේ අවශ්‍යතාව සැපිරීමට තරම් ප්‍රමාණවත් නොවීය හැක. එවැනි තත්ත්වයක් තුළ සහල් ආනයනය අත්හිටුවීම තුළින් මේ වන විටත් පාරිභෝගිකයාට දරාගත නොහැකි මට්ටමක පවතින සහල් මිල තවත් ඉහළ යා හැක.

ආනයනය කළ සහල් තොගයක් ගොඩබාන අයුරු – www.pinterest.com

 

කවරයේ ඡායාරූපය- එළැඹෙන දෙසැම්බර් මාසය දක්වා සහල් ආනයනය අත්හිටුවීමට කෘෂිකර්ම අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇත - www.bworldonline.com

මූලාශ්‍ර:

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත

www.statistics.gov.lk

කෘෂිකර්ම අමාත්‍යංශය නිකුත් කළ මාධ්‍ය නිවේදන

www.themorning.lk

www.dailymirror.lk

Related Articles