Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කැරිබියන් දූපත් භීතියට පත් කළ දරුණු මුහුදු කොල්ලකාරයා

කොන්ස්තන්තිනෝපලය තුර්කීන් අතට 1453 දී පත්වීමෙන් පසුව යුරෝපීයයන් දේශ ගවේෂණ කටයුතුවල නිරත වුණා. එදා ඔවුන් අත්ලාන්තික්, ඉන්දියන්, සහ පැසිෆික් යන සාගර කලාපවල වැඩිපුර සැරිසැරුවේ නව රටවල් සොයා ගැනීමේ අරමුණෙන්. 17 වන සියවස පමණ වන විට දේශ ගවේෂණ  කටයුතු පුළුල් මට්ටමෙන් සිදුවෙද්දී  ඇතැම් දේශ ගවේෂකයන්ට සමහර සාගර කලාපවල දී අමිහිරි අත්දැකීම්වලට මුහුණදීමට සිදුවුණා. ඒ මුහුදු කොල්ලකරුවන් නිසා යි.

එම යුගය වන විට ප්‍රසිද්ධියට පත් ව සිටි මුහුදු කොල්ලකරුවන් අතරට එඩ්වඩ් ටීක්, බාර්තොලමියු රොබට්ස්, හෙන්රි ඒවරි වැනි උදවිය අයත් වුණා. එම කොල්ලකරුවන්ගේ ක්‍රියාකාරිත්වය වැඩිපුර ම දක්නට ලැබුණේ අත්ලාන්තික් සාගර ප්‍රදේශවල දී යි. අත්ලාන්තික් සාගරයේ විශාල භීෂණයක් නිර්මාණය කළ මුහුදු මංකොල්ලකරුවන්ගෙන් හෙන්රි මෝගන් ඉතා ම දරුණු තැනැත්තකු බවට පතල ව සිටි අයෙක්. මෙතැන් සිට ඔබ වෙත ගෙන එන්නේ හෙන්රි මෝගන්ගේ කතාව යි.

බ්‍රිතාන්‍ය නැව් – Four Nations History  

ජීවිතයේ මුල් අවධිය 

1635 වසරේ වේල්සයේ මොන්මෞත් නගරයේ දී උපත ලැබූ හෙන්රි මෝගන්ගේ පියා රොබට් මෝගන් නම් පුද්ගලයෙක්. පැරණි මූලාශ්‍රවල ඔහුගේ පියා ගැන සඳහන් ව තිබුණත් මව ගැන සඳහන් නො වීම විශේෂත්වයක්. හෙන්රි මෝගන්ගේ මාමාවරුන් දෙදෙනකු බ්‍රිතාන්‍ය හමුදාවේ ඉහළ තනතුරු හොබවනු ලැබුවා. එනිසා කුඩා හෙන්රිට ළමා අවධියේ සිට ම අවි ආයුධ අතපත ගාන්නට අවස්ථාව ලැබුණා. ස්වභාවයෙන් ම තරමක දඩබ්බර චරිතයක් වුණු හෙන්රි යොවුන් වියට එළඹෙද්දී පොතපතට වඩා ඇලුම් කළේ අවි ආයුධවලට යි. ඒ නිසා ම ඔහු ආයුධ පරිහරණය කරන ආකාරය පිළිබඳ ව හොඳින් ඉගෙන ගත්තා.

1654-1660 කාලයේ මහා බ්‍රිතාන්‍ය සහ ස්පාඤ්ඤය අතර යුද්ධයක් පැවතුණා. එකල ලතින් අමෙරිකාව ආශ්‍රිත ව තිබුණු ස්පාඤ්ඤ යටත් විජිත ප්‍රදේශවලට බ්‍රිතාන්‍යයන් පහර දුන්නා. එම සටන් සඳහා සහභාගි වීමට කැමති බ්‍රිතාන්‍ය තරුණයන්ට කැරිබියන් දූපත්වලට යාමට අවස්ථාව හිමි වුණා. ඒ වන විට තරුණ හෙන්රිට අවි ආයුධ පරිහරණය කිරීමට මනා හැකියාවක් තිබුණු නිසා ඔහු කැරිබියන් දූපත් වෙත යාමට එක පයින් ම කැමති වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් කැරිබියන් දූපත්වලට ගිය පිරිස අතරට හෙන්රි මෝගන් ද ඇතුළත් ව සිටියා.

කැරිබියන් දූපත්වලට යාම හා සටන් බිමේ අත්දැකීම් 

එදා කැරිබියන් දූපත්වලට ගොඩබැස්ස හෙන්රි මෝගන් ඇතුළු පිරිස ජැමෙයිකාව අල්ලා ගැනීමේ සටනට එකතු වුණා. එහි දී හෙන්රි එකතු වුණේ ක්‍රිස්ටෝපර් මින්ග්ස්ගේ නායකත්වය යටතේ සටන් වැදුණු බ්‍රිතාන්‍ය භට කණ්ඩායමට යි. එකල  බ්‍රිතාන්‍ය හමුදාවේ ඉහළ නිලයක් දැරූ හෙන්රිගේ මාමා කෙනකු වුණු එඩ්වඩ් ද කැරිබියන් දූපත්වලට පැමිණ ස්පාඤ්ඤයන්ට එරෙහි ව සටන් කරමින් සිටියා.

එම යුගයේ කැරිබියන් දූපත් ආශ්‍රිත ව වසංගත රෝග පැතිර යාම හේතුවෙන් සටන ඉදිරියට කරගෙන යාම ලෙහෙසි පහසු වුණේ නැහැ. නමුත් හෙන්රි ඇතුළු පිරිස එම බාධක මැඩගෙන සතුරාට එරෙහිව සටන් කළා. අවසානයේ දී බ්‍රිතාන්‍යයන්ට ජැමෙයිකාව අල්ලා ගැනීමට හැකියාව ලැබුණා. එම සටනේ දී හෙන්රිගේ මාමා වුණු එඩ්වඩ් සිය රණශූරත්වය මනාව ප්‍රදර්ශනය කිරීම කැපී පෙනෙන සිදුවීමක් වුණා.

ස්පාඤ්ඤ-බ්‍රිතාන්‍ය යුද්ධයේ අවස්ථාවක් – getty images

 

හෙන්රි විවාහ වෙයි 

සටන් බිමේ දී පෑ හපන්කම් හේතුවෙන් හෙන්රිගේ මාමා වුණු කර්නල් එඩ්වඩ්ට 1664 වසරේ දී ජැමෙයිකාවේ ආණ්ඩුකාර තනතුර හිමි වුණා. තරුණ හෙන්රි සටන් බිමේ දී දැක්වූ දක්ෂතා පිළිබඳ ව එඩ්වඩ් මාමාට හොඳින් ම මතක තිබුණා. එනිසා එඩ්වඩ්ගේ හිතේ හෙන්රි ගැන විශාල පැහැදීමක් ඇති ව තිබුණා. ඒ වන විට එඩ්වඩ්ගේ දියණිය වුණු මේරි එළිසබෙත් තරුණ වියට පා තබා තිබුණා. එනිසා ඇයගේ විවාහය පිළිබඳව එඩ්වඩ් වඩාත් උනන්දු වුණා.

සිය දියණියට වඩාත් ගැළපෙන කෙනා සිය ඥාති පුත්‍ර හෙන්රි බව එඩ්වඩ් තීරණය කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් හෙන්රි මෝගන් සහ මේරි එළිසබෙත් විවාහ දිවියට ඇතුළත් වුණා. එය හෙන්රි මෝගන්ගේ ජීවිතය සම්පූර්ණයෙන් ම වෙනස් කළ සිදුවීමක් වුණා. ඉන් අනතුරුව සිය මාමාගේ බලය අනිසි ලෙස භාවිත කිරීමට පුරුදු වුණු මෝගන් නොදැනුම්වත්ව ම අපරාධ ලෝකයට පය තැබුවා. 

අපරාධ ලෝකයට පිවිසීම 

හෙන්රිගේ මාමා වුණු එඩ්වඩ්ට ජැමෙයිකාවේ ආණ්ඩුකාර තනතුරේ කටයුතු කිරීමට අවස්ථාවේ හිමි වුණේ මාස කිහිපයක් පමණ යි. ඒ ඔහු අකාලයේ මරණයට පත්වුණු නිසා යි. ඉන් පසුව ජැමෙයිකාවේ ආණ්ඩුකාර තනතුරට පත්වුණේ තෝමස් මොඩිෆෝඩ් නම් පුද්ගලයා යි. ඔහු වැඩි කලක් යන්නට පෙර මෝගන්ගේ  ඉතාමත් හොඳ හිතවතකු බවට පත් වුණා. එම යුගය වන විට මහා බ්‍රිතාන්‍යය ආර්ථික වශයෙන් පිරිහීමකට ලක් ව තිබුණා.

එනිසා ඔවුන් යටත් විජිතවලින් හැකි තරම් ධනය සොයා ගැනීමට උනන්දු වුණා. ඒ අතරතුර බ්‍රිතාන්‍යයන් කැරිබියන් දූපත් අසලින් ගමන් කරන සතුරු නැව් මංකොල්ලකෑමේ ක්‍රියාවලියක් ආරම්භ කළා. එය සිදු වුණේ බ්‍රිතාන්‍ය රජයේ අනුග්‍රහය යටතේ යි. එලෙස බිහි වුණු බ්‍රිතාන්‍ය මුහුදු කොල්ල කල්ලිවලට හෙන්රි මෝගන් ද සම්බන්ධ වුණා. හෙන්රිගේ නිර්භීත බව නිසා වැඩි කලක් යන්නට පෙර දක්ෂ කොල්ලකරුවකු වීමට හැකියාව ලැබුණා. 

හෙන්රි මෝගන් වස්තුව කොල්ලකමින් – Britannica

 

සිදු කළ විශාල කොල්ලකෑම් 

1668 වසර පමණ වන විට හෙන්රි මෝගන්ට අද්මිරාල් තනතුරක් පිරිනැමුණා. එකල මෝගන් යටතේ නැව් 10ක 500ක පමණ පිරිසක් රාජකාරියේ යෙදුණා. එදා ඔවුන්ට පැවරුණු ප්‍රධානත ම රාජකාරිය වුණේ සතුරු රටවල්වලට අයත් වුණු නැව් කොල්ල කා හැකි තරම් ධනය රැස් කිරීම යි. එම කාර්යය සිදුකිරීමේ දී කැරිබියන් දූපත් අවට මුහුදු ප්‍රදේශවල තිබුණු භූවිෂමතාවයෙන් ප්‍රයෝජන ගැනීමට මෝර්ගන් ඇතුළු පිරිසට හැකියාව ලැබුණා.

එහි ප්‍රතිඵලයක් වශයෙන් වැඩි කලක් යන්නට පෙර හෙන්රි මෝර්ගන් මුහුදු කොල්ලකරුවා වඩාත් ප්‍රසිද්ධ චරිතයක් බවට පත්වුණා. නමුත් ටික කලක් ගතවෙද්දී නැව් කොල්ලකෑමෙන් විශාල වාසියක් ලබාගත නොහැකි බව මෝගන් ඇතුළු පිරිසට ඒත්තු ගියා. එනිසා ඔවුන් වැඩිපුර ධනය සොයා ගැනීම සඳහා වෙනත් මාර්ගයක් සොයා ගත්තා. ඒ අනුව මෝගන් ඇතුළු පිරිස නගරවලට පහර දී එම නගරවල තිබුණු වටිනා වස්තු සම්පත් කොල්ල කන්නට පටන් ගත්තා.

එදා මෝගන් ඇතුළු පිරිස මුලින්ම අල්ලා ගත්තේ පුවේර්ටෝ ප්‍රින්සිපේ නම් නගරය යි. එම ප්‍රහාරය සඳහා යාත්‍රා 25කින් ගිය මෝගන් ඇතුළු පිරිස සාර්ථකව මෙහෙයුම අවසන් කළත් බලාපොරොත්තු වුණු තරම් වසතුවක් එහි තිබුණේ නැහැ. එනිසා වැඩි කලක් යන්නට පෙර පෝටෝ බෙලෝ නගරය අල්ලා ගැනීම මෝගන්නේ අරමුණ වුණා.

හෙන්රි මෝගන් ඇතුළු පිරිස මාර්කයිබෝ නගරයට එල්ල කළ ප්‍රහාරය – getty images

නමුත් පෝටෝ බෙලෝ නගරය බළකොටු සහිත ආරක්ෂිත නගරයක් වුණු නිසා එය ලෙහෙසි පහසු කාර්යයක් වුණේ නැහැ. ඒ අවස්ථාවේ දී වඩාත් උපක්‍රමශීලී වුණු මෝගන් මධ්‍යම රාත්‍රියේ දී නගරයට පහර දුන්නා. බලාපොරොත්තු නොවුණු එම ප්‍රහාරය ඉදිරියේ අන්ත අසරණ වුණු පෝටෝ බෙලෝ නගරයේ ආරක්ෂකයන්ට මෝගන් ඇතුළු පිරිස ඉදිරියේ පසු බැසීමට සිදු වුණා. ඒ අනුව පෝටෝ බෙලෝ නගරයේ බලය ද හෙන්රි මෝගන් ඇතුළු කොල්ල කල්ලියට හිමි වුණා. 

ඉන් පසුව නගරයේ තිබුණු වස්තුව කොල්ල කෑ මෝගන් ඇතුළු කණ්ඩායම එහි මාසයක පමණ කාලයක් රැඳී සිටියා.  පලා ගිය නගරයේ පාලකයන් කප්පම් මුදලක් ලබා දී නගරය යළි ලබාගැනීම සඳහා එම කාලය තුළ සාකච්ඡා කළා. ඒ අනුව පවුම් ලක්ෂයක මුදලකට නගරය ඔවුන්ට යළි ලබාදීමට මෝගන් එකඟ වුණා.

ඒ අයුරින් මහා ධනස්කන්ධයක්  ලැබීමෙන් පසුව මෝගන් තව තවත් නගර අල්ලා ගැනීම සඳහා සැලසුම් කළා. එම සැලසුම් සාර්ථක වුණු නිසා වෙනිසියුලාවේ මාර්කයිබෝ සහ ජිබෝල්ට්‍රා (එකල ලා සෙයිබා) යන නගර අල්ලා ගැනීමට මෝගන්ට හැකියාව ලැබුණා. එම කොල්ලයන්ගෙන් ද ඔවුන්ට විශාල ධනයක් ලැබුණා. ඉන් පසුව පැනමාවට පහර දුන් මෝගන් මුහුදු කොල්ලකරුවකු ලෙසින් විශාල කීර්තියක් අත්පත් කරගත්තා. 

ආපසු මහා බ්‍රිතාන්‍යයට 

1671 අගෝස්තුවේ දී ජැමෙයිකාවේ ආණ්ඩුකාර පදවියට තෝමස් ලින්ච් පත්වුණා. ඔහු මෝගන්ගේ දරුණු කොල්ලකෑම් පිළිබඳ ව දැන ගෙන සිටියා. එනිසා මෝගන් අත්අඩංගුවට ගැනීමට ලින්ච් කටයුතු කළා. ඉන් පසු ඔහු මහා බ්‍රිතාන්‍යයට යළි යවනු ලැබුවේ නඩු විභාගයක් සඳහා යි. එකල එංගලන්තයේ රජ කළ දෙවන චාල්ස්, හෙන්රි මෝගන් පිළිබඳ ව දැඩි ලෙස පැහැදීමට පත්ව සිටියා. ඒ ඔහුගේ රණශූරත්වය සහ නිර්භීත බව නිසා යි. එසේම මෝගන් නැව් සහ නගර කොල්ල කමින් බ්‍රිතාන්‍ය රජයට විශාල ආදායමක් හිමි කර දුන් බව රජතුමා දැන ගෙන සිටියා. එහි ප්‍රතිඵලයක් වශයෙන් මෝගන්ට බ්‍රිතාන්‍ය රජයෙන් කිසිදු දඬුවමක් ලැබුණේ නැහැ. 

දෙවන චාල්ස් රජතුමා – Royal UK

ලැබුණු නම්බු නාම සහ තනතුරු 

හෙන්රි මෝගන් බ්‍රිතාන්‍ය රජයට පෑ පක්ෂපාතීත්වය නිසා ඔහුට නයිට් නාමයක් පිරිනැමීමට චාල්ස් රජතුමා තීරණය කළා. 1674 වසරේ දී එම නයිට් නාමය ලැබීමෙන් පසුව මෝගන් යළි ජැමෙයිකාව බලා පිටත්ව ගියා. ඒ එහි වැඩ බලන ආණ්ඩුකාර තනතුර භාර ගැනීම සඳහා යි. මුල් ම වරට වසරක පමණ කාලයක් වැඩ බලන ආණ්ඩුකාර තනතුරේ කටයුතු කළ හෙන්රි මෝගන් 1675-1682 කාලය තුළ තවත් අවස්ථාවන් දෙකක දී ජැමෙයිකාවේ වැඩ බලන ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කළා. ඒ වන විට මෝගන්ට යහමින් මුදල් තිබුණු නිසා ඔහු ඒවා ආයෝජනය කරමින් විවිධ ව්‍යාපාරවල නිරත වුණා. එසේම ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කළ කාලයේ දී වහල් වෙළඳාමෙන් හොඳ ආදායමක් ලබාගැනීමට මෝගන්ට අවස්ථාව ලැබුණා.

එදා මුහුදු කොල්ලකරුවන් වස්තුව සඟවා තැබීම සඳහා පෝට් රෝයල් නමින් සුපිරි නගරයක් ඉදිකර තිබුණා. මෝගන් කොල්ලකරුවකු ලෙස ක්‍රියාකාරී ව සිටි අවධියේ එම නගරයේ ජීවත් වුණා. ඔහු 1682 වසරේ දී ජැමෙයිකාවේ වැඩ බලන ආණ්ඩුකාර තනතුරෙන් ඉවත් වීමෙන් පසුව පෝට් රෝයල් නගරයේ ජීවත්වීමට තීරණය කළා. එකල පෝට් රෝයල් නගරය සුරපුරයක් සේ දිස්වුණා.

පෝට් රෝයල් නගරයේ ගෙවූ සුපිරි ජීවිතය 

මිනිසකුට ලබන්නට හැකි සියලු ම ආකාරයේ සැප සම්පත් එහි දී ලබා ගන්නට ඔහුට හැකි වුණා. ඉස්තරම්ම  වර්ගයේ මත්පැන්හල් සහ ආපන ශාලා, විනෝද ශාලා, සුපිරි පන්නයේ ගණිකා නිවාස, රාත්‍රී සාද රෝයල් පෝට් නගරය ආශ්‍රිත ව දැකගන්නට ලැබුණා. එනිසා ධන කුවේරයකු වුණු හෙන්රි මෝගන්ට එහි සුපිරි ජීවිතයක් ගත කරන්නට අවස්ථාව ලැබුණා. නමුත් එම සතුට ඔහුට වැඩි කල් විඳීමට අවස්ථාව ලැබුණේ නැහැ. 

පෝට් රෝයල් නගරය Medium

 

මෝගන්ගේ අවසානය 

එකල අධික ලෙස මත්පැන් පානය කිරීම නිසා මෝගන් වරින් වර අසනීප වුණා. ඔහු සිය නරක පුරුදු අත්හැරියේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1688 අගෝස්තු මාසය වන විට මෝගන්ගේ අසනීප තත්ත්වය වඩාත් දරුණු අතට හැරුණා. එදා වෛද්‍යවරුන් පවසා සිටියේ මෝගන්ගේ අක්මාව අක්‍රීය තත්ත්වයට පත්ව ඇති බවයි. එනිසා මෝගන්ගේ ජීවිතය බේරා ගැනීමට අපහසු බව වෛද්‍යවරුන් පවසා සිටියා. ඒ අනුව 1688 අගෝස්තු 25 වැනිදා හෙන්රි මෝගන් අවසන් ගමන් ගියා. ඔහුගේ අවසන් කටයුතු බොහොම ඉහළින් සිදු වුණු බව පැරණි මූලාශ්‍රවල සටහන් ව තිබෙනවා. එලෙස මෝගන් මරණයට පත්වී වසර 4ක් පමණ ගත වෙද්දී සිදු වුණු මහා භූමිකම්පාවක් නිසා පෝට් රෝයල් නගරය මුහුදට බිලි වුණා. ඒ සමඟ ම හෙන්රි මෝගන් පිළිබඳ අවසන් මතකයත් මුහුදු පතුලේ සදහට ම සැඟව ගියා. 

කවරයේ ඡායාරූපය- හෙන්රි මෝගන් ඇතුළු පිරිස පැනමාව අල්ලාගැනීමෙන් පසුව - getty images

මූලාශ්‍ර :

historic-uk.com

thewayofthepirates.com

thoughtco.com

thehistoryjunkie.com 

Related Articles