Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පැබ්ලෝ එස්කොබාර් ගේ පාපන්දු ක්‍රීඩා සමාජය: Atletico Nacional

පැබ්ලෝ එස්කොබාර් (Pablo Emilio Escobar Gaviria) යන නාමය කලක් ලොව පුරා ප්‍රකට ව තිබුණේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ලැයිස්තුවේ ඉහළිනි.  ඔහු  කොලොම්බියා මත්ද්‍රව්‍ය අධිරාජ්‍යය තුළ කලක් රජ කෙරූ අතර ම ලොව සිටි ප්‍රමුඛත ම මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් ලෙසින් ඔහු අදටත්  ප්‍රකට ය. කෙසේ වෙතත් ඔහුට පාපන්දු ක්‍රීඩා සමාජයක් හිමි වී තිබූ බවට ඔබ දැනුම්වත් නොමැතිනම් මේ කතාව ඔහුට හිමි වී තිබූ පාපන්දු ක්‍රීඩා සමාජය පිළිබඳව යි.

කොලොම්බියාව යනු දකුණු අමෙරිකානු කලාපීය රටකි එම කලාපයේ, පාපන්දු ක්‍රීඩාව ක්‍රීඩාවකටත් එහා ගිය ආගමක් ලෙසින් සලකා කටයුතු කරයි. මේ නිසාම දකුණු අමෙරිකානු කලාපය තුළ පාපන්දු ක්‍රීඩාවට විශේෂ තැනක් හිමි වෙයි. කලක් කොලොම්බියාවේ මත්ද්‍රව්‍ය ජාවාරමේ රජු ලෙසින් වැජඹුණු පුද්ගලයා ලෙසට පැබ්ලෝ එස්කොබාර් හඳුන්වා දිය හැකි ය. ඔහුට අයත් ව තිබූ පාපන්දු ක්‍රීඩා සමාජය වූයේ Atletico Nacional ක්‍රීඩා සමාජය යි.

කොලොම්බියා මත්ද්‍රව්‍ය ජාවාරම් වල යුගයක් රජ කළ පබ්ලෝ එස්කොබාර්  Image - www.Britannica.com
කොලොම්බියා මත්ද්‍රව්‍ය ජාවාරම් වල යුගයක් රජ කළ පබ්ලෝ එස්කොබාර් –  www.thefamouspeople.com 

පාපන්දු ලෝලියෙක් වූ පැබ්ලෝ

වෙනත් කොලොම්බියානුවන් මෙන්ම පැබ්ලෝ ද පාපන්දු ලෝලියෙක් විය. ඔහු තම ජාවාරම් සිදු කළේ කොලොම්බියාවේ මෙඩලීන් නගර කේන්ද්‍ර කරගෙන ය. ඔහුට අයත් ව තිබූ මත්ද්‍රව්‍ය ජාවාරම් කණ්ඩායම මෙඩලීන් කාටෙලය ලෙසින් කොලොම්බියාවේ පමණක් නොව ලොව පුරා ම ජනප්‍රිය විය. එස්කොබාර් තමන් මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයා ගන්නා මුදල් ආයෝජනය කිරීමට පාපන්දු ක්‍රීඩාව තෝරා ගත්තේ ය. මෙහිදී එස්කොබාර් තෝරා ගත් පාපන්දු ක්‍රීඩා සමාජය වූයේ තම උපන් නගරය වූ මෙඩලීනයේ ක්‍රියාත්මක වූ Atletico Nacional ක්‍රීඩා සමාජය යි.

පැබ්ලෝ Atletico Nacional කණ්ඩායම වෙනුවෙන්  දැවැන්ත මුදල් කන්දරාවක් වැය කළේ ය. 1980 දශකයේ මුල භාගයේ දී පැබ්ලෝ ඔවුන් සමඟින් එක් වූ බව වාර්තා වේ. එතැන් පටන් Atletico Nacional ක්‍රීඩකයන්ට විශාල වශයෙන් ගෙවීම් සිදු කිරීමට ඔහු පසුබට වූයේ නැත. ජයග්‍රහණය කළ යුතු ම තරගයක් ජයග්‍රහණය කළ විට තම කණ්ඩායමේ ක්‍රීඩකයකුට ඩොලර් 8000 ක පමණ විශේෂ දීමනාවක් ලබා දීමට ද පැබ්ලෝ කටයුතු කළේ ය. එකල ලබා දුන් එම දීමනාව කොලොම්බියාවේ වෙනත් පාපන්දු ක්‍රීඩා සමාජවල ක්‍රීඩා කළ ක්‍රීඩකයන් වසරකට ලබාගන්නා ආදායමත් ඉක්මවා ගිය මුදලකි.

“The scorpion” හෙවත් ගෝනුස්සා ලෙසින් අන්වර්ත නාම ලද එකල කොලොම්බියා ජාතික කණ්ඩායමේ මෙන්ම Atletico Nacional කණ්ඩායමේද දැල් රකින්නා වූ Rene Higuita – www.imdb.com

තරු රැසක් Nacional සමඟ

මේ හේතුව නිසා කොලොම්බියාවේ සිටිනා ප්‍රකට ක්‍රීඩකයෝ රැසක් Atletico Nacional කණ්ඩායම සමඟ එක් වීමට තරගයක යෙදුණහ. කොලොම්බියාවෙන් පිටත ද සිටිනා සුපිරි ක්‍රීඩකයන් රැසක් ද කණ්ඩායම සමඟින් එක් වීමට උනන්දුවෙන් පසු විය. මේ හේතුව නිසා 1980 දශකයේ අග භාගය වන විට දී දකුණු අමෙරිකානු කලාපයේ සුපිරිත ම පාපන්දු කණ්ඩායම ඔවුන් සතු විය.

දැල් රකින්නා ලෙසින් කටයුතු කළේ ප්‍රකට කොලොම්බියා දැල් රකින්නා වූ Rene Higuita ය. පසුපෙළ ක්‍රීඩකයන් ලෙසින් Andres Escobar  වැනි දැවැන්තයන් කටයුතු කළ අතර කණ්ඩායමේ නායකයා වූයේ Alexis Garcia ය. මැද පෙළට කොලොම්බියාව වෙනුවෙන් ජාතික කණ්ඩායම නියෝජනය කරමින් තරග 100 කට වඩා සහභාගී වූ Leonel Alvarez ද ක්‍රීඩා කළේ ය. Atletico Nacional හි ඉදිරි පෙළ පෙරමුණේ ක්‍රීඩා කළේ විශිෂ්ට ගෝල රැස් කරන්නෙක් වූ John Jario Trellez ය. 1989 වන විට Atletico Nacional වෙනුවෙන් තරග ආරම්භ කළ ක්‍රීඩකයන් 11 න් 10ක් ම කොලොම්බියා ජාතික කණ්ඩායමේ සාමාජිකයන් විය.

මේ හේතුව නිසා ම 1980 දශකයේ අග භාගයේ සිට 1990 දශකයේ මුල භාගය දක්වා Atletico Nacional කණ්ඩායම ස්වර්ණමය යුගයක් පසු කළේ ය. ඔවුන්  1991 වසරේ දී Categoria Premier A කොලොම්බියා ශූරයන් වූ අතර 1988 සහ 1990 වසරේ එහි අනුශූරයන් විය. Atletico Nacional කණ්ඩායමේ වඩාත් සුවිශේෂී වසර බවට පත් වූයේ 1989 වසර ය.

ස්වර්ණමය 1989!

ඔවුන් 1989 වර්ෂයේ දී Intercontinental කුසලානයේ අනු ශූරතාව දිනා ගත් අතර Copa Interamericana හි ශූරතාව දිනා ගැනීමට සමත් විය. මීට අමතර ව දකුණු අමෙරිකානු පාපන්දු ක්‍රීඩා සමාජයක සිහින කුසලානය සහ ලබා ගත හැකි ඉහළත ම කුසලානය වන Copa Libertadores කුසලානය 1989 වර්ෂයේ දී ජයග්‍රහණය කිරීමට ද Atletico Nacional කණ්ඩායම සමත් විය. 1990 වර්ෂයේ Copa Sudamericana කුසලානයේ අනු ශූරතාව ද ඔවුන්ට හිමි විය. 

1989 වසරේ Copa Libertadores ශූරතාවය ජයග්‍රහණය කළ Atletico Nacional කණ්ඩායම Image - www.besoccer.com
1989 වසරේ Copa Libertadores ශූරතාව ජයග්‍රහණය කළ Atletico Nacional කණ්ඩායම – www.besoccer.com

1990 දශකයේ මුල් භාගයේදී ම පැබ්ලෝ එස්කොබාර් ගේ ආධිපත්‍යය බිඳ වැටුණ අතර මේ හේතුව නිසා ඔහුගේ පාපන්දු ක්‍රීඩා සමාජ වෙත මුදල් පොම්ප කිරීම ද නවතා දැමීමට සිදු විය. ඔහු Atletico Nacional ක්‍රීඩා සමාජය අතහැර දැමූ කාල සීමාව පිළිබඳ නිල වශයෙන් සඳහන් වන්නේ නැත. කෙසේ වෙතත් 1991 වර්ෂයෙන් පසු ඔහුට පාපන්දු සමඟින් මුහු වන්නට හැකියාවක් නොතිබූ බව ඇතැම් වෙබ් අඩවි පෙන්වා දෙයි. පැබ්ලෝ එස්කොබාර් 1993 වර්ෂයේ දී ඝාතනය කෙරිණි.

වසර 27 ක ඉඩෝරය නිමා කිරීම

පැබ්ලෝගේ නික්ම යාමෙන් අනතුරු ව කණ්ඩායම පෙර පරිදි තරු රැසකින් සමන්විත නොවුණ ද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක විය.  කොලොම්බියාව තුළ සිටින ප්‍රබලත ම ක්‍රීඩා සමාජය තමන් බව වරක් දෙවරක් සටහන් කිරීමට ඔවුන්ට හැකි වුව ද 1989 වසරෙන් අනතුරු ව Atletico Nacionalට දකුණු අමෙරිකාවේ පාපන්දු බලවතා තමන් බවට පෙන්වීමට හැකියාව ලැබුණේ නැත. වසර 27 කට පසු මෙම දකුණු අමෙරිකානු ශූරතා ඉඩෝරය නිමා කර ගැනීමට ඔවුන් හට හැකි විය. ඒ 2016 වර්ෂයේදී ය. 

වසර 27 කට පසුව Copa Libertadores ශූරතාවය 2016 දී Atletico Nacional විසින් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව  Image - www.eltiempo.com
වසර 27 කට පසුව Copa Libertadores ශූරතාව 2016 දී Atletico Nacional ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව – www.eltiempo.com

එහිදී දකුණු අමෙරිකානු පාපන්දු සිහින කිරුළ වන Copa Libertadores ශූරතාව නැවත වතාවක් Atletico Nacionalට හිමි විය. ඒ පැබ්ලෝ එස්කොබාර් ගේ යුගයෙන් අනතුරු ව ඔවුන් Copa Libertadores ශූරතාව ජයග්‍රහණය කළ ප්‍රථම මෙන් ම එක ම අවස්ථාව වීම ද විශේෂත්වයකි. අද වන විටත් කොලොම්බියාවේ මෙඩලීනය කේන්ද්‍ර කරගෙන Atletico Nacional පාපන්දු ක්‍රීඩා සමාජය ක්‍රියාත්මක වෙයි. එදා මෙන් ම වර්තමානයේදීත් දකුණු අමෙරිකානු පාපන්දුව හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ මුදල් ගහට පොත්ත මෙන් බැඳී ඇති බවට බොහොමයක් දෙනා පෙන්වා දෙන කරුණකි.

කවරයේ ඡායාරූපය - පබ්ලෝ එස්කොබාර් ගේ පාපන්දු ක්‍රීඩා සමාජය - www.howtheyplay.com

මූලාශ්‍ර:

www.fotbomb.com

www.footballparadise.com

www.dailystar.co.uk

Related Articles