Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කාන්තාවන්ට එරෙහි වූ කාන්තාවෝ – කේරළයේ සබරිමාලා සිදුවීම

පසුගිය දා දකුණු ඉන්දියාවේ කේරළයේ පිහිටි සබරිමාලා හින්දු කෝවිලට කාන්තාවන් දෙදෙනෙක ඇතුළු වීම පිළිබඳ ව දැඩි උණුසුම් වාතාවරණයක් නිර්මාණය වුණා. මීට මාස කිහිපයකට ප්‍රථම කාන්තාවන්ට සබරිමාලා කෝවිලට ඇතුළත් වීමට තිබූ තහනම ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත් කරනු ලැබුවත්, දේවාල පරිපාලනය හා බොහෝ පුරුෂයන් මේ සඳහා කැමැත්තක් දක්වන්නේ නෑ.

මාස කිහියපයක් පුරා ඔවුන් කෝවිල් භූමියට කාන්තාවන් ඇතුල් වීම වැළක්වීම සඳහා ඒ ආශ්‍රිත භූමිය වටකොට ගෙන සිටිනවා. මෙම සිදුවීමේ විශේෂත්වය වන්නේ, කේරළ කාන්තාවන්ගෙන් බහුතරයක් ද කෝවිලට ඇතුල් වීමට කාන්තාවන්ට ඉඩ නොදිය යුතු ය යන ස්ථාවරයේ පසු වීම යි.

උස් භූමියක පිහිටා ඇති මෙම හින්දු කෝවිල, කේරළයේ මෙන්ම මුළු ඉන්දියාව පුරා ම ඉතා ම ගෞරවයට පාත්‍ර වෙන පුදබිමක් ලෙස නම් දරා ඇති අතර, වර්තමානය වන විට වසරකට පිරිමි බැතිමතුන් මිලියන ගණනාවක් මෙම පුදබිම වෙත පැමිණ ආශිර්වාද ලබා ගන්නවා.

උසාවි නියෝගය

සබරිමාලා කෝවිල (New Indian Express)

වසර ගණනාවක් තිස්සේ දකුණු ඉන්දියාවේ සබරිමාලා කෝවිලට වයස අවුරුදු 10 – 50ත් වයසේ පසුවන කාන්තාවන්ට ඇතුලු වීමට අවසර ලබා දෙන්නේ නෑ. එයට හේතුව ලෙස සඳහන් වන්නේ එම වයස් සිමාවේ කාන්තාවන් ඔසප් වීම සිදුවන වයස් සීමාවේ රැදී සිටීම යි. මෙයට විරුද්ධ ව 1991 වසරේ සිට කේරලයේ ප්‍රගතිශීලි කණ්ඩායම් සිය අරගලය මෙහෙයවීම සිදුකරනවා.

උසස් පාසල් ශිෂ්‍යාවන් පිරිසක් ඇතුළු ප්‍රගතිශීලි සංවිධාන කිහිපයක් මෙම තහනමට විරුද්ධ ව කේරළය පුරා විරෝධතා හා උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කරනවා. ඒ 2016 වසරේ දී යි. මෙම තහනම ට එරෙහිව එම වසරේ දී තරුණ නීතිවේදීන්ගේ සංගමය, හා තවත් සංවිධාන කිහිපයක් ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පතනවා.

මෙලෙස කාන්තාවන්ට සීමා පැනවීමෙන් කැමති ආගමක් ඇදහීමේ හා පොදු ආගමික ස්ථානයක ඇතුළත් වීමේ ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය වන බව පවසමින් නඩුවක් ගොනු කරනවා. ඒ සඳහා ව්‍යවස්ථාවේ ඉඩහසර වෙන් කර දී ඇති බවත් පැමිණිලි පාර්ශවය තර්ක කරනවා.

ඇතුල් වීමට බලා සිටින කාන්තාවන් (India Today)

මෙම තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් සලකා බලන ඉන්දියානු අධිකරණය 2018 වසරේ සැප්තැම්බර් 28 වන දා ව්‍යවස්ථාවට පටහැනි බව පවසමින් තහනම ඉවත් කිරීමට කටයුතු කරනවා. ඒ සඳහා විනිසුරුවරු  පස්දෙනෙකුගෙන් යුත් කමිටුවකින් 4/5ක අනුමැතිය හිමි වෙනවා.

උසාවි තීරණය සමග ඇවිළුණු කේරළය

අධිකරණ තීන්දුවට එරෙහිව කාන්තාවන් ද සිටීම විශේෂත්වයක් (India Today)

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ලබා දීමත් සමග ප්‍රගතිශීලි සංවිධානවල කාන්තාවන් සබරිමාලා කෝවිලට ඇතුළු වීමට උත්සාහ දරනවා. නමුත් උසාවි නියෝගය ද පිළිනොගන්නා කෝවිල් පරිපාලනය ඔවුන්ට ඇතුල් වීමට ඉඩ ලබා දෙන්නේ නෑ.

වසර සිය ගණනක් තිස්සේ  පැවත එන චාරිත්‍රය එසේ වෙනස් කිරීමට තමන් අකමැති බව එම කෝවිලේ ප්‍රධාන පූජකයා ප්‍රකාශ කරනවා. කෝවිල් පරිපාලනයේ මතය තම මතය බව ප්‍රකාශ කරමින් බොහෝ පිරිසක් කෝවිල් භූමි ප්‍රදේශයට ඇතුල් වෙනවා.

ඔක්තෝම්බර් 17 වන දා සිට මෙම විරෝධතා ආරම්භ වූ අතර, දහස් ගණනක පිරිමි බැතිමතුන් කෝවිල් භූමිය වටකර ගනිමින් සිටින්නේ එහි එන කාන්තාවන්ට ඇතුල් වීමට නොහැකි වන ලෙස යි.

පොලීසියේ මැදිහත් වීම (Gossipier)

ඊට අමතර ව තවත් දහස් ගණනක පිරිසක් අවට මාර්ගවල කලහකාරී ලෙස හැසිරෙන අතර, ඔවුන් දේවාල භූමිය වෙත පැමිණෙන වාහනවල වයස අවුරුදු 10ත් 50ත් අතර කාන්තාවන් සිටීදැ යි යන්න පරික්ෂා කිරීම සිදුකරන්නේ, සියලු වාහන මාර්ගවල නැවත්වීමට අණ කරමින්.

මෙම විරෝධතාවයේ විශේෂ ම ලක්ෂණය වන්නේ විරෝධතාවයට සහභාගී වෙන විශාල පිරිසක් කාන්තාවන් වීම යි. විරෝධතාකරුවන් පාලනය කිරීමට පොලීසිය යෙදවීමට සිදුවන අතර, ඔවුන් විසින් වාහන හා පොලීසිය වෙත ද ප්‍රහාර එල්ල කරන්නේ ගල් හා මුගුරු උපයෝගී කරගෙන යි.

කාන්තාවන් දෙදෙනෙකු ඇතුල් වීම

ඇතුල් වූ කාන්තාවන් දෙදෙනා (Hindustan Times)

මාස ගණනවක් තිස්සේ මෙම විරෝධතාවය ඇදී ගිය අතර, ජනවාරි දෙවන දා කෝවිල් භූමියේ විශේෂ දෙයක් සිදුවෙනවා. ඒ පොලිස් ආරක්ෂාව මධ්‍යයේ කාන්තාවන් දෙදෙනෙක් (වයස අවුරුදු 44 හා වයස අවුරුදු 42 හි පසුවෙන) පාන්දර 3.30ට පමණ විරෝධතාකරුවන්ට නොපෙනී කෝවිල තුළට ඇතුළු වීමට සමත් වී තිබෙනවා. අනතුරුව මිනිත්තු කිහිපයක් තුළ ප්‍රතිමාව වැඳ පුදා ගැනීමට අවස්ථාව ලබා ගන්නවා.

කෝවිලට ඇතුල් වීමේ දී පියගැට 18ක් නැඟිය යුතු වූවත්, ආරක්ෂක හේතුන් මත ඔවුන් කෝවිලට ඇතුල් වීම සඳහා භාවිතා කර තිබෙන්නේ ප්‍රභූන්ට ඇතුළු වීම සඳහා ඇති මාර්ගය යි. මොවුන් දෙදෙනා, දෙසැම්බර් 24 වන දා කෝවිල් භූමියට ඇතුල් වීමට උත්සාහ දරා එය ව්‍යර්ථ වූ පසු හැරී ගිය කාන්තා කණ්ඩායමේ  සාමාජිකයන් දෙදෙනෙකු බව පැවසෙනවා.

කාන්තාවන් දෙදෙනාට නිල ඇඳුමින් හා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් කණ්ඩායමක් විසින් ආරක්ෂාව සපයා තිබෙනවා. මෙම පුවත දැනගත් සැණින් විරෝධතාකරුවන් කෝවිල් භූමියට පැමිණි නමුත්, ඒ වන විටත් ඉන් පිටත් ව යාමට කාන්තාවන් දෙදෙනා සමත් වී තිබෙනවා.

එම සිදුවීමෙන් පසු ව කෝවිල පැයකට වසා දැමූ අතර, කාන්තාවන් ඇතුල් වීම හේතුවෙන් අපිරිසිදු වූ කෝවිල පවිත්‍ර කිරීමේ වත්පිළිවෙත් එම පැය තුළ දී සිදුකළ බව එහි පුජකයන් සඳහන් කරනවා.

වර්තමානය වන විට ඔසප් සීමාව තුළ දී හැර අනෙක් කාල සීමාවේ දී ඉන්දියාවේ පිහිටි බොහෝ ආගමික ස්ථානවලට ඇතුළු වීමට කාන්තාවන්ට හැකියාව පවතින නමුත්, මෙම කෝවිලේ පාලනාධිකාරිය අධිකරණ නියෝගය පවා නොතකමින් ක්‍රියා කරන ආකාරය බොහෝ ප්‍රගතිශීලීන්ගේ විවේචනයට බදුන් වී තිබෙනවා.

පුරුෂයන්ට මෙන්ම සම අයිතීන් දිනා ගැනීමට සටන් කරන කාන්තාවන්ගේ ක්‍රමික වර්ධනයක් මේ වන විට ඉන්දියාව පුරා දකින්නට ලැබෙන අතර, කෝවිලට ඇතුළු වීමට කාන්තාවන් දරන මෙම උත්සාහය එහි එක් ධනාත්මක අවස්ථාවක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්.

කවරයේ පින්තූරය: කාන්තාවන්ට එරෙහි වූ කාන්තාවෝ (News India Times)

මූලාශ්‍රයයන්:

indiatimes.com

ndtv.com

bbc.com

Related Articles