ඩොලර් ගිලපු නෙළුම් කුලුනේ සැඟවුණු කතාව

දකුණු ආසියාවේ උසම කුලුන හදන බව පවසමින් චීනෙට ණය වී ඉදි කළ කොළඹ නෙළුම් කුලුන විවෘත කර වසර තුනක් ගතවුණත් එය තනිකර සුදු අලියෙක් බවට පත්වෙලා. එහි දූෂණ ගැනත් නිතර කියවුණා. තවමත් එය ක්‍රියාත්මක කර ආදායමක් ලබාගත හැකි සුදුසු ආයෝජක ආයතන ආණ්ඩුවට හමු වී නැහැ.

වාර්ෂිකව ජනතා මුදලින් විශාල ප්‍රමාණයක් එහි ණය වශයෙන් පසුගිය කාලය පුරා ගෙව්වා. දැනට එය භාවිත කරන්නේ නත්තලට සහ වෙසක් දිනවලට ආලෝකවත් කරන්නට පමණක් බවයි පේන්නේ. නෙළුම් කුලුන අදටත් රටට ශත පහක මුදලක් උපයා දී නොමැති යි.

 පාදමේ කොන්ක්‍රීට් ආස්තරණය කරමින් – youtube.com

කුලුනට වැටුණු නම්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන කාලයේ 2012 දී ආරම්භ වුණු නෙළුම් කුලුන ව්‍යාපෘතිය පිළිබඳ පක්ෂ විපක්ෂ දේශපාලකයන් විවිධ අදහස් පළකර තිබෙනවා. ඒ අතරින් කාගෙත් මතකයේ තිබෙන ප්‍රකාශයක් වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා “ඔය නෙළුම් කුළුණ හොඳයි අපිට පැනලා මැරෙන්න” යනුවෙන් කළ ප්‍රකාශයයි.

“ආණ්ඩුව පම්පෝරි ගහනවා. රටේ සංවර්ධනයක් වුණා කිව්වට අපිට වුණ සංවර්ධනයක් නැහැ. ඔය නෙළුම් කුලුන හොඳයි අපිට පැනලා මැරෙන්න. ඒකේ උඩ හෝටලයක් තියනවාලු. ඒ හෝටලය කැරකෙනවලු. දැන් ඌව පරණගම ඔබට මොකටද මේක. මෙතන මේ කහට කෝප්පයක් බොන්න නැතිව ඉන්න අපිට ඕකට ගිහිල්ලා තේ කෝප්පයක් බොන්න පුළුවන්ද. ඒවා හදන්නේ අපිට නෙවෙයි. මේවා හදන්නේ වෙන පම්පෝරී ගහන වෙන පන්තියකට” යනුවෙන් ඔහු ඌව පරණගම ප්‍රදේශයේ රැස්වීමක් අමතමින් පැවසූ අතර එයට මාධ්‍යවලින් ප්‍රසිද්ධියක් ද ලැබුණා.

හිටපු අමාත්‍ය මංගල සමරවීර යහපාලන ආණ්ඩු සමයේ ‘නෙළුම් කුලුන’, “පගා කුලුන” ලෙස හඳුන්වා කතා කළා. පොදුජන එක්සත්පෙරමුණේ සංකේතය වුණු “පොහොට්ටුව යනු පගා ගැසීමේ සංකේතය” ලෙස හඳුන්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයට චෝදනා කරමින් තමයි ඔහු එලෙස පවසා සිටියේ.

 හිටපු ජනපති නෙළුම් කුලුන විවෘත කරමින් – news.lk

කුලුන විවෘත කිරීම නමට පමණයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් නෙළුම් කුලුනජනතා අයිතියට 2019 සැප්තැම්බර් 16වැනි දා පත් කෙරුණා. ඒ අවස්ථාවේ දී කුලුන ඉදිකිරීමේ දී රුපියල් බිලියන දෙකක මහා පරිමාණ මූල්‍ය වංචාවක් සිදුවී ඇති බවත් ද ජනාධිපති මෛත්‍රීපාල ප්‍රකාශ කළේ විශාල ආන්දෝලනයක් ඇතිකරමින්.

2012 වසරේදී නෙලුම් කුලුණේ ඉදිකිරීම් කටයුතු සදහා චීන සමාගමකට රුපියල් බිලියන දෙකක මුදලක් රජය අත්තිකාරම් මුදලක් වශයෙන් ගෙවා ඇති බවත්, වැඩිදුර කරුණු සොයා බැලීමේ දී එලෙස චීනයේ සමාගමක් නොමැති බවත් හෙළිදරව් වූ බව ජනාධිපතිවරයා සඳහන් කර සිටියා. පසුව රාජපක්ෂ පාර්ශ්වය වෙනුවෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එය අසත්‍ය ප්‍රකාශයක් බව යි.

කුලුන විවෘත කිරීමෙන් පසු මහජනතාවට එය නැරඹීමට අවස්ථාව උදාවන බව ඒ අවස්ථාවේ නිලධාරින් ප්‍රකාශ කළා. මේ නිසා ඉන්පසු දිනවල දුරබැහැර ජනතාව පවා වාහනවලින් නෙළුම් කුලුන නැරඹීමට පැමිණියත් ඔවුන්ට දැකගත හැකි වූයේ ජනතාවට විවෘත නොවූ කුලුනක්. ඔවුන්ට රස්තියාදු වී හිස් අතින් ආපසු යාමට සිදුවුණා. අද දක්වා එය තිබෙන්නෙ වසා දමලා යි.

කුලුන ඉදිකරන සමයේ- colombolotustower.wordpress.com

කොළඹට උස ම සන්නිවේදන කුලුනක්

වර්ෂ 2008 දී බහුකාර්ය විදුලි සංදේශ කුළුණක් ඉදිකිරීමේ අවශ්‍යතාව විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවට ඇති වුණා. ඒ වැඩි වන විදුලි සංදේශ සංඥා අවශ්‍යතා සඳහා පහසු විසඳුමක් සැපයීමට යි. පෑලියගොඩ නගරයේ ඉඩමක් තෝරාගෙන ඉදිකිරිම ආරම්භ කිරීමට මුලින් ම සුදානම් වූ විට එම ඉඩම පිළිබඳ ව ගැටලුවක් හටගැනීම නිසා එම ඉදිකිරීම අත්හිටුවා දැමුවා.

අවුරුදු දෙකකට පසුව 2010 වසරේදී කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ ඇති රජයේ ඉඩමක් එයට යොදා ගැනීමට තීරණය වුණා. අක්කර 6ක් පමණ වූ මෙම ඉඩමේ පැල්පත්වාසීන් රාශියක් පදිංචි ව සිටියා. ඔවුන්ට මහල් නිවාස ලබා දී ඔවුන් එම ස්ථානයෙන් ඉවත්කිරීමෙන් අනතුරුව 2012 වසරේදී කුලුනේ ඉදිකිරීම් එතැන ආරම්භ කළා.

 කුලුනේ විශේෂ ස්ථාන සහිත නෙළුම් පොහොට්ටු කොටස- tripadvisor.com

අකුණු සන්නායක කණුව ද සහිත ව ‘නෙළුම් කුලුනේ මුළු උස මීටර 356.3ක් වෙනවා. මෙය ශ්‍රී ලංකාවේ මෙන් ම දකුණු ආසියාවේ ද උසම කුළුණ ලෙස සැලකෙනවා. එය ඉදිකිරීම සඳහා තෝරා ගෙන තිබුණෙත් චීන සමාගමක්. ශ්‍රී ලාංකික ඉංජිනේරුවන්ගේ ද සහයෝගයෙන් තමයි මෙහි වැඩකටයුතු සිදුවුණේ.
මෙම ව්‍යාපෘතිය සඳහා චීන ණය වශයෙන් වැය කර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 104.3 ක්. ඉතිරි සියයට 20 දේශීය මුදලින් දැරීමට විදුලි සංදේශ නියාමන කොමිසම එකඟ වී සිටියා.

රූපවාහිනී සහ ගුවන් විදුලි සම්ප්‍රේශණ ස්ථානයක් ලෙස මෙම කුළුණ භාවිත කිරීමට නියමිත යි. ඒ සඳහා යොදා ගන්නා ලෝහ ඇන්ටෙනා කුලුනක් ද මුදුනේ සවිකර තිබෙනවා. මහල් තුනකින් යුත් මෙහි මුදුනේ උත්සව ශාලා, භෝජනාගාර, කෞතුකාගාරයක් හා නැරඹුම් මැදිරියක් ද තිබෙනවා.

 කුලුන මුදුනේ සවිකළ ඇන්ටෙනාව – twitter.com

ඉදිකිරීම් තාක්ෂණය

මෙම ව්‍යාපෘතිය සැලසුමට සහ ඉදිකිරීම් අධීක්ෂණයට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් 80 දෙනකුගේ පමණ සහාය හිමි වී තිබුණා. ව්‍යාපෘතියට නිල උපදේශන සැපයීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තෝරාගෙන තිබුණේ මොරටුව විශ්වවිද්‍යාලය යි.

මෙම නෙළුම් පොහොට්ටුවක හැඩය ගත් සැලසුම මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිමල් සිල්වාගේ සංකල්පයක්. එම සැලසුමට අනුවයි චීන සමාගම ඉදිකිරීම් ආරම්භ කළේ.

නෙළුම් කුලුන රාත්‍රියට ආලෝකමත් කළ අවස්ථාවක් – peakpx.com

කුලුනේ වියදම

නෙළුම් කුලුන ඉදිකිරිම සඳහා තෝරා ගෙන තිබුණේ චීන කොන්ත්‍රාත් සමාගම් දෙකක්. මෙය ඉදිකිරීමට අවශ්‍ය මුදල් සඳහා චීන එක්සිම් බැංකුව ණය මුදලක් ලෙස ලබාදීමට කටයුතු කර තිබුණා. චීනය ක්‍රියාත්මක කරමින් සිටින එක් තීරයක් හා එක් මාවතක් (BRI – Belt and Road Initiative) නම් වැඩපිළිවෙළ යටතේ තමයි ඒ සඳහා වන ගිවිසුම්වලට අත්සන් තැබුවේ.

චීනයේ එක්සිම් බැංකුව, ව්‍යාපෘතියට යන සමස්ත මුදලින් 80%ක් ද ඉතිරි මුදල විදුලි සංදේශ නියාමන කොමිසම ද යෙදවීමට එහිදී තීරණය කෙරුණා. එම සැලසුමට අනුව කුලුන ඉදිවිමෙන් පසු උපයන ආදායමෙන් වසර 40කින් එම ණය මුදල ගෙවීම සිදුවෙනවා. දින 912කින් එනම් 2015 වසරේ ඉදිකිරීම් අවසන් කිරීමේ අරමුණින් වැඩ ආරම්භ කළා. නමුත් එහි වැඩ නිමවීමට අවුරුදු 7ක් ගත ව තිබෙනවා.

නෙළුම් කුලුනට ගිය වියදම ගැන සැකසූ තොරතුරු චිත්‍රකයක්- elakiri.com

කෝප් කමිටුව

2017 කෝප් කම්ටුව සභාපති ජ. වි. පෙ. එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්තිගේ ප්‍රධානත්වයෙන් රැස්වී විදුලි සංදේශ නියාමන කොමිසමේ නිලධාරින්ගෙන් ප්‍රශ්න කිරීමේ දී එහි දූෂණ රාශියක් හෙළිදරව් වුණා. මේ එහිදී මතුවූ කරුණු සමහරක්.

නෙළුම් කුලුන තැනීමේ කොන්ත්‍රාත්තුව 2012 නොවැම්බර් 12වැනි දින ආරම්භ කර ඇති අතර ගිවිසුම පරිදි එය දින 912ක් ඇතුළත දී ඉටු කර 2015 මැයි 12 වැනි දින අවසන් කළ යුතු වුණා. ගිවිසුම අත්සන් කර ඇත්තේ 2012 ජනවාරි මාසයේදී යි. ගිවිසුම ප්‍රකාර ව අවසන් දිනය වන විට සම්පූර්ණ කර තිබුණේ කොන්ක්‍රීට් තට්ටුව දැමීම පමණ යි. මෙම කොන්ත්‍රාත්තුවේ මුළු වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 104.3ක් වන අතර, එයින් මිලියන 38.28ක් ම (ආසන්න ව රුපියල් කෝටි 600ක් පමණ) වැය කර ඇත්තේ පදනමේ කොන්ක්‍රීට් තට්ටුව තැනීමට යි. කොන්ක්‍රීට් තට්ටුවේ ද ඒ වනවිට අඩුපාඩු පැවති බව පැවසුණා.

රක්ෂණ සමාගමකට රුපියල් මිලියන 1,145ක්

මෙම ව්‍යාපෘතියට කොන්ත්‍රාත්කරුවන් තෝරා ගැනීම සහ සකස් කළ වැඩ විස්තරය (BOQ) පිළිබඳව ද ගැටලු ඇති බව සඳහන් වෙනවා. කොන්ත්‍රාත්තුව අවසන් දිනයට නිම නොකිරීම පිළිබඳ එම සමාගමට එරෙහි ව අවධානය යොමුකර ඉදිරි පියවර ගැනීමක් සිදුවූයේ ද නැහැ. කෝප් කමිටුව සොයා ගෙන තිබූ තවත් කරුණක් නම් නෙළුම් කුලුනට ලබා ගත් ණය මුදල රක්ෂණය කිරීමට රක්ෂණ සමාගමකට රුපියල් මිලියන 1,145ක් ගෙවා ඇති නමුත් ඒ සඳහා කිසිදු ගිවිසුමක් අත්සන් කර නොමැති බව යි.

රාජපක්ෂ ආණ්ඩු කාලයේ හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ, සූරියවැව ක්‍රීඩාංගණය සහ කොළඹ නෙළුම් කුලුන ව්‍යාපෘති සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 2000 කට ආසන්න මුදලක් වැය කර ඇති අතර වැය කළ යුතු වටිනාකමට වඩා සියයට 20ක පමණ ප්‍රමාණයක් කොමිස් වශයෙන් වැඩිපුර මුදල් ගෙවා ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටියා. විවෘත කිරීමේ අවස්ථාවේ දී හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මුදල් අතුරුදහන්වීමේ සිද්ධියක් ගැන කළ ප්‍රකාශයත්, පසුව එක්සිම් බැංකුව ලබා දීමට පොරොන්දුව තිබූ රුපියල් බිලියන 19 අත්හිටුවා ණය දීම බිලියන 12කට සීමා කළ බවත් වාර්තා වුණා.

 නෙළුම් පොහොට්ටුව ඉදිකරන අවස්ථාවේ – wikimedia.org

විගණකාධිපති වාර්තාවෙන් හෙළි වූ කරුණු

ඉදිකිරීම් ප්‍රමාදය වෙනුවෙන් සමස්ත ව්‍යාපෘති වියදමින් සියයට 10ක් එනම් ඩොලර් මිලියන 10.43 ක ප්‍රමාද ගාස්තුවක් ගිවිසුම් ප්‍රකාර ව ශ්‍රි ලංකාවට අය විය යුතුව තිබුණා. එම මුදල අය කර ගෙන නැති බව 2017 වසරේ විගණකාධිපති වාර්තාවේ සඳහන් ව තිබෙනවා. 2020 නොවැම්බර් මාසයේ නිකුත් වුණු ජාතික විගණන කාර්යාලයේ වාර්තාවත් නෙළුම් කුලුනේ වංචා ගැන තවත් කරුණු හෙළි කළ ලියවිල්ලක්.

නෙළුම් කුලුන ඉදිකිරීම සඳහා චීනයේ EXIM බැංකුවෙන් ලබා ගත් ණය මුදලේ වාරික වශයෙන් 2019 වසර අවසානය වන විට රුපියල් කෝටි හත්සිය විසි දෙකකට අධික මුදලක් ගෙවීමට විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට සිදු වී තිබෙන බව හෙළි ව තිබෙනවා. මේ නිසා ඔවුන්ට රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කරන මුදල් ප්‍රමාණයත් අඩු කිරීමට සිදුව තිබෙනවා.

නෙළුම් කුලුන ඉදිරිපස : ISHARA S. KODIKARA/AFP via Getty Images

 

අදාළ කාලසටහනට අනුව ව්‍යාපෘතිය නිම නොකිරීම නිසා ණය මුදලින් ලබා ගැනීමට හැකි වී තිබුණේ ද සියයට 76ක් හෙවත් රුපියල් කෝටි 1230ක් පමණ යි. ඉතිරිය වන රුපියල් කෝටි 393ක පමණ මුදල ලබා ගැනීමට හැකියාවක් ලැබී නැහැ. මුළු ණය මුදල සඳහා ම රක්ෂණ, එකඟතා සහ කළමනාකරණ සේවා ගාස්තු වශයෙන් අමතරව රුපියල් කෝටි පනස් තුනකට අධික මුදලක් ගෙවා ඇතැයි ද විගණකාධිපති වාර්තාවේ සඳහන් වන කරුණක්.

චීන සමාගම් සමඟ ඇති කර ගත් ගිවිසුමට දින 912කින් ව්‍යාපෘතිය නිම කළ යුතු ව තිබුණා. එතැන් සිට වාර්ෂික ව රුපියල් කෝටි 168ක ආදායමක් ඉපයීමටයි සැලසුම් කර තිබුණේ. පසු ව ඇති කර ගත් ගිවිසුම් අනුව ව්‍යාපෘතිය නිමා කර 2017 වසරේ ඔක්තෝබර් 31 වැනිදා භාර දිය යුතු ව තිබුණා. නමුත් 2019 අගෝස්තු 31 වැනිදා වන විටත් ව්‍යාපෘතිය අවසන්ව නොතිබූ බව විගණකාධිපතිවරයා සිය වාර්තාවෙන් හෙළි කර තිබෙනවා.

කවරයේ ඡායාරූපය- කොළඹ අහස සරසන සුදු අලියා -wikipedia.org

මූලාශ්‍ර:
bbc.com
sundaytimes.lk
dailymirror.lk
colomboxnews.com

Related Articles