Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

The Conjuring 3ට පාදක වූ ආර්න් ජොන්සන් නඩුව

ඔබ තවම The Conjuring 3  නරඹා නැතිනම්, ස්පොයිලර්ස් ගැන සලකනවා නම්, ලිපිය පසුව කියවීමට තබාගන්න..

එක්සත් ජනපදයේ කනෙක්ටිකට් ප්‍රාන්තයට අයත් බෲක්ෆීල්ඩ් ප්‍රදේශය සාපේක්ෂ ව ඉතා සාමකාමී භූමි භාගයක් ලෙස පැවතුණා. වසර 193 කින් එහි කිසිදු මිනීමැරුමක් වාර්තා වී තිබුණේ නැහැ. එහෙත්, 1981 පෙබරවාරි 16 වැනිදා සාමකාමීත්වය දෙදරා ගිය සිදුවීමකට මුහුණ දෙන්න බෲක්ෆීල්ඩ් වැසියන්ට සිදු වුණා.

වසර 193 කින් මිනී මැරුමක් වාර්තා නොවූ බෲක්ෆීල්ඩ් පෙදෙසේ පැරණි ඡායාරූපයක් – allthatsinteresting.com 

ආර්න් ෂියන් ජොන්සන් නමැති 19 හැවිරිදි තරුණයා, තම නිවෙස් හිමියා වූ ඇලන් බෝනෝ ඝාතනය කිරීම එයට හේතුව යි. අඟල් පහක් පමණ දිගැති පිහියකින් කිහිප වරක් පහර දීමෙන් ඔහු ඒ ඝාතනය සිදු කර තිබුණා. ආර්න් ජොන්සන් කියන්නේ කිසිදු අපරාධ ඉතිහාසයක් නැති සාමාන්‍ය ජීවන රටාවක් ගත කළ තරුණයෙක්.

 බැලූ බැල්මට ම ඇලන් බෝනෝ ඝාතනය කිරීම පිටුපස තිබූ හේතුව බොහොම සරල එකක් සේ පෙනෙන්නට තිබුණා. පොලීසිය අනාවරණය කර ගත් පරිදි ආර්න් ජොන්සන් සිය නිවෙස් හිමියා ඝාතනය කොට තිබුණේ දරුණු ආරවුලකට පසුව යි. ආර්න්ට එරෙහි ව ගොනු වූ නඩුවත් සරල ආකාරයෙන් විසඳෙන්නට ඉඩ තිබුණා. නමුත්,  නිදහසට කරුණු ඉදිරිපත් කිරීමේදී ආර්න් ජොන්සන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළා.

ආරක්ෂාව මධ්‍යයේ අධිකරණ භූමියට පැමිණි ආර්න් ජොන්සන් – allthatsinteresting.com 

ද ඩෙවිල් මේඩ් මී ඩූ ඉට්

අත්අඩංගුවට ගත් මොහොතේ සිට ම ආර්න් ජොන්සන් ඝාතනයට හේතුව වශයෙන් බොහොම අමුතු පැහැදිලි කිරීමක් සිදු කළා. ඇලන් බෝනෝ ඝාතනය කිරීම සඳහා තමා පෙලඹවූයේ යක්ෂයා බව ඔහු පැවසුවා. ඒ ප්‍රකාශය වෙනුවෙන් පෙනී සිටියේ ඔහු පමණක්ම නොවේ. ආර්න්ගේ සමීපතමයන් මෙන් ම, භූතවේදය සහ අද්භූත සිදුවීම් විමර්ශනය කිරීමෙහි ලා නමක් දිනා ගෙන සිටි එඩ් සහ ලොරේන් වොරන් දෙපළත් ආර්න්ගේ ප්‍රකාශය වෙනුවෙන් පෙනී සිටියා. ආර්න්ගේ නීතිඥයන් පවා උසාවියේදී ඔහුගේ නිර්දෝෂීභාවයට කරුණු ඉදිරිපත් කළේ මෙම යක්ෂාවේශය පදනම් කරගෙන යි.

“දෙවියන් වහන්සේගේ පැවැත්ම සම්බන්ධයෙන් අධිකරණය කටයුතු කර තිබෙනවා. එසේ නම් ඔවුන්ට යක්ෂයාගේ පැවැත්ම ගැනත් කටයුතු කරන්න සිදු වෙනවා”

ආර්න් ජොන්සන්ගේ නීතිඥයා වූ මා(ර්)ටින් මිනෙලා, ආර්න්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය සාධාරණීකරණය කළේ ඒ අයුරින්.

 එක්සත් ජනපදයේ අධිකරණ පද්ධතියට අනුව සාක්ෂි දීමට පෙර සාක්ෂිකරුවකු සත්‍ය ලෙස සාක්ෂි දෙන බවට දිවුරුමක් හෝ සහතිකයක් දිය යුතු යි. එය සාක්ෂිකරුගේ හෘදය සාක්‍ෂිය මත පිහිටා කරන දිවුරුමක් නිසා සාක්ෂිකරුගේ විශ්වාසය සලකා බලනවා. දෙවියන්ගේ පැවැත්ම ගැන අධිකරණය කටයුතු කර ඇති බව ආර්න්ගේ නීතිඥවරයා පැවසුවේ ඒ නිසා යි.

ආර්න් ජොන්සන්, ඩැන්බරි ප්‍රදේශයේ අධිකරණ ශාලාවට ඇතුළු වෙමින් – allthatsinteresting.com 

 චූදිතයෙක්ගේ නිර්දෝෂිභාවය සඳහා යාක්ෂාවේශයක බලපෑම සාක්ෂියක් ලෙස අමෙරිකානු අධිකරණ ශාලාවකට ඉදිරිපත් වූ ප්‍රථම අවස්ථාව මෙය යි. වසර හතළිහකට පසුත් ආර්න් ජොන්සන්ගේ නඩුව මතභේදයට සහ අනුමානිත කරුණුවලින් පිරී තිබෙනවා. එකල මෙම නඩුව බොහෝ ආන්දෝලනාත්මක වූ අතර, රට පුරා එය “ද ඩෙවිල් මේඩ් මී ඩූ ඉට් නඩුව” ලෙස ප්‍රසිද්ධ වුණා. 

ඩේවිඩ්ගේ අත්දැකීම්

 ආර්න් සිදු කළ ඝාතනයට මාස කිහිපයකට පමණ පෙර අමුතු සිදුවීම් රැසකට ඔහුත්, ඔහුගේ පෙම්වතිය සහ පෙම්වතියගේ 11 හැවිරිදි සහෝදරයා වූ ඩේවිඩ් ග්ලැට්සෙල් මුහුණ දුන්නා. ආර්න් උසාවියට පවසා තිබූ පරිදි මේ සියලු කරදර ආරම්භ වුණේ ඩේවිඩ් ග්ලැට්සෙල් කේන්ද්‍ර කර ගනිමින්.

 1980 වසරේ ගිම්හානයේ දී මහලු මිනිසෙක් තමාට නිතර නිතර මුණ ගැසුණු බවත්, එම මහලු මිනිසා හමුවේ තමා කිහිප වතාවක් පීඩාවට පත්වූ බවත්, කුඩා ඩේවිඩ් පවසා සිටියා. මුලදී ආර්න් සහ ඔහුගේ පෙම්වතිය සිතුවේ ගෙදර දොරේ වැඩ මඟ හැරීම සඳහා ඩේවිඩ් බොරු ගොතන බව යි. ඩේවිඩ්ගේ අත්දැකීම් ඔවුන් නොසලකා හැරියා. කෙසේ වෙතත්, කාලය ගත වීමත් සමඟ මේ අමුතු පුද්ගල රුව ඩේවිඩ්ට හමු වන වාර ගණන වැඩි වූ අතර, නිවසේ තත්ත්වය වඩාත් ප්‍රචණ්ඩකාරී ස්වභාවයකට හැරුණා.

 ඩේවිඩ් නිතර නිතර බොහොම කලබලයෙන් සහ භීතියෙන් යුතු ව නින්දෙන් අවදි වූ අතර, විශාල කළුපැහැ ඇස් ඇති සිහින් මුහුණක් සමඟ කඩතොළු සහිත දත්, උල් වූ කන්, අං සහ කුර වැනි සත්ත්ව ලක්ෂණ සහිත මනුෂ්‍යයකුගේ දර්ශන හැඬූ කඳුළින් විස්තර කිරීමට පටන් ගත්තා. වැඩි කලක් යන්නට මත්තෙන් ඩේවිඩ්ගේ පවුලේ උදවිය අසල පල්ලියක සිටි පූජකවරයකුගෙන් උපකාර ඉල්ලා සිටියා. පූජක තැන නිවසට ආශිර්වාද කළත්, ඩේවිඩ්ට සිදුවූ බලපෑම්වල අඩුවක් සිදුවුණේ නැහැ. පසුව ඔවුන් භූතවේදය සහ ගුප්ත සිදුවීම් ගවේෂණය කිරීමෙහිලා නමක් දිනාසිටි එඩ් සහ ලොරේන් වොරන් දෙපළගේ උපකාරය පැතුවා.

එඩ් සහ ලොරේන් වොරන් දෙපළ – www.ctpost.com 

එඩ් සහ ලොරේන්ගේ අත්දැකීම්

 එඩ් සහ ලොරේන් දෙපළ ග්ලැට්සෙල් පවුලේ ගැටලුව භාර ගත් පසු ඔවුන් එම නිවසේ පරීක්ෂණ සහ සම්මුඛ සාකච්ඡා ගණනාවක් සිදු කළා. ඒ අතරතුර ඔවුන්ටත් යම් යම් ගුප්ත සිදුවීම්වලට මුහුණ දෙන්න සිදු වුණා.

තම සැමියා ඩේවිඩ්ගෙන් ප්‍රශ්න කරන අතරතුරේ දී කළු මීදුමක් ඩේවිඩ් පිටුපසින් දර්ශනය වන බවක් ලොරේන් දුටු බව සඳහන්. නිවස තුළ කිසියම් සෘණාත්මක පරිසරයක් ගොඩ නැඟෙමින් තිබෙන බව එම කළු මීදුම හරහා ඇය තේරුම් ගත්තා. අදෘෂ්‍යමාන හස්තවලින් ඩේවිඩ්ගේ හුස්ම හිර කරන්නට දරන උත්සාහයක් ගැනත් මෙහිදී ඩේවිඩ් හෙළිදරව් කොට තිබෙනවා. ඔහුගේ ශරීරයේ තැනින් තැන රතු පැහැති සලකුණු දකින්නට තිබූ නිසා ශාරීරික පීඩාවලට ලක්වන බවකුත් පෙනෙන්නට තිබුණා.

 තම බාල දරුවා අවතාරයක් හමුවේ බලපෑමකට ලක් ව ඇතැයි ඩේවිඩ්ගේ අම්මා සිතුවත්, වොරන් දෙපළ එම අදහස ප්‍රතික්ෂේප කළා. ඔවුන්ගේ නිගමනයට අනුව එය යක්ෂයකුගේ පැවැත්ම තහවුරු වීමේ සංසිද්ධියක් ලෙස ගෙනහැර පෑවා. ආර්න් ජොන්සන් තම පෙම්වතියගේ පවුලට හැකි පමණ උපකාර කිරීම පිණිස නිවසේ නැවතීමට තීරණය කළා.

ඩේවිඩ්ගේ තත්ත්වය එන්න එන්නම දරුණු වූ අතර, දහවල් කාලයේදී පවා ඔහුගෙන් අසාමාන්‍ය හැසිරීම් රටා දකින්න ලැබුණු බව සඳහන්. අමුතු ශබ්ද නිකුත් කරන අතරතුරේදී ම ජෝන් මිල්ටන්ගේ නිර්මාණයක් වූ “පැරඩයිස් ලොස්ට්” සහ බයිබලයේ වැකි උමතුවෙන් මෙන් ඩේවිඩ් මුමුණන්න පටන් ගත්තා.

ආර්න් ජොන්සන්ටත් බලපෑම් වුණා ද?

 අවසාන විසඳුම ලෙස කිසියම් යාතුකර්මයක් වැනි උත්සාහයකට යෑම වඩාත් උචිත බව වොරන් දෙපළ තීරණය කළා. යාතුකර්ම අතරතුර ඩේවිඩ් අසාමාන්‍ය අංග චලන, කෙළ ගැසීම්, ශාප කිරීම් සහ හුස්ම ගැනීම නැවැත්වීම වැනි අසාමාන්‍ය චර්යා පෙන්නුම් කළ බව පැවසෙනවා. ලද ඇසිල්ලකින් අවට සිටින අයට හානි කිරීමටත් ඔහු පසුබට වුණේ නැහැ. වඩාත් ම විස්මයජනක කරුණ වන්නේ ඔහු කළ අනාවැකිය යි. ආවේශය අතරතුර ආර්න් ජොන්සන් සම්බන්ධ වූ ඝාතනයක් ගැන ඩේවිඩ් අනාවැකි පළ කළා.

 ආර්න් ජොන්සන් තම පෙම්වතියගේ සහෝදරයාට ඉමහත් ආදරයක් දැක්වූ තැනැත්තෙක්. ඩේවිඩ් පත් ව සිටි අසරණභාවය ගැන ආර්න් බොහොම දුකින් කාලය ගත කළ අතර, යම්කිසි යක්ෂාවේශයක් ඇත්නම් එය තමාගේ ශරීරයට ඇතුළු කරගෙන හෝ ඩේවිඩ්ව ගලවා ගන්න ඔහු පසුබට වුණේ නැහැ. ආර්න් එවැනි පරිත්‍යාගයක් කළ බවත් කියවෙනවා. එහි සත්‍ය අසත්‍යතාව කොතරම් ද යන්න පැවසීම උගහට යි. කෙසේ නමුත්, ඩේවිඩ්ගේ තත්ත්වය කෙමෙන් කෙමෙන් යහපත් තත්ත්වයට හැරීම ඇරඹුණා.

The Conjuring සිනමා විශ්වය තුළ එඩ් සහ ලොරේන් යුවළ නිරූපණය කරන්නේ වේරා ෆාර්මිගා සහ පැට්‍රික් විල්සන්- www.bbc.com 

 ඝාතනය සිදුවීමට පෙර ආර්න් ජොන්සන් නිවස අවට ප්‍රදේශයේ පිහිටි ළිඳක් පරීක්ෂා කළ බවත් ඇතැම් තැන්වල සඳහන් වෙනවා. පුංචි ඩේවිඩ්, තම මුල් ම අද්භූත සිදුවීම අත්දැක්කේ එම ළිඳ ආසන්නයේ බව පැවසෙනවා. වොරන් දෙපළ එම ස්ථානයට නොයන ලෙස ආර්න්ට අනතුරු හැඟෙව්වත්, ආර්න් එම ස්ථානයට කෙසේ හෝ ළඟා වී තිබුණා. ආර්න්ට යක්ෂයාගේ බලපෑම එතැනින් එල්ල වීමේ හැකියාවකුත් තිබෙන බව වොරන් දෙපළ අනුමාන කළා. ආරවුලක් මැද සිදු වූ ඝාතනයක් මත ආර්න් අත්අඩංගුවට ගත්තත්, ඊට වඩා කරුණු කාරණා තිබෙන බවට වූ විශ්වාසය මත වොරන් දෙපළ වහාම තම අත්දැකීම් පොලීසිය හමුවේ ප්‍රකාශ කළා.

නඩු තීන්දුව ලැබුණු හැටි

 ගුප්ත බලපෑම ගැන වොරන් දෙපළගේ ප්‍රකාශ සැලකිල්ලට ගනිමින් පොලීසිය ඒ ගැන සොයා බැලුවත්, ආර්න් ජොන්සන් තම පෙම්වතිය සම්බන්ධයෙන් ඇලන් බෝනෝ සමඟ ඇති කරගත් ආරවුල අතරතුර ඇලන් මරා දැමූ සරල කතාව සමඟ රැඳී සිටීමට පොලීසිය ක්‍රියා කළා.

ආර්න් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා “යක්ෂ බලපෑමකට නතුව සිටි පුද්ගලයකු හෙයින්, වරදකරු නොවේ” යන තර්කය මත පිහිටා ආර්න්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට උපරිම උත්සාහයක් දැරුවා. අදාළ යාතුකර්මවලට සහභාගී වූ බව කියන පූජකවරුන් කැඳවමින් උසාවිය හමුවේ තමන් කළ ආන්දෝලනාත්මක චාරිත්‍ර වාරිත්‍ර විස්තර කිරීමේ පසුබිමක් පවා සැකසීමට නීතිඥවරයා සැලසුම් කළා. එමඟින් ආර්න් සිදු කළ ඝාතනය පිළිබඳ සාම්ප්‍රදායික මතය බිඳ දමන්නට ඔහු උත්සහ කළා. එහෙත්, නඩු විභාගය අතරතුර ආර්න්ගේ නීතිඥවරයා සහ වොරන් දෙපළ සමකාලීනයන් අතින් සමච්චලයට ලක් වූ අතර, ඛේදවාචකයකින් ලාභ ලබන්නන් ලෙස සැලකුවා.

 “මේ නඩුවට වඩාත් සම්බන්ධ විය යුත්තේ සායනික මනෝවිද්‍යාඥවරුන් මිස වොරන් වැන්නවුන් නොවේ. ඔවුන් හොඳ නාටකයක් රඟ දක්වමින් සිටිනවා.”

 මනෝවිද්‍යාඥයකු වූ ජෝර්ජ් ක්‍රෙස්ග්, මේ ආන්දෝලනාත්මක නඩුව විභාගය වන ආකාරය එලෙසින් විවේචනය කළා. 

විනිසුරු රොබට් කැලහන්, ආර්න් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ගෙනා තර්කය ප්‍රතික්ෂේප කළා. එවැනි නිදහසට කරුණක් පිළි ගත නොහැකි බවත්, විද්‍යාත්මක නොවන සාක්ෂි ඔස්සේ ආර්න්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට තැත් කිරීම පල රහිත බවත්, විනිසුරුවරයා පැවසුවා.

The conjuring: The Devil Made Me Do It චිත්‍රපටයේ දර්ශනයක් – bloody-disgusting.com 

 ඩේවිඩ්ගේ යාතුකර්මය සඳහා පූජකයන්ගේ සහභාගීත්වය තහවුරු කිරීමටත් නීතිඥවරයා අසමත් වුණා. දුෂ්කර කාලයේ දී ඩේවිඩ් ග්ලැට්සෙල් නම් දරුවාට උපකාර වූ බව පමණක් පල්ලිය පිළි ගත්තා. අදාළ පූජකවරුන්ට සිද්ධිය සම්බන්ධයෙන් කිසිවක් නොපවසන ලෙස නියෝග පවා ලැබුණු බව සඳහන් වෙනවා. පසුව, ආර්න් වෙනුවෙන් පෙනී සිටි පාර්ශවය ආත්මාරක්ෂාව වෙනුවෙන් කළ ඝාතනයක් ලෙස අභියාචනයක් ඉදිරිපත් කළා. අවසානයේදී ආර්න් ජොන්සන් පළමු මට්ටමේ මනුෂ්‍ය ඝාතනයකට වරදකරු ලෙස තීන්දු කරමින් වසර 10 සිට 20 දක්වා වූ සිර දඬුවමක් ඔහුට නියම කෙරුණා. එහෙත්, වසර පහකට පසු ආර්න් ජොන්සන් සිරෙන් නිදහස් වුණා. 

කාල් ග්ලැට්සෙල්ගේ චෝදනාව

ආර්න් සිරගත ව සිටියදී ම ඩෙබී ග්ලැට්සෙල් සමඟ විවාහ වුණා. ඒ අතර කාලයේ දී ඔහු උසස් පාසල් ඩිප්ලෝමාවක් පවා හිමි කර ගත්තා. පසුකලෙක ඩෙබී සහ ආර්න් යුවළට දාව දරුවන් දෙදෙනෙක් ඉපදුණා. මේ අතර ජෙරල්ඩ් බ්‍රිට්ල් නම් කතුවරයෙක් ලොරේන් වොරන්ගේ උපකාරය ඇතුව ආර්න්ගේ සිදුවීම පාදක කරගනිමින් “The Devil in Connecticut” නම් ග්‍රන්ථය රචනා කළා. එයින් ලැබුණු ආදායම ග්ලැට්සෙල් පවුල සමඟ ඔවුන් බෙදා ගත්තා. එහෙත්, ඩේවිඩ්ගේ සහෝදරයා වූ කාල් ග්ලැට්සෙල්, 2006 දී පොත නැවත ප්‍රකාශයට පත් කළ විට වොරන් දෙපළට සහ ග්‍රන්ථයේ රචකයාට යම් චෝදනාවක් එල්ල කළා. පොතේ අන්තර්ගතය සම්පූර්ණයෙන් ම බොරුවක් බවත්, ග්ලැට්සෙල් පවුල ඇපයට තබමින් පොහොසත් වීමට හා ප්‍රසිද්ධ වීමට වොරන් දෙපළ යක්ෂයන් ගැන බොරු ගෙතූ බවත්, කාල් චෝදනා කළා. 

චිත්‍රපටයේදී ආර්න් ජොන්සන්ගේ චරිතය නිරූපණය කරන රෝරි ඕ’ කොනර් – www.comicsbeat.com 

පොත රචනා කළ අලුත ඩේවිඩ් මානසික ආබාධයකින් පීඩා විඳි අතර, පසු ව ඔහු සුවපත් වුණා. 2007 දී ඩේවිඩ්, තම සහෝදරයා වූ කාල් සමඟ එක් ව වොරන් පවුලට සහ පොතේ කතුවරයාට එරෙහි ව නඩුවක් ගොනු කළා. මෙතෙක් පොත හරහා ඔවුන්ට අත්වූ මූල්‍ය හානිය, පෞද්ගලිකත්වයට හානි කිරීම, හිතාමතාම ඔවුන්ට චිත්ත පීඩාවක් ඇති කිරීම, යන කාරණා මත පදනම්ව එම නඩුව ගොනු කෙරුණා. ආරම්භයේ සිට වර්තමානය දක්වා ආර්න්ගේ සිදුවීම එලෙසින් මතභේදයට ලක් වුණා. සුප්‍රසිද්ධ “The Conjuring” චිත්‍රපට මාලාවේ තෙවැනි දිගහැරුමට පසුබිම් වන්නේ ග්ලැට්සේල් පවුලේ සිදුවීම් සහ ආර්න් ජොන්සන්ගේ නඩු විභාගය යි. 

 කවරයේ ඡායාරූපය: ආර්න් ජොන්සන්ගේ සැබෑ රුව සහ චිත්‍රපටයේදී එම චරිතය නිරූපණය කළ පුද්ගලයා එකම ඡායාරූපයක - hotmoviesnews.com 

මූලාශ්‍ර:

www.radiotimes.com

allthatsinteresting.com

www.law.cornell.edu

Related Articles