Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තායිලන්තයේ ලෙයින් නැහැවුණු “ටර්මිනල් 21” ප්‍රහාරය

තායිලන්තයේ පසුගිය සෙනසුරාදා සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 26 දෙනෙකු මරණයට පත් වෙනවා. තායිලන්ත හමුදා භටයෙක් තම කඳවුරෙන් ගිනි අවි හා පතොරම් පැහැරගෙන විත්, සුපිරි වෙළඳ සංකීර්ණයක් තුළ කළ වෙඩි තැබීම් හේතුවෙන් මේ ආකාරයට විශාල පිරිසක් ඝාතනය වෙනවා. 

පසුගිය සෙනසුරාදා සවස් යාමයේ කඳවුරෙන් එළියට එන ඔහු, සුපිරි වෙළඳ සංකීර්ණයකට ඇතුළු වී වෙඩි තැබීම හා පුද්ගලයන් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගැනීම සිදුකර තිබෙනවා. පැය ගණනාවක මෙහෙයුම් කිහිපයකින් ම තායිලන්ත කමාන්ඩෝ භටයන් මෙම හමුදා භටයා අල්ලා ගැනීමට උත්සාහ කරන නමුත්, එය සාර්ථක වන්නේ නෑ. අවසානයේ එම හමුදා භටයා ඝාතනය කිරීමට කමාන්ඩෝ භටයන් සමත් වූ බව තායිලන්ත රජය ඉරිදා දිනයේ සවස් යාමයේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.

තම හමුදා ප්‍රධානියා ඝාතනය කළ ජක්‍රපාන්ත් තොම්මා (Jakrapanth Thomma)

ජක්‍රපාන්ත් තොම්මා වෙඩි තැබීම ආරම්භ කිරීමට පෙර (tstatic)

තායිලන්ත හමුදාවේ සැරයෙන්වරයෙකු වූ ජක්‍රපාන්ත් තොම්මා, නකොන් රචසිමා (Nakhon Ratchasima) පළාතේ කෝට් (Korat) නගරයේ හමුදා කඳවුරේ සේවය කරන හමුදා භටයෙක්. ඔහු හා හමුදා කඳවුරේ අණදෙන නිලධාරියා අතර මත ගැටුමක් හටගන්නා අතර, ඒ හේතුවෙන් පෙබරවාරි 8 සෙනසුරාදා දිනයේ දී තම හමුදා කඳවුරේ අණදෙන නිලධාරියා වෙඩි තබා ඝාතනය කිරීමට ජක්‍රපාන්ත් තොම්මා කටයුතු කරනවා.

ඒ අණදෙන නිලධාරියාගේ නිල නිවසේ දී යි. ඒ සමගම අණදෙන නිලධාරියා සමග සිටි එම නිලධාරියාගේ සහායකයා හා ඒ අසල සිටි කාන්තාවක් ද වෙඩි තැබීම හේතුවෙන් මරණයට පත් වෙනවා. මරණයට පත් වූ කාන්තාව අණදෙන නිලධාරියාගේ නැන්දනිය බව සඳහන්. ඔහු හා ඔහුගේ අණදෙන නිලධාරියා අතර ගැටුමක් ඇති වීමට ප්‍රධාන හේතුව ඇත්තේ දේපොළ වෙළඳාම සම්බන්ධ ප්‍රශ්නයක්. සෙනසුරාදා සවස 03:30ට පමණ අණදෙන නිලධාරියා මරා දැමු බව තායිලන්තයෙන් වාර්තා වෙනවා.

පසුව තම හමුදා කඳවුරෙන් ගිනි අවි කිහිපයක් හා පතොරම් තොගයක් සොරාගැනීමට ජක්‍රපාන්ත් තොම්මා ක්‍රියා කරනවා. ඒ සඳහා කඳවුරේ අනෙකුත් හමුදා භටයන් විරුද්ධ වන අතර, ඔවුන්ට ද වෙඩි ප්‍රහාර එල්ල කර පලවා හැරීමට තොම්මා සමත් වෙනවා. හමුදා කඳවුරෙන් ජීප් රථයක්, අවි කිහිපයක් හා අවශ්‍ය පතොරම් ද ඇති තරම් පැහැර ගන්නා ඔහු පසුව නකොන් රචසිමා හි කෝට් නගරය බලා තම රිය ධාවනය කරනවා.

“ටර්මිනල් 21” දරුණු ප්‍රහාරය 

ටර්මිනල් 21 (harwichand)

හමුදා කඳවුරේ සිට නගරයට එන අතමඟ දී සමාජ ජාල වෙත වීඩියෝ මුදා හරිමින් පැමිණෙන ඔහු එන අතරතුර ද මාර්ගය දෙපසට වෙඩි තබමින් පැමිණෙනවා. සවස 6 පමණ වන විට නගරයේ ටර්මිනල් 21 සුපිරි වෙළෙඳ සංකීර්ණය වෙත ළඟා වීමට ඔහුට හැකියාව ලැබෙන අතර, ඒ වන විටත් සමාජ මාධ්‍ය ජාලා කිහිපයකට ම ඔහු විසින් වීඩියෝ පට මුදාහැර තිබෙනවා.

ජීප් රථයෙන් පිටතට පැමිණෙන තොම්මා, මඟ දෙපස ජනතාවට වෙඩි තබමින් සුපිරි වෙළඳ සංකීර්ණයට ඇතුළු වෙන ආකාරය මඟ දෙපස ආරක්‍ෂිත කැමරාවල සටහන් වී තිබෙනවා. වෙඩි තබමින් වෙළෙඳ සංකීර්ණය තුළට ඇතුළු වෙන ඔහු, ඒ සමගම කිසිම ඉලක්කයකින් තොරව හතර අතට වෙඩි තැබීම ආරම්භ කරනවා. වෙළඳ සංකීර්ණය තුළ දී, තොම්මා රයිෆලයක් ඉහළට ඔසවාගෙන සිටින අයුරු CCTV දර්ශන ඔස්සේ ද දැකගන්න පුළුවන්. වෙළඳ සංකීර්ණයට ඇතුළුවෙත්ම ඔහුගේ සාමාජ මාධ්‍ය ජාලා ගිණුම් අත්හිටුවීමට එම ආයතන පියවර ගනු ලබනවා.

මරණ 26 යි තුවාල ලැබූ අය 57 යි.

ජනතාව මුදාගැනීම (dailymail)

ටර්මිනල් 21 වෙළඳ සංකීර්ණයේ ඉහළට ගමන් කරමින් වෙඩි තබන, ඔහුගේ මෙම වෙඩි උණ්ඩවලට බොහෝ සිවිල් වැසියන් ප්‍රමාණයක් ගොදුරු වෙනවා. මුළු රාත්‍රිය පුරාම එම වෙළඳ සංකීර්ණයේ රැඳී සිටිමින් වරින් වර වෙඩි තැබීම් සිදුකරන ඔහු, පුද්ගලයන් කිහිපදෙනෙක් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගනු ලබනවා. 

තායිලන්ත පොලීසිය අවස්ථා කිහිපයක දී ම තොම්මා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරන නමුත්, එය සාර්ථක වන්නේ නෑ. හමුදා සටන් ක්‍රම හොඳින් පුහුණුව සිටි තොම්මා, ඒ සෑම අවස්ථාවකම පොලිස් නිලධාරීන්ට ද වෙඩි තබමින් ඔවුන්ගෙන් ගැලවීමට සමත් වෙනවා. පසුව හමුදාව ද පැමිණ තොම්මා, යටත් කරගැනීමට උත්සාහ දරන නමුත් එය සාර්ථක වන්නේත් නෑ. 

පසුව තොම්මාගේ මව වෙළඳ සංකීර්ණය ඉදිරිපිටට රැගෙන එන පොලීසිය ඇය ලවා තොම්මාට යටත් වන ලෙස නිවේදනය කරවනවා. නමුත්, එම කිසිම ඉල්ලීමක් සඳහා තොම්මා ඇහුම්කන් දෙන්නේ නෑ. මේ අතරවාරයේ වෙළඳ සංකීර්ණයේ සිර වී සිටින පුද්ගලයන් අතරින් පුද්ගල කණ්ඩායම් කිහිපයක් මුදාගැනීමට හමුදාව හා පොලීසිය සමත් වෙනවා.

තායිලන්ත වේලාවෙන් ඉරිදා උදෑසන 3 පසු වෙනවාත් සමග තොම්මා යටත් කරගැනීමට හෝ එසේ නොහැකි වුවහොත්, ඝාතනය කිරීමේ අරමුණෙන් විශේෂ කමාන්ඩෝ කණ්ඩායමක් ටර්මිනල් 21 සුපිරි වෙළඳ සංකීරණය තුළට ඇතුළු වෙනවා. එම කණ්ඩායම පැය 15කට වඩා වැඩි කාලයක් තිස්සේ මෙහෙයුම දියත් කරන අතර, මෙහෙයුම අවසානයේ තොම්මාව ඝාතනය කිරීමට ඔවුන් සමත් වෙනවා. ඒ බව තායිලන්ත රජය විසින් ඉරිදා සවස් වරුවේ ප්‍රකාශ කරනවා.

ඉරිදා දිනයේ තොම්මා ඝාතනය කිරීමෙන් අනතුරුව ඔහුගේ වෙඩි ප්‍රහාර හේතුවෙන් මියගිය ප්‍රමාණය රජය විසින් ගණන් බලනු ලබනවා. තොම්මගේ වෙඩි ප්‍රහාර හේතුවෙන් 26 දෙනෙකු මියගොස් ඇති බවත්, 57 දෙනෙකු තුවාල ලබා ඇති බවත් තහවුරු වෙනවා.

කෙසේ හෝ මෙම අමානුෂික ප්‍රහාරයෙන් මුළු තායිලන්තයම කැළඹී තිබෙනවා. සාමකාමී රටක සිදු වූ මෙවැනි දරුණු ප්‍රහාරයකින් තමන් කම්පාවට පත් වී සිටින බවත්, මෙවැනි දේ යළි නොවීමට වග බලාගත යුතු බවත් එරට අගමැති ප්‍රයූත් චන්-ඔචා පවසා සිටිනවා.

මූලාශ්‍රයයන්: 

Cnn.com

Aljazeera.com

කවරයේ පින්තූරය- chinadaily

Related Articles