Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අභ්‍යවකාශයේ තනි වුණු අවසාන සෝවියට් වැසියා

අප කවුරුත් දන්නා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය නිර්මාණය කිරීම ආරම්භ කරන්නේ 1998 වසරේ දී යි. නමුත් ඊට පෙර සෝවියට් දේශයට  තමන්ගේ ම අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යාමට හැකිවුණා.  ඒක තමයි මීර් අභ්‍යවකාශ මධ්‍යස්ථානය (mir space station).  මෙම මීර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වන්නේ 1986 වසරේදී යි.

මෙහි ගගනගාමින් 3 දෙනකුට ඉඩ පහසුකම් සැලසුණා. මෙම අභ්‍යවකාශ මධ්‍යස්ථානය 2001 වසර දක්වා පවත්වා ගෙන යාමට හැකියාව ලැබුණා. මෙම අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සේවය කළ එක් සෝවියට් ගගනගාමියකුට අවාසනාවන්ත ඉරණමකට ලක් වීමට සිදු වුණා. මේ ලිපිය ඒ පිළිබඳ ව යි. 

මීර් අභ්‍යවකාශ මධ්‍යස්ථානය – starwalk.com

සර්ජි ක්‍රිකාලෙෆ් ( sergei krikalev) කියන්නේ සෝවියට් දේශයෙන් බිහිවූ දක්ෂ ගගනගාමියෙක් වගේ ම යාන්ත්‍රික ඉංජිනේරු වරයෙක්. 1991 වසරේ මැයි මස 19 වැනිදා ඔහු තවත් ගගනගාමීන් තිදෙනකු සමඟ Soyuz TM 12, අභ්‍යවකාශ යානයෙන් මීර් අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගමන් ආරම්භ කළා.

 

මීර් අභ්‍යවකාශ මධ්‍යස්ථානය

 මොවුන් තිදෙනාට අභ්‍යවකාශ   මධ්‍යස්ථානය වෙත සාර්ථක ව ඇතුළු වීමට හැකියාව ලැබුණා. ඊට සතියකට පසු මෙම ගගනගාමින් තුන් දෙනාගෙන් එක් අයකුට පෘථිවියට නැවත පැමිණීමට සිදු වනවා. ඒ අභ්‍යවකාශට ගිය ප්‍රථම බ්‍රිතාන්‍ය ගගනගාමියා වූ හෙලන් ෂර්මන්ට යි. ඇය මෙම මධ්‍යස්ථානය වෙත පැමිණියේ සතියක පමණ කෙටි කාලයකට යි.

ක්‍රිකාලෙෆ්, ඇනටොයින්  පැවිලොවිශ්  ගගනගාමියා සමඟ එහි රැඳී සිටිමින් අත්හදා බැලීම් සහ නඩත්තු කටයුතු මෙන් ම අභ්‍යවකාශ ඇවිදීම් (space walk) හයක් පමණ සිදු කළා. එහෙත් ඇනටොයින්  පැවිලොවිශ්ට ද පෘථිවියට නැවත පැමිණීමට සිදු වුණා. මේ නිසා පොළොවෙන් කිලෝමීටර් 350ක් ඉහළ අහසේ කක්ෂගත ව තිබූ මීර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තනි වීමට ක්‍රිකාලෙෆ්ට සිදු වුණා.

සර්ජි ක්‍රිකාලෙෆ් මීර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ – rbth.com

ලෝක ඉතිහාසයේ සුවිශේෂී සිදුවීමක් සිදු වුණේ සර්ජි ක්‍රිකාලෙෆ් මේ ආකාරයට මීර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තනි වී සිටින විටයි. ඒ සෝවියට් දේශයේ බිඳවැටිම යි. මෙම ලෝක සිතියම වෙනස් කළ සිදුවීම වූයේ 1991 දෙසැම්බර් මාසයේ 26 වැනිදා යි. සෝවියට් දේශය රටවල් 15කට වෙන් වීමට මෙම සිදුවීම බලපෑවා. මෙම සිදුවීමෙන් පසු ව  රතු චතුරශ්‍රය අසලට යුද ටැංකි පැමිණ තිබුණා. මිනිසුන් වීදි බැස තිබුණා. සර්ජි ක්‍රිකාලෙෆ් මේ කිසිවක් දැන සිටියේ නැහැ. 

ගෙදර යාමේ සිහිනය බොඳ වී ගියා

මේ අතර පෘථිවියෙන් සර්ජිට දුරකථන ඇමතුමක් ලැබුණා. මෙම ඇමතුමෙන් කියවුණේ සෝවියට් දේශය නමැති පැරණි රාජ්‍යය දැන් නොමැති නිසාත්, රාජ්‍යය බිඳ වැටීමෙන් සිදු වූ ආර්ථික කඩාවැටීම නිසාත් සර්ජි පාථිවියට ආපසු ගෙන්වා ගැනීමට නැවත මෙහෙයුමක් සිදු කිරීමට මුදල් යෙදවීමට නොහැකි බවත් ය. ඔහුගේ නැවත ගෙදර යාමේ සිහිනය බොඳ වී ගොස් දින නියමයක් නොමැති ව අභ්‍යවකාශයේ තනි වීමට ඔහුට සර්ජිට සිදු වුණා. ඉන්පසු මීර් අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඔහුගේ  තාවකාලික නිවහන බවට පත් වුණා.

රතු චතුරශ්‍රය අසලට පැමිණෙන යුධ ටැංකි – rbth.com

ඒ වනවිට 33 වැනි වියේ පසු වූ සර්ජි ක්‍රිකාලෙෆ්ට කුඩා දියණියක් ද සිටියා. ඔහු විවාහ වී සිටියේ ද අභ්‍යවකාශ වෘත්තියට සම්බන්ධ කාන්තාවක සමඟයි. ඔහු නැවත පෘථිවියට රැගෙන යාමට කවදා හෝ පෘථිවියෙන් යානාවක් පැමිණෙන තෙක් බලා සිටීමට ඔහුට සිදු වුණා. ඒ ආකාරයට දින ගණන් මාස ගණන් ගත වෙලා ගියා. 

සර්ජි ගේ මෙම මෙහෙයුම සැලසුම් වෙලා තිබුණේ මාස පහකින් අවසන් වීමටයි. ඊට වඩා වැඩි කාලයක් අභ්‍යවකායේ සිටීමට සර්ජි ක්‍රිකාලෙෆ් පුහුණු වී සිටියේ නැහැ. මාස 10ක් මේ විදියට අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටීමට සර්ජිට සිදු වුණා. දෙවන ලෝක යුද්ධයෙන් පසු ව අමෙරිකාව හා සෝවියට් දේශය අතර සීතල යුද්ධයක් ඇති වී තිබුණා. සෝවියට් දේශය බිඳවැටෙද්දී අභ්‍යවකාශයේ වැඩි බලයක් හිමි වී තිබුණේ සෝවියට් දේශයටයි. ඒ වනවිට තිබූ එක ම අභ්‍යවකාශ මධ්‍යස්ථානයත් අයත් වත් තිබුණේ සෝවියට් දේශයටයි.

සර්ජි ක්‍රිකාලෙෆ් සහ වැලරි පොලිකොව් – rbth.com

මේ සිදුවීමෙන් පසු ව රුසියාව දරුණු ආර්ථික අවපාතයකට ලක් වීම නිසා මුදල් සෙවීමට ඔවුන්ට සිදු වුණේ අභ්‍යවකාශ ගමන් වාර යුරෝපා රටවලට විකිණීම සිදු කරමින්. මේ වෙන්දේසි කිරීම් සදහා ඉහළ ලංසු හිමි වී තිබුණා. දිනක් මේ වෙන්දේසියේ දී ක්ලවුස් ඩෙට්රිච් ෆ්ලේඩ් නමැති ජර්මන් ජාතිකයා අභ්‍යවකාශට යැවීමට ජර්මනිය ඩොලර් මිලියන 24ක් වැය කරමින් ටිකට් පතක් මිලදී ගන්නවා. අභ්‍යවකාශයේ සිරවී සිටි සර්ජිගේ ඉරණම වෙනස් කරන්නේ මේ ජර්මානු ජාතිකයා ගත් ටිකට් පතයි. 

ජර්මන් ජාතිකයා කළ පරිත්‍යාගය

 

ජර්මන් ජාතිකයා ලබා ගත් මෙම ටිකට් පත අභ්‍යවකාශයේ සිර වී සිටින සර්ජි ගෙන්වා ගැනීමට පරිත්‍යාග කිරීමට මෙම ජර්මානු ජාතිකයා තීරණය කරනවා. පුරා දින 311ක් එනම් මාස 10ක් අභ්‍යවකාශයේ තනි වී සිටිමින් 5000 වාරයක් පමණ පෘථිවි කක්ෂය වටා භ්‍රමණය වෙමින් සිටි සර්ජි ක්‍රිකාලෙෆ්ට පෘථිවියට පැමිණීමට ඒ අනුව වාසනාව හිමි වෙනවා. ඔහු 1992 මාර්තු මාසයේ 25 වෙනිදා කලින් සෝවියට් දේශයට අයත් ව තිබූ කසකස්තානයේ අකාලික් නගරය ආසන්නයට ගොඩ බසිනවා. 

කසකස්තානයේ අකාලික් නගරය ආසන්නයට සර්ජි ක්‍රිකාලෙෆ් ගොඩ බසිනවා -.historynet.com

 

ඒ වනවිට ඔහු ශාරීරික ව ඉතා ම දුර්වල තත්ත්වයක පසුවුණා. ඔහු සුදුමැලි වී කෙට්ටු වී සිටියා. ඔහුට දෙපයින් නැගිටීමට ද හැකියාව තිබුණේ නැහැ. මේ නිසා ඔහු ඔසවා ගෙන යාමට සිදු වුණා.

පෘථිවියට පැමිණීමෙන් පසුව ඔහු මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේ තමන්ට මෙම සිදුවීම අදහාගත නොහැකි වූ බව යි.  පෘථිවියට පැමිණීමට ඔහුට හැකියාව ලැබුණත් ඔහු එනවිට සෝවියට් සමූහාණ්ඩුව නමැති තමන්ගේ මව් රට කොටස් 15කට කැඩී ස්වාධීන රාජ්‍ය 15ක් නිර්මාණය වී තිබුණා.

සර්ජි ක්‍රිකාලෙෆ් නාසා ගඟනගාමියෙකු සමඟ – historyofyesterday.com

ඔහු උපන් රට රුසියාව වී තිබුණා. ඔහු උපන් නගරය වන ලෙනින්ග්‍රෑඩ් සාන්ත පීටර්ස්බර්ග් වී තිබුණා. සෝවියට් වැසියන් වූ තම රටේ මිනිසුන් රුසියානුවන් වී තිබුණා. ඉතිරි වී සිටි එකම සෝවියට් වැසියා තමන් බව ඔහුට වටහා ගන්නට හැකි වුණා. පසු කලෙක ඔහුට තවත් හතර වතාවක් අභ්‍යවකාශට යාමට මෙන් ම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යාමට ද අවස්ථාව හිමි වුණා.

රුසියාවේ ඉහළ ම ගෞරවය වන ‘රුසියානු සමූහාණ්ඩුවේ වීරයා’ සම්මානය ඔහුට පිරිනැමීමට රුසියාව කටයුතු කළා. ඔහු සේවය කළ මීර් අභ්‍යවකාශ මධ්‍යස්ථානය 2001 වසරේ මාර්තු මස 23 වැනිදා දකුණු ෆැසිපික් සාගරයට කඩා වැටුණා. 

කවරයේ ඡායාරූපය - සර්ජි ක්‍රිකාලෙෆ්1992 මාර්තු මාසයේ 25 වෙනිදා කලින් සෝවියට් දේශයට අයත් ව තිබූ කසකස්තානයේ අකාලික් නගරය ආසන්නයට ගොඩ බසිනවා - rbth.com

මූලාශ්‍ර:

historynet.com 

historyofyesterday.com

rbth.com

Related Articles