Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මත්ද්‍රව්‍යයන්ට එරෙහි පිලිපීනයේ සංග්‍රාමය

මත්ද්‍රව්‍ය ජාවාරම යනු රටක සංවර්ධනය අඩාල වීමට සෘජුවම බලපාන කරුණක් බව පාඨක ඔබට අමුතුවෙන් පැහැදිලි කර දෙන්න අවශ්‍යතාවක් ඇතැයි අපි සිතන්නේ නැහැ. ලෝකයේ සෑම රටක්ම මත්ද්‍රව්‍ය ජාවාරමට සහ එම ක්‍රියාකාරකම්වලට සම්බන්ධ තැනැත්තන්ට දැඩි දඬුවම් ලබා දෙන්නේ ඒ නිසායි.

ආසියාතික රටක්වන පිලිපීනය දෙසට මේ දිනවල එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු මුළු ලෝකයේම අවධානය යොමු වී ඇත්තේත් මත්ද්‍රව්‍ය උවදුර ‘මැඩලීමට’ එරට රජය විසින් මෙම වසරේ මැයි මස සිට මේ දක්වා කරන ‘මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධය’ නිසාවෙන්.

නීති විරෝධී මත්ද්‍රව්‍ය වෙළෙඳාම සහ පිලිපීනය

මැනිලා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ මත්ද්‍රව්‍ය (ibtimes.co.uk)

මැනිලා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ මත්ද්‍රව්‍ය (ibtimes.co.uk)

මත්ද්‍රව්‍ය ජාවාරම වසර ගණනාවක සිට පිලිපීනයට ඉතා විශාල ගැටළුවක්ව පවතින්නක්. 2012 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කරනු ලැබූ වාර්තාවක් භයානක මත්ද්‍රව්‍යයක් ලෙස නම් දරා ඇති ‘මෙත්’ (methamphetamine) භාවිතය අතින් නැගෙනහිර ආසියාවේ ඉදිරියෙන්ම සිටින  රට ලෙස පිලිපීනය හඳුන්වා දී තිබුණා. එපමණක් නෙවෙයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්තාවන්ට අනුව අවුරුදු 16 සිට අවුරුදු 64 දක්වා පුද්ගලයන්ගෙන් 2.1% ප්‍රමාණයක් එරට තුල ‘ශාබු’ ලෙස හැඳින්වෙන ‘මෙත්’වලට ඇබ්බැහි වී සිටිනවා.

මෙත්වලට අමතරව මැරුවානා, එෆිඩ්‍රින් සහ MDMA (methylenedioxy-methamphetamine) පිලිපීනය තුල අධිකව අලෙවිවන මත්ද්‍රව්‍ය ලෙස සැලකෙනවා.

එමෙන්ම පිලිපීනයේ භූගෝලීය පිහිටීමද නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වෙළෙඳාමට ඉමහත් රුකුලක් වී තිබෙන බව පැවසිය යුතුයි.

භූගෝලීය පිහිටීම

පිලිපීනයේ භූගෝලීය පිහිටීම (youronevoicecanmakeadifference.wordpress.com)

පිලිපීනයේ භූගෝලීය පිහිටීම (youronevoicecanmakeadifference.wordpress.com)

පිලිපීනය අග්නිදිග ආසියාවේ පිහිටි දූපත් 7000 කට වඩා ප්‍රමාණයකින් යුතු දූපත් රාජ්‍යයක් වනවා. වර්ග කිලෝමීටර 300,000 ක් පමණ විශාල මෙරට ප්‍රධාන දූපත් වන්නේ ලූසොන්, මින්ඩනාඕ, මින්ඩෝරෝ, පනායි, නෙග්‍රොස්, සෙබු, සමාර් සහ පලාවන්. එමෙන්ම රටේ නිරිත දිග ප්‍රදේශයේ සුළු දූපත් කුඩා නමුත් වැදගත් දූපත් සමූහයක් ලෙස දැක්විය හැකියි.

සූලු දූපත් වැදගත් වන්නේ ඒවායේ සිට ක්‍රියාත්මක වන ඉස්ලාමීය අන්තවාදී අබු සයාෆ් සංවිධානයේ ක්‍රියාකාරීත්වය සහ එම දූපත් මැලේසියාවට මෙන්ම ඉන්දුනීසියාවට ආසන්න වීම හේතුවෙනුයි. මෙම ප්‍රදේශය මැලේසියාව, ඉන්දුනීසියාව සහ පිලිපීනය යන රටවල් තුනේම ප්‍රධාන පාලන මධ්‍යස්ථානවලින් ඈත පිහිටි ප්‍රදේශයන් වනවා. මෙම ප්‍රදේශයේ කුඩා දූපත් ගණනාවක් තිබෙන නිසාම ඒවා අතර රජයේ බලධාරීන්ට නොදැනී බෝට්ටුවලින් ගමන් කිරීම අපහසු නැහැ. ඒ නිසා මෙම ප්‍රදේශයේ විවිධ නීතිවිරෝධී අපරාධ සහ වෙළෙඳාම් සිදු වෙන බව නොරහසක්.

පිලිපීනය අනෙකුත් රටවල්වලින් මුහුද ඔස්සේ සැළකිය යුතු දුරකින් පිහිටා තිබෙන නමුත් මැනිලා අගනුවර සිට ගුවන් මගින් හොං කොං සහ ග්වන්ජෝ වැනි චීන නගරවලට පැය දෙකහමාරකින් ළඟා වෙන්න හැකියි. ඒ නිසා පිලිපීනයේ සිට මත්ද්‍රව්‍ය චීනය කරා යැවීමේ ජාවාරමක් පවතින අතර චීන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඒ පිටිපස අදිසි හස්තය වනවා. චීනය පිලිපීන ජනාධිපතිවරයාගේ මත් විරෝධී සටනට ආධාර කිරීමට මෙයත් එක් ප්‍රබල හේතුවක්.

මේ පිහිටීම නිසාම අන්තර්ජාතික ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා වෙළෙඳ කේන්ද්‍රයක් ලෙස පිලිපීනය භාවිතා කරනු ලබනවා. එමෙන්ම දේශීය ජාවාරම්කරුවන් අසල්වැසි රටවල් වෙත සුළු පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමටත් මෙම පිහිටීම ප්‍රයෝජනයට ගන්නවා.

එමෙන්ම මෙම ජාවාරම්කරුවන් විසින් යාබද රටවල රැකියාවන්හි යෙදෙන පිලිපීන ජාතිකයන්ව, ඔවුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගන්නා බවයි පැවසෙන්නේ. මොවුන්ගෙන් වැඩිම පිරිසක් යොදාගන්නේ අසල්වැසි චීනය තුලට මත්ද්‍රව්‍ය රැගෙන යාමටයි.

වාර්තාවන්ට අනුව පිලිපීනයේ නිනෝයි ඇක්වයිනෝ අන්තර්ජාතික ගුවන් තොටුපොළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ප්‍රියතම කේන්ද්‍රස්ථානයක් ලෙස නම් දරා තිබෙන බවත් සැලයි.

ඉහළ ආදායම

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා එක්ව සිටින සාමාන්‍ය ජනතාව බහුතරයක් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට උපකාර කරන්නේ ඒ සඳහා ඔවුන්ට ගෙවන ඉතාම ඉහල මුදල් ප්‍රමාණය නිසායි. ඒ අතරින් ඇතැමෙකු පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව ගැන බිය වද්දා බලහත්කාරයෙන් මෙම කටයුත්ත සඳහා යොදාගැනීමටත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ක්‍රියා කර තිබෙනවා.

පිලිපීනයේ මැනිලා අගනුවර මූලික කොටගෙන ක්‍රියාතමක වන ආයතනයක් වන ‘Pacific Strategies & Assessments’ ආයතනය 2009 වසරේදී නිකුත් කළ වාර්තාවක් මගින් පවසා සිටියේ පිලිපීනය යනු අන්තර්ජාතික මත්ද්‍රව්‍ය වෙලෙඳාමේ කේන්ද්‍රස්ථානයක් පමණක් නොව සමස්ථ ආසියාවටම කෘත්‍රිම මත්ද්‍රව්‍ය බෙදා හරිම ප්‍රධාන මධ්‍යස්ථානයද බවයි.

2013 දෙසැම්බර් මස පිලිපීන පොලීසිය පවසා සිටියේ මෙක්සිකානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ද පිලිපීනය තුළ තම ජාවාරම් කටයුතු ආරම්භ කර ඇති බවට තොරතුරු තිබෙන බවයි.

එමෙන්ම චීනයේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ද පිලිපීනය තුල සිය ගණුදෙනු කරන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසා සිටිනවා.

වත්මන් පිලිපීන ජනාධිපති රොඩ්‍රිගෝ ඩුටේටේ මෙම වසරේ මැයි මස ජනතා ඡන්දයෙන් බලයට පත්වන්නේ පිලිපීනය තුල එවන් පසුබිමක් පවතින විටයි.

රොඩ්‍රිගෝ ඩුටේටේගේ ආගමනය

පිලිපීන ජනපති ඩුටේටෝ/Wikipedia

පිලිපීන ජනපති ඩුටේටෝ/Wikipedia

1945 මාර්තු 28 දින උපත ලබා ඇති ඩුටේටේ දේශපාලනයට සම්බන්ධකම් ඇති පවුලකින් පැවත එන්නෙක්. එහෙත් අනෙකුත් පිලිපීන දේශපාලනඥයන් සමඟ සසඳන විට එය නොගිණිය හැකි තරමේ පසුබිමක්. කෙසේ වෙතත් දේශපාන විද්‍යාව සහ නීතිය පිළිබඳ උපාධි දෙකක් ලබා ගෙන ඇති ඔහු නීතීඥයෙකු ලෙස සහ අභිචෝදකයෙකු ලෙස පිලිපීනයේ ඩවාවෝ නගරය තුල කටයුතු කර තිබෙනවා.

පසුව එම නගරයේම උප නගරාධිපති ලෙස සහ නගරාධිපති ලෙසත් කටයුතු කළ ඩුටේටේ ඔහුගේ ධුර කාලය තුළ නගරය තුළ සිදුවූ අපරාධ මැඩලීම, දූෂන, වංචා පිටුදැකීම සම්බන්ධයෙන් ඉමහත් කීර්තියක් තමන් සතු කරගැනීමට සමර්ථ වූවා.(ඔහු ඒ සම්බන්ධව අනුගමනය කළ ක්‍රියා මාර්ගයන් ගැන විස්තර ඔබට ඉදිරියේදී කියවිය හැකියි.) ඊට අමතරව පිලිපීන කොන්ග්‍රසයේ අසුනක්ද ඩුටේටේ විසින් දරණු ලැබුවා.

මෙවන් පසුබිමක් අතැතිව ජනපතිවරණ සටනට පිවිසුණ ඔහු රටට වැදගත්වන සමාජ, ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය හා සංශෝධනය පිළිබඳ මැතිවරණ වේදිකාවේදී එතරම් කතා කළේ නැහැ. ඔහුගේ ප්‍රධානම මැතිවරණ පොරොන්දුව වූවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ වංචනිකයන්ට එරෙහි තමන්ගේ සටන නොකඩවා ඉදිරියට ගෙන යන බවයි. මැතිවරණ කාලය අතරතුරදී පැවසූ ඔහුගේ ඇතැම් ප්‍රකාශ දැඩි ආන්දෝලනයන්ටත් තුඩු දුන්නා.

එම මැතිවරණ පොරොන්දුව සහ ඩවාවෝ නගරය පිළිබඳ ඔහු ලබා තිබූ කීර්තිය පිලිපීන ජනපති අසුන ඔහුට හිමි වීමට බලපෑ ප්‍රබල සාධකයක් වුණා.

“මානව හිමිකම් ගැන ඇති නීතිරීති අමතක කර දමන්න. ජනාධිපති ලෙස තේරී පත්වුවහොත් මම අනිවාර්යයෙන්ම කරන්නේ මම නගරාධිපතිව සිටි සමයේ කළ දේමයි. කුඩුකාරයෝ, මංකොල්ලකාරයෝ, නිකම්මු ඔය හැමදෙනාම තොලොංචි වෙලා යන එක හොඳයි, මොකද මම ඔය හැමදෙනාම මරා දමන නිසා..”

ඩුටේටේ මෙසේ පැවසුවේ සිය අවසන් මැතිවරණ රැළියේදීයි. “මම ඔය හැමදෙනෙක්ම විසි කරන්නෙ මැනිලා බොක්කට. මැනිලා බොක්කේ මාළු තර වෙන තරම ඔය හැමකෙනෙක්ටම ඉදිරියේදී බලාගන්නට හැකි වේවි..” ඔහු එහිදී වැඩි දුරටත් පවසා සිටියා.

මෙම පොරොන්දුවල බලපෑම නිසාම 2016 මැයි මස 09 වන දින ඩුටේටේ ජනපති ධුරයට තේරී පත්වන්නේ ඡන්ද 16,601,997ක්, එනම් ප්‍රකාශිත සමස්ථ ඡන්ද සංඛ්‍යාවෙන් 39.01% ලබා ගනිමින්. ප්‍රතිවාදියාට වඩා ඡන්ද මිලියන 6ක් පමණ ඔහුට ලැබී තිබුණා. ලොවක් කැළඹු, ‘මත්ද්‍රව්‍යයන්ට එරෙහි පිලිපීනයේ සංග්‍රාමය’ ඇරඹෙන්නේ එතැන් සිටයි.

බලයට පත්වී කරනු ලැබූ ප්‍රථම කතාවේදීද ඔහු භාවිතා කරනු ලැබුවේ ඉතා කර්කශ භාෂාවක්. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ භාවිත කරන්නන්ට කිසිදු සමාවක් ලබා දීමට තමා සුදානම් නැති බව ඔහු එහිදී පවසා සිටියා. එයින් අනතුරුව ඔහු පැවැත්වූ කතාවන් කිහිපයකදීම ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දුටු තැන ‘බල්ලන්’ මෙන් මරා දමන ලෙසයි.

සංග්‍රාමයේ වත්මන් තත්වය

මත්ද්‍රව්‍ය චෝදනා මත භාර වූ තරුණ පිරිසක්. (ibtimes.co.uk)

මත්ද්‍රව්‍ය චෝදනා මත භාර වූ තරුණ පිරිසක්. (ibtimes.co.uk)

රොඩ්‍රිගෝ ඩුටේටේ ජනපති ධුරයට පත් වූ මැයි මස සිට මෙම ඔක්තෝබර් 11 වන දින දක්වා ගෙවුණ කාලය තුල මත්ද්‍රව්‍ය ජාවාරම, භාවිතය සහ ළඟ තබා ගැනීමේ චෝදනා පිට මරා දැමුණු පුද්ගලයන් සංඛ්‍යාව 3800 ඉක්මනවා. 20,000 කට අධික පිරිසක් මේ වන විට මත්ද්‍රව්‍ය චෝදනා මත සිර භාරයට පත්වී තිබෙන බවත් වාර්තා වනවා.

අධිකරණය වෙතින් බලය ලබාගත් පොලිස් කණ්ඩායම් සහ නිල නොලත් විවිධ ඝාතක කණ්ඩායම් මෙම මරණවලට වගකිව යුතුයි. නිසි ක්‍රියා පටිපාටියකට අනුව අත්අඩංගුවට ගැනීමක් හෝ නඩු විභාගයක් පැවැත්වීම මෙහිදී සිදුවන්නේ නැහැ.

එමෙන්ම මත්ද්‍රව්‍ය හුවමාරු කරගැනීම සහ භාවිතා කරන්නන්ට පුනරුත්ථාපනය කිරීම වෙනුවෙන් පොලිසිය වෙත භාර වන ලෙසද නියෝග කර තිබෙනවා. මෙන නියෝගයට අවනත වෙමින් පොලිසිය වෙත භාර වූ දහස් සංඛ්‍යාත වැසියන්ටත් සිර ගෙවල් තුලදී මුහුණ පාන්නට සිදුවී තිබෙන්නේ පුනරුත්ථාපනයට නොව ඉතා අසීරු කාලසීමාවක් ගෙවීමටයි. මාධ්‍ය වාර්තාවන්ට අනුව ලැබිය යුතු අවම පහසුකම් පවා ඔවුන්ට ලැබෙන්නේ නැහැ. භාරවන්නන්ගෙන් සිර ගෙවල් පිරී ඉතිරී යාම නිසා ඉඩ කඩ පිළිබඳව ගැටළුද පැන නැගී ඇති බව සැලයි.

මෙම කාලය තුල සිදුවී ඇති ඝාතනයන් පිලිබඳ දළ අවබෝධයක් පහත ප්‍රස්තාර අධ්‍යයනය කිරීමෙන් ඔබට ලබා ගත හැකියි.

මෙම ප්‍රස්තාර පිළියෙළ කර ඇත්තේ පිලිපීනයේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් වන ABS-CBN මගින් ඉදිරිපත් කරනු ලැබූ තොරතුරු ඇසුරෙනුයි.

මැයි 11 සිට ඔක්තෝබර් 11 තෙක් පිලිපීනය තුල මත්ද්‍රව්‍ය චෝදනා මත සතියකට මරා දමනු ලැබූ සංඛ්‍යාව.

මැයි 11 සිට ඔක්තෝබර් 11 තෙක් පිලිපීනය තුල මත්ද්‍රව්‍ය චෝදනා මත සතියකට මරා දමනු ලැබූ සංඛ්‍යාව.

මැයි 11 සිට ඔක්තෝබර් 11 තෙක් පිලිපීනය තුල මත්ද්‍රව්‍ය චෝදනා මත මරා දමනු ලැබූ සමස්ථ සංඛ්‍යාව.

මැයි 11 සිට ඔක්තෝබර් 11 තෙක් පිලිපීනය තුල මත්ද්‍රව්‍ය චෝදනා මත මරා දමනු ලැබූ සමස්ථ සංඛ්‍යාව.

මැයි 11 සිට ඔක්තෝබර් 11 තෙක් වැඩිම මරණ  වූ දිනයන්.

මැයි 11 සිට ඔක්තෝබර් 11 තෙක් වැඩිම මරණ  වූ දිනයන්.

මැයි 11 සිට ඔක්තෝබර් 11 තෙක් පුද්ගලයන් ඝාතනය කර තිබූ  ආකාරය.

මැයි 11 සිට ඔක්තෝබර් 11 තෙක් පුද්ගලයන් ඝාතනය කර තිබූ  ආකාරය.

ප්‍රතිචාරයන්

මත්ද්‍රව්‍ය චෝදනා මත සිර දඬුවම් විඳින පිරිසක්. (BBC)

මත්ද්‍රව්‍ය චෝදනා මත සිර දඬුවම් විඳින පිරිසක්. (BBC)

ඩුටේටේ වෙත එල්ලවෙන ප්‍රධාන චෝදනාව වන්නේ ඩවාවෝ නගරයේදී කළාක් මෙන් හිතුමතේ මිනීමැරීමට පොලිසියට සහ වෙනත් ඝාතක කණ්ඩායම්වලට බලය ලබා දීමයි. ඩවාවෝ නගරයේ අපරාධ මර්ධනය කිරීම සඳහා ඩුටේටේ විසින් ‘ඝාතක කණ්ඩායම්’ යොදාගනු ලැබූ බව ප්‍රසිද්ධ කාරණාවක්.

මෙනිසා නියම වරදකරුවන් පමණක් නොව ඒ සිද්ධීන්ට කිසිම සම්බන්ධයක් නැති අහිංසකයන් පවා ඝාතනයට, සිර භාරයට සහ වධ හිංසා වලට ලක්වන බව මානව  ක්‍රියාකාරීන් පෙන්වා දෙනවා. විශේෂයෙන්ම තම එදිරිවාදීන් මර්ධනය සඳහා ඇතැම් පිරිස් වැරදි තොරතුරු ලබා දීමෙන් අහිංසකයන්ට පවා නිරපරාදේ ජීවිතවලින් වන්දි ගෙවන්නට සිදුවන බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැහැ. විශේෂයෙන්ම නිල නොලත් ඝාතක කණ්ඩායම් සැරිසැරීම නිසා රටේ වැසියන් පත්වන අනාරක්ෂිත ස්වභාවයත් මෙහෙදී සැලකිල්ලට ගත යුතුම කාරණාවක් වනවා.

ඝාතනය කර දිය පහරකට වීසි කර ඇති මිනිසෙක්. (ibtimes.co.uk)

ඝාතනය කර දිය පහරකට වීසි කර ඇති මිනිසෙක්. (ibtimes.co.uk)

මේ අතරින් පිලිපීන සෙනෙට් සභික ලෙයිලා ඩි ලීමා පවසන්නේ ඉවක් බවක් නොමැතිව පිලිපීනය තුල සිදුවෙමින් පවතින, මනුෂ්‍යත්වයට එරෙහි මේ ඝාතන රැල්ල පිලිබඳ  අන්තර්ජාතික අපරාධ අධිකරණය වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි. ‘සංග්‍රාමය’ ඇරඹි දිනයේ සිටම එය නිර්දය ලෙස විවේචනය කළ මෙම සෙනෙට් සභිකවරිය ඩුටේටේ විසින් දැඩි ලෙස හෙලා දකිනු ලැබුවා.

ලීමාට අමතරව එක්සත් ජාතීන්ගේ සංවිධානයද පිලිපීනයේ වත්මන් තත්වය හෙලා දකිනවා. ඇමරිකානු ජනපති බැරක් ඔබාමාද මෙම තත්වය කෙරෙහි සිය අප්‍රසාදය පල කර තිබුණා. මත්ද්‍රව්‍යයට එරෙහි සංග්‍රාමය ‘නිසියාකාරව’ කරන්නැයි ඔබාමා කළ ප්‍රකාශයට ඩුටේටේ පිළිතුරු දුන්නේ ඔබාමා යනු ‘ගණිකාවකගේ පුත්‍රයෙක්’ ලෙස (son of a whore) හඳුන්වමින්. මේ නිසාම පිලිපීනයේ යෙදෙන්නට නියමිතව තිබූ ඔබාමාගේ සංචාරය අවලංගු කරදැමීමට ධවල මන්දිරය ක්‍රියා කරනු ලැබුවා.

එමෙන්ම ඉතා මෑතකදී හිට්ලර් යුදෙව්වන් මිලියන 10ක් පමණ සමූල ඝාතනය කරනු ලැබූ බවත් ඒ ආකාරයෙන්ම පිලිපීනය තුල සිටින මිලියන තුනක් පමණ වන මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් ‘අතුගා දැමීම’ තමා කෙසේ හෝ කරන බවත් පවසමින් ඩුටේටේ කළ ප්‍රකාශයට ලෝකයේ සියළු දෙසින් දැඩි විවේචන එල්ල වූවා. ඒ විවේචන නිසාම යුදෙව් ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉලා සිටීමටත් ඩුටේටේට සිදු වුණා.

නාදුනන තුවක්කුකරුවන් විසින් ඝාතනය කරනු ලැබූ තරුණයෙක් (ibtimes.co.uk)

නාදුනන තුවක්කුකරුවන් විසින් ඝාතනය කරනු ලැබූ තරුණයෙක් (ibtimes.co.uk)

වෙඩි තැබීම්වලට මැදිවන කුඩා දරුවන් මිය යාමද පිලිපීන මත්ද්‍රව්‍ය සංග්‍රාමයේ අතුරු ඵලයක්. මේ කෙරෙහි එල්ලවන චෝදනාවලට පිළිතුරු දෙන ජනපතිවරයා පවසන්නේ කුඩා දරුවන් හා අහිංසකයන් මෙම සටනේදී මියයන බව තමන් දන්නා බවයි. එහෙත් ඒවා සටනකදී සිදුවන, වැළක්විය නොහැකි මරණ ලෙසයි ඔහු හඳුවන්වන්නේ.

අන්තර්ජාතික ප්‍රජාව පිලිපීනයට මෙසේ විවේචන එල්ල කරන මුත් චීනයෙන් නම් පිලිපීන සංග්‍රාමයට ලැබෙන්නේ නොමද සහයක්. මත්ද්‍රව්‍ය තුරන් කරදැමීම වෙනුවෙන් පිලිපීනය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග කෙරෙහි තම ප්‍රශංසාව හිමිවන බවයි චීනය පවසන්නේ. පසුගිය දා ඩුටේටේගේ චීන සංචාරය දෙරට අතර සබඳතා තවත් ශක්තිමත් කළ බව දෙරටම පවසා තිබුණා.

අන්තර්ජාතික ප්‍රජාවගේ විරෝධය කෙසේ වුවත් පිලිපීන ජනතාවගෙන් බහුතරයක් තවමත් ඩුටේටේ ගැන තබා ඇත්තේ විශ්වාසයක්. ඔක්තෝබර් මුල් සතියේ නිකුත් කෙරුණු එක් සමීක්ෂණ වාර්තාවකට අනුව එරට ජනතාවගෙන් 83%ක් ඔහු කෙරෙහි විශ්වාසයක් ඇති බව පවසා තිබෙනවා. මෙය ජනපතිවරණය අවසන් වූ පසු ජුනි මස සිදුකරන ලද සමීක්ෂණයට පසු කෙරුණ ප්‍රථම ජාතික මට්ටමේ සමීක්ෂණය බවයි පැවසෙන්නේ. ජුනි මාසයේ සමීක්ෂයෙන් කියවුණේ ජනතාවගෙන් 84%ක් ඩුටේටේ කෙරෙහි විශ්වාසය තබා ඇති බවයි.

තවත් සමීක්ෂණ වාර්තාවකට අනුව ජුලි මස 91% ක් ලෙස වූ ඩුටේටගේ ජනප්‍රියත්වය සැප්තැම්බර් වන විට 86% තෙක් පහල බැස තිබෙනවා.

ඉතින් මේ සියල්ල මැද ‘මත්ද්‍රව්‍යයන්ට එරෙහි පිලිපීනයේ සංග්‍රාමය’ ඔබ මේ ලිපිය කියවන අවස්ථාවෙහිදීත් සිදු කෙරෙමින් පවතිනවා. මෙම සංග්‍රාමයෙන් තමන්ට ජය අත්වෙමින් පවතින බවයි පිලිපීන රජය පවසා සිටින්නේ. ඉදිරියේදී මේ සඳහා පොලිසියට අමතරව හමුදාවද යොදාගනු ඇති බවට අනාවැකි පලවෙමින් තිබෙනවා.

කවරයේ පින්තුරය: නාදුනන තුවක්කුකරුවන් විසින් ඝාතනය කළ ස්වාමි පුරුෂයාගේ සිරුර ඉදිරියේ හඬා වැටෙන කාන්තාවක්/ Sydney Morning Herald

Related Articles