මාසයකට වැඩි කළක් තිස්සේ අප්‍රිකාවේ කුඩා රාජ්‍යයක් වූ ගැම්බියාවේ පැවති දේශපාලන අර්බුදය අවසන් කරමින් එරට හිටපු ජනාධිපති යාහ්යා ජම්මේහ් සිය ධූරයෙන් ඉවත්වන බව ජනවාරි 20 වනදා නිල වශයෙන් ප්‍රකාශ කළා.

මෙම අර්බුදයට හේතු වූයේ වසර 22 ක කාළයක් එරට පාලනය කළ ජනාධිපති ජම්මෙහ් 2016 දෙසැම්බරයේ පැවති ජනාධිපතිවරණයෙන් පරාජය වීම සහ එම ප්‍රතිඵලය ඔහු විසින් නොපිළිගැනීමත්. ජනාධිපතිවරණය ජයගත් ඇඩමා බැරෝ ජාත්‍යන්තරය විසින් නීත්‍යානුකූල ජනාධිපති ලෙස පිළිගත් අතර බටහිර අප්‍රිකානු රටවල් ඔහු බලයේ පිහිටුවීමට හමුදා මැදිහත්වීමක් පවා කරන්නට තීරණය කිරීමත්ය.

ජම්මේහ්ගේ ධූර කාළය ජනවාරි 19 වනදා නිම වූ නමුත් ඔහු බලය අත හැරියේ නැහැ. පසුව කලාපීය හමුදා මැදිහත්වීමේ තර්ජනය හමුවේ ඔහු එම තීරණය වෙනස් කළා.

රටකජුවලට ප්‍රසිද්ධ රටක්

අප්‍රිකා මහාද්වීපයේ ප්‍රධාන භූමියේ පිහිටි කුඩාම රට ගැම්බියාවයි. (අප්‍රිකාවේ කුඩාම රට ලෙස සැළකෙන සීෂෙල්ස් යනු දූපත් රාජ්‍යයක්). වර්ග කිලෝමීටර 10,689 ක් විශාල මෙම රටෙහි ජනගහනය (2013 දී) 1,182,450 ක් වුණා. බටහිර අප්‍රිකාවේ ගැම්බියා ගඟ දෙපස පිහිටි මෙම රටේ පළල කිසිදු ස්ථානයක දී කිලෝමීටර 50 ඉක්මවන්නේ නැහැ. අත්ලාන්තික් සාගරය හමුවන කිලෝ මීටර 80 ක මුහුදු තීරය හැරුණම, මුලු රටම සෙනගාලයෙන් වටවී තිබෙනවා. රටේ වැඩිහිටි ජනයාගෙන් අඩකට පමණ සාක්ෂරතාව නැහැ. කෘෂිකර්මය ප්‍රධාන ජීවිකාව වන අතර රටකජු වගාවට මේ රට ප්‍රසිද්ධයි.

ගැම්බියාවේ සිතියම (vidiani.com)

ගැම්බියාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ව පැවතුණ අතර එරට ඩොමීනියන් තත්ත්වයේ නිදහස ලැබුවේ 1965 දී. 1970 දී එරට ජනරජයක් බවට පත් වූ අතර 1994 තෙක්ම එරට පාලනය කළේ ඩව්ඩා ජරාවා විසින්. 1994 ජූලි මාසයේදී ඔහුව බලයෙන් නෙරපා 29 හැවිරිදි ලුතිනන්වරයකු වූ යාහ්යා ජම්මේහ් බලයට පත්වුණා.

ජම්මේහ් සිය පාලන කාළය තුළ කලට වේලාවට මැතිවරණ පැවැත්වූ නමුත් ඒ අතරම විපක්ෂ දේශපාලකයන් මර්ධනය කිරීමද සිදු කළා. 2016 දෙසැම්බර් ජනාධිපතිවරණය වෙද්දිත් විපක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් සිටියේ සිරභාරයේ.

ජම්මෙහ් සහ ඔහුගේ බිරිඳ සිනෙබ් 2014 දී ඇමරිකා එක්සත් ජනපදයෙදී (Public Domain)

2016 ජනාධිපතිවරණයට ජම්මෙහ්ට එරෙහිව “පොදු අපේක්ෂකයකු” ලෙස ඇඩමා බැරෝ ඉදිරිපත් කිරීමට දේශපාලන පක්ෂ හතක් තීරණය කළා. මේ අතර ගැම්බියා ප්‍රජාතන්ත්‍රවාදී කොන්ග්‍රසයේ මම්මාහ් කන්ඩේද වෙනමම තරඟ කළා.

දෙසැම්බර් 1 වනදා පැවති ජනාධිපතිවරණයෙන් ඇඩමා බැරෝ ජයග්‍රහණය කළ බව එරට මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා. මේ සමඟම ප්‍රශ්නය මතු වූයේ ඒකාධිපතියකු ලෙස පිළිගැනීමට ලක්ව තිබූ ජම්මේහ් මෙම ප්‍රතිඵලය පිළිගනීද යන්නයි.

ලෝකයම මවිත කරමින් ජම්මෙහ් සිය පරාජය භාරගත්තා. මේ අනුව දේපළ ව්‍යාපාරිකයකු වූ බැරෝ 2017 ජනවාරි 19 වනදා ජනාධිපති ලෙස දිවුරුම් දීමට නියමිත වුණා.

ඇඩමා බැරෝ (Afolabi Sotunde / Reuters)

දින කිහිපයකට පසුව , එවක සිරගතව සිටි විපක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් ඇප මත මුදා හරින්නට එරට අධිකරණයක් විසින් තීරණය කෙරුණා. ඒ සමඟම ගැම්බියාවේ සැබෑ වෙනසක් වනු ඇතැයි බලාපොරොත්තු පළ වුණා.

ජම්මෙහ් ආපසු හැරෙයි

කෙසේ නමුත් නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් වූ විට පැහැදිලි වූයේ ඇඩමා බැරෝ ජයගෙන තිබුණේ මුලින් සිතුවාට වඩා අඩු පරතරයකින් බවයි. බැරෝ ඡන්ද 227,708 ක් (43.3%) ලබාගනිද්දී ජම්මෙහ් ඡන්ද 208,487 ක් (39.6%) ලබාගෙන තිබුණා. කන්ඩේ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 89,768 ක් (17.1%).

මෙම ප්‍රතිඵල නිකුත් වී දින කිහිපයකට පසු 2016 දෙසැම්බර් 9 වනදා යාහ්යා ජම්මෙහ් සිය මුල් තීරණය වෙනස් කරන බව ප්‍රකාශ කිරීමත් සමඟ කලාපයේ ඇති වූයේ අස්ථාවර තත්ත්වයක්. ඔහු කියා සිටියේ මැතිවරණයේදී අක්‍රමිකතාවයන් සිදුවූ හෙයින් එම ප්‍රතිඵල අවලංගු කර නව ජනාධිපතිවරණයක් පවත්වන්නට අවශ්‍ය බවයි. මේ පිළිබඳ ඔහු රටේ ශ්‍රේෂ්ඨාධිකරණයටද පෙත්සමක් ඉදිරිපත් කළා.

දෙසැම්බර් 13 වනදා බටහිර අප්‍රිකානු ආර්ථික ප්‍රජාව (Economic Community of West African States – ECOWAS) සංවිධානයට අයත් රටවල රාජ්‍ය නායකයන් ගැම්බියාවට ගියේ ජම්මෙහ් මුණ ගැසී සාමකාමීව බලයෙන් ඉවත්වන ලෙස කියා සිටීමටයි. නමුත් ඔහු එය පිළිගන්න සූදානම් වුණේ නැහැ.

මීළඟ සති කිහිපය තුළ ජම්මෙහ් සිය හමුදා රටේ වැදගත් ස්ථානවල රැඳවූ අතර මැතිවරණ කොමිසම් ගොඩනැගිල්ලද ඒ අතර වුණා.

බටහිර අප්‍රිකානු රටවල් මේ පිළිබඳ නොසතුටින් පසු වූ අතර ඔවුන් ජම්මෙහ්ට කියා සිටියේ නියමිත පරිදි ජනවාරි 19 වනදා ඔහු බලය අත නොහැරියහොත් ගැම්බියාවට හමුදා එවීමට වුවද ඔවුන් පසුබට නොවන බවයි.

මේ ප්‍රකාශය කර සතියකින් පමණ පසු, දෙසැම්බර් 31 වනදා, ජම්මෙහ් ECOWAS නායකයන්ට චෝදනා කළේ තමන්ට විරුද්ධව ඔවුන් යුධ ප්‍රකාශ කරන බව කියමින්.

2017 ජනවාරි 4 වනදා ගැම්බියාවේ හමුදා ප්‍රධානියා සිය සහය ජම්මෙහ් වෙත තවදුරටත් ලබාදෙන බව ප්‍රකාශ කළා. නමුත් ඒ වෙද්දිත් ඔහුගේ ආධාරකරුවන් ඇතමෙක් ජම්මෙහ් හැර යන්න තීරණය කරමින් සිටියා.

ගැම්බියාවේ විදේශ සේවයේ නිරත තානාපතිවරුන් 12 දෙනකු ජම්මෙහ්ගෙන් ඉල්ලා සිටියේ බලය අතහරින ලෙසයි. එයට ඔහු පිළිතුරු දුන්නේ එම 12 දෙනා තනතුරුවලින් නෙරපමින්. නමුත් මීළඟ දින කිහිපය තුළ ඔහුගේ රජයේ ඇමතිවරුන් සමහරෙක්ද ධූරවලින් ඉවත් වුණා.

මේ අතර ජනවාරි 10 වනදා එරට ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේ ජම්මෙහ් විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාග කිරීමට තරමක කාළයක් යන බවයි. ජනවාරි 13 වනදා අප්‍රිකානු එකමුතුවද සාමකාමීව බලය අත හරින ලෙස ජම්මෙහ් වෙත අනතුරු ඇඟවීමක් කළා. ජනවාරි 19 වනදායින් පසු ගැම්බියාවේ රාජ්‍ය නායකයා ලෙස ජම්මෙහ් පිළිනොගන්නා බවක් තමයි එම සංවිධානය සඳහන් කළේ.

ජනවාරි 15 වන දින ජනාධිපතිවරණයෙන් ජයගත් ඇඩමා බැරෝ සෙනගාලයට පළා ගියා. මේ වෙද්දී ගැම් බියානු ජනතාව අතරිනුත් ඇතමෙක් සෙනගාලයට පළා යමින් තිබුණා. ඒ ළඟදී ඇතිවිය හැකි අවි ගැටුමක් පිළිබඳ අවදානම හේතුවෙන්.

දෙපස හමුදා සීරුවෙන්

මේ අතර සෙනගාල්-ගැම්බියා දේශසීමාව අසළට තවත් පිරිසක් එක්වෙමින් තිබුණා. ඒ ගැම්බියාවට ඇතුලු වීමට බලාපොරොත්තුවූ බටහිර අප්‍රිකානු රාජ්‍යයන් කිහිපයක හමුදාවන්. මෙයින් ප්‍රධාන වූයේ සෙනගාල හමුදා. අප්‍රිකාවේ හොඳින්ම පුහුණුව ලත් හමුදාවක් ලෙස සැළකෙන සෙනගාලය ජම්මෙහ් බලයෙන් නෙරපීමට සැදී පැහැදී සිටියා. මේ අතර ඝානාව සහ නයිජීරියාව යන රටවල්ද එම ප්‍රයත්නය සඳහා හමුදා සම්පාදනය කළා. මේ අනුව ජනවාරි 19 වන විට 7000 ක පමණ සේනාංක දේශසීමාවට රැස්ව තිබුණා.

සෙනගාල හමුදා සූදානමින් (AP Photo/Sylvain Cherkaoui)

මෙම හමුදාවලට එරෙහිව ගැම්බියාව සතුව පැවතියේ 1000 ක පමණ යුධ හමුදාවක් සහ කුඩා නාවික හමුදාවක් පමණයි.

යම් හෙයකින් සටනක් ඇති වූයේ නම් දේශසීමාව ආරක්ෂා කිරීම එතරම් පහසු වන්නේ නැහැ. එහෙයින් ජම්මේහ් සතුව තිබූ එකම විකල්පය යම්කිසි නාගරික ප්‍රදේශයකට සිය හමුදා ගෙනවිත් සටන් කිරීමයි. නමුත් මෙවන් සටනක් කෙතරම් කල් පවත්වාගෙන යාමට හැකිවේද යන්න සැකයක් වුණා.

එසේ වුවත් ජම්මෙහ් බලය අත හරින්න සූදානම් වූයේ නැහැ. ජනවාරි 17 වනදා ඔහු හදිසි තත්ත්වයක් ප්‍රකාශ කළ අතර 18 වනදා එරට පාර්ලිමේන්තුව ඔහුගේ ධූර කාළය තවත් මාස තුනකින් දිගු කළා. ඔවුන් තර්ක කළේ එම දිගු කිරීම කළේ ජම්මෙහ් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ පෙත්සම විභාග කිරීමට කල් ලබාදීම පිණිස බවයි.

කෙසේ වෙතත් ජම්මෙහ්ගේ ධූර කාළදිගුව පිළිගන්නට විපක්ෂය හෝ අවට රටවල් හෝ සූදානම් වූයේ නැහැ. මේ අනුව ජනවාරි 19 වනදා සෙනගාලයේ පිහිටි ගැම්බියානු තානාපති කාර් යාලයේදී ඇඩමා බැරෝ මීළඟ ගැම්බියානු ජනාධිපති වශයෙන් දිවුරුම් දුන්නා.

ඊට පැය කිහිපයකට පසු විදෙස් හමුදා ගැම්බියාවට ඇතුලු වුනේ ජම්මෙහ් බලයෙන් ඉවත් කිරීමටයි.

සාකච්ඡා තවදුරටත්

මෙසේ එම හමුදා ගැම්බියාවට ඇතුලු වුවද ඔවුන් එකවර ජම්මෙහ් ඉවත් කළේ නැහැ. ඔවුන් එයින් පෙන්වා දුන්නේ තමන් ගැම්බියානු හමුදා සමඟ ගැටීමට වුවද සූදානම් බවයි. මේ අනුව නැවතත් ඔවුන් ජම්මෙහ් වෙත ධූරයෙන් ඉවත් වීමේ ඉඩ ප්‍රස්ථාව ලබාදුන්නා.

මොරිටානියාවේ සහ ගිනි බිසව් රාජ්‍යයයේ ජනාධිපතිවරුන් ගැම්බියාවට පැමිණ ජම්මෙහ් සමඟ සාකච්ඡා පවත්වාගෙන ගියා. අවසානයේදී ජනවාරි 20 සවස් යාමයේ තමන් රටින් පිටව යාමට කැමති බව ඔහු කියා සිටියා.

යාහ්යා ජම්මේහ් වසර 22 ක් පාලනය කළ රට හැර දමා ගිනියාව බලා යන්නේ මේ අනුවයි.

ජම්මෙහ් පිටව යයි (AFP)

ජම්මෙහ් බලයෙහි රැඳී සිටින්න මෙතරම් උත්සාහ කළේ ඇයි යන්න හරි ආකාරයෙන් පැහැදිලි වන්නේ නැහැ. කෙසේ වෙතත් බලය හැර ගිය පසු, තමන් කළ කුමක් හෝ වරදකට දඬුවම් විඳින්නට වේ යයි යන බියද ඔහුට තිබෙන්නට ඇති. ගැම්බියාවේ මානව හිමිකම් උල්ලංඝනය වීම් සිදු වූ බව චෝදනා බොහොමයක් වනවා.

ජම්මෙහ්ගේ පාලන සමය තුළ සිදුවූ බැව් කියන අකටයුතුකම් ගැන සත්‍ය සෙවීමේ කොමිසමක් තමන් විසින් පත් කරන බව නව ජනපති ඇඩමා බැරෝ කියා සිටිනවා. මෙහි අරමුණ පුද්ගලයන්ට දඬුවම් කිරීම නොව සත්‍යය හෙළි කිරීම බව ඔහු සඳහන් කළා.

අප්‍රිකාවේ පුංචි රටක දේශපාලන අර්බුදයක් ලෝක දේශපාලනයට වැදගත් වෙන්නේ කොහොමද කියන එක විමසා බලන්න අවශ්‍යයි. අප්‍රිකාවේ බොහෝ රටවල් දුප්පත්කමෙන් පෙළෙන බවත් එයට එක හේතුවක් වන්නේ අකාර්යක්ෂම , දූෂිත දේශපාලකයන් බවත් ප්‍රකට කරුණක්. කලක් අප්‍රිකාවේ මෙවන් ප්‍රශ්න ඇති වුණාම වෙනත් ලෝක බලවතුන් ඒවාට මැදිහත් වුණ අවස්ථා තියෙනවා. නමුත් මේ අවස්ථාවේ අප්‍රිකානු රටවල් පෙන්වා දුන්නේ තම කලාපයේ ප්‍රශ්න තමන්ටත් විසඳාගන්න පුලුවන් බව . ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදයට පිටින් යන කලාපයේ නායකයන්ට ඉඩ දී බලා සිටීමට තමන් සූදානම් නැති බවත් අප්‍රිකානු රටවල් පෙන්වා දුන්නා.

කවරයේ පින්තුරය: 1994 දී ගැම්බියාවේ බලයට පත් වූ යහ්යා ජම්මෙහ් (Afolabi Sotunfde / Reuters)