Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දකුණු ආසියාව ම කැලැඹූ චීන නැවේ හම්බන්තොට ගමන

ශ්‍රී ලංකාවේ මෙන් ම ඉන්දියාවේ ද විශාල කැලැඹිල්ලකට මෑතක දී  ලක් වූ නැවක් තමයි චීන පර්යේෂණ නැවක් වන යුවාන් වැන්ග් -5 නෞකාව. මේ නැව ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායට පැමිණීමට නියමිත ව තිබුණේ පසුගිය අගෝස්තු 11 වැනි දා යි. ‘යුවාන් වැන්ග් 5’ නෞකාවේ හම්බන්තොට සංචාරයට එරෙහි ව ඉන්දියාව ශ්‍රී ලංකා රජයට විරෝධයක් ඉදිරිපත් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පසුගිය දා වාර්තා කළා.

අනෙකුත් දකුණු ආසියානු රටවල් ද මේ ගැන අවධානය යොමු කළා. ඉන්දීය විරෝධය නිසා නෞකාවේ ශ්‍රී ලංකා ගමන කල් දමන ලෙස විදේශ අමාත්‍යාංශය චීනෙන් ඉල්ලා සිටියත් නැවේ ගමන නතර වී නැති අතර එය ශ්‍රී ලංකාවට අයිති මුහුදු තීරයට නුදුරින් යාත්‍රා කරන අතර ඉදිරි දිනක ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි මාධ්‍ය පවසන්නේ.

 නැව මුහුදේ පර්යේෂණ චාරිකාවක යෙදෙමින් – marinetraffic.com

නැවේ ගමන කල්දමාවිද?

විදේශ කටයුතු අමාත්‍යාංශය චීන තානාපති කාර්යාලයට යැවූ ලිපියට අනුව චීනය මෙම නෞකාව පැමිණීම පිළිබඳ ව ශ්‍රී ලංකාව දැනුවත් කර ඇත්තේ ජුනි මස 28 වැනිදා යි. ‘යුවාන් වැන්ග් 5’අධි තාක්ෂණික පර්යේෂණ හා නිරීක්ෂණ නෞකාව හම්බන්තොට වරායට පැමිණෙන බව ප්‍රකාශ කළේ නැවට ඉන්ධන ඇතුළු සේවා ලබා ගැනීමේ පදනමින් බවයි පැවසුණේ. එම ඉල්ලීමට අනුව අගෝස්තු 11 වැනි දා හම්බන්තොට වරායට පිවිසීමට විදේශ කටයුතු අමාත්‍යංශය ජූලි 12 වැනිදා නිකුත් කළ ලිපියකින් ලිඛිත එකඟතාව පළ කර තිබුණා. පසුව ඉන්දීය රජයෙන් මේ නැව පැමිණීම ගැන විශාල විරෝධයක් එල්ල වුණා.

වොෂින්ටන් පෝස්ට් පුවත්පත පවසන්නේ යුවාන් වැන්ග් 5 නෞකාව හම්බන්තොට වරායේ නැංගුරම් ලෑම චීනය, ඉන්දියාව සහ අමෙරිකාව අතර භූ දේශපාලනික කඹ ඇදීමේ තරගයක් බවට පත්ව ඇති බව යි. ශ්‍රී ලංකාව එයට මැදි වී සිටින බව පුවත්පත සඳහන් කරනවා. ඉන්දිය බලධාරින් ප්‍රකාශ කරන්නේ මෙය චීන හමුදාවට අයත් ඔත්තු බලන යාත්‍රාවක් බව යි. ඩොලර් බිලියන 1.5 ක වටිනාකමින් යුත් හම්බන්තොට වරාය ආසියාවේ සිට යුරෝපයට යන ප්‍රධාන නැව් මාර්ගයට ආසන්නව ම පිහිටි වරායක්. හම්බන්තොට වරායත් මේ වනවිට පවතින්නේ චීන අයිතිය යටතේ යි.

‘යුආන් වැන්ග් 5’ නෞකාව හම්බන්තොට වරායට පැමිණෙන්නේ ශ්‍රී ලංකාව දරුණුත ම ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක යි. නෞකාව සතියක කාලයක් හම්බන්තොට නැංගුරම් ලා සිටිමට නියමිත යි. පසුව අගෝස්තු සහ සැප්තැම්බර් අතර කාල සීමාවේ දී ඉන්දීය සාගර කලාපයේ වයඹ දිග ප්‍රදේශයේ අභ්‍යවකාශ නිරීක්ෂණ, චන්ද්‍රිකා පාලනය සහ පර්යේෂණ සිදු කරන බවත් ඔවුන් පවසා තිබෙනවා.

 චීනය මිලදී ගෙන ඇති හම්බන්තොට වරාය- maritimegateway.com

මුහුදු සැතපුම් 600යි

යුවාන් වැන්ග් 5 පර්යේෂණ නෞකාව අගොස්තු 11 වැනි දා වනවිට ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණියත් 11 වැනි දා දිනයේ හම්බන්තොට වරායට ඇතුළු නොවන බව හම්බන්තොට වරාය ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටියා.

පර්යේෂණ නෞකාව හම්බන්තොට වරායට ඔබ්බෙන් සැතපුම් 600 ක සීමාවට පැමිණීමෙන් පසු ගමන් මග වෙනස් කර නෞකාව එකම ස්ථානයේ ත්‍රිකෝණාකාර ගමන් මගක යාත්‍රාකරමින් සිටියා. පසුව හම්බන්තොට වරාය බලා නැවතත් යාත්‍රා කිරීමට නියමිත නිසි ගමන් මාර්ගයට පැමිණි බව මැරිටයිම් ඔප්ටිමා වෙබ් අඩවියේ දත්තවලින් පෙන්නුම් කරන බව මාධ්‍යවල සඳහන් වුණා.

නැව මෙසේ එකම තැන රැඳී සිටින්නේ ශ්‍රී ලංකාව මෙම නැවට හම්බන්තොට වරායට පැමිණීම කල් දමන ලෙස කළ ඉල්ලීම ආපසු හරවන තෙක් විය හැකි බවට ඉන්දීය මාධ්‍ය සැක පහළ කරනවා. යුවාන් වැන්ග් 5 පර්යේෂණ නෞකාව 12 දා උදෑසන  වනවිට පැයට නාවික සැතපුම් 5.8 ක වේගයෙන් යාත්‍රා කරමිනුයි තිබුණේ.

 නැවේ අධි සංවේදී සන්නිවේදන උපකරණ – chinadaily.com.cn 

නැවේ තියෙන්නෙ මොනවද?

මේ නෞකාව අති නවීන තාක්ෂණයෙන් යුත් පර්යේෂණ නෞකාවක් බවයි පැවසෙන්නේ. එහි ස්ථානගත කර ඇති අති නවීන යන්ත්‍රෝපකරණ මගින් අන්තර් මහාද්වීපික බැලස්ටික් මිසයිල නිරීක්ෂණය කිරීමට පවා පුළුවන්. නෞකාවේ සිට එය වටා කිලෝමීටර් 750ක ප්‍රදේශයක් නිරීක්ෂණය කිරීමේ හැකියාව ද එයට පවතීනවා.

නෞකාවේ සිට එම කලාපය තුළ අභ්‍යවකාශයේ පිහිටි චන්ද්‍රිකා නිරීක්ෂණය කිරීමේ සහ පාලනය කිරීමේ හැකියාව ද සහිත යි. මේ නෞකාවේ පැමිණීම කලාපයේ ආරක්ෂාවට තර්ජනයක් බවයි ඉන්දියාව පවසන්නේ. එය ඔත්තු බැලීමේ නැවක් බවත් ඉන්දියාව පවසනවා. චීනය එයට පිළිතුරු සපයමින් සඳහන් කර ඇත්තේ නැවේ පැමිණීම හුදෙක් ඉන්දීය සාගර කලාපයේ සිදු කෙරෙන නීත්‍යනුකූල නාවික කටයුත්තක් පමණක් බව යි.

 නැවේ සමීප දසුනක්- – marinetraffic.com

ඉන්දියාවේ කනස්සල්ල

චීනයට අයත් යුවාන් වැං 5 නමැති පර්යේෂණ නෞකාව ඉදිරි දිනවල හම්බන්තොට වරායට සතියක කාලයකට පැමිණීම ඉන්දියාවේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා. ඉන්දියාව මේ නැව් ගමන ගැන තරමක් නොසන්සුන් වී ඇත්තේ මෙම නෞකාව ඔත්තු බැලීමේ හැකියාවෙන්ද යුතු, නවීන තාක්ෂණයෙන් සන්නද්ධ නෞකාවක් ලෙස සැලකෙන නිස යි.

නෞකාව හම්බන්තොට වරායට පැමිණෙන්නේ ඉන්ධන පුරවා ගැනීම වැනි කටයුතු සඳහා බව යි ශ්‍රී ලංකාවේ නිලධාරීන් සඳහන් කර ඇත්තේ. ඉන්දියාවේ කනස්සල්ල නැති කිරීමට එම ප්‍රකාශවලින් හැකිද යන්න සැකයක්. මේ සම්බන්ධයෙන් ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්දම් බාග්චි දින කිහිපයකට පෙර සඳහන් කර සිටියේ ‘ඉන්දියාවේ ආර්ථික වුවමනාවන්ට සහ ජාතික ආරක්ෂාවට බලපෑ හැකි සියලු සිදුවීම් ගැන’ එරට රජය දැඩි පරීක්ෂාවෙන් සිටින බව යි.

 නැව තැනූ ජියැන්ග්නන් නැව් තටාකාංගනය- xindemarinenews.com

ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශේෂඥයන් පවසා සිටින්නේ බලවත් කඳවුරු දෙකක් අතර ගැටලුවකට මැදි වූ ශ්‍රී ලංකාවට මෙම අර්බුදය හමුවේ තවත් ආර්ථික බලපෑමක් එල්ලවනු ඇති බව යි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කරන ණය ගනුදෙනු සාකච්ඡාවලට පවා එම සිද්ධිය බලපෑ හැකි බවට ආර්ථික විශ්ලේෂකයන් අනතුරු අඟවා තිබෙනවා.

ඉන්දියාව කළඹන නැව ඉදිරිපසින් – fleetmon.com

ඔත්තු බැලීමේ නැවක් ද?

මෙම නැව අභ්‍යවකාශය සහ චන්ද්‍රිකා ලුහුබැඳීමේ තාක්ෂණයෙන් සමන්විත යි. නෞකාවේ ගුවන් ප්‍රවේශය කිලෝමීටර 750කට වඩා වැඩි වන බවත් එම සීමාව තුළ ඉන්දියාව දක්වා භූමිය ගවේෂණයට ඉඩ ලැබෙන බවත් ඉන්දීය මාධ්‍ය සඳහන් කරනවා. ඒ අනුව දකුණු ඉන්දියාවේ කල්පක්කම්, කූඩන්කුලම් වැනි පරමාණුක පර්යේෂණ මධ්‍යස්ථානය ද ඉන් නිරීක්ෂණය කළ හැකි බවද පැවසෙනවා.

මෙම නැවට ශ්‍රී ලංකාවට සමීප ඉන්දීය ප්‍රාන්ත වන කේරළ, තමිල්නාඩු සහ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තවල වරායන් ද නිරීක්ෂණය කළ හැකි බවත් ඒ අනුව දකුණු ඉන්දියාවේ පිහිටි වරායන් 6 ක් පමණ චීනයේ අවධානයට ලක් වන බවත් ඉන්දීය මාධ්‍යවල පවසා තිබුණා. ඉන්දීය මාධ්‍ය තවදුරටත් පවසන්නේ මේ නැවට දකුණු ඉන්දියාව ආශ්‍රිතව ඇති වැදගත් මර්මස්ථානයන් පිළිබඳ තොරතුරු තම දත්ත පද්ධතිය ඔස්සේ රැස්කර ගත හැකි බව යි.

යුවාන් වැං 5 නමැති පර්යේෂණ නෞකා ගමන පිළිබඳ කාල රාමුව – economictimes.indiatimes.com 

 

චීනයේ විදේශ අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ චීනය සෑම විටම මහ මුහුදේ නිදහස නීත්‍යනුකූලව භාවිත කළ රටක් බව යි. නැවේ ගමන පිළිබඳ ව වෙනත් පාර්ශ්ව කලබල විය යුතු නැති බවයි බිජිං ආණ්ඩුව ප්‍රකාශ කර තිබෙන්නේ. ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රකාශක කර්නල් නලින් හෙරත් පැවසුවේ යුආන් වැන්ග් 5 නෞකාවට හම්බන්තොට වරායට පිවිස ඉන්ධන වැනි සේවා පහසුකම් ලබා ගැනීමට අනුමැතිය ලබා දී ඇති බව යි.

චීනයේ යුආන් වැංග් 05 නැමති පර්යේෂණ නෞකාවට අවසර ලබාදී ඇති පරිදි හම්බන්තොට වරායට ඇතුළුවීමට අවස්ථාව දියයුතු බව ස්වාධීන පක්ෂ එකමුතුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

මතුව ඇති තත්වය පිළිබඳ අවධානය යොමු කරන ලෙස අධිරාජ්‍ය විරෝධී සියලු දේශපාලන බලවේගයන්ගෙන් ඉල්ලා සිටින බවත්, අන් රටවල් සමඟ පවත්නා සබඳතා, ශ්‍රී ලංකා – චීන සබඳතාවලට හානි නොවන ආකාරයෙන් පවත්වා ගෙන යාම සඳහා ශ්‍රී ලංකා රජයට බලකරන බවත් ස්වාධීන පක්ෂ එකමුතුවේ නායකයන්ගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වනවා.

 යුවාන්ග් වැන්ග් සාගර ගමනක යෙදෙමින් – news84media.com

යුආන් වැන්ග් 5 පර්යේෂණ/සමීක්ෂණ යාත්‍රාව

යුආන් වැන්ග් 5 නෞකාව (YUAN WANG 5 (IMO: 9413054) 2007 දී චීනයේ තැනූ නැවක්. එය නිෂ්පාදනය කළේ ජියැන්ග්නන් නැව් තටාකාංගනය යි. එය චීනයේ ධජය යටතේ යාත්‍රා කරන පර්යේෂණ/සමීක්ෂණ යාත්‍රාවක් ලෙස යි ලියාපදිංචි කර ඇත්තේ. මෙම නැවත් චීනයේ යුවාන්ග් වැන්ග් පර්යේෂණ වැඩසටහනේ එක් නැවක් ලෙස සැලකෙනවා.

නැවේ ටොන් 11000 ක බරක් රැගෙන යා හැකි යි. නැව 222 ක් දිගින් යුක්ත වන අතර පළල මීටර් 25.2 ක්. නැවේ බර ටොන් 23000ක් වෙනවා. යුවාන් වැන්ග් -5 නැවේ 400ක කාර්ය මණ්ඩලයක් සිටිනවා. ඒ අතර පර්යේෂකයන් සහ විද්‍යාඥයන් ද වනවා.

චීනයේ අභ්‍යවකාශ යානා ලුහුබැඳීමේ නෞකාව ලෙස සඳහන් Yuan wang-5, එරටේ Long March-5B රොකට්ටුව දියත් කිරීම සඳහා සමුද්‍රීය ලුහුබැඳීම් සහ මිනුම් මෙහෙයුම් සඳහා ද මේ නැව යොදාගෙන තිබෙනවා.

 යුවාන්වැන්ග් 7 පර්යේෂණ නෞකාව -chinadaily.com.cn

 

2000 දශකයේ මුල් භාගයේ සිට චීනය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සාමාජික රාජ්‍යයක් ලෙස සම්බන්ධ වීමට උනන්දු වුණා. නමුත් බොහෝ වාරයක් චීනයේ සාමාජිකත්වය ප්‍රතික්ෂේප කිරීමකට ලක්වුණා. ඒ ඔවුන් ඒ සඳහා නුසුදුසු බවට ඉඟිකරමින්. එවැනි තත්ත්වයක් යටතේ යුවාන් වැන්ග් 5 වැනි ලුහුබැඳීමේ විද්‍යාත්මක පර්යේෂණ යාත්‍රාවක්, එරට අභ්‍යවකාශ වැඩසටහන් සඳහා ඉතා වැදගත් වන බවයි සඳහන් වන්නේ.

අමෙරිකාවේ පෙන්ටගනයේ වාර්ෂික වාර්තාව පවසන්නේ යුවාන් වැන්ග් පර්යේෂණ නැව් පන්තිය මෙහෙයවන්නේ මහජන විමුක්ති හමුදාවේ (පීඑල්ඒ) උපායමාර්ගික ආධාරක බළකාය විසින් බව යි. චීනය යුවාන්වැන්ග් 6 සහ 7 නමින් අභයවකාශ නිරීක්ෂණ නැව් ද පසුගිය වර්ෂවල දියත් කළා. ඒ අතරින් යුවාන්වැන්ග් 6 නැව 2020 දී පැසිපික්, අත්ලන්තික් සහ ඉන්දියන් සාගරවල ගවේෂණ චාරිකාවක් ද සිදුකළ බව චයිනා ඩේලි පුවත්පත පවසනවා.

කෙසේ වුවත් චීනයේ නවීන දියුණුව ගැන ලෝකයේ බොහෝ රටවල් බලා සිටින්නේ සැකසහිත කෝණයකින්. බටහිර රටවල් මෙන්ම ඉන්දියාව ද එසේ චීනය දෙස වපර ඇසින් බලන රටවල් අතර සිටිනවා. 

යුවාන් වැන්ග් 5 චීන පර්යේෂණ නෞකාව අගෝස්තු 16-22 දක්වා හම්බන්තොට වරායේ නැංගුරම් ලෑමට අවසර ලබා දුන් බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

යුවාන් වැන්ග් 5 නෞකාව අගෝස්තු 16 වෙනි දින හම්බන්තොට වරායට ළඟා විය හැකි බව චීන රජය විදේශ කටයුතු අමාත්‍යංශයට දැන්වූ බවත් ඉන්ධන සහ අනෙකුත් සැපයුම් ලබා ගැනීම සඳහා අගෝස්තු 16-22 වෙනි දින දක්වා හම්බන්තොට වාරයේ නැංගුරම් ලෑමට අවසර දෙන ලෙස විදේශ කටයුතු අමාත්‍යංශයෙන් ඉල්ලා සිටි බවත් එම නිවේදනයේ දැක්වෙනවා.

කවරයේ ඡායාරූපය- යුවාන් වැන්ග් චීන නැව - thehindu.com 

මූලාශ්‍ර:

reuters.com
bbc.com
lankadepa.lk

Related Articles