රටින් රටට ව්‍යාප්ත වූ බුදු දහමින් ඇති වූ බලපෑම

ථේරවාද බුදු දහම හා බැඳුණු ඉගැන්වීම් විසින් අපේ රටේ ජන ජීවිතය, සංස්කෘතිය මෙන්ම  සදාචාරය විශාල ලෙස පෝෂණය කර තිබෙනවා. බෞද්ධ දර්ශණය හා බැඳුනු විවිධ ඉගැන්වීම් හේතුවෙන් අප රටේ පමණක් නොව ථේරවාදය මෙන්ම මහායානය ක්‍රියාත්මක වන අනෙකුත් රටවලත් ජන ජිවිතයට එල්ල වූ බලපෑම සුළුපටු නෑ, රට රටවලට එම ඉගැන්වීම් බලපා තිබෙන ආකාරය හා ඒ හේතුවෙන් ඇති වූ  විශේෂත්වය පිළිබඳව ලිපියක් ඔබ වෙත ගෙන එන්නට අප තීරණය කළා.

බුරුමය හෙවත් මියන්මාරය, සියම හෙවත් තායිලන්තය, කොරියාව, චීනය හා ජපානයේ ජනතාව විසින් පිළිපදින ථේරවාද හා මහායාන බුදු දහම එම රටවලට හඳුන්වා දුන් ආකාරයත්, බුදු දහම හදුන්වා දීම හේතුවෙන් ඇති වූ විශේෂතා කිහිපයකුත් මෙම ලිපියේ අන්තර්ගත වෙනවා.

කෙටි කළකට පැවිදි වෙන මියන්මාර පුරුෂයන්

කුඩා වියේදී කෙටි කලකට මහණ වෙන මියන්මාරයේ පිරිමි ළමුන් (Art Wolfe)

මියන්මාරයට ථේරවාදී බුදුදහම ලැබුණු ආකාරය පිළිබඳව පැහැදිලි පුරාවිද්‍යා සාක්ෂි නොමැති වූවත් මියන්මාර වැසියන්ගේ විශ්වාසය අනුව තපස්සු භල්ලුක නම් වෙළෙන්දන් දෙදෙනා බුරුම ජාතිකයන් බවත්, ඔවුන් බුදුන් වහන්සේගෙන් කේශ ධාතු ගෙන ස්වේදගොන් දාගැබ හෙවත් රන් ස්ථූපය නිර්මාණය කල බව සදහන්.

පුරාවිද්‍යා සාධක අනුව හත් වන ශත වර්ෂයේ මියන්මාරයේ ථේරවාද බුදු දහම ක්‍රියාත්මක වූ බවට සාධක ලැබෙන අතර එය අනුගමනය කරන ලද්දේ පියු නම් ගෝත්‍රයේ ජනයා විසින්. පසු  කලෙක පරිහානියට පත්ව තිබූ බුදුදහම එරට රජවරු විසින් ශ්‍රී ලංකාවේ පළමුවන විජයබාහු රජ සමයේ හා පරාක්‍රමබාහු රජ සමයේදී මෙරටින් උදවු උපකාර ගෙන නැවතත් ස්ථාපිත කළ බව ඉතිහාසයේ සදහන් වෙනවා.

බුදු දහමේ බලපෑම මියන්මාර් ජන ජීවිතයට තදබල ලෙස බලපෑ ඇති අතර ජනතාව අතර  කුල භේදය ප්‍රතික්ෂේප වී තිබෙනවා. කුල භේදය හඟවන වචනයක්වත් මියන්මාර් භාෂාවේ අඩංගු නොවන්නේ ථේරවාද බුදු දහමේ බලපෑමෙන් බව ඉතිහාසඥයන් විසින් පෙන්වා දෙනවා.

තවද මියන්මාර් පිරිමියෙකු ජීවිතයේ කවර අවස්ථාවක හෝ සුළු කාලයකටවත් පැවදිව සිටීම ජාතික චර්යාවක් බවට පත් වී තිබෙනවා. සාමාන්‍යයෙන් මෙම පැවිදිවීම විවාහයට පෙර සිදු වෙන අතර මියන්මාර් තරුණියන් විවාහ වීමේදී  පැවිදි වී සිටි තරුණයන් කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වනවා. තවද පැවදිව සිට සිවුර අත්හළ පුද්ගලයා ඉතා උසස් පුද්ගලයෙකු ලෙස මෙරටදී  සලකනු ලබනවා.

ආසියාවේ වෙනත් රටවලට සාපේක්ෂව කාන්තා නිදහස මියන්මාරය තුළ ඉහළ වීමට බලපෑ ප්‍රධාන හේතුවක් ලෙස බුදු දහමේ අාභාෂය නම් කර දක්වන්නට පුළුවන්.

රජුගේ ප්‍රධානත්වයෙන් කඨින උත්සවය පවත්වන තායිලන්තය

භික්ෂූන් කෙරෙහි දැඩි ඇල්මෙන් කටයුතු කරන තායිලන්ත වැසියන් (The Christian Science Monitor)

තායිලන්තයට බුදු දහම ලැබුණු ආකාරය පිළිබඳව නිශ්චිතව පිළිගත හැකි මුලාශ්‍රයක් මඟින් පැහැදිලි කළ නොහැකි වූවත් පුරා වෘත්තයන්ට අනුව ධර්මාශෝක රජු විසින් සෝණ හා උත්තර යන භික්ෂූන්ගේ මාර්ගයෙන් ධර්මය ප්‍රචාරය කර හරින ලද සුවණ්ණ භූමිය තායිලන්තය ලෙස නම් කර දක්වනවා. එලෙස ලැබුණා යැයි සැළකෙන ථේරවාද බුදු දහම අද වන විට තායිලන්තයේ රාජ්‍යාගම බවට පත්ව තිබෙනවා.

ඈත අතීතයේ පටන්ම බුදු දහම හා බැඳුනු ශ්‍රී ලංකා – තායිලන්ත රාජ්‍ය ත්‍රාන්තික සම්බන්ධතා හේතුවෙන් ලංකාවේ රජකළ දේවමහා ධම්ම රාජ රජු සමයේ වැලිවිට සරණංකර හිමියන්ගේ ඉල්ලීම පරිදි මෙරට උපසම්පදාව නැවත ඇතිකිරීමට තායිලන්ත රජය විසින් උපකාර කර තිබෙනවා.

වර්තමානය වන විට එරට උත්සව අතරින් වැඩි සංඛ්‍යාවක් ථේරවාද බුදු දහම හා බැඳි උත්සව වන අතර ඒ අතරින් කඨින පූජෝත්සවය රජතුමාගේ  ප්‍රධානත්වයෙන් සිදු කරනු ලබනවා. වගකිව යුතු පදවි වලට භික්ෂූන් පත්කිරීම සිදු කරන්නේද රජු විසින්. තායිලන්ත වැසියන් භික්ෂූන්ට ඉතා ඉහළින් ගරු සත්කාර කරන අතර චරිත පාරිශුද්ධිය වැදගත් කොට සලකනවා.

අලංකාර බෝධිසත්ත්ව ප්‍රතිමා වලින් පිරි කොරියාවේ පන්සල්

ග්‍රාමීය කඳුකරයේ ඇති බෞද්ධ විහාර (ryetour.net)

වර්තමානය වන විට දකුණු කොරියාවේ ක්‍රියාත්මක වන්නේ මහායාන බුදු දහමයි. ක්‍රි.ව. 372 දී පමණ චීනය විසින් කොරියාවට බුදුසමය හඳුන්වා දෙනවා. පරම්පරා කිහිපයකින් පසුව මුළු කොරියාවම බුදුදහම වැළඳගත් බව ඉතිහාසයේ එක් ප්‍රකට කරුණක්.

නමුත් 15 වන සියවසේ එරට විසූ පාලකයා විසින් බෞද්ධ විහාරාරාම තහනම් කිරීම හේතුවෙන් ක්‍රම ක්‍රමයෙන් බුදු දහම පරිහානියට පත්වෙනවා. නැවතත් එයට නව පණක් ලැබෙන්නේ කොරියාව, ජපානයේ යටත් විජිතයක් බවට පත් වීමෙන් පසුවයි.

මහායානිකයන් අදහන්නේ බෝධිසත්ත්වයන් බැවින් වර්තමානයේ කොරියානු පන්සල්  බෝධිසත්ත්ව පිළිම වලින් පිරී ගිය ස්ථාන බවට පත්වෙලා තියනවා. රන් හා රිදී යොදාගනිමින් පිළිම නිර්මාණය කර ඇති ආකාරය දකින්නට පුළුවන්.

ඔවුන්ගේ බෞද්ධ උත්සව අතරින් බුදුන්ගේ ජන්ම දිනය සමරා සෑම වසරකම අප්‍රේල් මස අටවැනි දින පැවැත්වෙන උත්සවය ඉතා ඉහළින් සමරනු ලබනවා. අතීතයේ සිටි පාලකයන් බෞද්ධ විහාර තහනම් කළ බැවින් අද පවා පන්සල් හා වෙහෙර විහාර නාගරික ප්‍රදේශ වල නෑ. ඒවා දකින්නට ලැබෙන්නේ ග්‍රාමීය කඳුකර ප්‍රදේශ වල පමණයි.

ජපානයේ  සෙන් (Zen) බෞද්ධ සම්ප්‍රදාය

සෙන් භාවනාව සදහා අරමුණු කරගැනීමට නිර්මාණය කළ දසුනක් (123RF.com)

ජපානයට මහායාන බුදු දහම ලැබෙන්නේ කොරියාවෙන්. ක්‍රි.ව. 552 ඔක්තෝම්බර් මස 13 වැනිදා බුදු දහම තම රටට හදුන්වා දුන් බව ජපාන මුලාශ්‍ර වල සඳහන් වෙනවා. ක්‍රි:ව 585-587 කාලයේ රජ කල යොමෙයි අධිරාජයා විසින් බුදු දහමට රාජ්‍ය අනුග්‍රහය ලබාදීම එරට බුදු දහම ස්ථාපිත වීමට බලපෑ ප්‍රධානම හේතුවයි.

මහායානික ඉගැන්වීම් වලට අනුව ගිහියාත් පැවිද්දාත් අතර විශාල පරතරයක් නොමැති බැවින් ජපන් මහායානික හිමිවරුන් දහම් දෙසන විට පමණක් ගිහි ඇඳුම මත චීවරයක් දැරීමට පෙළඹී සිටිනවා.

වර්තමානය වන විට ජපානයේ වඩාත් ජනප්‍රිය වී ඇත්තේ සෙන් බුදු සමයයි. චීනය විසින් හදුන්වා දුන් මෙම දහමේ විශේෂතාව වන්නේ එයටම ආවේණික වූ භාවනා ක්‍රමයයි.

කවරයේ ජායාරූපය – තායිලන්තයේ බෞද්ධ උත්සවයක අවස්ථාවක්

මුලාශ්‍ර

 

  • බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය – බෞද්ධ කටයුතු දෙපාර්තුමේන්තුව
  • බුදු දහමේ දේශාන්තර ව්‍යාප්තිය – ටී. එන් ඇතුගල

 

cover        –    in.pinterest.com

Related Articles