Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

චීනයේ දී අතුරුදහන් වූ ඉන්ටර්පෝල් ප්‍රධානියා

ඉන්ටර්පෝල් හෙවත් අන්තර්ජාතික පොලීසියේ ප්‍රධානියා ලෙස 2016 සිට කටයුතු කළ චීන ජාතික මෙංග් හොංග්වෙයි අතුරුදහන් වීම පසුගිය සති දෙකක පමණ කාලයක් තිස්සේ විසඳාගත නොහැකි ප්‍රශ්නයක් ව තිබුණා. සැප්තැම්බර් 25 වන දා චීනයට පැමිණි ඔහු ඒ සමග ම අතුරුදන් වූ අතර ඔහු සිටින ස්ථානයක් පිළිබඳ දින ගණනක් ගත වන තෙක් හෙළි වූයේ නැහැ.

කෙසේ නමුත් ඉන්ටර්පෝල් ආයතනය විසින් ඔහු පිළිබඳ චීනයෙන් නිල විමසීමක් කළ පසු ඔහු චීන බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට හැඟවෙන නිවේදනයක් චීනය විසින් නිකුත් කෙරුණා. එම නිවේදනය නිකුත් කෙරුණේ මෙංග් අතුරුදන් ව සති දෙකකට පසු යි.

මෙංග් හොංග්වෙයි

1953 දී චීනයේ හෙයිලොන් ජියාංග් පළාතේ හාර්බින් නගරයේ උපන් මෙංග් හොංග්වෙයි චීන කොමියුනිස්ට් පක්ෂයේ ද සාමාජිකයෙකු ලෙස කටයුතු කළා. 2018 අප්‍රේල් වන තුරු ඔහු එම පක්ෂයේ මධ්‍යම කමිටුවේ සාමාජිකයෙකු වූ බව ද පැවසෙනවා. මීට අමතර ව ඔහු චීනයේ මහජන ආරක්ෂාව පිළිබඳ උප ඇමතිවරයෙකු ද​ වූ අතර,​ කලක් චීන​ වෙරළාරක්ෂක බලකායේ අධ්‍යක්ෂක ද වුණා.

මෙංග් ඉන්ටර්පෝල් හි සභාපති ලෙස තෝරාගන්නා ලද්දේ 2016 නොවැම්බරයේ දී යි. ඔහු ඉන්ටර්පෝල් ආයතනයේ පළමු චීන ජාතික සභාපති ද වුණා. මෙංග් එම ධුරයට පත් වූ අවස්ථාවේ දී ඇතැම් මානව හිමිකම් සංවිධාන ක්‍රියාධරයින් එම පත්වීම පිළිබඳ ප්‍රශ්න මතු කළා. ඔවුන්ගේ මතය වූයේ මෙංග් සිය තනතුර ප්‍රයෝජනයට ගෙන චීන රජයට අවශ්‍ය විරුද්ධවාදීන්ට එරෙහි රතු නිවේදන නිකුත් කිරීමට ඉඩ ඇති බව ය​. නමුත් ඉන්ටර්පෝල් හි එදිනෙදා කටයුතු පිළිබඳ බලධාරියා වන්නේ එහි මහ ලේකම්වරයා බව යි එම ආයතනය සඳහන් කරන්නේ.

ප්‍රංශයෙන් පොලිස් පරීක්ෂණ​

ඉන්ටර්පෝල් ආයතනයේ මූලස්ථානය පිහිටියේ ප්‍රංශයේ ලියොන් නගරයේ යි. ඔක්තෝබර් 4 වන දා ප්‍රංශ පොලීසියට පැමිණිල්ලක් සිදුකළ ග්‍රේස් මෙංග් සිය සැමියා චීනයේ සංචාරයක් සඳහා පිටත් ව ගිය පසු අතුරුදහන් වූ බව සඳහන් කළා. ප්‍රංශ පොලීසිය මෙංග් හොංග්වෙයිගේ අතුරුදහන් වීම පිළිබඳ පරීක්ෂණයක් පවත්වන බව ජනමාධ්‍යයන් වෙත ඔක්තෝබර් 5 වන දා නිවේදනය කළා.

ඔක්තෝබර් 7 වන දා මාධ්‍යවේදීන් හමුවේ කරුණු දක්වන ග්‍රේස් මෙංග් (AFP)

මේ අතර​, චීනයට පැමිණි අවස්ථාවේ ම මෙංග් එරට බලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද බව හොං කොං හි පළවන සවුත් චයිනා මෝර්නිං පෝස්ට් පුවත්පත වාර්තා කළා. නම සඳහන් නොකළ මූලාශ්‍රයක් විසින් ලබාදුන් තොරතුරු මත පදනම් වන බව සඳහන් කරමින් සකස් වූ එම වාර්තාව පළ වූයේ ද ඔක්තෝබර් 5 වන දා යි.

චීන නීතියට අනුව යම් කිසි පුද්ගලයෙකු පරීක්ෂණයක් සඳහා රඳවා ගත්තේ නම් පැය 24ක් තුළ ඔහුගේ හෝ ඇයගේ ළඟ ම ඥාතීන්ට ඒ බව දැන්විය යුතු වන අතර, එවැනි දැනුම්දීමක් මෙංග්ගේ බිරිඳ වෙත සිදු නොකෙරුණ බව පැහැදිලි යි. කෙසේ නමුත් එම අවස්ථාව වන විට මෙම වාර්තාව වෙනත් පාර්ශවයක් විසින් තහවුරු කෙරුණේ නැහැ.

ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ඔක්තෝබර් 5 වන දා සඳහන් කළ පරිදි සැප්තැම්බර් 25 වන දායින් පසු මෙංග් පිළිබඳ කිසිදු පුවතක් ඔහුගේ ළඟ ම ඥාතීන්ට ලැබී තිබුණේ නැහැ. එමෙන්ම ග්‍රේස් මෙංග් වෙත ද එල්ල වූ “තර්ජන​” පිළිබඳ තමන් සැලකිලිමත් වන බව ද ඔවුන් සඳහන් කළා.

ඉල්ලා අස්වීම

මේ අතර ඉන්ටර්පෝල් ආයතනය විසින් චීන බලධාරීන්ගෙන් මෙංග් අතුරුදහන් වීම පිළිබඳ නිල විමසීමක් සිදුකළා. ඉන්පසු එම ආයතනය සඳහන් කළේ මෙංග් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට ප්‍රකාශයක් තමන් වෙත එවනු ලැබ තිබෙන බව යි. මෙම නිවේදනය ඉන්ටර්පෝල් ආයතනය වෙත ලැබී තිබුණේ ඔක්තෝබර් 7 වන දා යි.

මෙංග් ඉල්ලා අස්වීම පිළිබඳ ඉන්ටර්පෝල් ආයතනය විසින් නිකුත් කළ නිවේදනය (INTERPOL/Twitter)

ඔක්තෝබර් 7 වන දා මෙම අතුරුදහන් වීමෙන් පසු පළමු වතාවට ග්‍රේස් මෙංග් මාධ්‍ය හමුවේ කරුණු දැක්වූවා. සිය මුහුණ මාධ්‍ය මඟින් නොපෙන්වන ලෙස ඉල්ලූ ඇය සඳහන් කළේ අතුරුදහන් වීමට ස්වල්ප වෙලාවකට පෙර තමන් වෙත තම සැමියා විසින් පිහියක ඡායාරූපයක් එවන ලද බව යි.

එමඟින් ඔහු තමන් අනතුරක බව ඇයට දන්වා සිටීමට උත්සාහ කළ බව ග්‍රේස් මෙංග් විශ්වාස කරනවා.

මෙම ඡායාරූපය එවීමට මිනිත්තු හතරකට පෙර “මගේ කෝල් එකක් එනතුරු ඉන්න​” යනුවෙන් ද තමන්ට ඔහු පණිවිඩයක් එවූ බව ඇය කියා සිටියා.

චීන නිවේදනය

ඔක්තෝබර් 8 වන දා චීන මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිවේදනය කරනු ලැබුණේ මෙංග් හොංග්වෙයිට එරෙහි අල්ලස් සහ දූෂණ චෝදනා පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙන බව යි. එම චෝදනා කවරාකාර වේදැ යි අමාත්‍යාංශය විසින් පැහැදිලි කරනු ලැබුණේ නැහැ.

අවසන් පණිවිඩය (AFP)

මෙම නිවේදනය මෙංග් චීන රැඳවුම් භාරයේ සිටින්නේ ය යන කරුණ තහවුරු කෙරෙන්නක් ලෙස ද සැලකිය හැකියි.

චීන ජනාධිපති ෂී ජින්පිං යටතේ එරට දූෂණ විරෝධී මෙහෙයුම් තීව්‍ර කරනු ලැබුණා. මේ අනුව හිටපු බලධාරීන් ගණනාවකට එරෙහිව විමර්ශන කටයුතු ඇරඹුණා. කෙසේ නමුත් ඇතැම් විරුද්ධවාදීන් මර්දනය කිරීමට ද මෙම දූෂණ විමර්ශන කටයුතු යොදාගත් බව ෂී ජින්පිං වෙත චෝදනා එල්ල වනවා.

කරුණු එසේ වුව ද මෙංග් හොංග්වෙයිට එරෙහි පියවර තරමක් පුදුමාකාර වෙනවා. මෙම ක්‍රියාව චීන රජයට තරමක් දරුණු අන්තර්ජාතික පීඩනයක් එල්ල විය හැකි එකක් බව සැකයක් නැහැ. විශේෂයෙන් ඇමෙරිකාව සමග මතභේදයන් උත්සන්න වන අවස්ථාවක මෙවන් ආන්දෝලනයක් ඇති වීම ද චීන රජයට අවාසි සහගත වෙනවා. අනෙක් අතට අභ්‍යන්තරික වශයෙන් ෂී ජින්පිං තම දේශපාලන බලය තහවුරු කරගෙන අවසන්. එහෙයින් දේශපාලනිකව ද මෙංග් වෙතින් ඔහුට තර්ජනයක් එල්ල වීමේ ඉඩක් නැහැ.

කරුණු මෙසේ බැවින් චීන රජය මෙවැනි පියවරක් ගැනීම කුතුහලය ඇති කරවන සිදුවීමක් වෙනවා. ඒ පිළිබඳ නුදුරු අනාගතයේ දී යම් කිසිවක් හෙළි වේදැ යි දැන්ම කිව නොහැකියි.

කවරයේ පින්තූරය: මෙංග් හොංග්වෙයි (AFP)

 

Related Articles