Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

 2022දී සිදු කළ සුවිශේෂී ම ගවේෂණ සහ සොයාගැනීම් 3 ක් 

2022 වසර ලොව ඉතාමත් වැදගත් සිද්ධි සිදුවුණු වසරක් හැටියට ඉතිහාසගත වී තිබෙනවා. මේ වසරේදී ලොව සිදු වූ සමහර සිදුවීම්, මීට පෙර සිදු නොවූ විරූ සිදුවීම් වීම ඊට හේතුව යි. මේ අතර ඉතාම සුවිශේෂී සොයාගැනීම් සහ ගවේෂණ කිහිපයකුත් වුණා.

මේ ලිපිය වෙන් වන්නේ එලෙස 2022 වසරේ සිදු කළ සුවිශේෂී ම ගවේෂණ සහ සොයාගැනීම් 3 ක් වෙනුවෙනු යි.

1.විලෙන්ඩෝෆ් හි වීනස් ප්‍රතිමාවේ නිජබිම සොයා ගැනෙයි

‘වීනස් ඔෆ් විලෙන්ඩෝෆ්’ හෙවත් විලෙන්ඩෝෆ් හි වීනස් යන නම පටබැඳී තිබෙන්නේ අඟල් 4.4ක් පමණ දිගකින් යුක්ත ඉපැරණි හුණුගල් ප්‍රතිමාවකට යි. කාන්තාවකගේ ස්වරූපයෙන් නිමවා ඇති මෙය, ආසන්න වශයෙන් වසර 30,000 ක් පමණ පැරණි යැයි විශ්වාස කෙරෙනවා.

මේ ප්‍රතිමාව සොයාගැනුණේ ඔස්ට්‍රියාවේ විලෙන්ඩෝෆ් පෙදෙසිනු යි. මෙය සොයාගත් දා පටන්, මේ පිළිබඳව පර්යේෂණ රාශියක් සිදුකෙරුණු අතර, පසුගිය වසරේ, වියානා විශ්වවිද්‍යාලයේ විද්‍යාඥ කණ්ඩායමක් සිදුකළ පර්යේෂණයකින් හෙළිවූයේ මෙහි නිජභූමිය ඇත්තෙන්ම ඔස්ට්‍රියාව නොවන බව යි. 

‘වීනස් ඔෆ් විලෙන්ඩෝෆ්’ හෙවත් විලෙන්ඩෝෆ් හි වීනස් – mymodernmet.com

අධි විභේධිත ස්කෑන් පර්යේෂණවලින්, මේ ප්‍රතිමාවේ තැන්පත් ව තිබුණු මඩ සහ පස් අංශු මෙන් ම, එය නිර්මිත හුණුගල් තට්ටුව ද නිරීක්ෂණය කෙරුණු අතර, එයින් හෙළි ව ඇත්තේ, මේ ප්‍රතිමාව නිර්මිත හුණුගල බොහෝ විට ඉතාලියේ ගර්ඩා විල අසල පිහිටි හුණුගල් ස්ථරයකින් ලබා ගත් එකක් විය හැකි බව යි. එම ප්‍රදේශය, මෙම ප්‍රතිමාව හමු වූ විලෙන්ඩෝෆ් හී සිට කිලෝමීටර සිය ගණනක් ඈතින් පිහිටා තිබෙනවා.

අයිස් යුගයේ දී මිනිසුන්ගේ ඇවතුම් පැවතුම්

මෙම හුණුගලට යම් සමානකම් දක්වන හුණුගල් යුක්‍රේනයෙන් ද හමු ව ඇති නමුත්, විද්‍යාඥයන් පවසන්නේ, වැඩි සම්භාවිතාවක් තිබෙන්නේ එය ඉතාලියේ පෙර සඳහන් කළ පෙදෙසින් ලබා ගත් හුණුගල් වීමට වැඩිපුර ඉඩ ඇති බව යි.

මේ සොයා ගැනීමත් සමඟ මීට වසර 30,000 කට පෙර, අයිස් යුගයේ දී මිනිසුන්ගේ ඇවතුම් පැවතුම් ගැන පෙර නොවූ විරූ යමක් කියවෙන බැව් විද්වතුන් ප්‍රකාශ කරනවා. මේ අනුව පෙනී යන්නේ, ඒ යුගයේදී මිනිසුන් තමන් කලින් සිතා සිටියාට වඩා වැඩි දුරක් ගමන් කර ඇති බව යැයි ඔවුන් පවසනවා. මින් සමහරක් වසර ගණනාවක් දිගු ගමන් වෙන්නට ඇති බවත්, විලෙන්ඩෝෆ් හි වීනස් ප්‍රතිමාව එවැනි ගමනක් අතරතුර නිමවන්නට ඇති බවත් ඔවුන්ගේ මතය යි.

එකල ජීවත් වූ, ආම්පන්න භාවිත කළ සමහර මිනිස් ප්‍රජාවන්, වාසයට සුදුසු තැන් සොයමින් තැනින් තැනට ගමන් කරන්නට ඇති බැව් වියානා විශ්වවිද්‍යාලයේ, පරිනාමික මානව විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ගර්හාඩ් වෙබර් පවසනවා. ඔහු මේ පර්යේෂණවලට මූලිකත්වය ගත් තැනැත්තා යි. ඔහු පවසන පරිදි දේශගුණය සහ දඩයම් කරමින් ලබාගත හැකි ආහාරවල තත්ත්වය වෙනස් වූ විට දීර්ඝ ගංගාවල නිම්න ඔස්සේ එකල මිනිසුන් ගමන් කර තිබෙනවා. එහිදී, සිය විඩාව සංසිඳුවා ගන්නට මෙවැනි අත්කම්වල ඔවුන් නිරත වී ඇති බව ඔහුගේ මතය යි.

2. ආසියාතිකයන්ට අමෙරිකාවට එන්නට හරස් වූ අයිස් තාප්පය

මිනිසුන් ආසියාවේ සිට අමෙරිකාවට මුලින් ම සංක්‍රමණය වූයේ කෙසේද යන්න යන පැනයට පිළිතුර ලෙස බොහෝ කාලයක් විද්‍යාඥයන් විශ්වාස කළේ ඔවුන් බීරිං සමුද්‍රසන්ධිය ඔස්සේ පා ගමනින් එසේ කළ බව යි. මීට වසර දහස් ගණනකට පෙර ඇලෙස්කාව සහ රුසියාව යා කරමින්, බීරිං සමුද්‍රසන්ධිය ඔස්සේ පටි බිම් තීරුවක් තිබුණු බව හෙළි වී ඇති අතර, විද්‍යාඥයන් විශ්වාස කළේ ආදී මිනිසුන් මෙය ඔස්සේ මහාද්වීප දෙක අතර සංක්‍රමණය වෙන්නට ඇති බව යි.

කෙසේ නමුත්, නවතම පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ, එම්පයර් ස්ටේට් ගොඩනැඟිල්ලටත් වඩා උස අයිස් කන්දකින් ඔවුන්ගේ ගමන අවහිර වන්නට ඇති බව යි.

බීරින්ජියා අයිස් තාප්පය – National Oceanic and Atmospheric Association

‘බීරින්ජියා අයිස් තාප්පය’ ලෙස හැඳින්වෙන මෙය මීට වසර 13,800 කට පමණ පෙර දිය ව ගොස් ඇති අතර, උතුරු ඇමෙරිකානු මහාද්වීපය තුළ ඊට වඩා පැරණි මානව සාක්ෂි හමුවී ඇති බැවින්, මුලින් ම මිනිසුන් අමෙරිකාවට සංක්‍රමණය වූයේ එලෙස නොවන බව ඔරිගන් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ ඉතිහාසය සහ භූගර්භ විද්‍යාව පිළිවඳ මහාචාර්ය ජෝර්ජි ක්ලාක් පවස්නවා. ඔහුට අනුව ඔවුන් එලෙස පැමිණ ඇත්තේ වෙනත් ක්‍රමයකින්.

‘බීරින්ජියා අයිස් තාප්පය’

ක්ලාක් සහ ඔහුගේ කණ්ඩායම සිදු කළ පර්යේෂණවලට අනුව මේ අයිස් තාප්පය අඩි 1500 සිට 3000 ක තරම් උසකට විහිදී තිබී තිබෙනවා. මේ නිසා එකල තිබූ ප්‍රාථමික මෙවලම් සමඟ කිසි ලෙසකින් මිනිසුන් හට මෙය තරණය කළ නොහැකි බැව් ඔහුගේ මතය යි.

උතුරු අමෙරිකාවෙන් වසර 23,000 ක් තරම් ඉපැරණි මානව අවශේෂත් හමු වී තිබෙනවා. ඒ අනුව ඔහුගේ මතය වන්නේ බෝට්ටුවක් වැනි දෙයක් ආධාරයෙන් මෙලෙස ආදීතමයන් අමෙරිකාවට ගොඩ බැස ඇති බව යි.

ඔහුගේ මේ මතය සමහර විද්වතුන් විශ්වාස කරන්නේ නැහැ. ඔවුන්ගේ මතය වෙන්නේ, මෙම අයිස් තාප්පය කෙමෙන් කෙමෙන් වර්ධනය වන්නට ඇති බව සහ මිනිසුන් අමෙරිකාවට පළමුවෙන්ම සංක්‍රමණය වූ සමයේ එය අඩි කිහිපයක් පමණක් උස අයිස් තාප්පයක් වනට ඇති බව යි. මේ නිසා මිනිසුන් පහසුවෙන් ම බීරිං සමුද්‍රසන්ධිය ඔස්සේ  අමෙරිකාවට සංක්‍රමණය වන්නට ඇති බැව් ඔවුන් පවසනවා.

3. මොන්ටානාවෙන් හමු වූ ‘මළ මුහුදේ ලියැවිල්ල’

2022 වසරේ දී, ඊශ්‍රායලයේ ‘පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත දෑ’ පිළිබඳව වූ අධිකාරිය ඉතාමත් වටිනා, ඉපැරණි ලියැවිල්ලක කොටසක් සොයා ගත්තා. මෙය මළ මුහුද ආශ්‍රිත ඉපැරණි ශිෂ්ටාචාරයකට අයත් එකක් වන අතර, එය හමුවූයේ කිසි ලෙසකින් බලාපොරොත්තු නොවන ස්ථානයකින් වීම සුවිශේෂී වෙනවා.

වසර 2700 ක් පැරණි මේ ලියවිලි කැබැල්ල, මොන්ටානාහි විසූ අමෙරිකානු කාන්තාවක් තමන් සන්තකයේ තබාගෙන තිබෙනවා. මෙය වසර 60 ක පමණ කාලයක් ඇය සතු ව තිබී ඇති බවට පැවසෙනවා.

මළ මුහුද ආශ්‍රිත ලියකියවිලි – Israel Antiquities Authority/Facebook

සිය නම් ගම් හෙළි නොකළ මෙම පවුලේ සාමාජිකයන් විශ්වාස කරන්නේ, මේ කාන්තාව 1965 වසරේ ඊශ්‍රායලයට සංචාරයක් ගිය අවස්ථාවක මේ ලියැවිලි කැබැල්ල රැගෙන එන්නට ඇති බව යි. එහිදී ඇය මළ මුහුද ආශ්‍රිත කැණීම් කටයුතු කළ කිහිප දෙනෙක් සමඟ කටයුතු කර ඇති බවත්, කෙසේ හෝ ඒ අයකු අතින් ඇයට මෙය ලැබෙන්නට ඇති බවත් ඔවුන් විශ්වාස කරනවා.

මළ මුහුද ආශ්‍රිත ලියකියවිලි

ඇය සතුව ඇති මේ ලියැවිලි කැබැල්ල වන්නේ මේ තරම් පැරණි කාල සමයකට අයත් ‘මළ මුහුද ආශ්‍රිත ලියකියවිලි’ ලෝකයේ ම ඇත්තේ තවත් දෙකක් පමණක් වීම නිසා යි. මේ ලියැවිල්ලේ අර්ධ ලෙස සටහන් වූ පණිවිඩයක් ඇති බවත් ඔවුන් සොයා ගෙන තිබෙනවා. ඔවුන් පවසන්නේ මෙය විශාල පණිවිඩයක කොටසක් බව යි.

ඊශ්‍රායලයේ බෙන් ගූරියන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ෂ්මුවෙල් අහිටුව් පවසන්නේ මේ ඉපැරණි ලියැවිල්ලේ වර්තමාන ලියැවිලිවලට සමාන ලක්ෂණ රාශියක් ඇති බව යි.

මෙම ලියැවිල්ල මේ කාන්තාවගේ පවුලේ අය ඊශ්‍රායලයට ප්‍රදානය කොට තිබෙනවා.

කවරයේ ඡායාරූපය - 'වීනස් ඔෆ් විලෙන්ඩෝෆ්' හෙවත් විලෙන්ඩෝෆ් හි වීනස් - Discover Magazine 
මූලාශ්‍ර:
Allthatsinteresting.com
Livescience.com
edition.cnn.com

Related Articles