Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සිරියාවේ ISIS ‘අගනුවර​’ වටලෑම වේගවත් වෙයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෑතකදී විධායක ආඥාවක් නිකුත් කරමින් දින තිහක් තුළදී ISIS සංවිධානය පරාජය කිරීමේ සැළසුමක් තමන් වෙත ඉදිරිපත් කරන ලෙස පෙන්ටගනයට සහ ඇමරිකානු ආරක්ෂක නිලධාරීන්ට අණ කළා. මෙහි ප්‍රතිඵලද අපට ටික දිනෙකින් බලාගත හැකි වනු ඇති.

සිරියාවේ ක්‍රියාත්මක වන, ඇමරිකානු ආධාර ලබන, සිරියානු ප්‍රජාතන්ත්‍රික බලකා (Syrian Democratic Forces – SDF), අයි.එස්.අයි.එස්. හෙවත් ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යය ත්‍රස්ත ව්‍යාපාරය, සිය අගනුවර ලෙස සළකන රකා නගරය ගලවා ගැනීමේ මෙහෙයුමේ තුන්වන අදියර පසුගිය පෙබරවාරි 4 වනදා ආරම්භ කළා.

SDF සංවිධානය මූලික වශයෙන්ම කුර්දීන්ගෙන් සහ ඔවුන් සමඟ සන්ධානගත අරාබි ජාතික කණ්ඩායම්වලින් සැදුම්ලත් ඒකාබද්ධ ව්‍යාපාරයක් වනවා. මෙම ව්‍යාපාරයේ ප්‍රමුඛතම සංවිධානයක් වන්නේ මහජන ආරක්ෂක ඒකක සංවිධානයයි (People’s Defense Units – YPG). එය කුර්දීන්ගෙන් සැදුම් ලත් සංවිධානයක්. එම සංවිධානය යටතේ විශාල කාන්තා බලකායක් ද සටන් වදිනවා. ඔවුන් සිරියාවේ උතුරුදිග ඇතැම් ප්‍රදේශ මේ වනවිට පාලනය කරන අතර රකා නගරය පිහිටියේ එම ප්‍රදේශවලින් දකුණුදිගට වන්නටයි.

යුප්‍රටීස්හි ද්වේෂය

රකා නගරය ගලවා ගැනීම සඳහා SDF විසින් ඇරඹි මෙහෙයුම හඳුන්වන්නේ “යුප්‍රටීස්හි ද්වේෂය ” (Operation Wrath of Euphrates) යන නමින්. මෙම මෙහෙයුම ආරම්භ වූයේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේ මුල් සතියේයි.

රකා හි පිහිටීම. (ypgrojava.com)

ISIS විරෝධී සන්ධානය සඳහා එවක ඇමරිකානු ජනාධිපතිවරයා වූ බරක් ඔබාමාගේ නියෝජිතයා වූ බ්‍රෙට් මැක්ගර්ක් එකළ මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ එම මෙහෙයුම අදියර කිහිපයක් ඔස්සේ ක්‍රියාත්මක වනු ඇති බවයි.

එමෙන්ම රකා ප්‍රදේශය නිදහස් කරගැනීමේ දී පිටස්තරයින්ට වඩා ප්‍රදේශයේම ජනතාව අතරින් එන සටන්කාමීන්ගේ දායකත්වය වැඩිපුර ලබා ගැනීමේ වැදගත්කම ද මැක්ගර්ක් එකළ අවධාරණය කළා.

SDF සංවිධානයට මෙම සටනේදී ඇමරිකාව ප්‍රමුඛ බටහිරින් ආධාර ලැබෙන අතර ඇමරිකානු විශේෂ බලකා සෙබලුන් ද උපදේශක සේවාවන් ලබා දෙමින් ඊට දායක වෙනවා.

කෙසේ නමුත් ඔවුනට මුහුණ දීමට ඇති අභියෝගය සුළුපටු නැහැ. 2012 දී 220,000 ක් පමණ ජීවත් වූ රකා නගරය තරමක් විශාල නගරයක්. ISIS සංවිධානය රකා නගරය පාලනය කරන්නේ 2013 සිටයි. එම නිසා නගරය ආශ්‍රිතව ආරක්ෂක මුරකාවල් තර කිරීමට ඇති තරම් කල් එම සංවිධානයට ලැබී තිබෙනවා.

කුර්දිස් කාන්තා සෙබළු (ypgrojava.com)

SDF සංවිධානය තවමත් යෙදී සිටින්නේ නගරය වටලා හුදෙකලා කිරීමේ පියවරවලයි. නගරයෙන් නැගෙනහිරට වන්නට පිහිටි ප්‍රදේශවල බලය අල්ලා ගැනීම මෙම තුන්වන අදියරේ අරමුණ බව “යුප්‍රටීස්හි ද්වේෂය ” මෙහෙයුමේ අණ දෙන මධ්‍යස්ථානය පෙබරවාරි 4 වනදා නිකුත් කළ නිවේදනයක සඳහන් වුණා. දිනක් තුළ ඔවුන් කිලෝමීටර 18 ක් පමණ ඉදිරියට ගමන් කළ බව ද වාර්තා වුණා.

මේ අතර SDF සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශිකා සිහාන් ශෙයික් එහ්මඩ් කියා සිටියේ මෙහෙයුමේ මෙම අදියර මගින් රකා නගරය වටලෑම සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බවයි.

අසාර්ථක වූ ප්‍රයත්නය

2016 මාර්තු මාසයේදී රුසියානු ගුවන් හමුදා උපකාර ද සහිතව සිරියාවේ පැල්මයිරා නගරය අල්ලා ගැනීමට සිරියානු රජයේ හමුදා සමත් වුණා. එයින් පසු රකා නගරය දෙසට පහර දීමට සිරියානු හමුදා උත්සාහ කළ අතර සැළකිය යුතු දුරක් එදෙසට හමුදා මෙහෙයවීමට ඔවුනට හැකි වුණා. නමුත් ත්‍රස්තයින් එල්ල කළ දරුණු ප්‍රති ප්‍රහාර හමුවේ එම ප්‍රහාරය අඩපණව ගියා.

2016 මුල් භාගයේදී රකා නගරය සිරියානු හමුදා ප්‍රහාරවලට ලක් වේවි කියා මෙසේ පොඩි බලාපොරොත්තුවක් ආවත් එය ඉටු වුණේ නැහැ. එපමණක් නෙවෙයි. සිරියානු හමුදා වෙත යළි වරක් දරුණු ප්‍රතිප්‍රහාර එල්ල කරමින් ත්‍රස්තයින් දෙසැම්බරයේදී පැල්මයිරාව යළි අල්ලාගන්නත් සමත් වුණා.

මෝසුල් මෙහෙයුමෙන් පාඩම්

මේ වනවිට ඉරාකයේදී ත්‍රස්තයින්ට එරෙහිව ක්‍රියාත්මක වන හමුදා මෙහෙයුම්වලින් රකා නගරය අල්ලා ගැනීම සඳහා පාඩම් උගත හැකි වනු ඇති . ඉරාකයේ සටන්කාමීන් සතුව පැවති නගර කිහිපයක් ම පසුගිය වසරවල දී හමුදා මෙහෙයුම් මගින් මුදාගනු ලැබුණා. මේ අතර ඉරාකයේ දෙවැනි විශාලම නගරය සහ ත්‍රස්තයින් අත පවතින විශාලම නගරය ද වන මෝසුල් නගරය අල්ලාගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදු වෙමින් පවතිනවා.

මෝසුල් මෙහෙයුම අතරතුර (AFP)

මෝසුල් නගරය අල්ලාගැනීම සඳහා වන මෙහෙයුම් මාස ගණනක සූදානමකින් පසු දියත් වූ අතර නගරය සෑම පසෙකින්ම වටලෑම කෙරෙහි මූලික අවධානය යොමු වුණා. මේ වනවිට නගරයේ නැගෙනහිර කොටස මුදාගෙන ඇතත්, වඩා විශාල බටහිර කොටස සඳහා තවදුරටත් සටන් පවතිනවා. විශාල නගරයක් මුදා ගැනීමේ දී මුහුණ දෙන ගැටලු පිළිබඳ මෝසුල් හොඳ නිදසුනක් වනු ඇති .

ඉරාකයේ හමුදා මෙහෙයුම් හේතුවෙන් ISIS ත්‍රස්ත සංවිධානයට සිය පාලන ප්‍රදේශ සැළකිය යුතු ප්‍රමාණයක් අහිමි වුණා. එකළ ම ඇතැම් සේනාංක සිරියාව දෙසට පසු බැස්ස බවත්, ඔවුන් පැමිණීමෙන් සිරියාවේ සිටින සටන්කාමීන්ට අමතර ජවයක් සැපයුණ බවත් කියැවෙනවා. විශේෂයින්ම දෙසැම්බරයේදී පැල්මයිරා නගරය අල්ලා ගැනීම සඳහා ඉරාකයෙන් පැමිණි සේනාංක දායක වූ බව සඳහන් වුණා.

මේ අතර ISIS සටන්කාමීන් නැගෙනහිර සිරියාවේ ඩෙයර් එස් සෝර් ප්‍රදේශයට දිගින් දිගටම පහර දෙමින් සිටිනවා. ඩෙයර් එස් සෝර් යනු ISIS සටන්කාමීන් අත පවතින ප්‍රදේශය මැද හුදෙකලාව සිටින සිරියානු හමුදා අත පවතින නගරයක්. එම නගරයේ පාලනය අල්ලා ගැනීම සඳහා දිගින් දිගටම සටන්කාමීන් උත්සාහ කරනවා. විශේෂයෙන්ම ඉරාකයේදී ඔවුන් පරාජයන් ලබද්දී ඩෙයර් එස් සෝර් වෙත එල්ල වන ප්‍රහාර තවත් දැඩි වුණා.

රකා නගරයෙන් නැගෙනහිර ප්‍රදේශවලට පහර දෙමින් SDF සංවිධානය ඉටු කරගැනීමට බලාපොරොත්තු වන එක් අරමුණක් වන්නේ ඩෙයර් එස් සෝර් ප්‍රදේශය සහ රකා ප්‍රදේශය අතර වන මාර්ගය අල්ලා ගැනීමයි.

මෝසුල් හි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වද්දී රකා ප්‍රදේශයට එල්ල වන ප්‍රහාර හේතුවෙන් ත්‍රස්ත සංවිධානය මුහුණ දෙන අභියෝග තවත් ඉහළ යනවා. නමුත් තවමත් ත්‍රස්ත සංවිධානය ඉතාම ප්‍රබල තත්ත්වයක පසු වන හෙයින් ඔවුන් පරාජය කිරීම පහසු වෙන එකක් නැහැ.

කෙසේ නමුත් මීට දින කිහිපයකට පෙර එල්ල වූ ගුවන් ප්‍රහාරවලින් නගරයේ ජල සැපයුම ඇණ සිටි අතර පාලම් දෙකක් ද විනාශ වුණා.

මේ අතර නව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෑතකදී විධායක ආඥාවක් නිකුත් කරමින් දින තිහක් තුළදී ISIS සංවිධානය පරාජය කිරීමේ සැළසුමක් තමන් වෙත ඉදිරිපත් කරන ලෙස පෙන්ටගනයට සහ ඇමරිකානු ආරක්ෂක නිලධාරීන්ට අණ කළා. මෙහි ප්‍රතිඵලද අපට ටික දිනෙකින් බලාගත හැකි වනු ඇති.

මූලාශ්‍ර : US-backed Syrian alliance moves to liberate Raqqa from ‘Islamic State’ – DW, Feb 5, 2017, SDF declares 3rd phase of Raqqa liberation campaign, Operation Wrath of Euphrates – YPG මාධ්‍ය නිවේදනය , පෙබරවාරි 4, 2017, US backs Kurdish-led offensive to liberate Raqqa – DW, Nov 6, 2017, Wrath of Euphrates fighters advance 18 km towards Raqqa – ypgrojava.com, Feb 5, 2017, Airstrikes cut water supplies in Islamic State stronghold of Raqqa – DW, Feb 3, 2017.

Cover Image: කුර්දිස් ජාතික YPG සෙබලුන් (ypgnews.blogspot.com)

Related Articles