ඇමරිකාවෙන් කියුබාවට කළ අත පෙවීම් – කියුබා ඇමරිකා සීතල යුද්ධය

කියුබානු විප්ලවයත් සමඟ සමාජවාදී කියුබාව හා ධනවාදී ඇමරිකා එක්සත් ජනපදය අතර විරසකයක් ඇති වූ බව මුළු ලොවම දන්නා කරුණක්. එදා පටන් ලෝක දේශපාලය තුළ පෙරලීම් ඇති කිරීමට ඇමරිකාව මෙන්ම කියුබාවද සමත් වෙනවා. ලෝක බලවතා යුධ තර්ජන, වෙළද සම්බාධක හා විවිධ උපක්‍රම යොදමින් කියුබාව අස්ථාවර කිරීමට තැත් කළත් කියුබාව ඊට නොදෙවැනි ලෙස තමන්ටම අනන්‍යවූ ප්‍රතිපත්තීන් අනුගමනය කරමින් තම ස්ථාවරයේ රැදී සිටිනවා.

වර්තමානය වන විට දරුණු යුධමය තත්වයන් ඇති නොවූවත් දෙරට අතර තාමත් නිම නොවූ  සීතල යුද්ධයක්නම් පවතිනවා. ඉතින් මේ ලිපිය ලියවෙන්නේ ඒ හා සම්බන්ධවයි. මේ පිළිබඳව තවදුරටත් ඔබ දන්න දේවල් comment එකකින් සටහන් කරන්නත් අමතක කරන්න එපා.

දෙරටේ භූගෝලීය පිහිටීම විරසකයට හේතුවක්ද?

භූගෝලීය පිහිටීම (Infomaniac's World)

භූගෝලීය පිහිටීම (Infomaniac’s World)

කියුබාව කැරබියන් මුහුදේ පිහිටි දූපත් රටවල් වලින් ජනාකීර්ණම රට වෙනවා. කියුබාවේ සිට ඇමරිකාවේ බටහිර ෆ්ලොරිඩාවේ දකුණු ප්‍රදේශයට ඇත්තේ කිලෝ මීටර් 150 වැනි කුඩා දුරක්. කෙතරම් ළගින් තිබුනත් ඔවුන් දේශපාලනික, සමාජ හා ආර්ථික වශයෙන් එකිනෙකාට විරුද්ධව නිරන්තර අරගලයක යෙදී සිටිනවා. ඇමරිකාවනම් පවසන්නේ කියුබාව තම රට අසළම පිහිටීම මෙම නිරන්තර ගැටුම් වලට හේතුව බවයි.

නොහොද නෝක්කාඩුව ආරම්භ වූයේ කොහොමද?

මධ්‍යම ඇමරිකානු රහස් ඔත්තු සේවය (Wikipedia)

මධ්‍යම ඇමරිකානු රහස් ඔත්තු සේවය (Wikipedia)

1959 ජනවාරි 8 වනදා ෆිදෙල් කැස්ත්‍රෝ ඇතුළු සන්නද්ධ ගරිල්ලා කණ්ඩායම විසින් එවකට කියුබාව පාලනය කළ ආඥාදායක බැටිස්ටාව පාලනයෙන් නෙරපා හැර රට තුළ පාලනය ලබා ගන්නවා. යුධ සමයේ පවා ඇමරිකාව විසින් කියුබාවෙන් පලාඑන සරණාගතයන් තම රටට පිළිගැනීමට මහත් උනන්දුවෙන් පසුවුණා. ඒ සඳහා කියුබාව තුළ මානව හිමිකම් උල්ලංඝණය වන බව ලොව වටා ප්‍රචාරය කරමින් පලාඑන්නවුන් දිරිමත් කිරීමේ මෙහෙයුමක් ආරම්භ කරනු ලබනවා.

ෆිදෙල් ඇතුළු පිරිස රටෙහි බලය ලබා ගැනීමත් සමඟම ඇමරිකාව විසින් සම්බාධක පැනවූවත් 1959 සිට 1961 කාලය දක්වා යම්තාක් දුරට දෙරට අතර තානාපති සම්බන්ධකම් පවතිනවා. නමුත් 1961දී ඇමරිකාවේ සිටි කියුබානු පුරවැසියන්ගෙන් සමන්විත හමුදාවක් නිර්මාණය කරන මධ්‍යම ඇමරිකානු රහස් ඔත්තු සේවය (CIA) කියුබාව ආක්‍රමණය කිරීමේ අසාර්ථක මෙහෙයුමක නිරතවෙනවා. මෙම ක්‍රියාව දෙරට අතර සතුරුකම් දළු ලා වැඩීමට බලපෑ විශාලතම සාධකය ලෙස හදුන්වන්න පුළුවන්. ඒ සමඟම රටවල් දෙකම තමන්ගේ තානාපති කාර්යාල ඉවත් කරගැනීමට කටයුතු කරනවා.

සංක්‍රමණිකයන් කියුබාවට එරෙහිව උසී ගැන්වීම

ඇමරිකාවට පලායන කියුබානුවන් (The Daily Signal)

ඇමරිකාවට පලායන කියුබානුවන් (The Daily Signal)

දෙරට අතර 1958 සිට ඇතිවූ ප්‍රශ්නයක් ලෙස ඇමරිකා රජය මගින් කියුබානු පුරවැසියන්ට ඇමරිකාවේ පුරවැසිභාවය ලබා දීම මගින් කියුබාව යනු මානව නිදහස නොමැති රටක් ලෙස ලෝකය හමුවේ ඇමරිකාව විසින් නිරාවරණය කිරීම හදුන්වා දෙන්නට පුළුවන්. එක්සත් ජනපදයේ මියාමි හි කියුබානු පුරවැසියන්ව පදිංචි කිරීම සිදු කරනවා. මෙසේ තම රටට පලාඑන්නන් කුමන හේතුවක් මත හෝ වැළක්වීම සිදු නොකළ යුතු බව බව ඇමරිකාව විසින් කියුබාවට තරයේ මතක් කර සිටිනවා.

1994 වර්ෂයේ ඇමරිකාවට යාමට බෝට්ටු විශාල සංඛ්‍යාවක් කියුබාව වෙතට පැමිණෙන බවට ප්‍රචාරය කර එකදු බෝට්ටුවක්වත් නොපැමිණීම හේතුවෙන් කුපිත වූ ජනයා කියුබානු රජයට එරෙහිව කළහකාරීව හැසිරීම ඇමරිකාව විසින් කියුබාව අඩපණ කිරීමේ උපක්‍රමික අවස්ථාවක් බව ෆිදෙල් පවසනවා.

සම්බාධක පැනවීම

කියුබාව සමඟ සියළු සම්බන්ධතා නැවැත්වූ ඇමරිකානු ජනාධිපති අයිසන්හවර් (plus.google.com)

කියුබාව සමඟ සියළු සම්බන්ධතා නැවැත්වූ ඇමරිකානු ජනාධිපති අයිසන්හවර් (plus.google.com)

දෙරට අතර සීතල යුද්ධයේ ප්‍රධානතම අංගය ලෙස ඇමරිකාව විසින් කියුබාවට වෙළද සම්බාධක පැනවීම හදුන්වන්න පුළුවන්. බැටිස්ටා පාලනය ඉවත් වීමත් සමඟම ළදරු ආහාර, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධ වර්ගයන් සඳහා සම්බාධක පනවනවා. තවත් අවුරුදු දෙකකට පසුව එනම් 1961 ජනවාරි මස තුන් වනදා එවකට ඇමරිකානු ජනාධිපති අයිසන්හවර් විසින් දෙරට අතර ආනයන හා අපනයන සියල්ලම කොන්දේසි විරහිතව ඒකපාර්ශවිකව නතර කරනු ලබනවා.

ඒවන විට ඇ.ඩො. මිලියන 618ක සමස්ත කියුබානු අපනයනයෙන් අඩකටත් වඩා, එනම් ඇ.ඩො. මිලියන 357ක අපනයනයක් සිදු කරන්නේ එක්සත් ජනපදයටයි. එවකට කියුබාවේ සමස්ත සීනි අපනයනය සිදු කරන ලද්දේත් ඇමරිකාව වෙතටයි. සම්බාධක පනවන විට ඇමරිකාව විසින් කියුබාවට අපනයන කළ අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රමාණය ඇ.ඩො. මිලියන 223.6ක් පමණ වෙනවා. ඒ සමඟම කියුබාව දැඩි ආර්ථික අස්ථාවරත්වයකට පත් වෙනවා.

වෙළද සම්බාධක වලට ප්‍රතිචාර දැක්වූ කියුබාව

සම්බාධක මගින් පීඩාවට පත් වන ජනයා කියුබානු රජයට විරුද්ධව කැරලි ගැසීම ඇමරිකාවේ අරමුණ වූ බව සදහන් කරන කියුබාව සම්බාධක මගින් ආර්ථිකය කඩාවැටීම නැවැත්වීම උදෙසා ආනයනයන් වෙනුවට ආදේශක තම රටෙන්ම සොයා ගැනීම, නාස්තිය දූෂණය නැති කිරීමට නීති සම්පාදනය කිරීම හා අතවශ්‍ය භාණ්ඩ(ඖෂධ, ළදරු ආහාර) ආනයනය උදෙසා යුධ සිරකරුවන් හිලවු කිරීම වැනි ක්‍රියා මාර්ග ගනු ලබනවා.

“ඌරු බොක්ක” මෙහෙයුම ඇතුළු යුධමය මැදිහත් වීම්

ඌරු බොක්ක මෙහෙයුමෙන් පසු අත්අඩංගුවට පත් ආක්‍රමණිකයන් (The Daily Beast)

ඌරු බොක්ක මෙහෙයුමෙන් පසු අත්අඩංගුවට පත් ආක්‍රමණිකයන් (The Daily Beast)

1961 දී ඇමරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවයෙන්(CIA) පුහුණු කරන ලද ෆිදෙල් පාලනයට විරුද්ධව මියාමි වලට සංක්‍රමණය වූ කියුබානුවන්ගෙන් සැදුම්ලත් 1500ක පමණ හමුදාවක් විසින් කියුබාවට පහර දීමට පැමිණියත් ඔවුන්ගේ ආක්‍රමණය සාර්ථක වන්නේ නෑ. මේ සඳහා ඔවුන් කියුබාව තුළම පවතින රූපවාහිනි හා ගුවන්විදුලි මාධ්‍යන්ගේ සහය පවා ලබා ගන්නවා.

Bay of Pigs ප්‍රදේශයට ගොඩ බසින ආක්‍රමණික හමුදාවේ සහයට මෙන් ඇමරිකානු හමුදා රැදී සිටියත් ඔවුන් යුද්ධය සඳහා ප්‍රවේශ වන්නේ නෑ. Freedom of Information act යටතේ 1998 දී CIA මගින් නිකුත් කළ වාර්තාවේ ඇමරිකානු රජය මෙම මෙහෙයුම සඳහා ඇමරිකානු ඩොලර් 4 400 000 වෙන් කළ බව සටහන් වෙනවා.

ආර්ථික ඝාතන උපක්‍රම

කියුබාව පවසන පරිදි ඇමරිකාව විසින් ඔවුන්ගේ ආර්ථිකය කඩා දැමීම සදහා නොගත් උත්සාහයක් නොමැති තරම්ය. ඔවුන්ගේ ප්‍රධාන බෝගය වන උක් වගාවට ඉහලින් විෂ රසායනික එල්ල කර විනාශ කිරීම, 1971 දී ඌරු උණ වෛරසය කියුබාව තුළ ව්‍යාප්ත කිරීම. වැනි ක්‍රියාවන් හදුන්වා දෙන්නට පුළුවන්. තවද කියුබාව තුළ ඩෙංගු වෛරසය ව්‍යාප්ත කලේ ඇමරිකාව බවද ඔවුන් තරයේ ප්‍රකාශ කරනවා.

ෆිදෙල් කැස්ත්‍රෝ මරණයට පත් කිරීමේ වැරදුණු කුරුමානම්

ෆිදෙල් කැස්ත්‍රෝ (HenryMakow.com)

ෆිදෙල් කැස්ත්‍රෝ (HenryMakow.com)

මිනීමැරුම් උත්සාහයන්ගෙන් බේරීම ඔලිම්පික් තරඟ ඉසව්වක්නම් එහි රන් පදක්කම තමන්ට හිමි විය යුතු බව ෆිදෙල් වරෙක ප්‍රකාශ කරනවා. CIA සංවිධානය විසින් ෆිදෙල් මරණයට පත් කිරීම සඳහා උත්සාහ වාර 638ක් ගෙන ඇති බව 2012 වර්ෂයේ පළ වූ  mental floss සඟරාවේ සටහන් වෙනවා. සයනයිඩ් ආහාර වලට මිශ්‍ර කිරීම, දුම්වැටියට විෂ ද්‍රව්‍ය ඇතුළු කිරීම, විෂ කැවූ සිරින්ජර හා ලේන්සු මගින් ඔහුව මරණයට පත් කරන්නට CIA ගත් උත්සාහ සියල්ලම ව්‍යර්ථ වී තිබෙනවා.

වර්තමාන තත්වය

වර්තමානය වන විට මෙම තත්වය මදක් දුරට සමනය වෙලා තිබෙනවා. 2009 වර්ෂයේදී කියුබානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් ඇමරිකානු ඔත්තුකරුවෙක් වන ඇලන් ග්‍රොස් 2014 වර්ෂයේදී නිදහස් කිරීම ඒ සමඟම ඇමරිකාවේදී අත් අඩංගුවට පත් වූ කියුබානු ඔත්තුකරුවන් තිදෙනෙක් නිදහස් කිරීමද සිදු වෙනවා.

වොෂින්ටන් හා හවානා අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා නැවතත් පසුගිය වසරේ සිට ශක්තිමත් වන අතර වසර 57 ක් පුරා දෙරට අතර පැවති ඇතැම් වෙළද හා ගමනාගමන සම්බාධක පසුගිය වසරේ ජූලි මාසයේ සිට අවලංගු කරනු ලබනවා. දැනට දෙරට අතර පවතින ගුවන් ගමන් වාර ගණන පස් ගුණයක් දක්වා වැඩි කිරීමටත් ඔවුන් බලාපොරොත්තු වෙනවා.

ඔබාමාගේ කියුබානු සංචාරය   

කියුබාවේදී ඔබාමාට උණුසුම් පිළිගැනීමක් (PBS)

කියුබාවේදී ඔබාමාට උණුසුම් පිළිගැනීමක් (PBS)

කෙසේවෙතත් 1928දි කෙල්වින් කුලිජ් ජනාධිපතිවරයාගේ කියුබානු සංචාරයෙන් පසුව  ඇමරිකානු ජනාධිපතිවරයෙක් කියුබාවේ සංචාරය කරන්නේ 2016 වර්ෂයේ මාර්තු මස. ඒ වර්තමාන ජානාධිපති බැරක් ඔබාමායි.

දශක ගණනාවකට පසුව කියුබානු රජයේ තුර්යවාදක කණ්ඩායම ඇමරිකානු ජාතික ගීය වාදනය කිරීම හා ඔබාමා විසින් කියුබානු රූපවාහිනිය ඔස්සේ ජනතාව ඇමතීම සිදු කරනු ලබනවා. ඔබාමාගේ තුන් දින නිල සංචාරයේදී ලෝක පෝෂණ ගැටළු හා යුද්ධයන් පිළිබඳවත් ඇමරිකාව යට‍තේ පවතින ග’න්තනමෝ සිර කදවුර පිළිබඳවත් රාජ්‍ය නායකයන් අතර අදහස් හුවමාරු වූ බව සදහන්. මෙම හමුවීමේදී  තම රටේ එකදු ඇමරිකානු සිරකරුවෙක් නොමැති බවත් එසේ සිටින බව ඔප්පු කලොත් පැය 24කින් නිදහස් කරන බවත් කියුබානු නායක රාහුල් කැස්ත්‍රෝ සදහන් කරනවා.

දෙරටේ හෙට දවස

රාහුල් කැස්ත්‍රෝ හා ඔබාමා (NPR)

රාහුල් කැස්ත්‍රෝ හා ඔබාමා (NPR)

කියුබාවට එරෙහිව ආර්ථික සම්බාධක ඉවත් කිරීමේ බලය ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලය සතු වෙනවා. ඔබාමාගේ රිපබ්ලිකන් සාමාජිකයන් එහි බහුතරයක් සිටින බැවින් මෙම වසර නිමා වීමට පෙර සම්බාධක සියල්ලම ඉවත් වනු ඇතැයි දේශපාලක විචාරකයන් පෙන්වා දෙනවා.

සීතල යුද්ධයේ අවශේෂ මිහිදන් කිරීමට තමන් මෙහි පැමිණි බවත් ඇමරිකාවෙන් තවදුරටත් තර්ජන එල්ල වේවියැයි බිය නොවී අසල්වැසි රටවල් ලෙස මිත්‍රත්වයෙන් එක පවුලක් ලෙස කටුතු කළ යුතු බව ඔබාමා හවානා හිදී කළ ප්‍රකාශයෙන් පසුව රාහුල් කැස්ත්‍රෝ පවසන්නේ ඇමරිකාව තමන්ට තමන්ගේ ප්‍රතිපත්තීන් වෙනස් කිරීමට බලපෑම් නොකළ යුතු බව හා තමන් රටේ සමාජවාදී ප්‍රතිපත්තීන් වෙනස් නොකරන බවය. ද්වි පාර්ශවික සම්බන්ධතා ඉදිරියට කරගෙන යාමට දෙරටේ වෙනස්කම් වලට දෙරටම ගරු කළ යුතු බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරනවා.

කෙසේ වෙතත් ලබන වසරේ සිට නව ජනාධිපතිවරයෙක් යටතේ ධනවාදී ඇමරිකාවෙන් සමාජවාදී කියුබාවට කුමන ආකාරයේ බලපෑම් එල්ල වේවිද, තම උපක්‍රම යොදා ඇමරිකාව විසින් කියුබාව තම අණසකට යටත් කරගනීද නැතහොත් සීතල යුද්ධය අළු යට ගිනි පුපුරු ලෙස තව දුරටත් පවතීද යන්න නිශ්චිතවම කිව නොහැකියි.

Related Articles