Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

“2018 වසරේ මිනිසා” – සත්‍ය වෙනුවෙන් සටන් කරන මාධ්‍යවේදීන්

ටයිම් සඟරාව විසින් පසුගිය දිනෙක 2018 වසරේ මිනිසා (person of the year) ලෙස මාධ්‍යවේදීන් කණ්ඩායමක් ම නම් කරනවා. එම මාධ්‍යවේදීන් කණ්ඩායම නම් කර තිබෙන්නේ The Guardians (රැකවල්ලු හෙවත් ආරක්ෂකයින්) නමින්.

මෙම මාධ්‍යවේදීන්ගේ විශේෂත්වය ලෙස සත්‍ය වෙනුවෙන් නොබිය ව ඉදිරියට ගොස් සටන් කිරීම බව ටයිම් සඟරාව විසින් සඳහන් කර තිබෙනවා. ටයිම් සඟරාව කවර හතරක් ඔවුන්ගේ පින්තූරවලින් සරසා තිබෙනවා.

තුර්කියේ ඉස්තාන්බුල් නගරයේ සෞදි කොන්සාල් කාර්යාලයේ දී ඝාතනය වූ ඇමෙරිකානු “වොෂින්ටන් පොස්ට්” පුවත්පතේ මාධ්‍යවේදී ජමාල් කෂෝගි වෙනුවෙන් එක් කවරයක් ද, ඇමෙරිකා එක්සත් ජනපදයේ “ද කැපිටල්” පුවත්පතේ කාර්ය මණ්ඩලය තවත් කවරයක් ද, මියන්මාර රෝහින්ජා සංහාරය වෙනුවෙන් පෙනී සිට සිරගත ව සිටින “රොයිටර්” මාධ්‍යවේදීන් දෙදෙනාගේ පින්තූර රැගෙන සිටින ඔවුන්ගේ බිරින්දෑවරු දෙදෙනාගේ කවරයක් හා පිලිපීනයේ “රැෆලර්” වෙබ් අඩවියේ ප්‍රධානී, පිලිපීන මාධ්‍යවේදිනී මරියා රෙස්සා වෙනුවෙන් තවත් කවරයක් ද මුද්‍රණය කර තිබෙනවා.

ටයිම් සඟරාවේ වසරේ මිනිසා

මෙවර වසරේ මිනිසා ලෙස නම් වූ මාධ්‍යවේදී කණ්ඩායම (Fox News)

ටයිම් සඟරාව විසින් සෑම වසරක ම “වසරේ මිනිසා” ලෙස කාන්තාවක් හෝ පුරුෂයෙක් නම් කිරීම ආරම්භ කරන්නේ 1927 වසරේ සිට යි. 1999 වසර වන තුරු එය නම් කර තිබෙන්නේ “Man of the Year” හෝ  “Woman of the Year” නමින්.

එම වසරෙන් පසුව “Person of the Year” නමින් එය වෙනසකට ලක් කරනවා. මෙහි අරමුණ වන්නේ යහපත් හෝ අයහපත් ආකාරයෙන් ලෝකයට බලපෑම් කළ වසරේ පුද්ගලයා හෝ කණ්ඩායම නම් කිරීම යි.

එය වසරේ පුද්ගලයා ලෙස නම් කරන නමුත් කණ්ඩායම් සඳහා ද මෙම නාමය පිරිනැමෙනවා. එය ආරම්භ වන්නේ 1937 වසරේ දී යි.

තුර්කියේ දී ඝාතනය වූ ජමාල් කෂෝගි

ජමාල් කෂෝගි (Evening Standard)

සෞදි රජයට හා එරට ඔටුන්න හිමි කුමාරයා වන බින් සල්මාන් කුමරුට විවේචන එල්ල කළ මාධ්‍යවේදියෙකු වූ ජමාල් කෂෝගි පසුගිය ඔක්තෝම්බරයේ දී ඝාතනය වන්නේ තුර්කියේ ඉස්තාන්බුල් නගරයේ පිහිටි සෞදි කොන්සාල් කාර්යාලයේ දී යි.

මෙම ඝාතනයේ චෝදනාව සෞදියේ බින් සල්මාන් කුමරුට එල්ල වූ අතර, තුර්කි රජය හා කෂෝගී සේවය කළ වොෂින්ටන් පොස්ට් පුවත්පත විසින් මේ පිළිබඳ ව සෞදි කුමරුට දැඩි ලෙස චෝදනා එල කරනවා.

සෞදි අරාබිය විසින් මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරන අතර, මෙම ඝාතනය පිළිබඳ ව තමන් කිසිවක් නොදන්නා බවත්, ඝාතකයන්ට දඬුවම් ලබාදිය යුතු බවත්, බින් සල්මාන් කුමරු මුලදී ප්‍රකාශ කරනවා.

නමුත් ඇමෙරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවයේ වාර්තා අනුව මෙම ඝාතනය සඳහා නියෝග දී ඇත්තේ ඔටුන්න හිමි බින් සල්මාන් කුමරු බව ඇමෙරිකානු මාධ්‍යවල සඳහන් වෙනවා.

සෞදි රජය විසින් මෙම ඝාතනය බරපතල අත්වැරද්දක් බවට පසුව නිවේදන කරන අතර, ඝාතකයන්ට විරුද්ධ ව උපරිම නීතිය ක්‍රියාත්මක කරන බව ද පවසනවා. මේ වන විට ඝාතනය සම්බන්ධයෙන්  පුද්ගලයන් 20කට අධික සංඛ්‍යාවක් සෞදි රජය අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් තුර්කියට භාර දෙන ලෙස තුර්කි රජය කළ ඉල්ලීම් සෞදිය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ද කැපිටල් ගැසට් මාධ්‍යවේදී කණ්ඩායම

ද කැපිටල් මාධ්‍යවේදීන් (MassLive.com)

මෙවර වසරේ මිනිසා ලෙස නම් වූ එක් කණ්ඩායමක් වන්නේ ඇමෙරිකාවේ මේරිලන්ඩ් හි ප්‍රාදේශීය පුවත්පතක් වන “ද කැපිටල්” හි මාධ්‍යවේදීන් පිරිස යි.

2018 වසරේ ජූනි මස 28 දා මෙම පුවත්පත් කාර්යාලයට කඩා වදින ආයුධ සන්නද්ධ පුද්ගලයෙක්, එහි ලේඛකයන් ඉලක්ක කරමින් දිගට හරහට වෙඩි තබනවා. මෙම වෙඩිතැබීම් හේතුවෙන්  මාධ්‍යවේදීන් ඇතුළු පස්දෙනක් මරණයට පත්වෙන අතර, තවත් දෙදෙනෙකු තුවාල ලබනවා.

2011 වසරේ ජැරඩ් රමොස් නම් පුද්ගලයෙකු සමාජ ජාලා හා විද්‍යුත් තැපැල් උපයෝගී කර ගනිමින් තම උසස් පාසලේ මිතුරෙකු හිංසනයට පත් කිරීම හා ඒ වෙනුවෙන් ඔහු පරිවාස ගත කළ බව සඳහන් කරමින් මෙම පුවත්පත් ලිපියක් පළ වෙනවා.

එය තමන්ට කළ අපහාසයක් ලෙස සලකා ඔහු පුවත්පතට විරුද්ධව නඩු පවරනවා. නමුත් එම නඩුව නිෂ්ප්‍රභ කිරීමට අධිකරණය තීරණය කරනවා.

මෙම සිදුවීම හේතුවෙන් කිහිපවරක් ම පුවත්පත් කාර්යාලයට තර්ජනය කරන ඔහු පසුව මේ ආකාරයට ඔවුන්ව ඝාතනය කරනවා. තම සහෝදර ලේඛකයන් මරණයට පත් වූ පසුදිනත් පුවත්පත නිකුත් කිරීමට ධෛර්යවත් අනෙක් මාධ්‍යවේදීන් කටයුතු කරනවා.

මියන්මාරයේ සිරගත කළ රොයිටර් මාධ්‍යවේදීන් දෙදෙනා

සිර දඬුවම් විදින මාධ්‍යවේදීන්ගේ පින්තූර රැගෙන සිටින ඔවුන්ගේ සහකාරියන් (The Japan Times)

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී රොහින්ජා අර්බුදයේ ආරක්ෂක අංශවල හැසිරීම වාර්තා කළ වා ලොන් හා කියෝ සෝ ඕ නම් රොයිටර් පුවත් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනාට 2018 වසරේ සැප්තැම්බර් මාසයේ දී වසර හතක සිර දඬුවමක් නියම කිරීමට මියන්මාර් අධිකරණය තීරණය කරනවා. ඒ රාජ්‍ය රහස් පිළිබඳ පනත උල්ලංඝනය කිරීමේ වරදට යි.

මේ පිළිබඳ ව අදහස් දක්වන එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරන්නේ ඔවුන් සිරගත කිරීමට භාවිතා කරන ලද නෛතික ක්‍රියාවලියේ කිසිඳු විනිවිදභාවයක් නොමැති බව යි. මෙම මාධ්‍යවේදීන්ට අමතර ව තවත් විශාල මාධ්‍යවේදීන් පිරිසක් නොයෙකුත් චෝදනා මත සිරගත කිරීම හෙලා දකින රොයිටර් පුවත් සේවය මියන්මාරයේ මාධ්‍ය නිදහස පිළිබඳ ව අතිශය කම්පාවට පත් වෙන බව ප්‍රකාශ කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධාන හා විවිධ රටවල තානාපති කාර්යාල ප්‍රකාශ කරන්නේ බොරු චෝදනා මත සිරගත කළ මාධ්‍යවේදීන් නිදහස් කර, මියන්මාර් මාධ්‍ය නිදහස වහා ස්ථාපිත කරන ලෙස යි.

පිලිපීනයේ මරියා රෙස්සා

මරියා රෙස්සා (Time Magazine)

පිලිපීනයේ රැෆලර් ප්‍රවෘත්ති වෙබ් අඩවියේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ඇය, ඊට පෙර CNN පුවත් සේවාවේ වාර්තාකාරිණියක ලෙස කටයුතු කර තිබෙනවා. 2011 හා 2013 වසරවල දී ගිනිකොනදිග ආසියාවේ ත්‍රස්තවාදය පිළිබඳ ව ග්‍රන්ථ දෙකක් රචනා කිරීමට ඇය සමත් වී තිබෙනවා.

පිලිපීනයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව ජනාධිපති රොද්‍රිගෝ දුතාතේ මෙහෙයුමක් දියත් කර ඇති අතර, එහි දී ආරක්ෂක අංශ විසින් නීතියට පටහැනි ව මිනිසුන් ඝාතනය කරන බවත්, ඒ ඔස්සේ අහිංසකයන් පවා මරා දමන බවත්, ඇය ජනාධිපතිවරයාට සෘජුව ම චෝදනා එල්ල කරනවා.

ඇයගේ වෙබ් අඩවියට බදු පැහැර හැරීමේ චෝදනාවක් රජය විසින් එල්ල කර ඇති අතර, මේ වන විට රජයේ යම් යම් කාර්යාලවලට ඇතුළුවීමට ද ඇයට තහනම් කර තිබෙනවා.

කවරයේ පින්තූරය: Time Magazine

මූලාශ්‍රයයන්:

time.com

mashable.com

bbc.com

Related Articles