Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මඳ වේගයෙන් යන අපේ අධිවේගයේ ආදායම

මෑතකාලීන ව මෙරට මාර්ග පද්ධතියට එක් වූ අධිවේගී මාර්ග, ජනතාවට විශාල සේවයක් සපයනවා පමණක් නොව විශාල ආදායමක් ද දෛනිකව උපයා දෙයි. කෙසේ වෙතත් පවතින ආර්ථික අර්බුදය – විශේෂයෙන් ම ඉන්ධන හිඟය සහ ආනයන සීමා වීම – වැනි හේතු නිසා අධිවේගී මාර්ගවලින් ලැබෙන ආදායම විශාල අගයකින් පහළ ගොස් ඇති බව පසුගියදා වාර්තා විය.

අධිවේගී මාර්ගවලින් ලැබෙන ආදායම පහළ බැසීම සහ ඊට බලපෑ හේතු පිළිබඳ මේ ලිපියෙන් විමසා බලමු.

මෙරට අධිවේගී මාර්ග ජාලය – www.exway.rda.gov.lk

ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග

දශක ගණනාවක් තිස්සේ පැවැති යුද්ධය 2009 දී අවසන් වීමත් සමඟ මෙරට මාර්ගවල ධාවනය වන රථ වාහන සංඛ්‍යාව විශාල ලෙස ඉහළ ගොස් තිබිණි. ඒ හේතුවෙන් වාහනවලට තදබදයකින් තොර ව ගමන් කිරීම සඳහා ප්‍රමාණවත් මාර්ග පහසුකම් නොමැති බව විවිධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන සිදු කළ අධ්‍යයනයන්හි දී අනාවරණය විය. එම කරුණු සැලකිල්ලට ගනිමින් රථවාහන තදබදය අවම කිරීම සහ ජනතාවට වඩාත් ගුණාත්මක හා කඩිනම් සේවාවක් සැපයීමේ අරමුණින් සාමාන්‍ය මාර්ගවලට අමතර ව අධිවේගී මාර්ග ඉදිකිරීම කෙරෙහි පැවති රජයන්ගේ අවධානය යොමු විය.

එසේ සැලසුම් කළ අධිවේගී මාර්ග අතරින් පළමුවැන්න දක්ෂිණ අධිවේගී මාර්ගය යි. කොට්ටාව සිට මත්තල දක්වා කිලෝමීටර් 200ක දුරකින් සමන්විත දක්ෂිණ අධිවේගී මාර්ගයේ මූලික අදියර ලෙස කොට්ටාව සිට පින්නදූව දක්වා වන කිලෝමීටර් 95කින් සමන්විත කොටස 2011 දී විවෘත විය. මේ වන විට සම්පූර්ණ වශයෙන් විවෘත කර ඇති දක්ෂිණ අධිවේගී මාර්ගය අන්තර් හුවමාරු 20කින් සමන්විත වේ. මාර්ගයේ මංතීරු හතරක් තිබෙන අතර එහි ගමන් කළ හැකි උපරිම වේගය පැයට කිලෝමීටර් 100 කි. මෙය මත්තල ගුවන්තොටුපොළ, හම්බන්තොට වරාය සහ කොළඹ නගරය එකිනෙකට සම්බන්ධ කරයි.

අධිවේගී මාර්ගයක ගමන් ගන්නා වාහන – www.dailynews.lk

කටුනායක අධිවේගී මාර්ගය මෙරට මාර්ග පද්ධතිය සතු අධිවේගී මාර්ග අතරින් තවත් එකකි. කොළඹ නගරය සහ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ එකිනෙකට සම්බන්ධ කරන මෙම අධිවේගී මාර්ගය කිලෝමීටර් 25ක දුරකින් සමන්විත වේ. පාලම් 42ක් සහ බෝක්කු 88ක් සහිත කටුනායක අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් 2009 දී ආරම්භ වී, 2013 දී අවසන් විය. ඒ සඳහා වැය වූ සම්පූර්ණ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 292ක් බවට ගණන් බලා තිබේ. මෙම මාර්ගයේ අන්තර් හුවමාරු තුනක් පිහිටා ඇත.

දැනට කොටසක් පමණක් විවෘත වී ඇති කොළඹ සහ දඹුල්ල සහ මහනුවර යා කරන මධ්‍යම අධිවේගී මාර්ගය ද මෙරට මාර්ග පද්ධතිය සතු තවත් අධිවේගී මාර්ගයකි. එය කඩවත පිහිටා ඇති අන්තර් හුවමාරුවෙන් ආරම්භ වී ගම්පහ, කුරුණෑගල, සහ මාතලේ යන දිස්ත්‍රික්ක පසු කරමින් මහනුවර සහ දඹුල්ල බලා ගමන් කිරීමට නියමිත ය. මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර වන මීරිගම සිට කුරුණෑගල දක්වා වන කොටස පසුගිය කාලයේ විවෘත විය.

ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගය – www.newsfirst.lk

අධිවේගී මාර්ගවල ආදායම පහළ බැසීම

මේ වසරේ අධිවේගී මාර්ගවල ආදායම සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබුණත් පසුගිය වසරේ දී, එනම් 2021 දී, මාර්ග සංවර්ධන අධිකාරිය අධිවේගී මාර්ගවලින් මසකට ලබා තිබූ ආදායම රුපියල් මිලියන 733 කි. එම වසරේ ලැබූ සම්පූර්ණ ආදායම රුපියල් මිලියන 8,800ක් වන අතර ඒ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් ලැබුණු රුපියල් මිලියන 4,500ක් සහ වෙනත් අධිවේගී මාර්ගවලින් ලැබුණු රුපියල් මිලියන 4,300ක් වේ. එය අධිවේගී මාර්ග ඉදිකිරීමෙන් පසු ලැබූ ඉහළ ම ආදායම වන අතර ඊට පෙර වසරවලට සාපේක්ෂ ව 21%ක වැඩි වීමකි. 2020 වසරේ දී අධිවේගී මාර්ගවලින් ලද ආදායම රුපියල් මිලියන 7,300ක්, 2019 වසරේ දී රුපියල් මිලියන 7,300ක්, සහ 2018 වසරේ දී රුපියල් මිලියන 8,400ක් වේ.

අධිවේගී මාර්ගවල ගමන් කරන වාහනවලින් සාමාන්‍යයෙන් ලැබෙන දෛනික ආදායම රුපියල් මිලියන 30කට වැඩි වුවත්, මීට මාස කිහිපයක සිට එය රුපියල් මිලියන 10ක් දක්වා අඩු වී ඇති බව පසුගිය දා වාර්තා විය. එම අඩු වීම ප්‍රතිශතයක් ලෙස 65%ත් 70%ත් අතර අගයක් ගනී. මේ තත්ත්වය සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ රට තුළ පවතින ආර්ථික අර්බුදය සහ මාස කිහිපයක් තිස්සේ පවතින ඉන්ධන හිඟය බව ද වාර්තා විය. විශේෂයෙන් ම දැනට පවතින සීමා සහිත ඉන්ධන සැපයුම හේතුවෙන් බොහෝ දෙනකු පුද්ගලික වාහන භාවිත කිරීම වෙනුවට පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමට යොමු වී ඇත.

 ඉන්ධන හිඟය සහ මිල ඉහළ යාම

විදේශ මුදල්, විශේෂයෙන් ම අමෙරිකානු ඩොලර් සංචිත හිඟය හේතුවෙන් රට තුළ උද්ගත වී ඇති ආර්ථික අර්බුදය නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ ගණනාවක් ආනයනය කිරීම සීමා වී ඇති බව අපි දනිමු. මේ තත්ත්වය ඉන්ධන ආනයන ක්‍රියාවලිය සඳහා ද සෘජු ව ම බලපෑමක් එල්ල කර තිබේ. මේ හේතුවෙන් රටට ආනයනය කරන ඉන්ධන ප්‍රමාණය සාමාන්‍ය වසරකට සාපේක්ෂ ව බොහෝ සෙයින් අඩු වී ඇත.

පසුගිය මාස කිහිපය පුරාවට ම ඉන්ධන මිල දී ගැනීම සඳහා ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටින අයුරු ද නිරීක්ෂණය විය. ඉන්ධන සැපයුම සීමා සහිත වීම සහ ඉන්ධන මිල ගණන් විශාල අගයන්ගෙන් ඉහළ ගොස් තිබීම හමුවේ ලබා ගත හැකි ඉන්ධන ප්‍රමාණය අරපිරිමැස්මෙන් යුතු ව භාවිත කිරීමට ජනතාව පෙලැඹී ඇත. ඒ නිසා බොහෝ දෙනකු සිය පුද්ගලික වාහන භාවිත කිරීම වෙනුවට බස් සහ දුම්රිය වැනි පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමට පටන් ගෙන ඇත. ඒ හේතුවෙන් අධිවේගී මාර්ගවල ගමන් ගන්නා වාහන සංඛ්‍යාව විශාල ලෙස පහළ බැසීම අධිවේගී මාර්ගවලින් ලැබෙන ආදායම පහළ යාමට හේතු වී ඇත.

ශ්‍රී ලංකාවට ඉන්ධන ආනයනය මාස ගණනාවක සිට සීමා වී තිබේ – www.reuters.com

වාහන අමතර කොටස් මිල ඉහළ යාම

විදේශ විනිමය හිඟය හේතුවෙන් ආනයන කටයුතු සීමා වීම නිසා පසුගිය මාස කිහිපය තුළ වාහන අමතර කොටස්වල මිල ද ඉතා විශාල අගයන්ගෙන් ඉහළ ගොස් ඇත. එදිනෙදා මිල දී ගන්නා භාණ්ඩ මිල ද විශාල ලෙස ඉහළ ගොස් තිබීම හේතුවෙන් අමතර කොටස් මිල දී ගැනීම හෝ වාහන අලුත්වැඩියා කිරීම සඳහා මුදල් වැය කිරීමට හැකියාවක් බොහෝ දෙනකුට නැත.  මේ තත්ත්වය තුළ බොහෝ වාහන හිමියන් සිය දෝෂ සහිත වාහන අලුත්වැඩියා කිරීම කල් දැමීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. ඒ හේතුවෙන් සැලකිය යුතු වාහන ප්‍රමාණයක් මේ වන විට ධාවනය කළ නොහැකි තත්ත්වයේ තිබීම ද අධිවේගී මාර්ගවල ධාවනය වන වාහන ප්‍රමාණය අඩු වීමට, සහ ඒවායෙන් ලැබෙන ආදායම පහළ යාමට ප්‍රධාන හේතුවක් ව ඇත.

අමතර වියදම් පිළිබඳ දුෂ්කරතා

මීට වසර කිහිපයකට පෙර, සති අන්තයේ දී හෝ වෙනත් නිවාඩු දිනයක් ලැබුණු විගස විනෝද චාරිකාවක් නොයන කෙනෙක් සොයා ගැනීම ඉතා දුෂ්කර ය. දරාගත හැකි මුදලකින් විනෝද චාරිකාවක් හෝ වන්දනා ගමනක් යාමට එකල ජනතාවට හැකියාව තිබිණි. කෙසේ වෙතත් කොවිඩ්-19 වසංගත තත්ත්වය සහ මේ වන විට රට මුහුණ දෙමින් තිබෙන ආර්ථික අර්බුදය හමුවේ ජනතාව ආර්ථික දුෂ්කරතා රැසකට මුහුණ දේ.

මේ තත්ත්වය හමුවේ එදිනෙදා අවශ්‍යතා සඳහා මුදල් වැය කළ පසු වෙනත් අමතර කාර්යයක් සඳහා මුදල් වැය කිරීමට බොහෝ දෙනෙක්ට හැකියාව නැත. මීට වසර කිහිපයකට පෙර විනෝද චාරිකාවක් යාම සඳහා වැය කළ මුදල මෙන් කිහිප ගුණයක මුදලක් මේ වන විට ඒ සඳහා වැය කිරීමට සිදු වීම ඊට හේතුව යි. මෙය ද අධිවේගී මාර්ගවලින් ලැබෙන ආදායම පහළ බැසීම සඳහා බලපා ඇති ප්‍රධාන කරුණු අතරින් එකකි.

ආර්ථික අර්බුදය හමුවේ වාහන අමතර කොටස් මිල ගණන් ඉහළ ගොස් ඇත –  www.facebook.com- Vehicle Spare Parts

නඩත්තු කටයුතු සහ වැටුප් ගෙවීම් පෙර පරිදිම

අධිවේගී මාර්ගවලින් ලැබෙන ආදායම ඒ ආකාරයෙන් පහළ බැස තිබුණත් මාර්ගවල නඩත්තු කටයුතු ද සේවයේ යෙදෙන්නන්ට වැටුප් ගෙවීම ඇතුළු අනෙකුත් වියදම් ද එලෙසින් ම දැරිය යුතු වේ. මීට පෙර ලබන ආදායමෙන් සැලකිය යුතු කොටසක් නඩත්තු කටයුතු සඳහා වැය කළත්, වර්තමාන තත්ත්වය හමුවේ ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමටද  රජයට සිදු වී ඇත. මේ තත්ත්වය තුළ ආදායමට වඩා වියදම ඉහළ අගයක් ගන්නා රාජ්‍ය ආයතනවල තත්ත්වය අධිවේගී මාර්ගවලට උදා වීමට ඉඩ නොදී ඒවා පවත්වාගෙන යාම අදාළ බලධාරීන්ගේ වගකීම යි.

කවරයේ ඡායාරූපය- www.facebook.com/ Dineth Siriwardhana

මූලාශ්‍ර:

www.exway.rda.gov.lk

www.themorning.lk

www.dailynews.lk

Related Articles