නොවි‍යකෙන කඳුළු ඉතිරි කරමින් නිම වූ ‘ඇලෙප්පෝ මහ සටන’

2012 වසරේ සිට කැරලිකරුවන් හා අඛණ්ඩව සිදු කෙරුණු බිහිසුණු සටන්වලින් පසු සිරියාවේ ප්‍රධානතම වාණිජ නගරය සහ විශාලම නගරය වන ඇලෙප්පෝ සම්පූර්ණයෙන්ම සියතට ගැනීමට තමන් සමත්වූ බව සිරියානු යුධ හමුදාව පසුගිය 22 වනදා නිල වශයෙන් නිවේදනය කළා.

කුමන අරමුණු යටතේ සිදුකරනු ලැබුවත් යුද්ධයේ ඇති ඛේදාන්තය ලොවට කියා පෑ කැඩපතක් බඳු වූ ‘ඇලෙප්පෝ යුද්ධය’ කෙරෙහි සියළු දෙනාම දැක්වූවේ දැඩි අවධානයක්. යුධ බිය සමස්ථ ලෝකය පුරා පැතිර තිබෙද්දි ඇලෙප්පෝ කෙරෙහි ඒ සා විශාල අවධානයක් යොමු වීමට බලපෑ හේතු සාධක සහ ඇලෙප්පෝ යුද්ධය පිළිබඳ ඔබට මූලික අවබෝධයක් ලබාදීම අරමුණු කරගෙනයි මේ ලිපිය ලියැවෙන්නේ.

ඛේදවාචකයේ ඇරඹුම

ප්‍රහාරවලින් විනාශ වුණ කැරළිකරුවන් සතුව තිබූ ප්‍රදේශය - 2014 නොවැම්බර්. (The Indedendent)

ප්‍රහාරවලින් විනාශ වුණ කැරළිකරුවන් සතුව තිබූ ප්‍රදේශය – 2014 නොවැම්බර්. (The Indedendent)

2011 වසර වනවිට ඇලෙප්පෝ නගරයේ මිලියන 2.5ක පමණ ජනතාවක් වාසය කළා. යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් බවට පත්කර තිබූ ඇලෙප්පෝ නගරය ජාත්‍යන්තර ටයිම් සඟරාව සිරියාවේ මූල්‍ය සහ වාණිජ අගනගරය ලෙසින් හැඳින්වූවා.

ඉතා දිගු කළක පටන් සංස්කෘතික සහ ආගමික සහජීවනයේ සංකේතයක් ලෙස වැජඹුණ මෙම නගරය කුර්දිවරුන්, ඉරාන ජාතිකයන්, තුර්කි ජාතිකයන් සහ ආර්මේනියානුවන් ඇතුළු ජනවර්ගයන් ගණනාවකින් සමන්විත වුණා. ඒ නිසාම කතෝලික පල්ලි මෙන්ම මුස්ලිම් පල්ලිද මෙම නගරයට අමුතු දසුනක් වුණේ නැහැ.

යුද්ධය ආරම්භ වීමට පෙර තිබූ ඇලෙප්පෝ නගරයේ ඒරියල් ඡායාරුවක්. (Huffington Post)

යුද්ධය ආරම්භ වීමට පෙර තිබූ ඇලෙප්පෝ නගරයේ ඒරියල් ඡායාරුවක්. (Huffington Post)

ඒ සියල්ල වෙනස්වන්නට පටන්ගත්තේ මැදපෙරදිග කලාපයේ පැතිරගිය ‘අරාබි වසන්තය’ නිසායි. අරාබි වසන්තයේ ප්‍රතිපලයක් ලෙස සිරියානු ජනපති බෂාර් අල් අසාද්ට එරෙහිව රට පුරා උද්ඝෝෂණ ආරම්භ වන්නේ 2011 මාර්තු 15 වනදා සිටයි. එතැන් පටන් අසාද් විරෝධී මෙන්ම අසාද් හිතවාදී රැලිවලින් උණුසුම් වූවත් ඇලෙප්පෝ නගරය 2012 ජූලි මස වනතෙක් සිය පාලනය තුළ තබාගැනීමට සිරියානු රජයට හැකියාව ලැබුනා. එම මාසයේදී අවට ප්‍රදේශවල සිටි කැරලිකරුවන් නගරය තුලට කඩාවැදීම සහ එම තත්වය පාලනය කිරීමට රජය විසින් දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට පටන්ගැනීමත් සමඟ නගරය ලෙයින් සහ කඳුළින් නැහැවෙන්නට පටන්ගත්තා.

මෙම සටන්වල ප්‍රතිපලයක් ලෙස රජයේ පාලනය යටතේ පැවති ඇලෙප්පෝහි ඊසාන දිග, දකුණු සහ බටහිර ඇති දිස්ත්‍රික්ක කිහිපයක්ම තමන්ට නතකරගැනීමට කැරලිකරුවන් සමත්වූවා. මේනිසා නගරය කැරලිකරුවන් සතු ප්‍රදේශ සහ රජය සතු ප්‍රදේශ ලෙස කොටස් දෙකකට බෙදුණා. කෙසේවත් යුධමය වශයෙන් රජය තරම් ශක්තිමත් නොවීම නිසා සම්පූර්ණ නගරය අත්පත් කරගැනීමට කැරලිකරුවන්ට හැකියාවක් ලැබුණේ නැහැ.

ඉතින් සිවිල් වැසියන්ට සිදු වූවේ රජයේ හමුදාවලින් කැරළිකරුවන්ට එල්ල වූ ප්‍රහාරත් කැරළිකරුවන්ගෙන් රජයේ හමුදාවන්ටත් එල්ල වූ ප්‍රහාර මධ්‍යයේ දිවි ගෙවන්නටයි.

යුධ වැදි පාර්ශවයන්

කැරළිකරුවන්ගෙන් රජයේ පාලන ප්‍රදේශයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයක්. (The Guardian)

කැරළිකරුවන්ගෙන් රජයේ පාලන ප්‍රදේශයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයක්. (The Guardian)

වාර්තා වුණ අන්දමට 2012 ඇලෙප්පෝ සටන ආරම්භයේදී කැරළිකරුවන් 6000ත් 7000ත් අතර ප්‍රමාණයක් බැටෑලියන් 18කට පමණ බෙදී සිටියා. කැරළිකරුවන්ගෙන් විශාලතම කණ්ඩායම ලෙස සැලකුණේ අල් තව්හීද් බ්‍රිගේඩයයි. වැදගත් බවින් වැඩිම කණ්ඩායම ලෙස සැලකුණේ හමුදාවේ කලක් සේවය කළ පිරිසකගෙන් සමන්විත වූ නිදහස් සිරියානු හමුදාවයි. මෙම කැරලිකරුවන් අතරින් බොහෝ දෙනා ඇලෙප්පෝ හා ඒ ආසන්න ප්‍රදේශවල පදිංචිකරුවන්.  

ඔවුන්ට අමතරව කුර්දි සටන්කරුවන්, ආගමික අන්තවාදීන් සහ විදෙස් කැරළිකරුවන් ඉස්ලාමික මනෝරාජික සිහිනයක් වෙනුවෙන් ඇලෙප්පෝහි සටන් වැදුණා. මේ කැරලිකරුවන් අතර බටහිර රටවල ඉපිද හැදී වැඩුණ මුස්ලිම් තරුණ තරුණියන් රාශියක්ද වූ බව විශේෂයෙන්ම සිහි තබා ගත යුතුයි.

සටන ආරම්භයේදී මොවුන්ට සැලකිය යුතු තරමේ මහජන සහයක් ලැබුණද තමන්ට අවශ්‍ය දෑ ලබා ගැනීම වෙනුවෙන් මංකොල්ලකෑම් සිදුකිරීම නිසා මෙන්ම සිවිල් වැසියන්ගේ නිවාස සැඟවී සිටීම සඳහා භාවිතා කිරීම නිසා මහජනතාව ඔවුන්ගෙන් දුරස් වීමට පටන් ගත් බව වාර්තා වූවා.

ජයග්‍රහණයක් සමරන කැරළිකරුවන්. (RT)

ජයග්‍රහණයක් සමරන කැරළිකරුවන්. (RT)

කැරළිකරුවන්ගේ තත්වය එසේ තිබියදී සිරියානු රජයේ හමුදාවන්ට හිස්බුල්ලා සංවිධානයේ සහය ලැබුණා. එමෙන්ම ක්‍රිස්තියානි ලබ්ධිකයන්ගේ මෙන්ම කැරළිකරුවන් විසින් ඝාතනය කරනු ලැබූ සාමාජිකයින්ගේ ඇතැම් ගෝත්‍රද පසුව රජයේ හමුදාවන්ට සහය පල කළා. තුර්කියේ සිටින ක්‍රිස්තියානි ආර්මේනියානුවන්ගේද සහය හිමිවුණේ සිරියානු රජයටයි.

2015 සැප්තැම්බර් මස සිට රුසියානු යුධ ගුවන්යානාවල සහය සිරියානු රජයට ලැබුණා. ඔවුන් ඇලෙප්පෝහි සිටි කැරළිකරුවන් ඉලක්ක කරමින් ගුවනින් බෝම්බ හෙලීම අරඹනු ලැබුවා.

ඇලෙප්පෝ සටනේ තීරණාත්මක අවස්ථාවන්‍

ගිනිගෙන දැවෙන නගරය. (BBC)

ගිනිගෙන දැවෙන නගරය. (BBC)

2011 – සිරියානු රජයට එරෙහි උද්ඝෝෂණ ඇරඹෙන්නේ 2011 මාර්තු මාසයේදීයි. ඩමස්කස් නගරයෙන් ඇරඹී පසුව අනෙක් නගරවලටත් පැතිරගිය මෙම විරෝධතා රැල්ල ඇලෙප්පෝ නගරයද උණුසුම් කරවීමට සමත්වනවා.

2012 – මෙම වසරේ මුල ඇලෙප්පෝහි ගම්බද ප්‍රදේශ කිහිපයක් සියතට ගැනීමට කැරළිකරුවන්ට හැකියාව ලැබෙනවා. මුල්වරට උද්ඝෝෂකයන් ඉලක්ක කරමින් ජුලි මස සිදුවන ප්‍රහාරවලින් අනතුරුව කැරළිකරුවන් සමස්ථ නගරය අත්පත් කරගැනීම වෙනුවෙන් සටන් දියත් කරනවා.

විපතට පත් වූ දරුවන්. (Anadolu Agency)

විපතට පත් වූ දරුවන්. (Anadolu Agency)

2013 – ඇලෙප්පෝ සහ ඩමස්කස් නගර යාකරමින් තනා තිබූ අධිවේගී මාර්ගය කැරළිකරුවන් විසින් අවහිර කර දමනවා. මේ නිසා ඇලෙප්පෝ වෙත පිවිසීම සඳහා විකල්ප සහ දීර්ඝ මාර්ගයන් භාවිතා කිරීමට රජයට සිදුවනවා. කැරළිකරුවන් විසින් එම මාර්ගද අවහිර කරන අතර ඇලෙප්පෝහි රජය යටතේ තිබූ ප්‍රදේශය කැරළිකරුවන් විසින් වටලන ලද ස්වභාවයකට පෙරළෙනවා. නමුත් දැඩි ප්‍රතිප්‍රහාර එල්ලකර ඔක්තෝබර් මාසයේදී එම ප්‍රදේශවල බලය යළිත් තහවුරු කරගැනීමට රජයේ හමුදාවන් සමත් වනවා.

වසර 1000ක් පමණ පැරනි ඇලෙප්පෝහි උමයියා මස්ජිදය ප්‍රහාරවලට හසුවී විනාශ වන්නේද 2012 වසරේදීයි.

2014 – ගුවන් සීමාව සම්පූර්ණයෙන්ම අත්පත් කරගැනීමට සමත්වන සිරියානු රජයේ හමුදා අඛණ්ඩව කැරලිකරුවන් ඉලක්ක කරගනිමින් ජෙට්වලින් සහ හෙලිකොප්ටර්වලින් ප්‍රහාර එල්ල කිරීමට පටන් ගන්නවා.

2015 – ඇලෙප්පෝහි වයඹ දිග ප්‍රදේශ ගණනාවක් කැරළිකරුවන් විසින් අත්පත් කරගන්නා අතර රජයේ හමුදා ඔවුන්ගේ ප්‍රහාර හමුවේ අසීරු තත්වයකට මුහුණ පානවා. නමුත් ඔක්තොබර් මස රුසියානු ගුවන් ප්‍රහාරවල සහය රජයට ලැබීමත් සමඟ කැරළිකරුවන්ට පසු බැසීමට සිදුවනවා.

අවසන් සටන

රුසියන් ගුවන් ප්‍රහාර. (RT)

රුසියන් ගුවන් ප්‍රහාර. (RT)

2016 පෙබරවාරි මස රුසියානු ගුවන් ප්‍රහාරවල සහයත් ඇතිව තුර්කියේ සිට කැරළිකරුවන්ගේ පාලනයට නතුව තිබූ නැගෙනහිර ඇලෙප්පෝ සිට තුර්කිය තෙක් වූ සෘජු මාර්ගය අවහිර කර දමන්නට රජයේ හමුදා සමත්වනවා. ඒ සමඟම කැරළිකරුවන්ගේ ග්‍රහණයේ තිබූ මිනෙග් ගුවන් තොටුපොළද අත්පත් කරගන්නා රජයේ හමුදා කැරළිකරුවන්ගේ සැපයුම් මාර්ගයන් අවහිර කර දමන්නට පියවර ගන්නවා.

ඉන්පසු ජුලි මස 27 වන දින නැගෙනහිර ඇලෙප්පෝව රජයේ හමුදා විසින් වටකරනු ලැබූවත් කැරළිකරුවන්ගේ ප්‍රතිප්‍රහාර මැද දින 10කින් පසු පසුබසින්නට ඔවුන්ට සිදුවනවා.

සැප්තැම්බර් මස රුසියානු ගුවන් ප්‍රහාරවලට අමතරව ඉරාකයේ සහ ලෙබනනයේ ෂියා මිලීෂියාවේ සහයත් රජයේ හමුදාවන්ට හිමි වනවා. ඔවුන් ඉතා දරුණු ලෙස කැරළිකරුවන් ඉලක්ක කරමින් බෝම්බ සහ මිසයිල් හෙලන්නට පටන් ගන්නවා.

ඇලෙප්පෝ නගරයට ඇද වැටෙන බෝම්බ වර්ෂාවක්. (Al Masdar)

ඇලෙප්පෝ නගරයට ඇද වැටෙන බෝම්බ වර්ෂාවක්. (Al Masdar)

සති ගණනාවක් තිස්සේ කෙරුණු දරුණු බෝම්බ ප්‍රහාරවලින් ලක්ෂ සංඛ්‍යාත සිවිල් වැසියන් ආපදාවට පත්වීම සැලකිල්ලට ගනිමින් සිරියානු රජය සටන් විරාමයක් ප්‍රකාශයට පත්කරන්නේ  ඔක්තෝබර් 18 වනදායි.  කැරළිකරුවන්ට යටත් වන ලෙස මෙන්ම සිවිල් වැසියන්ට රජයේ පාලන ප්‍රදේශ කරා පැමිණෙන ලෙස රජය පවසනවා.

ඔක්තෝබර් 28 වනදා නගරයේ බටහිර කොටසට කැරළිකරුවන් විසින් ප්‍රහාරයක් එල්ල කරන මුත් දින දෙකක ඇවෑමෙන් අනතුරුව එය මැඩ පැවැත්වීමට අසාද් පාර්ශවයට හැකියාව ලැබෙනවා.

නවතා දමා තිබූ ගුවන් ප්‍රහාර නැවත පණ ගැන්වීමට සිරියානු රජය නොවැම්බර් 15 වනදා තීරණය කරනවා. මේ නිසා ඇලෙප්පෝහි සියළුම රෝහල්වල කටයුතු අඩපණ වන අතර සිවිල් වැසියන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්වනවා. දැඩි ප්‍රහාරවලින් පසුව නොවැම්බර් 28 වනදා කැරළිකරුවන්ගේ ග්‍රහණයේ තිබූ කොටසේ උතුරු ප්‍රදේශ‍ය අත්පත් කරගැනීමට රජය සමත්වනවා.

දෙසැම්බර් 05 සහ 06 යන දින දෙකේදී එල්ල කෙරුණ ප්‍රහාරවලින් අමතරව කැරළිකරුවන් සතුව තිබූ තවත් ප්‍රදේශ කිහිපයක් අත්පත් කරගැනීමට රජයේ හමුදා සමත්වන්නේ නගරයේ දකුණු පෙදෙසේ කුඩා භූමි භාගයකට කැරළිකරුවන් කොටු කරවමින්.

දෙසැම්බර් 12 වනදා දැඩි ලෙස එල්ල කෙරුණ ගුවන් බෝම්බ ප්‍රහාරවලින් අනතුරුව ෂෙයික් ශයීද් දිස්ත්‍රික්කය අත්පත් කරගැනීමට රජය සමත්වනවා.

දෙසැම්බර් 13 වනදා රජය සමඟ තාවකාලික සමාදානයකට එළඹීමට කැරළිකරුවන් එකඟ වනවා. ඒ සිවිල් වැසියන්ට ගැටුම් පවතින ප්‍රදේශවලින් ඉවත් වීමට ඉඩ ප්‍රස්ථා සලසමින්.

මිය ගිය දරුවා තුරුළු කරගෙන වැළපෙන පියෙක්. (The Atlantic)

මිය ගිය දරුවා තුරුළු කරගෙන වැළපෙන පියෙක්. (The Atlantic)

සිවිල් වැසියන් නගරයෙන් ඉවත්කිරීම වෙනුවෙන් බස් රථද සූදානම් කරන නමුත් ඒවා ඉලක්ක කරගනිමින් කැරළිකරුවන් ප්‍රහාර එල්ල කළ බව සිරියානු රජය පවසනවා. කැරළිකරුවන් ඒ පිළිබඳව චෝදනා කරන්නේ රජයටයි. මේ නිසා ඇති කරගත් එකඟතාව එක් දිනක් තුළ බිඳ වැටෙන අතර බෝම්බ හෙළීම නැවතත් ආරම්භ වනවා.

තාවකාලිකව සමාදාන වීමට මේ දෙපාර්ශවය දෙසැම්බර් 15 වනදා යළිත් එකඟ වනවා. එහෙත් සිවිල් වැසියන් ඉවත් කිරීමේ කටයුතු 16 වනදා නැවතත් ඇණහිටිනු ලබනවා. යලිත් එය ඇරඹෙන්නේ දෙසැම්බර් 20 වනදායි. 21 වනදා එම කටයුතු නැවතත් අත්හිටවනු ලබන අතර 22 වනදා සිරියානු හමුදාව ඇලෙප්පෝ නගරය කැරළිකරුවන්ගේ ග්‍රහණයෙන් සම්පූර්ණයෙන්ම මුදා ගත් බව නිල වශයෙන් නිවේදනය කර සිටිනවා.

අනතුරුව නගරයේ රැඳී සිටි සිවිල් වැසියන් හා කැරළිකරුවන් යන දෙපාර්ශවයම සාර්ථකව ඉවත්කරගත් බව රතු කුරුස සංවිධානය සහතික කර සිටිනවා.

ඇලෙප්පෝ කෙරෙහි යොමු වූ ලෝක අවධානයට හේතූන්

අසාද් සහ පුටින්. (Huffington Post)

අසාද් සහ පුටින්. (Huffington Post)

බටහිර ලෝකය සහ බටහිර මාධ්‍යයන් ඇලෙප්පෝහී යුධමය වාතාවරණය කෙරෙහි දැක්වූවේ දැඩි උනන්දුවක්. මෙයට බලපෑ ප්‍රධානම හේතුව ලෙස බටහිර ලෝකය සහ සිරියානු ජනාධිපති අසාද් අතර ඇති නොහොඳ නෝක්කාඩුකම් දැක්විය හැකියි. අසාද් සහ ඉරානය අතර ඇති සමීප සබඳතාව බටහිර රටවල ප්‍රසාදයට ලක්වූවේ නැති බව ප්‍රසිද්ධ කරුණක්.

ඊට අමතරව රුසියානු ජනාධිපති අසාද්ට සහය පලකරමින් යුද්ධයේ පාර්ශවකරුවෙකු ලෙස කටයුතු කිරීමත් බටහිර රටවලට, විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ නොසතුටට හේතු වුනා.

මේ කාරණා නිසා ඇලෙප්පෝ සටන කෙරෙහි ඔවුන් දැක්වූවේ දැඩි උනන්දුවක්.

ජීවිත හානි

වසර 4ක් පුරාවට පැවති මෙම බිහිසුණු යුද්ධය නිමාව දුටුවේ සිවිල් වැසියන් 30,000කට අධික සංඛ්‍යාවකට ජීවිත අහිමි කරවමින්. 2011 වනතෙක් අභිමානයෙන් යුතුව හිස ඔසවාගෙන සිටි නගරය සුණු විසුණු වී තිබීම හද කම්පා කරවන සුළුයි. දිවි ගලවාගත් වැසියන්ටද නැවතත් තම ජීවිත ගොඩ නගා ගැනීමට විශාල කාලයක් ගත වනු ඇති.

මෙවන් ඛේදවාචක දැකීමට අවස්ථාවක් යළිත් නොලැබේවා යන්න අපේ පැතුමයි.

ඇලෙප්පෝ - පෙර සහ පසු. (obadsogood.com/)

ඇලෙප්පෝ – පෙර සහ පසු. (obadsogood.com/)

ඇලෙප්පෝ - පෙර සහ පසු. (Amusing Planet)

ඇලෙප්පෝ – පෙර සහ පසු. (Amusing Planet)

ඇලෙප්පෝ - පෙර සහ පසු. (Amusing Planet)

ඇලෙප්පෝ – පෙර සහ පසු. (Amusing Planet)

මූලාශ්‍ර – BBC, CNN, Al Jazeera, Reuters, AFP, RT, DW ඇතුළු අන්තර්ජාතික පුවත් සේවාවන්)

කවරයේ පින්තුරය: Daily Dose

Related Articles