ඉන්දියාවෙන් ගන්න යන යූරියා ‘මැජික් අණුවේ’ ඇතුළු පැත්ත

තෙල් පෝලිම්, ගෑස් පෝලිම්වල අතරමංවුණු ජනතාවට සැප්තැම්බර් මාසයෙන් පසු හාල් පෝලිම්වලත් ඉන්නට සිදුවන බවට ඉඟි ආණ්ඩුවේ ප්‍රධානින්ගේ කතාවලින් පේනවා. කාබනික පොහොර පමණක් යෙදීම නිසා පසුගිය යල කන්නයේ වී වගාවෙන් ලැබුණු අස්වැන්න සියයට 50කට ආසන්න ප්‍රමාණයකින් අඩුවුණු නිසයි මෙවැනි විපතක් සිදුවීමට යන්නේ.

ඒ අතර ම පොහොර නැති නිසා විශාල කුඹුරු ඉඩම් ප්‍රමාණයක් වගාකරලාත් නෑ. දැන් ඉදිරි මහ කන්නයේවත් හොඳ අස්වැන්නක් අවශ්‍ය නම් යූරියා ඇතුළු රසායකින පොහොර අත්‍යවශ්‍ය බව කෘෂි විද්‍යාඥ මතය යි.

 ගබඩා කර ඇති යූරියා පොහොර – divaina.lk

යූරියා ගන්න ඉන්දියාවෙන් ණයක්

ඉදිරි මහ කන්නයේ වී වගාවට අවශ්‍ය යූරියා පොහොර ලබා ගැනීම සඳහා ඉන්දීය එක්සිම් බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 55ක ණය මාලාවක් ලබාදීමට ඉන්දීය රජය එකඟ වී තිබෙනවා. මේ ණය ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබුණු බවත් පසුගිය දා ප්‍රකාශ වුණා. මහ කන්නය තුළ හෙක්ටයාර ලක්ෂ අටක (800,000ක) වී වගා කිරීමට අපේක්ෂිත අතර ඒ සඳහා අවශ්‍ය පොහොර සපයා දීම මෙහි අරමුණ යි.

ඒ අනුව යූරියා මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දීය රජය මඟින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත යි. ඉන්දීය රජය යූරියා පොහොර අපනයනය තහනම් කර ඇති නමුත්, රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් පැවති සාකච්ඡා අනුව ශ්‍රී ලංකාවට මෙම යූරියා පොහොර ලබාදීමට පියවර ගන්නා බව ඉන්දීය රජය දැනුම් දී තිබෙනවා . පොහොර තොගය ඉදිරි සතියේදී ලංකාවට එවීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාල මාධ්‍ය අංශය සඳහන් කරනවා.

 සාරවත් කුඹුරු යායක්- masterfile.com

අසාර්ථක කාබනික සංග්‍රාමය

නව ජනාධිපතිවරයාගේ ප්‍රධාන ප්‍රතිපත්තියක් වුණු රට සම්පූර්ණයෙන් කාබනික වගාවකට යාම ගොවිතැන වළ පල්ලට යැවීමක් බව කෘෂි විශේෂඥයන් පුන පුනා කිව්වා. ලෝකයේ කිසි ම රටක් 100ක් කාබනික වගාවකට ගොස් නැහැ. සම්පූර්ණයෙන් කාබනික වන බව පැවසූ භූතානය පවා තවමත් සියයට 10කට පමණයි කාබනික වගාව කරන්නේ. අප රටේ විශේෂඥ උපදෙස් ගණනකට නොගත් අතර සිදුවුයේ කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරුන් නිතර මාරු කරමින් කාබනික වගා සංග්‍රාමයක් රට පුරා ආරම්භ කිරීම යි.

කාබනික පොහොර -silumina.lk

මෙම හරිත වගා ප්‍රතිපත්තිය යටතේ කාබනික පොහොර පමණක් භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යූරියා ඇතුළු රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක ආනයනය අමාත්‍ය මණ්ඩල සංදේශයකට අනුව 2021 අප්‍රේල් මස 27 වැනිදා තහනම් කෙරුණා. ඉන්පසුව රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක ආනයනය තහනම් කරමින් 2021 මැයි 06 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි රජය  ගැසට් නිවේදනයක් නිකුත් කළා. පොහොර තහනමත් එක්ක රට පුරා ම වී ගොවීන් මෙන්ම එළවළු ගොවින් ද තේ හා මල් වගාකරුවන් ද අසරණ වුණා. මේ නිසා වගා රැක ගැනීමට පොහොර ඉල්ලා වීදි බැසීමටයි ගොවි ජනතාවට සිදුවු‍ණේ.

කාබනික ගොවි ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළත් විධිමත් කාබනික පොහොර ලබාදීමේ වැඩපිළිවෙළක් ද ශ්‍රී ලංකාවේ තිබුණේ නැහැ. වල් හා කෘමිනාශක නොමැති වීමෙන් ද මහ කන්නයේ වගාවේ නිරත ගොවීන් දැඩි අපහසුතාවට පත්වූ අතර අවසානයේ වී මෙන් ම එළවළු වගාවේ ද අස්වැන්න අඩු වුණා.

 නැවතත් රසායනික පොහොර- globalsources.com

තහනම ඉවතට – මිල ඉහළට

හිතපු තරම් කාබනික ගොවිතැනේ පලයක් නැති බව අස්වැන්නෙන් පෙනුණු පසුව රසායනික පොහොර, කෘමිනාශක, හා වල්නාශක ආනයනය කිරීමට 2021 නොවැම්බර් 24 වන දා සිට අවසර ලබාදීමට රජය තීරණය කළා. තහනම් ඉවත් කළත් ඩොලර් හිඟය නිසා අවශ්‍ය තරම් පොහොර ආනයනය අපහසු වුණු අතර පසුගිය දිනවල වෙළෙඳපොළේ කිලෝ ග්‍රෑම් 50ක යුරියා මිටියක් රු. 40,000ක් තරම් ඉහළ මිලකට අලෙවි වුණු බව වාර්තා වුණා.

විශේෂඥ මතය අනුව අද දවසේ මුළු ලොව ම යූරියා භාවිතය තහනම් කළහොත්, වගාවේ අස්වැන්න හරි අඩකින් අඩුවීම වැලැක්විය නොහැති යි. අපේ රටේ කිසිම අවුරුද්දක ජනවාරි මාසයේ සිට මෙරටට සහල් ආනයනය කර නැහැ. බොහෝ අවස්ථාවල සහල් ආනයනය කර තිබෙන්නේ අවුරුද්දේ අන්තිම කාර්තුවේ දි යි. නමුත් අස්වැන්න අඩුවීම නිසා ප්‍රථම වරට 2022 ජනවාරි මාසයේ සිට ම සහල් පිටරටින් ආනයනය කර තිබෙනවා. 2022 ජනවාරි සිට මැයි මාසයේ 15 දින දක්වා මෙරටට ආනයනය කර ඇති සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 338,737ක්. ඒ සඳහා අමෙරිකන් ඩොලර් මිලියන 92ක් නැතහොත් රුපියල් මිලියන 34,392ක් වැය කර තිබෙනවා. 

 කුඹුරකට යූරියා යොදමින් – nytimes.com 

යූරියා භාවිතය

ශාක වර්ධනයට අත්‍යවශ්‍ය ප්‍රධානත ම මූලද්‍රව්‍යය වන නයිට්‍රජන් ඉතා පහසුවෙන් සහ කාර්යක්ෂම ලෙස බෝගවලට ලබා දිය හැකි හොඳ ම ප්‍රායෝගික ක්‍රමය යූරියා භාවිත  කිරීම බව ලෝකය පිළිගෙන හමාරයි. ඒ නිසා, යූරියා ඉතා විශාල ප්‍රමාණයක් ලෝකය පුරා කෘත්‍රිම ව නිපදවෙනවා. පොහොර තහනමට පෙර ගෝලීය යූරියා නිෂ්පාදනයෙන් 0.1% ක් පමණ ශ්‍රී ලංකාවට ආනයනය කෙරුණා. භාවිත කළ කිසි ම රටකින් යූරියා විසවීමක් පිළිබඳ ව මෙතෙක් වාර්තා වී නැහැ.
යූරියා රසායනිකයේ අඩංගු වන්නේ කාබන් නිසා එය විද්‍යාත්මකව ‘කාබනික’ සංයෝගයක්. ‘යූරියා පොහොරවල කාබනික සංයෝග තිබුණත් එය, කෘත්‍රිම ව නිපදවන නිසා එය කෘත්‍රිම පොහොරක් ලෙස සැලකෙනවා.

යූරියාවල රසායනික සූත්‍රය CH4 N2 O. එනම්, එක් යූරියා අණුවක, කාබන් පරමාණුවක්, හයිඩ්‍රජන් හතරක්, නයිට්‍රජන් දෙකක් සහ ඔක්සිජන් එකක් බැගින් තිබෙනවා. යූරියා අණුවේ බරෙන් දළ වශයෙන් 20%ක් ම ඇත්තේ කාබන්. නයිට්‍රජන් අන්තර්ගතය බර අනුව 46%ක්. මේ නයිට්‍රජන් තමයි වගාව වැඩීමට උපකාරී වන්නේ.
යූරියාවල ඇති නයිට්‍රජන් සියයට 46ක ප්‍රමාණය ම ඉතා පහසුවෙන් ශාකවලට උරා ගත හැකි යි. වෙනත් කිසිම පොහොරක (ඇමෝනියා වායුව හැර) මෙතරම් නයිට්‍රජන් ප්‍රමාණයක් අඩංගු නැහැ. බොහෝ කොම්පෝස්ට් පොහොරවල නයිට්‍රජන් ඇත්තේ 4-6% දක්වා ප්‍රමාණයක්. එයද, පසට කාන්දු වන්නේ ඉතා සෙමින්.

 යූරියා එනතෙක් ගොවීන් බලාගෙන – mavratanews.lk

විස්කම් අණුව

යූරියා සැලකෙන්නේ කෘෂිකර්මයේ ‘විශ්වකර්ම’ අණුවක් විදිහටයි! හෙට ලෝකය පුරා ම යූරියා තහනම් කළොත්, තව වසරක් ඇතුළත ලෝකයේ ජනග්‍රහණයෙන් අඩක් හාමතේ මියයනු ඇති බව විද්වත් මතය යි. පිරිසුදු යූරියාවල බැර ලෝහ අඩංගු වීමටත් කිසි ඉඩක් නැති බව විද්‍යාඥ මතය යි.

යූරියා භාවිතයෙන් තොර ව, බොහෝ භෝග මහා පරිමාණ ව සාර්ථකව වැවිය නොහැකි යි. ගොයම්, තේ, බුලත්, මල් වර්ග, එළවළු, පලා වර්ග, හරිතාගාර වගා ආදිය ඉන් සමහරක්. පුරාණ යැපුම් කෘෂිකර්මය සඳහා රසායනික පොහොර අවශ්‍ය නොවුණත් වර්තමාන වාණිජ කෘෂිකර්මයට කෘත්‍රිම පොහොර අත්‍යවශ්‍ය බව අපේ රටෙන් ද හෙළිවුණා.

අධික භාවිතයෙන් ලෙඩ ගොඩයි-nuroilcom

වැඩිපුර යෙදීම අවදානම් 

වගාවල පලදායීතාව වැඩි කිරීමට හෝ වැඩි අස්වැන්නක් ලබා ගැනීමට ප්‍රධාන ශාක පෝෂක වන නයිට්‍රජන්, පොස්පරස් සහ පොටෑසියම් සහිත පොහොර පසට යෙදීම කලක පටන් සිදුවෙනවා මේවා පසට එකතු කරන්නේ අකාබනික පොහොර ආකාරයට යි. එම පෝෂක තුන අතරින් නයිට්‍රජන් වී වගාවේ පරම අවශ්‍යතාව ලෙස හඳුනා ගෙන තිබෙනවා. එයට හේතුව වන්නේ නයිට්‍රජන් මඟින් වී ශාකයේ වර්ධනයට සහ වී අස්වැන්නට ඇති කරන ඍජු බලපෑම යි. අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් නයිට්‍රජනීය පොහොර (යූරියා) යෙදුවහොත් වී අස්වැන්න ඉතා විශාල ලෙස අඩු විය හැකි බව හෙළි ව තිබෙනවා. එම නිසා, නයිට්‍රජනීය පොහොර වැඩි වැඩියෙන් යෙදීමට ගොවීන් පෙලඹීම නම් යහපත් නොවේ. අනවශ්‍ය පරිදි පොහොර යෙදීම පස මෙන් ම පරිසරයත් විනාශ වීමට හේතුවෙනවා.

 වැඩි පලදාවක් අපේක්ෂාවෙන් ගොවියන් අධික ව නයිට්‍රජනීය පොහොර යෙදුව ද, යොදන ලද පොහොරවලින් 30%ක් පමණක් ශාකවලින් ලබා ගන්නා අතර ඉතිරිය ක්ෂීරණයවීම (Leaching), වාෂ්පීකරණය (Volatilization) සහ නයිට්‍රීහරණය (Denitrification) යන ක්‍රියාවලි මඟින් වී වගා පද්ධතියෙන් ඉවත්වන බව කොළඹ විශ්ව විද්‍යාලය මගින් 2021 දී කළ පර්යේෂණයකින් හෙළිව තිබෙනවා.

ජෛව පද්ධතියට එකතු වන නයිට්‍රජන්, ළදරුවන්ගේ මෙතනොග්ලොබීමියාව ද්විතියික ඇමයින හේතුවෙන් ඇතිවන පිළිකා, NO3, එයරසෝල, NO2 සහ HNO3 මඟින් ඇතිවන ශ්වසන ආබාධ, ජල ප්‍රභවවල ඇතිවන සුපෝෂණ තත්ත්වයන්, හරිතාගාර වායු විමෝචනය නිසා ඇතිවන ඕසෝන් වියන හායනය වැනි බොහෝ අනතුරුදායක ප්‍රතිවිපාකවලට මූලික විය හැකි බවත් ඔවුන් පවසනවා. 

රසායනික පොහොර යෙදීම ශාකයට ක්ෂණික වර්ධනයකට හේතුවන අතර ඉන් පාංශු ක්ෂුද්‍රජීවී ප්‍රජාවන්ට ඍණාත්මක බලපෑම් ඇති කළ හැකි නිසා රසායනික මෙන්ම කාබනික පොහොර මිශ්‍ර ව යෙදීම වඩාත් හිතකර බව යි පැවසෙන්නේ.

කවරයේ ඡායාරූපය- වගාවට  යූරියා යොදමින් - plantition.com

මූලාශ්‍ර :
Lankadeepa.lk
Bbc.com
science.cmb.ac.lk

Related Articles