පසුගිය දා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත කාගේත් කථා බහට ලක් වූ පනතකි. මෙම අයිතිය අප කාගේත් සවන්වලට ආගන්තුක විය; එය කථා බහේදී පවා නුහුරු වදනක් විය. කාලයාගේ ඇවෑමත් සමඟ මෙම අයිතිවාසිකම පිළිබඳව මහජනතාව අතර උනන්දුව වර්ධනය වී තිබේ. මෙතෙක් ශ්‍රී ලාංකික නීතිය යටතේ මූලික අයිතිවාසිකමක් ව නොතිබූ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම මේ වන විට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ 14 වගන්තියෙහි අ. (1) කොටසට ද ඇතුළත් කොට ඇත.

මීට අමතරව, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත හා සබැඳි විශේෂ චක්‍රලේඛ කිහිපයක් ද සිංහල, ඉංග්‍රීසි සහ දමිල යන භාෂා ත්‍රිත්වයෙන්ම පසුගිය වසරේ අවසාන භාගය තුළ නිකුත් කරන ලදී. මේ ලිපිය ලියැවෙනුයේ එම පනත පිළිබඳව විස්තර කිරීමට පමණක් නොව, වගකිව යුතු පුරවැසියන් වශයෙන් තොරතුරු අප විසින් ලබා ගතයුත්තේ ඇයි ද යන්න පහදා දීමටයි.

(www.dailymirror.lk)

තොරතුරු දැනගැනීමේ වැදගත්කම.

තොරතුරු ලබා ගැනීමෙහි වැදගත්කම මූලිකවම කොටස් දෙකක් යටතේ දැක්විය හැක. මූලිකවම ගත් කල, තොරතුරු ලබා ගැනීම වැදගත් වන්නේ අන් කවරක් නිසාවත් නොව, එලෙස ජනතාවට තොරතුරු ලබා ගැනීමට ඇති හැකියාව නිසාවෙන්මය. එනම්, එහි ඇති නෛසර්ගික වැදගත් කම (Intrinsic value) නිසාවෙනි. දෙවනුව,  තොරතුරු ලබා ගැනීම හරහා ලඟා කරගත හැකි වෙනත් අරමුණු හේතු කොට ගෙන අපට තොරතුරු ලබා ගැනීමේ පරායත්ත වැදගත්කම (Extrinsic value) පෙන්වා දිය හැකි ය.  එහි අර්ථය එම තතු හරහා ඉටු කරගත හැකි ද්විතීයික අරමුණු යන්න වේ.

තොරතුරු දැනගැනීම රටක මහජනතාවගේ අයිතියකි. ඊට හේතුව අන් කවරක්වත් නොව, මහජන නියෝජිතයින් පත් වන්නේ අපගේම වටිනා ඡන්දයෙන් බැවිනි. අප විසින් ඔවුන් පත් කරනු ලැබූයේ අප වෙනුවෙන් රට පාලනය කිරීම උදෙසා ය. මෙය සමාජ සම්මුති වාදය හෙවත් Social Contract Theory නම් වේ. පාලකයින් හා ජනතාව අතර ඇත්තේ ගිවිසුමක ස්වරූපයෙන් යුතු සබඳතාවයකි. පාලකයින් අප වෙනුවෙන් තීරණ ගනිති; රට පාලනය කරති; පරිපාලනයෙහි යෙදෙති. ඔවුන්ට ඒ සඳහා අවසරය ලබා දී ඇත්තේ අප විසින් ය. එබැවින් පාලකයෝ සෑම විටම තමා ගන්නා තීරණ සඳහා පිළිතුරු සැපයීමට මෙන්ම එම තීරණ සාධාරණීකරණය කිරීමට ද නෛතිකව බැඳී සිටිති.

එබැවින් අප විසින් සෑම විටම මතකයෙහි රඳවා ගත යුතු කරුණක් වන්නේ රජයක් විසින් ගන්නා ඕනෑම තීන්දුවක් සම්බන්ධයෙන් පවත්නා ඕනෑම ගැටළුවක් නිරාකරණය කරගැනීම පිණිස අදාළ තොරතුරු ලබා ගැනීමට අපට ඒකමතික අයිතියක් පවතින බවයි. එවැනි අයිතිවාසිකමක පැවැත්ම වග කිව යුතු ජනතාවක් වශයෙන් අප වටහා ගත යුතු බව පුන පුනා පැවසිය යුත්තේ එබැවිනි.

විශේෂයෙන්ම, දියුණු වෙමින් පවත්නා රටවල් තුළ යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම රාජ්‍ය පරිපාලන කටයුතුවල විනිවිද භාවය යනාදිය වඩ වඩාත් තහවුරු කරගැනීමෙහි ලා මෙම නීතිය ඉතා වැදගත් කමක් දරනා බව නිසඟයෙන්ම පැවසිය යුත්තකි. විශේෂයෙන්ම ඉන්දියාව තුළ මෙම නීතිය බලාත්මක කළ පසුව එරට තුළ රාජ්‍ය පාලනය, පරිපාලනය මෙන්ම ආණ්ඩුකරණ කටයුතු කෙරෙහි ජනතා අවධානය මෙන්ම ජනතා මැදිහත් වීම වැනි අංශවල ද ඉතා ඉක්මන් දියුණුවක් දක්නට ලැබුණු බව එරට නීති විශාරදයින් පෙන්වා දී ඇත.

අපට හිමි තැන කොතැන ද?

අප පුරුදු වී ඇති රටාව නම්, පාලකයින් කුමන තීරණයකට එළැඹුණද ඒවා නිහඬව පිළිගැනීමටයි. නමුත් තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත මගින් අපට ඕනෑම රාජ්‍ය තීරණයක් ගැන ප්‍රශ්න කිරීමේ අයිතිවාසිකම හිමි වේ. මේ හා බැඳි විශේෂතම කරුණ වන්නේ, අප විසින් ඉල්ලා සිටින තොරතුරක් ලබා ගැනීම උදෙසා අප හේතු දැක්වීම අනවශ්‍ය වීමයි. එනම් අප යම් රාජ්‍ය ආයතනයකින් තොරතුරු ඉල්ලා සිටින අවස්ථාවක අප ඊට හේතු දැක්විය යුතු නැත. යම් රාජ්‍ය නිලධාරියකුගේ පත්වීම පිළිබඳව, ඔහු හෝ ඇය එම තනතුරට පත්වීම සඳහා සුදුසු වන අධ්‍යාපන සුදුසුකම් සපුරා තිබෙන්නේ ද යන්න පිළිබඳ තොරතුරු පමණක් නොව, රාජ්‍ය නිලධාරීන්ගේ මාසික වැටුප් සහ දීමනා පිළිබඳ තොරතුරු පවා ඔබට ඉල්ලා සිටිය හැක.

මින් මතු දිනෙක ඔබ යම් තොරතුරක් ලබා ගැනීම සඳහා යම් රාජ්‍ය ආයතනයකට ගොඩ වූ පසු, එහි නිලධාරීන් ඔබෙන් එම ඉල්ලීම සඳහා හේතු ඉල්ලා සිටියහොත්, ඒ සඳහා පිළිතුරු සැපයීමට ඔබ බැඳී නැති බව ඔවුන්ට පහදා දෙන්න. නීතිය එයයි. නමුත් මෙහිදී ඉස්මතු කළ යුතු තවත් වැදගත් කරුණක් වන්නේ, ඔබට යම් කිසි පුද්ගලයෙකුගේ ජීවිතයට හෝ නිදහසට බාධාවක් වීම වැළැක්වීම අරමුණු කොට ගෙන ඔබ විසින් ඉතා ඉක්මණින් මෙම තොරතුරු ලබා ගැනීම සඳහා ඉල්ලීමක් කරනුයේ නම් පමණක්, ඔබ ඊට හේතු සාධක දැක්විය යුතු වන බවයි. එවිට ඔබට පැය 48 ක කාලයක් ඇතුළත එම තොරතුරු ලබා දීමට එම ආයතන බැඳී සිටී.

(www.dailymirror.lk)

තොරතුරු ලබාගැනීම වැළැක්විය හැකි අවස්ථා අතර

අප කවුරුත් දන්නා පරිදි රාජ්‍ය ආරක්ෂාව කෙරෙහි බල පවත්නා තොරතුරු මහජනතාවට හෙළි කිරීමට රජයට වගකීමක් නොපැවතීම ප්‍රධාන වේ. නමුත් එවැනි අවස්ථාවකදී ඒ සඳහා හේතු දැක්වීමක් අදාළ රාජ්‍ය ආයතනය විසින් සැපයිය යුතු වේ. එමෙන්ම, යම් රාජ්‍ය ආයතනයක් විසින් යම් පුද්ගලයකුගේ හෝ ආයතනයක තොරතුරු භාරයක ස්වභාවයෙන් දරන්නේ නම් (උදා- මහා භාරකාර දෙපාර්තමේන්තුව) එවැනි අවස්ථාවකදී තොරතුරු ලබා ගැනීමට නොහැකියාවක් පැන නැගිය හැක. එවැනි විශේෂිත අවස්ථාවන් කිහිපයකදී හැර, තොරතුරු ලබා ගැනීම සඳහා බාධාවක් නැත.

(samsn.ifj.org)

තොරතුරු සුරැකීම.

නව පනත ප්‍රකාරව, නව තොරතුරු සියල්ලක්ම වසර 12 දක්වා ගබඩා කොට තැබිය යුතු අතර, පනත සම්මත වීමට පෙර පැවති තොරතුරු සියල්ලක්ම වසර 10ක කාලයක් ගත වන තුරු ආරක්ෂා කොට තැබිය යුතු ය. බොහෝ දෙනා මේ පිළිබඳව දරන මතය නම් සියළුම තතු ඩිජිටල්කරණය කොට පරිගණකගත කළ යුතු බවයි. නමුත් පසුගිය කාලයේදී මුළු ලෝකයේම අවධානයට ලක් වූ සයිබර් ප්‍රහාර මාලාව වැනි කාරණා සැළකූ විට තොරතුරු ඩිජිටල්කරණය කිරීමද තරමක අවදානමක් සහිත ක්‍රියාවක් බවට පත් ව ඇත.

නමුත් අනෙක් අතට, ලිපි ගොනු ආදිය දශකයකට අධික කාලයක් ගබඩා කොට තැබීම ද ගැටළු සහගත ය. මේ සඳහා පවතින එකම විසඳුම නම් තොරතුරු කළමණාකරණය කොට ගබඩා කිරීමයි. ඒ සඳහා අවශ්‍ය නිසි පියවර හැකි ඉක්මණින් ක්‍රියාත්මක කිරීම රජයේ වගකීමකි. එමෙන්ම, අවශ්‍ය පුද්ගලයින් සඳහා මෙම තොරතුරු බ්‍රේල් ක්‍රමයෙන් ලබාදීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කිරීම වැනි ක්‍රියාමාර්ග කෙරෙහි අදාල වග කිවයුතු පාර්ශවයන්ගේ අවධානය යොමු වන්නේ නම් මැනවි.

කවරයේ ඡායාරූපය – www.science20.com

මූලාශ්‍ර : 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ඇසුරිණි.