Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පුලස්තිනි මහේන්ද්‍රන් නොහොත් සාරා ජස්මින්ගේ අභිරහස

2015 අගෝස්තු මාසයේ දිනෙක වයස අවුරුදු 21ක් පමණ වූ තරුණයෙක් සහ වයස අවුරුදු 19ක් පමණ වූ තරුණියක් මාළිගාවත්ත ප්‍රදේශයේ පිහිටි “ශ්‍රී ලංකා තව්හීද් ජමාත්” නම් සංවිධානයේ ප්‍රධාන කාර්යාලයට පිය නැගුවා. එම තරුණියට අවශ්‍ය වූයේ තමන් අදහන හින්දු ආගම වෙනුවට ඉස්ලාම් ආගම වැළඳගැනීමට යි. මඩකලපුව දිස්ත්‍රික්කයේ මාන්කාඩු නම් ගම්මානයේ හැදී වැඩුනු මෙම තරුණිය සමග තව්හීද් ජමාත් කාර්යාලයට ගිය තරුණයා ඇයගේ පෙම්වතා වුණා.

එදින ඇය ගිය ඒ ගමන, මෑතකාලීන ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම මිනිස් සංහාරයේ කොටස්කාරියක බවට ඇය පත්කරන්නට තරම් දුරදිග ගියා.

ඉස්ලාම් ආගම වැළඳගැනීම

කාර්යාලයට ගිය දෙදෙනාට එම සංවිධානයේ එවකට මහලේකම් තනතුර දැරූ පුද්ගලයා හමුවූ අතර, ඇය හින්දු ආගම අතහැර ඉස්ලාම් දහම වැළඳගැනීමට කැමැති බව ඔහුට දැනුම් දුන්නා. එපමණක් නොව, සිය භාරකාරත්වය ද අදාල සංවිධානයට භාරගන්නා මෙන් ඇය මහලේකම්වරයාගෙන් ඉල්ලා සිටියත්, ඒ වන විට ඇය සිය පෙම්වතා සමග විවාහ වී නොසිටි බැවින් එසේ කළ නොහැකි බව ඔහු ඔවුන්ට දැනුම් දුන්නා.

පුලස්තිනී/Thinakaran

ඒ වන විට වයස අවුරුදු 18 ඉක්මවා සිටි ඇයට සිය අභිමතය පරිදි ආගමක් ඇදහීමට හැකියාව ඇතැ යි නිගමනයකට එළැඹි මහලේකම්වරයා, ඇය ඉස්ලාම් ආගමට හරවා ඒ බව තහවුරු කරන සහතිකයක් ද නිකුත් කළා. එහි සඳහන් වූයේ අදාල තරුණිය සිය අභිමතය පරිදි හින්දු ආගම අත්හැර ඉස්ලාම් ආගම වැළඳගත් බව යි. කොළඹ සහ වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු එම ලියැවිල්ලට සාක්ෂ්‍යකරුවන් ලෙස අත්සන් තබා තිබෙනවා. එහි මෙම තරුණියගේ ජාතික හැඳුනුම්පත් අංකය ද සඳහන් වන අතර, ඇය එහි ඇඟිලි සළකුණ තබා අත්සනක් ද යොදා තිබෙනවා.

 

එදින සවස් වරුවේ එම සංවිධානයේ මහලේකම්වරයා තරුණියගේ මාමා (මවගේ සහෝදරයා) අමතා තරුණිය තමන් සමග සිටින බවත්, ඇය ඉස්ලාම් ආගම වැළඳගත් බවත් දන්වා සිටින අතර, ඊට පසුදිනම ඇගේ මව සහ තවත් ඥාතීන් කිහිපදෙනෙකු මාළිගාවත්තට පැමිණෙන්නේ ඇය නැවැතත් නිවසට කැඳවාගෙන යාමේ අරමුණින්.

මාළිගාවත්ත පොලිස් ස්ථානයට යාමට සිදුවීම

කෙසේ වෙතත් එදින ඇය නිවසට යාම ප්‍රතික්ෂේප කළ බැවින් ඔවුන්ට අවසානයේ මාළිගාවත්ත පොලිස් ස්ථානය වෙත යාමට සිදුවනවා. නමුත් මෙහිදී පොලිස් පැමිණිල්ල ගොනු කළ පාර්ශවය පිළිබඳව පරස්පරතා තිබෙනවා. ඒ මන්ද යත්, අදාල පැමිණිල්ල ගොණුකළේ තමන් බව මෙම තරුණියගේ මව සඳහන් කරන නමුත්, ඉහත සඳහන් කළ ආගමික සංවිධානයේ මහලේකම්වරයා සඳහන් කරන්නේ තමන් විසින් එම පැමිණිල්ල ගොණු කළ බව යි.

පොලිස් ස්ථානයේ දී, තරුණිය ඉස්ලාමය වැළඳ ගැනීමට අවශ්‍ය බව යලිත් කියා සිටි අතර, ඇගේ මව පොලීසියෙන් ඉල්ලා සිටියේ සිය දියණිය නිවසට කැඳවාගෙන යාමට අවශ්‍ය බව යි. ඇය නිවසට රැගෙන යාම සඳහා පොලීසිය අවසර ලබා දෙන අතර, මෙම තරුණිය සඳහන් කරන්නේ තමන්ට නිවසේ දී ඉස්ලාම් ආගම ඇදහීමට අවශ්‍ය බව යි.

විවාහ වීම

තරුණිය අවසානයේ සිය මව සමග මාන්කාඩු බලා ගිය අතර, ටික කාලයක් නිහඬව ගෙවී ගියා. කෙසේ නමුත්, ඊට මසකට පමණ පසු, 2015 සැප්තැම්බර් 24 වන දින ඇය තම පෙම්වතා සමග ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානයේ ප්‍රධාන කාර්යාලයට ආපසු පැමිණියා. තමන් විවාහවීමට කැමැති බව සංවිධානයේ එවකට මහලේකම්වරයාට දැනුම් දෙන මෙම නව යුවල, ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකර දෙන මෙන් ඔහුගෙන් ඉල්ලා සිටිනවා.

එදින ද මහලේකම්වරයා විසින් තරුණියගේ මව දුරකථනයෙන් අමතා ඔවුන් දෙදෙනා විවාහවීමට අවශ්‍ය බව පවසන බව ඇයට දැනුම් දෙන අතර, විවාහය සිදු නොකරන මෙන් මව ඔහුගෙන් ඉල්ලා සිටිනවා. කෙසේ නමුත් තරුණයා සහ තරුණිය දිගින් දිගටම සිය විවාහය සිදුකර දෙන මෙන් ඉල්ලා සිටි බැවින්, සහ ඔවුන් දෙදෙනා කොහේ හෝ ගොස් සිය විවාහය සිදුකර ගන්නා බව පැවැසූ හෙයින්, මහලේකම්වරයා අවසානයේ ඔවුන් දෙදෙනාගේ විවාහය සිදුකර දෙනවා.

ඔවුන් දෙදෙනා සිය විවාහය සිදුකර දෙන ලෙස ඉල්ලමින් දෙමළ භාෂාවෙන් ලියූ ලිපි දෙකකුත් අදාල සංවිධානයට භාර දෙන අතර, තරුණියගේ ලිපියේ සඳහන් වන්නේ තමන් නිවසට ගොස් සිටි කාලය තුළ ඉස්ලාම් ආගම ඇදහීමට ඇගේ ඥාතීන් ඉඩ නොදුන් බව යි. විවාපත් නව යුවලට ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකුට අයත් කොළඹ පිහිටි නිවසක නවාතැන් පහසුකම් ලැබුණු අතර, ටික කාලයක් ඔවුන් මල්වාන ප්‍රදේශයේ පිහිටි නිවෙසක ද නැවැතී සිටිනවා. පසුව මෙම යුවල මරදමුනේ ප්‍රදේශයේ පිහිටි නිවසකට පිටත්ව යනවා.

පුලස්තිනිගේ ජාතික හැඳුනුම්පත/Ceylon Today

තරුණයාගෙන් පණිවිඩයක්

කිසිදු හැලහොල්මනක් නැතිව ගෙවී ගිය ටික කලකින් පසු, 2015 දෙසැම්බරයේ දී ශ්‍රී ලංකා තව්හීද් ජමාත් කාර්යාලයට හදිසියේම මෙම තරුණයාගෙන් ඊමේල් පණිවිඩයක් ලැබෙනවා. එහි සඳහන් වූයේ තම බිරිඳගේ සහෝදරයා සහ නැන්දා පැමිණ තම බිරිඳ මාන්කාඩුහි පිහිටි ඇගේ නිවසට කැඳවාගෙන ගොස් ඇති බව යි.

දමිළ භාෂාවෙන් ලියන ලද අදාල ඊමේල් පණිවිඩයේ ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, “මම ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානය හරහා කැමැත්තෙන්ම ඉස්ලාම් ආගම වැළඳගත් හින්දු කාන්තාවක් සමග විවාහ වුණා. අපි සතුටින් මරදමුනේ නිවසේ ජිවත්වුණත්, දෙසැම්බර් 24 දින බිරිඳගේ පවුලේ අය පැමිණ ඇයව නිවසට රැගෙන ගියා. පසුව මම ශ්‍රී ලංකා ලංකා තව්හීද් ජමාත් සංවිධානයේ ශාඛාවක නිලධාරියෙකු සමග මාන්කාඩුහි මගේ බිරිඳගේ නිවසට ගොස් ඒ ගැන සාකච්ඡා කළා. මම ඇයට කිව්වා අපි කලින් ජීවත් වූ මල්වානේ ගෙදර ගිහින් ටිකක් කල් ඉඳලා වෙන රටකට යමු කියලා. නමුත් ඇය නැවත පැමිණීම ප්‍රතික්ෂේප කළා.”

එම පණිවිඩයට අනුව, 2015 දෙසැම්බර් 25 රාත්‍රී 11.00ට පමණ මෙම තරුණිය තම සහෝදරයාගේ දුරකථනය භාවිතා කරමින් සිය සැමියාට WhatsApp පණිවුඩයක් යවා, ඔහු වෙත නැවත පැමිණීමට කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා. එසේම පසුදා උදෑසන 6ට පෙර පැමිණ ඇය ආපසු මාන්කාඩුහි පිහිටි නිවසට කැඳවාගෙන යන ලෙස ඔහුගෙන් ඉල්ලා තිබෙනවා. ඒ අනුව තරුණයා ඇගේ නිවසට ගියත්, එහිදී තරුණියගේ මාමා සහ ඔහු අතර බහින්බස් වීමක් සිදුවෙනවා. තරුණයා ඊමේල් පණිවිඩයේ සඳහන් කරන්නේ, තමන් ඉස්ලාම් ආගම අත්හැර හින්දු ආගම වැළඳගන්නේ නම් තමාට බිරිඳ ද, නිවසක් ද ලබාදීමට හැකි බව තරුණියගේ මාමා දැනුම්දුන් බව යි. තරුණිය ද ඒ අවස්ථාවේ පවසා ඇත්තේ සිය මාමාගේ තීරණය තමන්ගේ ද අවසන් තීරණය බව යි. ඇය දිගින් දිගටම තරුණයා ප්‍රතික්ෂේප කරනවා.

මෙම ඊමේලය ලැබීමෙන් පසු ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානය තරුණයාට දැනුම් දෙන්නේ, තම සංවිධානයට මේ සඳහා තවදුරටත් මැදිහත් විය නොහැකි බව යි. ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානයෙන් තමන්ට පිහිටක් නොලැබුණු තැන, අදාළ තරුණයා වෙනත් සංවිධානයක් දෙසට හැරෙනවා. 

තරුණියගෙන් ලිපියක්

ඊට සති කිහිපයකට පසු, 2016 ජනවාරි 12 වන දින, ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානයට මෙම තරුණියගෙන් ලිපියක් ලැබෙනවා. තම ස්වාමිපුරුෂයා සමග ජීවත්වීමට අපහසු නිසා ඔහුගෙන් දික්කසාද වීමට ගත් තීරණය ඇය එම ලිපියෙන් විස්තර කර තිබෙනවා. තම ස්වාමිපුරුෂයාගේ අන්තවාදී ආගමික භක්තිය නිසා ඔහු සමග ජීවත්වීම දුෂ්කර බව ඇය එහි විස්තර කරනවා.

එම ලිපියට අනුව, ඇය 2015 දෙසැම්බර් 31 වන දින කල්මුණේ පොලිසියට ප්‍රකාශයක් ලබා දී ඇති අතර, එහිදී ඇය ඔහු සමග ජීවත්විය නොහැකි බව පවසා තිබෙනවා. ඉදිරියට හින්දු ආගම ඇදහීමට හා ඉස්ලාම් ආගමෙන් ඉවත්වීමට තීරණය කළ බව ද ලිපියේ තවදුරටත් පැහැදිලි කර තිබෙනවා. ඒ දක්වා වන සියලු තීරණ ගනුලැබුවේ ඇගේ ස්ව කැමැත්තෙන් මිස, වෙනත් කිසිදු තෙවන පාර්ශවයක බලපෑම යටතේ නොවන බව ද එහි සඳහන් වෙනවා.

කව්ද මේ?

මේ කතාව කවුරුන් ගැන ද? මේ කතාවේ වැදගත්කම කුමක් ද? 

තම බිරිඳ අහිමිවීම නිසා වරින්වර හබවලට මැදිවූ මේ 21 හැවිරිදි තරුණයා මෑත කාලයේ ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවූ විශාලතම මිනිස් සංහාරයේ ප්‍රධාන කොටස්කරුවෙකු බව ඔබට විශ්වාස කළ හැකි ද? ඔව්, මෙම තරුණයා 2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා දින කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ දී ජීවිත 115ක් බිලිගනිමින්, තවත් 302කට තුවාල සිදුකළ මරාගෙන මැරුණු බෝම්බකරු අච්චි මුහම්මදු මුහම්මදු හස්තුන් ය. මේ තරුණිය අන් කවරෙකුත් නොව පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු මේ වන විටත් පුවත් මවන්නියක බවට පත්ව සිටින පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් සාරා ජස්මින් ය.

කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බකරු- ආච්චි මුහම්මදු මුහම්මදු හස්තුන්/ceylontoday

සහරාන් සමග සබඳතා ඇතිකර ගැනීම

එකිනෙකා සමග සම්බන්ධතා නැති වූ මෙම තරුණයා සහ තරුණිය, පසුකාලීනව නැවත එක්වෙනවා. ඒ, එවකට මරදමුනේ ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ, මොහොමඩ් සහරාන් මොහොමඩ් කාසිම් හෙවත් සහරාන් හෂීම් නම් අයෙකු විසින් පිහිටුවන ලද ජාතික තව්හීද් ජමාත් නම් සංවිධානය සමග එක්වීම හරහා යි. ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානයෙන් තමන්ට පිහිටක් නොලැබුණු තැන තරුණයා ගොස් සම්බන්ධ වී තිබුණේ මෙම සංවිධානයට යි. සහරාන්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම ක්‍රම ක්‍රමයෙන් මෙම තරුණයා මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු බවට පත්කරනවා. ඔහුගේ බිරිඳ, පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් සාරා ජස්මින්, ලොවම බියෙන් සලිත කළ මහා අපරාධයක හවුල්කාරියක බවට පත්වෙනවා.

මේ අතර පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුවෙනවා. ආරක්ෂක අංශ සැකකරුවන්ගේ ඡායාරූප මාධ්‍යවල පළ කරන ලද අතර, ඔවුන් සිටින ස්ථානයන් හඳුනාගැනීමට මහජනතාවගේ සහාය පතනවා.

 

අභිරහස් සිදුවීමක්

මේ අතර 2019 සැප්තැම්බරයේ එක්තරා දිනක අලුයම 3.00ට පමණ මාන්කාඩු ප්‍රදේශයේ සිට සිය රැකියාවට පිටත්ව යන පුද්ගලයෙකු මඩකලපුව-කල්මුණේ ප්‍රධාන මාර්ගයේ මාන්කඩු ගම්මානය අසල නවතා ඇති සැකකටයුතු කැබ් රථයක් දකිනවා.

‘බීච් රෝඩ්’ නම් අතුරු මාර්ගය අසල නවතා තිබූ බටර් පැහැති මෙම කැබ් රථය ඔහු තුළ කුතුහලය මුසු සැකයක් ඇති කළ අතර, එබැවින් ඔහු සිය වාහනය මඳකට නතරකර එම අවස්ථාව සමීපව නිරීක්ෂණය කරනවා. එක්වරම, ඒ හිමිදිරි පාන්දර, සාම්ප්‍රදායික මුස්ලිම් කාන්තාවන් අඳින ඇඳුමින් සැරසී සිටි කාන්තාවක් නවතා තිබූ සැකකටයුතු කැබ් රථයට ළඟා වෙමින් සිටි අතර, ඇය ඒ අසල පිහිටි පහන් කණුවක් පසුකර යද්දී ඔහුට දැනෙන්නේ තමන් කොහේ දී හෝ ඇයව දැක තිබෙන බව යි.

ඇය, මීට වසර කිහිපයකට පෙර මාන්කාඩු ප්‍රදේශයේ තමන් ජීවත්වූ ගම්මානයේ සිය නිවස අසල ජීවත් වූ දැරියක බව ටිකෙන් ටික ඔහුගේ මතකයට පැමිණෙනවා. ඇගේ මුහුණේ සේයාරුව පුවත්පත්වල පළකර තිබෙනු දුටු බවත් ඔහුගේ සිහියට නැගෙනවා. තවදුරටත් ඒ දෙස බලා සිටින ඔහුට දක්නට හැකි වූයේ තවත් පුද්ගලයින් දෙදෙනෙකු ඇය පසුපසින් පැමිණෙන බව යි.

ඇය වාහනයේ පිටුපස අසුනට ගොඩවන අතර, පුද්ගලයා තවදුරටත් එම සිදුවීම නිරීක්ෂණය කිරීමට අදාල කැබ් රථයට සමීපවීමේ අරමුණින් සිය වාහනය මඳ දුරක් මඩකලපුව දෙසට ධාවනය කරනවා. ඊට ළං වෙත්ම, කලවන්චිකුඩි පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටි, තමා හොඳින් දන්නා පොලිස් නිලධාරියෙකු කැබ් රථයේ ඉදිරිපස අසුනේ වාඩි වී සිටිනු දැක ඔහු පුදුමයට පත්වෙනවා. ඔහු එම පොලිස් නිලධාරියා සමග කතා කිරීමට සිය වාහනයේ දොර විවර කළ නමුත්, එසැනින් කැබ් රථය විදුලි වේගයෙන් මඩකලපුව දෙසට ධාවනය වෙනවා.

විමර්ශන ඇරඹේ

සැකකරුවන් සොයාගැනීමට සහාය පතමින් ආරක්ෂක අංශයන් පලකළ ඡායාරූප

මෙම සිදුවීමෙන් මාස දහයකට පසු 2020 ජූලි 6 වන දින, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට අනුයුක්තව සේවය කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක අර්ජුන මාහීන්කන්ද ඇතුළු කණ්ඩායමට, පෙර කී පුද්ගලයා දුටු සැකකටයුතු සිදුවීම පිළිබඳ තොරතුරු ලැබෙනවා. ඒ අනුව ඔහු ඇතුළු කණ්ඩායම ජූලි 8 වන දින මඩකලපුව බලා පිටත්ව ගොස් ඒ පිළිබඳව විමර්ශනය ආරම්භ කරනවා. ඔවුන් එහිදී සොයාගත් තොරතුරු තවත් එක් අභිරහසක මූලාරම්භය බවට පත්වෙනවා. එදා හිමිදිරි උදෑසන, මාන්කාඩුහි පදිංචි පෙර කී පුද්ගලයා දැක තිබුණේ පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයේ ප්‍රධාන කොටස්කරුවෙකු වන හස්තුන්ගේ බිරිඳ, පුලස්තිනි මහේන්ද්‍රන් නොහොත් සාරා ජස්මින්.

2019 අප්‍රියෙල් 26 වන දින සයින්දමරුද ප්‍රදේශයේ පිහිටි සහරාන්ගේ නිවසේ සිදුවූ බෝම්බ පිපිරීමෙන් පුලස්තිනි මියගිය බව මුලින් උපකල්පනය කළ ද, එය වැරදි බව මෙයින් ඔප්පු වෙනවා. ඇය එම ප්‍රහාරයෙන් මියගොස් නොමැති බවත්, ඒ වන විටත් රටින් පලාගොස් ඇති බවත් අදාල විමර්ශන කණ්ඩායම සොයා ගන්නවා.

අනාවරණයක්

2019 සැප්තැම්බර් මාසයේ දී පුලස්තිනී මුහුදෙන් ඉන්දියාවට පලාගොස් ඇති බව පසුව අනාවරණය වෙනවා. මන්නාරම් ප්‍රදේශයෙන් බෝට්ටුවක නැගී ඉන්දියාවට පැනගිය බවට සාක්ෂ්‍ය තිබෙනවා. ඇයට සහාය දුන් බවට විශ්වාස කෙරෙන කලවංචිකුඩි පොලිස් ස්ථානයේ ස්ථානාධිපති වූ අබුබකර් කොළඹ අපරාධ කොට්ඨාශය (සීසීඩී) විසින් අත්අඩංගුවට ගැනෙනවා.

පුලස්තිනී සමග සිටි අනෙක් පුද්ගලයින් දෙදෙනා ඇගේ මවගේ සහෝදරියගේ සැමියා, සහ ඔහුගේ සහෝදරයා ලෙස හඳුනාගැනෙනවා. ඔවුන්ගෙන් එක් අයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණු අතර අනෙකා විදේශගත වී ඇති බව පසුව අනාවරණය වෙනවා. 2020 දී රස පරීක්ෂක දෙපාර්තමේන්තුව නිවේදනය කකරන්නේ සයින්දමරුදු ප්‍රදේශයේ පිපිරීමෙන් මියගිය පුලස්තිනීයැ යි විශ්වාස කරන අයගේ සිරුරෙන් ලබාගත් රුධිර සාම්පල, ඇගේ මව වන කවිතා මහේන්ද්‍රන් රාජරත්නම්ගෙන් ලබාගත් රුධිර සාම්පල සමග නොගැලපෙන බව යි.

මවගේ ඉල්ලීම

පුලස්තිනිගේ මව කවිතා රාජරත්නම් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ඉදිරියේ සාක්ෂ්‍ය දෙමින් සඳහන් කළේ, පුලස්තිනී 2019 පෙබරවාරි සිට අප්‍රේල් 26 දක්වා සහරාන්ගේ බිරිඳ අබ්දුල් කාදර් ෆාතිමා හාදියා සමග සිට ඇති බව යි. එබැවින් පුලස්තිනීට සිදුවූයේ කුමක්දැ යි ෆාතිමා හොඳින් දන්නා බවත් ඇය පවසනවා. එම නිසා පුලස්තිනි පිළිබඳ නිශ්චිත තොරතුරක් අනාවරණය වන තුරු සහරාන්ගේ බිරිඳ නිදහස් නොකරන ලෙස කවිතා රාජරත්නම් ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටියා.

Cover image: BBC

මූලාශ්‍රයයන්: ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව

ceylontoday.lk

bbc.com

Related Articles