Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

යුක්‍රේන ජනාධිපති වීමට බලාපොරොත්තු වන විකට නළුවා

යුක්‍රේන ජනාධිපතිවරණයේ පළමු වටය මාර්තු 31 වන දා පැවැත්වුණා. මෙහිදී අපේක්ෂකයන් 39 දෙනකු අතුරින් ඉදිරියෙන්ම පැමිණියේ වොලොදිමීර් සෙලෙන්ස්කි නම් 41 හැවිරිදි හිටපු විකට නළුවා යි. ඔහු මෙසේ පළමු ස්ථානයට පැමිණීම සෑම ජනමත සමීක්ෂණයකින්ම පාහේ බලාපොරොත්තු වූ කරුණක් වුණා.

මැතිවරණ ප්‍රතිඵල අනුව වොලොදිමීර් සෙලෙන්ස්කි සියයට 30.2ක් පමණ ඡන්ද ලබාගත්තා. පොරොශෙන්කෝ සියයට 15.9ක් ද​, හිටපු අගමැතිණි යූලියා ටිමොශෙන්කෝ සියයට 13.4ක් ද ඡන්ද ලබා ගත් අතර හිටපු උප අගමැතිවරයකු සහ ඇමතිවරයකු වන යූරි බොයිකෝ සියයට 11.7ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. පොරොශෙන්කෝ බටහිර යුක්‍රේනයේ ප්‍රදේශ කිහිපයක පළමු ස්ථානය ලබාගත්තා​. බොයිකෝ රුසියානුවන් වැඩිපුර වාසය කරන නැගෙනහිර යුක්‍රේන ප්‍රදේශයන් ජයගත්තා. අනෙකුත් බොහෝ ප්‍රදේශයන්හි ඉදිරියෙන් සිටියේ සෙලෙන්ස්කි යි. නැගෙනහිර යුක්‍රේනයේ ලුහාන්ස්ක් සහ ඩොනෙට්ස්ක් ආසන්න ප්‍රදේශ කිහිපයක මැතිවරණය පැවැත්වූයේ නැහැ. එසේ මැතිවරණය පැවැත්විය නොහැකි වූයේ එම ප්‍රදේශයන්හි පාලනය කැරලිකරුවන් අත පවතින නිසා යි.

යුක්‍රේන මැතිවරණ නීතිය අනුව​, ජනාධිපතිවරණයක මුල් වටයේ දී කිසිදු අපේක්ෂකයකුට සියයට 50 ඉක්මවා ඡන්ද ලබාගත නොහැකි වූ අවස්ථාවක දී, ඉදිරියෙන්ම සිටින අපේක්ෂකයන් දෙදෙනා අතර දෙවන වටයේ ඡන්ද විමසීමක් පවත්වනු ලබනවා. මේ අනුව සෙලෙන්ස්කි සහ වත්මන් ජනාධිපති පෙත්‍රො පොරොශෙන්කෝ අතර දෙවන වටයේ ඡන්ද විමසීම අප්‍රේල් 21 වන දා පවත්වනු ලබනවා.

පොරොශෙන්කෝට වඩා පුළුල් වූ සංවිධාන ජාලයක් තිබෙන අතර එය ඔහුට වාසියක් වනවා නිසැක යි. එහෙත් ඔහුගේ ජනප්‍රියත්වය පහළ වැටී තිබීම ඔහුට අවාසියක්. එමෙන්ම රුසියානු ජනවාර්ගික ඡන්ද දායකයන් කෙසේ ඡන්දය දෙනු ඇති ද යන්න ද දෙවන වටයේ දී වැදගත් සාධකයක් වනු ඇති.

පෙත්‍රො පොරොශෙන්කෝ (AP)

සෙලෙන්ස්කිගේ ඡන්ද සටන සම්ප්‍රදායික දේශපාලනය සහ දේශපාලකයින් පිටුදකිමින් ක්‍රියාත්මක වූ එකක්. ජනතාව අතර එය වඩාත් ජනප්‍රිය වීමටත් එය හේතු වුණා. නමුත් සෙලෙන්ස්කිගේ ඇතැම් සබඳතා හේතුවෙන් ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය වෙනත් අයකුගේ දේශපාලන උප්පරවැට්ටියක් බවට චෝදනා ද එල්ල වනවා. කොටින්ම මෙය “කූඹියෝ නාට්‍යයේ ආකාරයේ ජෙහානීය​ දේශපාලන වැඩසටහනක්” බවයි විරුද්ධවාදීන් සැක පළ කරනු ලබන්නේ.

ජනතාවගේ සේවකයා

වොලොදිමීර් සෙලෙන්ස්කි යුදෙව් පවුලක උපත ලැබුවේ 1978 ජනවාරි 25 වන දා යි. ඔහු දශක දෙකක පමණ කාලයක් නළුවකු ලෙස කටයුතු කරනවා. ඔහු 1997 දී ක්වර්තාල් 95 නම් කණ්ඩායමක් පිහිටුවා ගත්තා. පසුව එය නිෂ්පාදන සමාගමක් බවට පත් වුණා.

2015 දී ක්වර්තාල් සමාගම විසින් “ජනතාවගේ සේවකයා” නම් දේශපාලන වැඩසටහනක් නිෂ්පාදනය කළා. එය 1+1 නම් රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශය කෙරුණා. මෙම කතාවෙහි සඳහන් වන්නේ එක්තරා තරුණ ගුරුවරයකුගේ කතා පුවතක්. ඔහු යුක්‍රේනයේ ඔඩුදුවාගොස් ඇති දූෂණය පිළිබඳ විවේචනය කරන වීඩියෝවක් වේගයෙන් ජනප්‍රිය වනවා. එය කෙළවර වන්නේ ඔහු ජනාධිපති ධුරයට පත් වීමෙන්. මෙම කතා මාලාව එකල යුක්‍රේනයෙහි බෙහෙවින් ජනප්‍රිය වුණා.

2018 මාර්තු මාසයේ දී “ජනතාවගේ සේවකයා” යන නමින්ම දේශපාලන පක්ෂයක් පිහිටුවා ගනු ලැබුණා. එහි නායකයා වූයේ ක්වර්තාල් 95 කණ්ඩායමේ නීතීඥයා යි. එම නමෙහි ජනප්‍රියත්වය නිසා එය අයුතු ලෙස යම් කිසිවකු විසින් භවිතා කිරීමේ ඉඩ වළකාලීමට මෙසේ එම නමින්ම දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කළ බවයි ඔවුන් පැවසූයේ.

මාස කිහිපයකට පසුව සෙලෙන්ස්කි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන රාවයක් ඇති වුණා. ඔහු ඒ බව තහවුරු කිරීමටත් පෙරම ජනමත සමීක්ෂණවල ඔහු පෙරමුණට එනු දකින්නට තිබුණා.

සෙලෙන්ස්කි සාමාන්‍ය ආකාරයෙන් මැතිවරණ රැළි ආදිය පැවැත්වූයේ නැහැ. නමුත් ඔහු සමාජ මාධ්‍ය හරහා වීඩියෝ ආදියෙන් සිය ප්‍රචාරක කටයුතු කරගෙන ගියා. එමෙන්ම ඔහු රඟපෑම ද දිගටම සිදු කළා.

යූලියා ටිමොශෙන්කෝ පාර්ලිමේන්තු සැසියකදී (Kyiv Post)

සම්ප්‍රදායික දේශපාලනය ප්‍රතික්ෂේප කරන සෙලෙන්ස්කි තමන් දේශපාලනික වශයෙන් එක් නිශ්චිත මතයක් නොදරන බව ප්‍රකාශ කළා. තමන් පොරොන්දු නොදෙන බවත් එහෙයින්ම තමන් හේතුවෙන් ජනතාවට බලාපොරොත්තු කඩවීම් සිදු නොවන බවත් ඔහු වරක් සඳහන් කළා. මෙහි ගැටළුව ඇත්තේ ඔහුට යුක්‍රේනය මුහුණ දෙන ගැටළු නිරාකරණය කිරීම සඳහා එතරම්ම හොඳ දැක්මක් නොමැති වීම බව යි ඇතැම් විචාරකයන් කියා සිටින්නේ. උදාහරණයක් වශයෙන්, නැගෙනහිර යුක්‍රේනයේ පවතින අර්බුදය විසඳීම පිළිබඳ ඔහුට නිශ්චිත අදහසක් ඇති බවක් පෙනෙන්නේ නැහැ. එමෙන්ම දූෂණයට එරෙහිව වුව ද සෙලෙන්ස්කි කුමන ආකාරයෙන් කටයුතු කරනු ඇත්දැ යි පැහැදිලිව ප්‍රකාශ කර නැහැ.

පසුපසින් සිටින චරිතය

සෙලෙන්ස්කිට එල්ල වන ප්‍රධාන චෝදනාව වන්නේ ඔහු යුක්‍රේනයේ ආන්දෝලනාත්මක ධන කුවේරයකු වන ඉහෝර් කොලොමොයිස්කිගේ රූකඩයක් වන බව යි​. කොලොමොයිස්කි 1+1 රූපවාහිනී නාලිකාවෙහි හිමිකරු වනවා. “ජනතාවගේ සේවකයා” කතා මාලාව විකාශය වූයේ ද එම නාලිකාව හරහා යි. එමෙන්ම සෙලෙන්ස්කි වෙත 1+1 රූපවාහිනී නාලිකාව හරහා කොලොමොයිස්කි විශාල සහායක් ලබා දුන්නා.

කොලොමොයිස්කි (Reuters)

දැනට කොලොමොයිස්කිට එරෙහිව මූල්‍ය දූෂණ චෝදනා එල්ල වී තිබෙනවා. එහෙයින් ඔහු යුක්‍රේනය වෙත යළි පැමිණීමේ සූදානමක් නැහැ. සෙලෙන්ස්කිගේ විරුද්ධවාදීන් චෝදනා කරන්නේ සෙලෙන්ස්කි ජනාධිපති ධුරයට පත් වුවහොත් කොලොමොයිස්කිට යළි යුක්‍රේනයට පැමිණීමේ අවසරය ලැබෙනු ඇති බව යි. නමුත් සෙලෙන්ස්කි මෙම අදහස ප්‍රතික්ෂේප කරනවා. සාමාන්‍ය නෛතික ක්‍රමවේදය කොලොමොයිස්කිට ද ඒ අකාරයෙන් බලපානු ඇතැ යි ඔහු කියා සිටිනවා.

ඇතැමුන් සැක පළ කරන්නේ සෙලෙන්ස්කිගේ මැතිවරණ ව්‍යපාරය “ජනතාවගේ සේවකයා” නාට්‍යය සමග ඇරඹුණ බවයි. මෙම සමස්ථ ක්‍රියාවලියම කොලොමොයිස්කි විසින් කරන ලද සැලසුමක් විය හැකි බව විරුද්ධවාදීන් සමහරෙක් සැක පළ කරනවා. එය එසේ වේ නම්, ලෝක ඉතිහාසයේම සිදු වූ සුවිශේෂීම දේශපාලන ප්‍රයෝගයක් ලෙස සෙලෙන්ස්කිගේ මැතිවරණ ව්‍යාපාරය හැඳින්විය හැකියි.

Cover: වොලොදිමීර් සෙලෙන්ස්කි (Sky News)

Related Articles