ඩියේගෝ ගාර්ෂියා කඳවුර නිසා නිජබිම අහිමි වූ චගෝසියන්වරු

ශ්‍රී ලංකාව හැර ඉන්දියන් සාගරය තුළ පවතින ස්වාධීන දූපත් රාජ්‍ය ලෙස මාලදිවයින, මැඩගස්කරය, මුරුසිය, සීෂෙල්ස්, කොමරෝස් හැඳින්විය හැකි යි. ඒ හැරුණුකොට තවත් දූපත් රාශියක් ඉන්දියන් සාගරය පුරා පැතිරී තිබෙන අතර, ඒවා තවත් රටකට අයත් පාලන ඒකක ලෙස පවතිනවා. ඉන්දියන් සාගරය තුළ තවමත් බ්‍රිතාන්‍ය කිරීටය යටතේ පවතින “චගෝස් දූපත් සමූහය” කියන්නේත් එවැන්නක්. ඇතැම් විට ඔබට “චගෝස්” කියන නම නුහුරුත් ඇති. නමුත්, අමෙරිකානු යුද කඳවුරක් පිහිටා තිබෙන “ඩියෙගෝ ගාර්ෂියා” දූපත නම් ඔබ අසා ඇති.

ඩියෙගෝ ගාර්ෂියා කියන්නේ චගෝස් දූපත් සමූහයට ම අයත් තවත් එක පුංචි කොදෙව්වක්. ඉන්දියන් සාගරයේ අතිශයින් හුදෙකලා සහ අධි ආරක්ෂිත පෙදෙසක් වශයෙන් පවතින මෙම භූමි ප්‍රදේශය තරමක් විවාදයට ලක්වූ මාතෘකාවක්. එයට හේතුව වන්නේ ඩියේගෝ ගාර්ෂියාවේ පිහිටා තිබෙන අමෙරිකානු යුද කඳවුර නිසා විතරක් ම නොවේ. චගෝස් දූපත් සමූහයට උරුමකම් කියන මිනිසුන් පිරිසක් ද සිටීම නිසයි. අද ඔවුන් මේ සුන්දර කොදෙව්වේ නැහැ. ඒ අනුව ලෝකයේ අඩුවෙන් ම අවධානයට ලක්වූ මානව හිමිකම් ගැටලුවක පසුබිම වෙත ඔබව ගෙන යන්නයි මේ සූදානම් වෙන්නේ.

චගෝස් වැසියන්ට තම දූපත අතහැර දමන්න සිදුවෙන බව දැනගත් විට ඔවුන් කලබලයටත්, බියටත් පත් වුණා – asiatimes.com 

චගෝස් ගැන තවදුරටත්

චගෝස් දූපත් සමූහය අයත් වන්නේ බ්‍රිතාන්‍ය ඉන්දියානු සාගර කලාපයට යි. මෙම සාගරය කලාපය සාපේක්ෂ ව තරමක් විශාල වුණත්, ගොඩබිම් වෙනුවෙන් වෙන් වන්නේ වර්ග කිලෝමීටර 60ක් තරම් කුඩා පෙදෙසක් පමණ යි. ඩියෙගෝ ගාර්ෂියා ඒ අතුරින් විශාලත ම බිම්කඩ වන අතර, විශාලත්වයෙන් වර්ග කිලෝමීටර 44ක් පමණ වෙනවා. චගෝස් දූපත් සමූහය සිෂේල්ස් රාජ්‍යයට අයත් “මාහේ” දිවයිනේ සිට කිලෝ මීටර් 1770ක් පමණ නැගෙනහිර දෙසින් පිහිටා තිබෙනවා.  උණුසුම්, තෙතමනය සහ සුළං සහිත දේශගුණයක් මෙම දූපත් ආශ්‍රිතව පවතිනවා.

18 වන සියවසේ අග භාගය වන තෙක් චගෝස් දූපත් සමූහය මිනිස් වාසයෙන් තොර හුදෙකලා බිම්කඩක් ලෙස පැවතුණා. 1776 දී ප්‍රංශ යටත් විජිතවාදීන් කිහිපදෙනකුට වාණිජ මට්ටමෙන් පොල් වගාව සංවර්ධනය කිරීම සඳහා ප්‍රංශ රජය අවසර දුන් අතර, වගා හිමියන් මැඩගස්කරය, මොසැම්බික්, සෙනගාලය වැනි අප්‍රිකානු රටවලින් වහල් ශ්‍රමය සපයා ගත්තා. ටිකෙන් ටික දූපත් සමූහය පොල් වගාවෙන් මෙන්ම උක් වගාවෙනුත් සමෘද්ධිමත් වීමට පටන් ගත්තා.

අතීතයේ චගෝස් වැසියන් දූපතේ පොල් වතුවල සේවය කරමින් නිදහස්, සතුටුදායී ජීවිතයක් ගත කළා. – daily.jstor.org 

බ්‍රිතාන්‍යනිසා ජීවන රටාවේ වෙනසක්

 වර්ෂ 1835 වනවිට චගෝස් දූපත් සමූහය බ්‍රිතාන්‍යයේ පාලනය යටතට පත් වුණා. පරිපාලනය පහසුව තකා චගෝස් දූපත් මුරුසියට ඈදා ගනිමින් පරිපාලනය ගෙන යෑමට බ්‍රිතාන්‍ය ක්‍රියා කළා. ඒ වනවිටත් දූපතේ වතුවල වහල් බවින් සිටි අප්‍රිකානුවන් එම තත්ත්වයෙන් නිදහස් කොට, ඔවුන් සේවය කළ වතු වල ම අයිතිකරුවන් බවට පත් කිරීමට බ්‍රිතාන්‍යය කටයුතු කළා. 19 වන හා 20 වන සියවස්වල යුරෝපයේ සහ ඉන්දියානු උප මහද්වීපයේ පොල් තෙල් සඳහා විශාල ඉල්ලුමක් ඇතිවෙමින් තිබුණු නිසා බ්‍රිතාන්‍ය පරිපාලනයට එවැනි පිළිවෙතක් අනුගමනය කිරීම වාසි සහගත වන්නට ඇති. පසු කාලීනව සීෂෙල්ස් සහ මුරුසියෙන් පවා ඇපකර පදනමකින් ගෙන්වා ගත් සේවකයන් සහ ඔවුන්ගේ පවුල් චගෝස් වෙත පැමිණියා. 

කම්කරුවන්ට වැටුප් ලෙස බොහෝවිට සහල් වැනි භාණ්ඩවලින් ගෙවීම් සිදු කළ අතර, මුදල්වලින් ගෙවීම් සිදු කළ අවස්ථාත් නොතිබුණා නොවේ. සැපයුම් නෞකාවකින් මුරුසියට යාමටත්, මුරුසියට ගොස් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමටත්, සෑහෙන මුදලක් එකතුවන තෙක් සේවක වැටුප් වතු හිමියන් විසින් රඳවා තබා ගන්නා ක්‍රමවේදයක් ද චගෝස් තුළ පැවතුණා. දිවයිනේ සෑම වැඩිහිටියකු ම පාහේ වතු සේවයේ යෙදුණු අතර, සෑම පවුලකට ම තමන්ගේ ම නිවසක්, පලතුරු, එළවළු සහ සත්ත්ව පාලනයට සෑහෙන ඉඩමක් ලැබී තිබුණා. වගාබිම්වල වැඩ කිරීම තරමක් දුෂ්කර වුණත්, දූපත්වැසියන්ගේ ජීවන තත්ත්වය සහ මානසිකත්වය යහපත් මට්ටමකින් පැවතුණු බව කියවෙනවා.

 මෙම කරුණුවලින් පෙනී යන්නේ කාලයත් සමඟ ස්ථිර පදිංචිකරුවන්ගෙන් යුක්ත ජනගහනයක් චගෝස් දූපත් සමූහය තුළ වර්ධනය වූ බව යි. මෙම ජනගහනය මූලිකව ම කේන්ද්‍රගත ව තිබුණේ වැඩි භූමි වපසරියක් ඇති ඩියේගෝ ගාර්ෂියා දූපතේ යි. පසුව  අනෙකුත් කුඩා දූපත් කරා මෙම ජනගහනය වර්ධනය වුණා. ඔවුන් ඉතිහාසයත් සමඟ මේ කුඩා, එහෙත් සුන්දර කොදෙව්වේ උරුමකරුවන් වූ අතර, දූපත් වැසියන් “චගෝසියන්වරු” නමින් හැඳින්වූවා. ඔවුන් වටා අනන්‍ය සංස්කෘතියක් පවා වර්ධනය වුණා.

දූපතට ඉව ඇල්ලූ අමෙරිකාව

සීතල යුද්ධය පවතින කාලය තුළදී, සෝවියට් සංගමයෙන් සහ චීනයෙන් අරාබි ගල්ෆ් කලාපයට සිදු වන බලපෑම් ගැන අවධානයෙන් සිටීම සඳහා ඉන්දියන් සාගරය තුළ හමුදා කඳවුරක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව අමෙරිකා එක්සත් ජනපදයට මතු වුණා. ඔවුන් ඒ සඳහා මුලින් ම තෝරා ගත්තේ අද සීෂෙල්ස් රාජ්‍යයට අයත් වන ඇල්ඩබ්‍රා දිවයින යි. එවකට බ්‍රිතාන්‍යයේ අගමැති ධූරය හෙබවූ හැරල්ඩ් විල්සන් මේ තෝරා ගැනීමට කැමති වුණේ නැහැ. ඇල්ඩබ්‍රා දිවයින තුළ දුර්ලභ ගණයේ ඉබ්බන් විශේෂයක් ජීවත් වන නිසා පරිසර විද්‍යාඥයන්ගේ බලවත් විරෝධය එල්ල වීමේ හැකියාව ගැන ඔහු සැලකිලිමත් වුණා. ඒ අනුව එක්සත් ජනපදයේ අවධානය ඩියෙගෝ ගාර්ෂියා දිවයින කෙරෙහි යොමු වුණා. 

චගෝස් දූපත් සමූහයේ පිහිටීම –  www.transcend.org 

18 වන සියවසේ පටන් චගෝස් දූපත් සමූහය මුරුසියට අයත් කොටසක් ලෙස පැවතුණා. වර්ෂ 1965 දී චගෝස් දූපත් සමූහය සහ ඒ ආශ්‍රිත සමුද්‍ර කලාපය මුරුසියෙන් වෙන්කොට, “බ්‍රිතාන්‍ය ඉන්දියානු සාගර කලාපය” ලෙසින් දිගින් දිගට ම තමා යටතේ තබා ගැනීමට බ්‍රිතාන්‍යය කටයුතු කළා. ඒ වනවිටත් මුරුසිය තුළ බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගැනීම සඳහා කටයුතු සම්පාදනය වෙමින් පැවතුණු අතර, 1968 දී මුරුසිය බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගත්තා. මුරුසිය නිදහස ලබා ගත් විට චගෝස් දූපත් නිරායාසයෙන් ම මුරුසියට නතු වීමේ හැකියාවක් තිබුණා. මුරුසිය නිදහස ලබා ගැනීමට පෙර චගෝස් දූපත් ඔවුන්ගෙන් වෙන් කිරීමට මහා බ්‍රිතාන්‍යය කටයුතු කළේ ඒ නිසා යි. එවිට ආරක්ෂක අරමුණු සඳහා ඩියේගෝ ගාර්ෂියා දිවයින එක්සත් ජනපදයට ලබා දීම ගැටලුවක් නොවෙයි.

උරුම බිම අහිමි වූ මිනිස්සු

1966 දී බ්‍රිතාන්‍ය පරිපාලනය යුදමය කටයුතු සඳහා චගෝස් දූපත් අමෙරිකා එක්සත් ජනපදයට බදු පදනමක් යටතේ ලබා දීමට කටයුතු කළා. නමුත්, තවමත් ඔවුන් හමුවේ ගැටලුවක් තිබුණා. යුද කඳවුර පිහිටුවීමට නම් එය අධි ආරක්ෂිත කලාපයක් විය යුතු යි. ඒ සඳහා දූපත මිනිසුන්ගෙන් තොර කලාපයක් බවට පත් කිරීමේ අවශ්‍යතාව මතු වුණා. චගෝස් දූපතේ සාමකාමී වැසියන්ට නරක කල දසාවක් උදා වෙන්නට පටන් ගත්තේ මෙතැන් සිට යි. ඒ අනුව චගෝස් වැසියන් එම දූපත්වල වාසය කිරීමට අයිතිය නැති සංචාරක කම්කරුවන් පමණක් බව ඉස්මතු කරමින් ඔවුන් වටා ව්‍යාජ ඉතිහාසයක් නිර්මාණය කිරීමට බ්‍රිතාන්‍යය කටයුතු කළා. ඒ වනවිට දූපත් වැසියන්ගේ පස්වන පරම්පරාවත් බිහි වී අවසන්.

පිටමං කළ චගෝස් වැසියන්ට කුඩා බෝට්ටු වල නැඟී මුරුසියට හෝ සීෂෙල්ස් වෙත යාමට සිදු වුණා – chagosislandersmovement.com 

බ්‍රිතාන්‍ය රජය චගොස් දූපතේ වතු හිමියන් ගෙන් සියලු වතු මිලදී ගෙන වැවිලි කර්මාන්තය ආශ්‍රිත සියලු ක්‍රියාකාරකම් අකර්මණ්‍ය කිරීමට කටයුතු කළා. මෙතෙක් දූපතට සැපයුම් ගෙනා නෞකාත් නවත්වා දැමුවා. ඒ වනවිට දහසකටත් වැඩි ජනගහනයක් සිටි චගෝස් දූපතේ වැසියන් සියල්ලන්ට ම දූපත අතහරින ලෙස නියෝග දී තිබුණා.

බ්‍රිතාන්‍යය අහිංසක වැසියන් රැවටුවා

එවිට ඇතැම් වැසියන් අනෙකුත් කුඩා දූපත්වලට පලා යෑමට උත්සහ කළත්, ඒ වනවිට මුළු දූපත ම වටලා තිබුණු හෙයින් ඔවුන් අසාර්ථක වුණා. දූපත් වැසියන් අවශේෂ ලෝකයෙන් හුදෙකලා කොට බිය ගැන්වූ අතර, ඔවුන්ට මේ හා සමාන පරිසරයක ඉඩම් සහ නිවාස ලබා දෙන බවට වූ විශ්වාසය ඇති කරමින්, බ්‍රිතාන්‍ය පරිපාලනය අහිංසක චගෝස් වැසියන් රැවටීමකට ලක් කළා.

මුරුසියේ අනාථ වූ චගෝස් වැසියන්ගේ දුක්ඛිත ජීවිතය  medium.com 

1971 වනවිට සියලු ම චගෝස් වැසියන් දූපත් සමූහයට අයත් ඩියේගෝ ගාර්ෂියාවෙන් ඉවත් කළ අතර, 1973 වර්ෂය එළඹෙන විට මුළු චගෝස් දූපත් සමූහය ම ජන ශූන්‍ය කිරීමට ඔවුන්ට හැකි වුණා. මේ අනුව බ්‍රිතාන්‍යය බලහත්කාරයෙන් පිටමං කළ චගෝස් වැසියන් ගණන 1500ක් පමණ වුණා.

නැවත පදිංචි කිරීමේ යෝජනා ක්‍රමයක් නොමැති ව චගෝස් වැසියන් හට මුරුසියට පිටුවහල් වීමට සිදු වුණා. ඇතැම් අය සීෂෙල්ස් වලටත් පිටත් කර යැවූ බව සඳහන්. ඔවුන්ට සිය උපන් භූමිය වෙත නැවත පැමිණීමේ අයිතියත් අහෝසි කොට දැමුවා. යහපත් ජීවිතයක් පිළිබඳ පොරොන්දු මත පිටත් කර හැරිය මේ අහිංසක ජන කොට්ඨාශය අවසානයේ දී රැවටීමට ලක් වූ බව චගෝස් ජාතික ක්‍රියාකාරියකු වන ලුවී ඔලිවියර් බැන්කෝල්ට් පවසා තිබෙනවා. නිවාස, ඉඩම්, සතුන් සහ මුදල් බලාපොරොත්තුවෙන් අලුත් ජීවිතයක් ඇරඹීමට පැමිණි ඔවුන් වෙනුවෙන් මුරුසියේ කිසිදු දෙයක් සූදානම් ව තිබුණේ නැහැ.

අගතියට පත් ජීවිත

මවුබිම අහිමි වූ චගෝස් වැසියන් බොහෝමයක් මුරුසියේ අගනුවර වන පෝර්ට් ලුවිස් හි පැල්පත් නිවාසවලට කොටු වුණා. උපන් බිම අහිමි වීමෙන් ඇති වූ කම්පනය සහ අසරණභාවයෙන් පමණක් නොව දරිද්‍රතාව, සාගින්න සහ රෝග පීඩා වලින් ද ඔවුන් දුක් වින්දා. ඇතැම් අය මානසික අවපීඩනය හමුවේ සිය දිවි නසා ගැනීමට පවා පෙලඹුණු බව සඳහන්. අධික ජනගහනයක් සහ ඉහළ රැකියා වියුක්තියක් තිබුණු මුරුසියේ රැකියාවක් සොයා ගැනීමටත් චගෝස් වැසියන්ට පහසු වුණේ නැහැ. විධිමත් අධ්‍යාපනයක් නොමැති වීම සහ මුරුසියේ භාවිත භාෂා ගැන දැනුමක් නොමැතිකම නිසා තත්ත්වය තවදුරටත් උග්‍ර වුණා. බොහෝ දෙනෙක් මත්ද්‍රව්‍ය සහ මත්පැන්වලට ඇබ්බැහි වුණා.

1973 දී බ්‍රිතාන්‍ය රජය මුරුසිය තුළ අනාථභාවයට පත්වූ චගෝස් වැසියන් වෙනුවෙන් පවුම් 650,000 ක මුදලක් මුරුසි රජයට ලබා දුන්නා. මෙම මුදල්වලින් චගෝස් වැසියන් ගොවිබිම්වල නැවත පදිංචි කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වුණත්, එකඟතාවල ගැටලු හමුවේ  වැඩසටහන ක්‍රියාත්මක වුණේ නැහැ. අවසානයේදී එම මුදල් චගෝස් වැසියන් අතර බෙදා හැරියා.

චගෝස් වැසියන් අධිකරණ ක්‍රියාමාර්ගවලට

පසු කාලීනව චගෝස්වරුන්ගේ ගැටලුව ගැන ලෝකයේ අවධානයට පාත්‍ර වුණා. චගෝස් වැසියන් අධිකරණ ක්‍රියාමාර්ගවලට පවා අවතීර්ණ වූ අතර, එම නීතිමය ක්‍රියාවලියට සැලකිය යුතු ඉතිහාසයක් තිබෙනවා. මේ දක්වා ඔවුන් නීතිමය පැත්තෙන් කටයුතු කළ ආකාරය ගැන ලිපි අන්තර්ජාලයේ බහුල ව තිබෙනවා. ඔවුන්ගේ ඉතිහාසය, සිදුවූ අසාධරණය ඇතුළු චගෝස් වැසියන්ගේ සියලු විස්තර ඇතුළත් වෙනම වෙබ් අඩවි පවා නිර්මාණය වී තිබෙනවා. 

බ්‍රිතාන්‍යය සහ මුරුසිය අතර කලක පටන් චගෝස් වැසියන්ගේ ගැටලුව සහ චගෝස් දූපත්වල හිමිකාරීත්වය සම්බන්ධයෙන් අර්බුදකාරී වාතාවරණයක් පවතිනවා. එහි උච්චත ම අවස්ථාවක් 2015 වර්ෂයේදී එළඹුණා. චගෝස් දූපත්වල මානව හිමිකම් සහ ස්වෛරීභාවය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් එක්සත් රාජධානියට එරෙහි ව නෙදර්ලන්තයේ “හේග්” නුවර පිහිටි ස්ථිර බේරුම්කරණ අධිකරණයේ මුරුසිය නීතිමය කටයුතු ආරම්භ කළා. මෙම ගැටලුව ද්වීපාර්ශවික කාරණයක්යැ යි පවසමින් ජාත්‍යන්තර අධිකරණය වෙත යෑමට මුරුසිය දැරූ ප්‍රයත්නයට එරෙහි වීමට එක්සත් රාජධානිය උත්සහ කළා.

ලොව පුරා විසිරී සිටින චගෝස් වැසියන් තම නිජබිම වෙනුවෙන් තවමත් සටන් වදිනවා – slow-journalism.com 

2017 ජුනි මාසයේ පැවැත්වූ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී රටවල් 94 ක් හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අධිකරණයෙන් චාගෝස් දූපත්වල නෛතික තත්ත්වය පිළිබඳ උපදේශාත්මක මතයක් ලබා ගැනීම උදෙසා වූ මුරුසියේ යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා.  එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය ඇතුළුව රටවල් 15ක් එ ම යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා. රටවල් 65ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා. එලෙස ඡන්දයෙන් වැළකුණු සාමාජිකයන් අතර යුරෝපා සංගමයේ රටවල් පවා තිබුණා.

චගෝස් දූපතේ අර්බුදය අදටත් අවසන් වෙලා නැහැ. තම නිජබිම දිනාගැනීම උදෙසා වූ අරගලයත් චගෝස් වැසියන් නවතා නැහැ. කෙසේ නමුත්, ලෝක බලවතුන්ගේ බල පොරයට මේ කුඩා දූපත් සමූහය දැන් නතු වී අවසන්. එවැනි වාතාවරණයක් තුළ චගෝස් වැසියන්ගේ භූමිකාව දැනෙන මට්ටමෙන් ඉස්මතු වේයැ යි සිතීම උගහට යි. මේ සියලු වියවුල් මැද්දේ එක්සත් ජනපදය ඩියේගෝ ගාර්ෂියාවේ යුද කඳවුර කලානුරූපව තව තවත් ස්ථාවර කර ගත්තා. ඔබ අසා ඇති ඉන්දියානු සාගරයේ අමෙරිකානු යුද කඳවුරේ පසුබිම් කතාව මෙබඳු යි.

කවරයේ පින්තූරය: අමෙරිකානු යුද කඳවුර පිහිටා ඇති ඩියේගෝ ගාර්ෂියා දිවයින - bloomberg.com

මූලාශ්‍ර:

theguardian.com

historyofyesterday.com

indianexpress.com

 biot.gov.io 

Related Articles