දින සියයක් තුල මිලියනයකට ආසන්න ජීවිත බිලිගත් ‘රුවන්ඩා ජනසංහාරය’

1994 දී සිදුවූ ජනසංහාරයේදී තමන් ක්‍රියාකළ ආකාරය පිළිබඳ සමාව අ‍යැද සිටින බව රුවන්ඩාවේ කතෝලික පල්ලිය ගිය වසරේ නොවැම්බර් මස ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියා.

ජනසංහාරය සිදුවූ සමයේදී පල්ලිය විසින් කරන ලද සියළුම වරදකාරී ක්‍රියාවන් වෙනුවෙන් සමාව අයදින බවත් දෙවියන් වහන්සේගේ අණට පිටුපා යමින් කළ සියළුම පාපක්‍රියාවන් වෙනුවෙන් අප්‍රමාණව පසුතැවිලි වන බවත් රුවන්ඩා පල්ලිය එම නිවේදනයෙන් පවසා සිටියා.

1994 අප්‍රේල් 06 වනදා පුපුරා ගොස් දින සියයක් ඇතුළත 800,000 කට ආසන්න මිනිස් ජීවිත සංඛ්‍යාවක් බිලිගත් මෙම මහා ඛේදවාචකයේදී විපතට පත්වූ පිරිසට ආරක්ෂාව සපයනවා වෙනුවට ඝාතකයන්ට උපකාර කළ බවට එරට කතෝලික පල්ලියට ප්‍රබල චෝදනා එල්ලවී තිබුණත් ඔවුන් ඒ පිලිබඳ නිල වශයෙන් යමක් ප්‍රකාශ කළ ප්‍රථම අවස්ථාව එයයි.

පසුබිම් කතාව

අන්තවාදීන් විසින් වධ බන්ධනයන්ට ලක් කළ මධ්‍යස්ත මතධාරී හුටු වැසියෙක්./Red Cross

රුවන්ඩාවේ ජනතාව ප්‍රධාන වශයෙන් ගෝත්‍රයන් දෙකකට අයත් වනවා. මෙයින් බහුතරයක්, එනම් 85%ක් පමණ හුටු ගෝත්‍රිකයන් වන අතර සුළුතරය ටුට්සි නම් ගෝත්‍රයට අයත් වනවා.

එසේ වුවත් රටේ පාලන බලය දිගු කළෙක සිට මෙහෙයවනු ලැබුවේ ටුට්සිවරුනුයි. 1959 වසරේදී කැරැල්ලක් මගින් ටුට්සි පාලනය පෙරලා දමන්නට හුටුවරුන් ක්‍රියා කළා. මෙහි ප්‍රථිපලයක් ලෙස දහස් ගණනක් ටුට්සිවරුන් උගන්ඩාව ඇතුළු අසල්වැසි රටවල් කරා පළා යන අතර ඔවුන්ගෙන් පිරිසක් එක්වී ‘රුවන්ඩා දේශප්‍රේමී පෙරමුණ’ පිහිටුවා ගන්නවා.

ඉන්පසු මෙම පිරිස 1990 දී රුවන්ඩාව ආක්‍රමණය කිරීම නිසා ඇතිවුණ ගැටුම්කාරී වාතාවරණය 1993 තෙක් වසර තුනක් පුරාවට රැඳී පැවතුණා. 1993දි මේ දෙපිරිස සාම ගිවිසුමකට එලඹුණත් එය පැවතුනේ 1994 අප්‍රේල් මස 06 වනදා තෙක් පමණයි.

ඒ ඉරණම්කාරී රාත්‍රියේ හුටුවරුන් දෙදෙනෙකු වූ එවකට රුවන්ඩා ජනාධිපති යුවෙනාල් හබ්යරිමානා සහ බුරුන්දි රාජ්‍යයේ සිප්‍රියන් ටර්යමීරා රැගත් ගුවන් යානයට එල්ල වූ ප්‍රහාරයකින් ඔවුන් දෙදෙනා ඇතුළු යානයේ ගමන්ගත් සියළු දෙනාම මරණයට පත්වුණා. මේ අවාසනාවන්ත සිදුවීම නිසා කෝපයට පත්වූ හුටු අන්තවාදීන් සෘජුවම ඇඟිලි දිගු කළේ රුවන්ඩා දේශප්‍රේමී පෙරමුණ දෙසටයි. එයට ප්‍රතිඋත්තර දෙමින් දේශප්‍රේමී පෙරමුණ පවසා සිටියේ ටුට්සිවරුන්ට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමට මග පාදාගැනීම සඳහා හුටු අන්තවාදීන් විසින්ම ජනපතිවරයා ගමන්ගත් ගුවන් යානයට පහර දෙන්නට ඇති බවයි.

ඝාතන රැල්ල ඇරඹෙන්නේ එතැන් සිටයි…

ජනසංහාරය සිදුවූ ආකාරය

මළසිරුරුවලින් නැගෙන දුර්ගන්ධය නිසා නාසය වසාගෙන සිටින දරුවෙක්/About Ruwanda

කුඩා කුඩා කණ්ඩායම් සැදීගත් ඝාතකයන් රට තුළ රැඳී සිටි සුළු ජාතික ටුට්සිවරුන් සොයා යමින් ඔවුන්ව ඝාතනය කිරීම ආරම්භ කළා. එවකට රුවන්ඩා ජාතික හැඳුනුම්පතෙහි ජාතිය කුමක්ද යන්න සඳහන් වූ නිසා ටුට්සිවරුන් සොයාගැනීම ඉතා පහසු වුණා. ඉතින්, අසල්වැසියන් විසින් අසල්වැසියන් ඝාතනය කරනු ලැබුවා. ඝාතකයන්ට බිය වූ ඇතැම් හුටු ජාතික ස්වාමිපුරුෂයන් තම ටුට්සි ජාතික බිරින්දෑවරුන් ඝාතනය කළ බවත් පැවසෙනවා.

මහා මාර්ග සහ මංමාවත් සියල්ල අවහිර කරදැමූ හුටු අන්තවාදීන් පලා යාමට උත්සාහ කළ ටුට්සිවරුන්ද ඝාතනය කර දැමුවා. මේ බිහිසුණු ඝාතන සඳහා ඔවුන් බහුල වශයෙන් යොදාගත්තේ රුවන්ඩාවේ සෑම නිවසකම පාහේ තිබූ මන්නා පිහියි.

ඝාතන සඳහා යොදාගත් මන්නා පිහි/Time

ටුට්සිවරුන් පමණක් නොව තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන් සහ අන්තවාදී නොවූ, නිදහස් චින්තනයක් සතුවූ හුටුවරුන්ද මෙම ඝාතකයන්ගේ ගොදුරු බවට පත්වුණා.

සිය දහස් ගණනක් වූ ටුට්සි ජාතික කාන්තාවන් කඳවුරු තුලට ගාල්කර ඔවුන් ලිංගික වහලියන් හෙස යොදා ගැනීමටත් ඝාතකයන් ක්‍රියා කල බව කියැවෙනවා.

එමෙන්ම රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකාවලින් ටුට්සිවරුන් ඝාතනය කළ යුතු බව සහ ඝාතනය කළ යුතු ආකාරය පිලිබඳ දිවා රෑ දෙකෙහිම නිවේදනය කරනු ලැබුවා. රාජ්‍ය බලය රැකගත හැකිවන්නේ ටුට්සිවරුන් රුවන්ඩාවෙන් සහමුලින්ම අතුගා දැමීමෙන් පමණක් බව හුටු රෙජිමය ඇදහූ බව පෙනෙන්නට තිබුණා.

මෙසේ රජයෙන් කරනු ලැබූ දිරි ගැන්වීම් නිසා එක්ව පහර දෙන්නන් යන අරුතින් යුතු ‘ඉන්ටෙරහම්වේ’ නමින් නිල නොවන ඝාතක බලඇණියක් සැදුනු අතර එහි පිරිස් බලය 30,000ක් පමණ වූ බව වාර්තාවල දැක්වෙනවා.

ටුට්සිවරුන් ඝාතනය කරන්නන්ට මුදල්, ආහාර ආදිය ලබා දීමට රජය විසින් කටයුතු කරනු ලැබූ බවත් ඝාතනය කළ ටුට්සිවරුන් සතුව තිබූ ඉඩම් සහ අනෙකුත් දේපළ හුටුවරුන්ට පවරා දුන් බවත් අමතක කළ නොහැකියි.

ඝාතනය කළ පුද්ගලයන් වෙනුවෙන් සෑදුන සොහොන් කොත්/World Vision

නිහඬව බලා සිටි ලෝකය

මේ සිදුවීම් සිදුවන කාලයේදී එක්සත් ජාතින්ගේ හමුදා මෙන්ම බෙල්ජියම් හමුදාවන්ද රුවන්ඩාව තුල රැඳී සිටිය මුත් ජනහංහාරය නවත්වන ලෙස නියෝගයක් නිකුත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ක්‍රියා කළේ නැහැ.

මෙම අර්බුධයට මැදිහත් නොවීමට ඇමරිකාව තීරණය කළේ ඊට වසරකට පෙර සෝමාලියාවේදී ඇමරිකානු හමුදාවට සිදුවූ ජීවිත හානි සැලකිල්ලට ගනිමිනුයි.

බෙල්ජියන් හමුදා සෙබලුන් 10 දෙනෙකු ඝාතනය වීමත් සමඟ සිය හමුදාවන් රුවන්ඩාවෙන් ඉවත් කරගැනීමට එම රජය තීරණය කළ අතර ඒ සමඟ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවෙන්ද බහුතරය ඉවත් කෙරුණා.

ඝාතකයන් අසලින් ඇදෙන ප්‍රංශ හමුදා රථයක්/AFP

හුටු රජය සමඟ සමීප සබඳතා පැවැත්වූ ප්‍රංශය සිවිල් වැසියන් සඳහා ආරක්ෂක භූමියක් වෙන් කිරීමේ අරමුණින් සිය හමුදාවන් රුවන්ඩාවට යැවූවත් ඝාතනයන් නැවැත්වීමට ප්‍රමාණවත් උත්සාහයක් නොදැරූ බවට ඔවුන් වෙත චෝදනා එල්ලවූවා.

රුවන්ඩාවෙ වත්මන් ජනපති, එවකට රුවන්ඩා දේශප්‍රේමී පෙරමුණේ නායකයා පවසන්නේ ජනසංහාරය සඳහා හුටු රජයට ප්‍රංශ හමුදාවන්ගේ සහය ලැබුණ බවයි. නමුත් ප්‍රංශය විසින් එම චෝදනාව ප්‍රතික්ෂේප කරනවා.

අවසානය

කිගාලි වෙත ඇතුළුවන උගන්ඩා හමුදාව සහ රුවන්ඩා දේශප්‍රේමී පෙරමුණ/AFP

සටන සඳහා හොඳින් සූදානම් වූ රුවන්ඩා දේශප්‍රේමී හමුදාවට උගන්ඩා රජයේ හමුදාවන්ගේ ද සහය ලැබුණා. මෙසේ එක්ව කළ සටන් හේතුවෙන් රුවන්ඩාවේ ප්‍රදේශ බොහොමයක් අත්පත් කරගැනීමට දේශප්‍රේමී පෙරමුණට හැකියාව ලැබුණා.

1994 ජුලි මස අගනුවර වූ කිගාලි නගරයට ඇතුළු වීමට ඔවුන් සමත් වීමත් සමඟ මිලියන දෙකකට ආසන්න හුටු ගෝත්‍රිකයන් (සිවිල් වැසියන් හස ජනසංහාරයට සෘජුව දායකත්වය දැක්වූවන්) අසල්වැසි ‘සයිරෙ’ වෙත පලා ගියා. වර්තමානයේ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය ලෙස හැඳින්වෙන්නේ එදා සයිරාවයි.

සයිරේ වෙත පලායන ජනතාව/AFP

ඉන්පසු හුටු ගෝත්‍රිකයෙකු පස්ටර් බිසිමුන්ගු ජනපති ධුරයට පත්කරමින් බහු ජාතික රජයක් පිහිටුවීමට රුවන්ඩා දේශප්‍රේමී පෙරමුණ ක්‍රියා කළා. අගමැති ධුරයට පත් වූවේ දේශප්‍රේමී පෙරමුණේ නායක පෝල් කගාමේයි.

කෙසේ නමුත් පසුකාලයේදී ජාතිවාදය ඇවිස්සීමට කටයුතු කිරීම යන චෝදනාව මත ජනාධිපති බිසිමුන්ගු අත්අඩංගුවට ගැනුණ අතර අගමැති කගාමේ ජනපති ධුරයේ දිවුරුම් දුන්නා. වර්තමානයේදීද එම ධුරය දරණු ලබන්නේ ඔහු විසිනුයි.

පල්ලියට එරෙහි චෝදනා

ටරමා පල්ලිය තුලදී ඝාතනය කෙරුණ 5000ක් පමණ වූ ජනතාවගේ ඇඳුම් සහ හිස්කබල්. ටරමා පල්ලිය මේ වනවිට ජනසංහාරය සිහිවීම වෙනුවෙන් ස්මාරකයක් ලෙස නම්කර ඇත./CNN

ජීවිත ආරක්ෂාව වෙනුවෙන් පල්ලි තුලට පැමිණි ටුට්සි ගෝත්‍රිකයන් ඝාතනය කිරීමට හුටු අන්තවාදීන්ට සිතා මතා උපකාර කළ බවට රුවන්ඩාවේ රෝමානු කතෝලික පල්ලියට චෝදනා එල්ලවනවා.

රුවන්ඩා ජනසංහාරය වෙනුවෙන් අන්තර්ජාතික අපරාධ අධිකරණය ඉදිරිපිට විභාගයට ගැනුණ නඩුවේදී එම චෝදනාවලට වැරදිකරුවෙකු වූ කතෝලික පූජකවරයෙකුට වසර 15ක සිර දඬුවමක් නියම කෙරුණා. එමෙන්ම, 2006 වසරේදී තවත් කතෝලික පූජකවරයෙකු ඉහත චෝදනාවන්ටම වරදකරුවෙකු කරමින් තීන්දුව ලබා දුන් රුවන්ඩා හමුදා අධිකරණය ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළා. නමුත් එම තැනැත්තා මේ වන විට ප්‍රංශයේ පූජකවරයෙකු ලෙස කටයුතු කරනවා. ඒ හමුදා අධිකරණයේ තීන්දුවට සහය නොදැක්වීමට ප්‍රංශ රජය තීරණය කිරීම නිසාවෙන්. පූජකවරුන්ට පමණක් නොව පූජකවරියන්ටද මෙම චෝදනාවන් එල්ල වූ බව පැවසිය යුතුයි.

ඉන් පසුව ගෙවුණ කාලයේදී රුවන්ඩාව විසින් අසල්වැසි කොංගෝ රාජ්‍යය දෙවතාවක් ආක්‍රමණය කළේ එහි ක්‍රියාත්මක වූ හුටු මිලීෂියාවේ ක්‍රියාකාරකම් මැඩ පැවැත්වීම වෙනුවෙනුයි.

අදටද කොංගෝවේ වෙසෙන ටුට්සි කැරළිකරුවන් ආයුධ බිමින් තැබීමට එකඟ නොවන්නේ ජනසංහාරයක් සිදුවීමට ඉඩකඩ තවමත් ඉතිරි වී ඇතිබව පවසමින්.

මේ ආකාරයේන් සිදුවූ අවාසනාවන්ත සිදුවීම් නිසා මිලියන පහකට අධික ජනතාව සිය ජීවිතවලින් වන්දි ගෙවූ බව ඉතා කණගාටුවෙන් කිව යුතුයි.

වත්මන් රුවන්ඩාව

ජනපති කගාමේ/CNN

අති බිහිසුණු කාල පරිච්ඡේදයක් පසු කළ කුඩා රුවන්ඩාව මේ වන විට අප්‍රිකා මහාද්වීපයේ වේගයෙන් වර්ධනය වෙමින් පවතින ආර්ථිකයක් ලෙසින් හඳුන්වනවා. ට්විටර් සමාජජාලයේ ඉතා ක්‍රියාශීලී පුද්ගලයෙකු වන ජනපති පෝල් කගාමේ රුවන්ඩාව කලාපයේ තාක්ෂණික මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කිරීමේ උත්සාහයක නියැලී සිටිනු දැකගත හැකියි.

එසේ වුවත් විරුද්ධවාදීන් කිහිප දෙනෙකු අභිරහස් ලෙස මියයාම සම්බන්ධයෙන් කගාමේට චෝදනා එල්ලවනවා.

ජාතිය යනු වර්තමාන රුවන්ඩාව තුළ කතාබහ කිරීමට තහනම් කර ඇති මාතෘකාවක්. එරට රජයට අනුව එය මතු අනාගතයේදී ලේ වැගිරීම් ඇති නොවීම පිණිස ගත් තීරණයක්. නමුත් ඇතැම් විචාරකයන් පවසන්නේ එය එතරම් නුවණට හුරු පියවරක් නොවන බවයි. එමගින් සැබෑ ප්‍රශ්නය යටපත් වනු ඇති බවත් ඒ නිසාම අනාගතයේදී ප්‍රචණ්ඩත්වයට හිස එසවීමට එය උත්තේජනයක් වනු ඇති බවත් ඔවුන් ප්‍රකාශ කරනවා.

මූලාශ්‍ර – අන්තර්ජාතික මාධ්‍ය වාර්තා

කවරයේ පින්තුරය: ජනසංහාරය සිහිවීම වෙනුවෙන් ඉදිකර ඇති ස්ථානයක තබා ඇති හිස්කබල් සහ ඇටකැබලි/BBC

Related Articles