Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ට්‍රම්ප් යටතේ ඇමරිකා – උතුරු කොරියා සබඳතා වෙනස් වූ අයුරු

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරයට පත් වූ පසු ඔහු අනුගමනය කළ විදේශ ප්‍රතිපත්ති නිතරම කතාබහට ලක් වුණා. මේ අතර උතුරු කොරියාවත් වෙනදාට වඩා සිය ශක්තිය ප්‍රදර්ශනය කිරීමට පටන්ගත්තා. මුල් කාලීනව දැඩි එදිරිවාදිකමක් මෙම දෙරට අතර පැවති නමුත් මේ වන විට ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොංග්-උන් ඓතිහාසික ලෙස මුහුණට මුහුණ හමුවීමක් දක්වා තත්ත්වය වෙනස් වී තිබෙනවා.

ඉතින් මේ ආකාරයෙන් කරුණු සිදු වුණේ කොහොම ද​? ට්‍රම්ප් ජනාධිපතිවරණය ජයගැනීමේ සිට එම කරුණු පෙළ ගැසුණ ආකාරය අපි කෙටියෙන් විස්තර කිරීමට බලාපොරොත්තු වනවා.

2016 නොවැම්බර්

ට්‍රම්ප් ඇමරිකානු ජනාධිපතිවරණය ජයගත්තා. ඉන් පසු ඔහු ජනාධිපති ඔබාමා හමුවූ අවස්ථාවේ කොරියාව පිළිබඳ ප්‍රශ්නය ට්‍රම්ප්ගේ ප්‍රධානම ජාතික ආරක්ෂක ගැටළුව විය හැකි යයි ඔබාමා ඔහුට අනතුරු ඇඟවූ බව සඳහන් වුණා.

2017 ජනවාරි

තමන් ඇමරිකාවට පහර දීමට හැකි අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක් දියුණු කිරීමේ අවසන් අදියරේ සිටින බව කිම් ජොංග්-උන් පැවසුවා.

2017 පෙබරවාරි 12

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජපන් අගමැති ෂින්සෝ අබේ පළමු වරට නිල වශයෙන් හමු වන අවස්ථාවට සමගාමීව උතුරු කොරියාව අන්තර් මධ්‍ය පරාස බැලිස්ටික් මිසයිලයක් අත්හදා බැලීමට ක්‍රියා කළා.

2017 මාර්තු 06

උතුරු කොරියාව එකම අවස්ථාවේ බැලිස්ටික් මිසයිල 4ක් ජපන් මුහුද වෙත එල්ල කළා.

2017 අප්‍රේල් 06

ට්‍රම්ප් සහ චීන ජනපති ෂී ජින්පිං අතර පළමු හමුවේ දී දෙදෙනා උතුරු කොරියාව පිළිබඳ සාකච්ඡා කළා.

2017 අප්‍රේල් 14

ට්‍රම්ප් රජය විසින් උතුරු කොරියාව සම්බන්ධව “අධික පීඩනය සහ ගැටීම​” ප්‍රතිපත්තිය ප්‍රකාශ කළා.

2017 අප්‍රේල් 15

උතුරු කොරියාවේ “සදාතනික නායක කිම් ඉල්-සුංග්” ගේ උපන් දිනය වෙනුවෙන් පවත්වන සමරුවේ සාම්ප්‍රදායිකව පැවැත්වෙන හමුදා පෙළපාලිය අතරතුර උතුරු කොරියානුවන් සිය නවතම මිසයිල ප්‍රදර්ශනය කළා.

හමුදා පෙළපාලියේ අවස්ථාවක් (Reuters)

2017 අප්‍රේල් 27

රොයිටර්ස් පුවත් සේවය සමග සාකච්ඡාවකට එක් වූ ට්‍රම්ප් කියා සිටියේ සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්නය විසඳාගත නොහැකි නම් යුද්ධයක් ඇතිවීමේ ඉඩක් ඇති බව යි.

වැඩිදුර කියවීමට – උතුරු කොරියානු රජය මෙතරම් “කයිවාරු” ගහන්නේ ඇයි?

2017 මැයි 13

උතුරු කොරියාව තවත් බැලිස්ටික් මිසයිලයක් අත්හදා බැලුවා. ඇමරිකාව සඳහන් කළේ එය අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක් නොවූව ද, එවැන්නක් කරා දියුණු වීමට උතුරු කොරියාවට ඇති හැකියාව පිළිබඳ පැහැදිලි සාක්ෂියක් බවයි.

2017 ජූලි 04

ඇමරිකාවේ ජාතික දිනයට සමගාමීව උතුරු කොරියාව ප්‍රබල බැලිස්ටික් මිසයිලයක් අත්හදා බැලූ අතර​ එය ඔවුනගේ පළමු අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලය යි.

ජූලි 4 වනදා අත්හදා බැලූ හ්වසොං-14 මිසයිලය​ (KCNA)

2017 ජූලි 28

තවත් අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක් අත්හදා බැලීමෙන් පසු කිම් ජොංග්-උන් සඳහන් කළේ තමන්ට අවශ්‍ය නම් මහාද්වීපික ඇමරිකා එක්සත් ජනපදයේ ඕනෑම තැනකට පහර දිය හැකි බව යි.

ජූලි 28 වනදා අත්හදාබැලීම​ (KCNA)

2017 අගෝස්තු 8

දිගින් දිගටම උතුරු කොරියාව විසින් ඇමරිකාවට තර්ජනය කෙරේ නම් “ගින්නෙන් සහ රෞද්‍රත්වයෙන්” පිළිතුරු දීමට තමන් සූදානම් බව ට්‍රම්ප් කියා සිටියා. ඊට පිළිතුරු දෙමින් උතුරු කොරියාව ට්‍රම්ප්ට චෝදනා කළේ ඔහු න්‍යෂ්ටික යුද්ධයක් කරා තත්ත්වය ගෙන යාමට උත්සාහ කරන බව යි.

2017 අගෝස්තු 29

උතුරු කොරියාව විසින් පළමු වරට ජපානයට ඉහළින් බැලිස්ටික් මිසයිලයක් යවනු ලැබුවා. සැප්තැම්බර් 15 වනදා ඔවුන් තවත් මිසයිලයක් මෙසේ යැවීමට ක්‍රියා කළා.

ජපානයට ඉහළින් යවන ලද හ්වසොංග්-12 මිසයිලය​ (KCNA)

2017 සැප්තැම්බර් 03

උතුරු කොරියාව දැවැන්ත න්‍යෂ්ටික අත්හදා බැලීමක් සිදු කළා. මෙය හයිඩ්‍රජන් බෝම්බයක් බව උතුරු කොරියාව විසින් ප්‍රකාශ කෙරුණා.

2017 සැප්තැම්බර් 19

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතන ට්‍රම්ප් කිම් ව “රොකට් මිනිසා” ලෙස හැඳින්වූවා. රොකට් මිනිසා “සියදිවි නසාගන්නා මෙහෙයුමක” යෙදෙන බව ඔහු කියා සිටියා. කිම් ඊට පිළිතුරු දුන්නේ ට්‍රම්ප් “සිහි මඳ වූ වයස්ගත අයකු” ලෙස හඳුන්වා දෙමින්.

2017 ඔක්තෝබර් 01

ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් විසින් සිදු කරන ලද, උතුරු කොරියාව සමග සාකච්ඡා කිරීම සඳහා හැකියාව සළකා බලමින් සිටින බවට කළ ප්‍රකාශය විවේචනය කරමින්, ඒ පිළිබඳ ශක්තිය වැය නොකරන ලෙස ට්‍රම්ප් ට්විටර් පණිවිඩයක් ඔස්සේ ටිලර්සන්ට අවවාද කළා. මෙය ජනාධිපතිවරයා සහ රාජ්‍ය ලේකම්වරයා අතර මතභේදය හෙළි වූ අවස්ථාවක් වුණා.

2017 නොවැම්බර් 28

තවත් බැලිස්ටික් මිසයිල අත්හදාබැලීමකින් පසු තම මිසයිල වැඩසටහන අවශ්‍ය ඉලක්කයන් සපුරා ඇතැයි කිම් සඳහන් කළා.

2017 දෙසැම්බර් 22

වෙනදාටත් වඩා ප්‍රබල ආර්ථික සම්බාධක එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් උතුරු කොරියාව වෙත පටවනු ලැබුණා.

2018 ජනවාරි 01

තම නව වසරේ පණිවිඩයෙන් කිම් ජොංග්-උන් සාමාන්‍ය ලෙස ඇමරිකාව ඇතුළු රටවලට තර්ජනය කරන අතරතුර ම දකුණු කොරියාවේ දී පෙබරවාරි මස පැවැත්වෙන සිසිර ඔලිම්පික් උළෙලට සහභාගී වීමට කැමැති බව ඇඟවූවා. වහා ක්‍රියාත්මක වූ දකුණු කොරියානු නායක මූන් ජේ-ඉන් ඒ පිළිබඳ සාකච්ඡා කරන්නට පටන් ගත්තා.

2018 පෙබරවාරි 09

සිසිර ඔලිම්පික් උළෙල සඳහා උතුරු කොරියානු ධූත පිරිස දකුණු කොරියාවට පැමිණෙන්නේ කිම් ජොංග්-උන් ගේ සොයුරිය කිම් යෝ-ජොංග් ගේ ප්‍රධානත්වයෙන්. ඇය දකුණු කොරියානු ජනාධිපතිවරයා හමු වූ අතර ඇගේ සහෝදරයා සෘජුවම හමුවන ලෙස ඇය ඔහුට ආරාධනා කළා.

මූන් ජේ-ඉන් සහ කිම් යෝ-ජොංග් මුලින් ම අතට අත දුන් අවස්ථාව (Reuters)

2018 මාර්තු 08

තමන් උතුරු කොරියානු නායකයා හමුවීමට සූදානම් බව ට්‍රම්ප් කියා සිටියා.

2018 මාර්තු 13

ට්‍රම්ප් විසින් ටිලර්සන්ව ධුරයෙන් පහ කරන බව ප්‍රකාශ කෙරුණා. ඔහුගේ ධුර කාලය මාර්තු 31 වන දායින් නිල වශයෙන් අවසන් වූ අතර ඉන් පසු මයික් පොම්පෙයෝ රාජ්‍ය ලේකම් ලෙස පත්වුණා. එතෙක් දින කිහිපය නියෝජ්‍ය රාජ්‍ය ලේකම් විසින් ධුරයේ වැඩ බැලීම සිදු කළා.

මාර්තු 26

කිම් ජොංග්-උන් චීනයේ සංචාරය කළා. මේ බව සංචාරය නිම වූ පසු චීන මාධ්‍ය විසින් සනාථ කෙරුණා. මෙය කිම් බලයට පත් වූ පසු සිදු කළ පළමු විදෙස් සංචාරය ලෙසයි වාර්තා වුණේ.

2018 මාර්තු 31

මයික් පොම්පෙයෝ රහසිගතව උතුරු කොරියාවේ ප්‍යොංග් යෑංග් හි දී කිම්ව මුණ ගැසුණා. මේ බව හෙළි කෙරුණේ දින ගණනකට පසුව යි.

පොම්පෙයෝ සහ කිම්. පළමු හමුව (The White House)

2018 අප්‍රේල් 21

කිම් න්‍යෂ්ටික වැඩපිළිවෙල නවතා රටේ ආර්ථිකය කෙරේ වැඩි අවධානයක් යොමු කරන බව සඳහන් කළා.

2018 අප්‍රේල් 27

කිම් සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන් පන්මුන්ජෝම් හි දී මුණ ගැසුණා. මෙය උතුරු සහ දකුණු කොරියාවේ නායකයින් මුහුණට මුහුණ හමු වූ පළමු අවස්ථාව වුණා.

2018 මැයි 07

කිම් චීනයේ නැවත සංචාරය කරමින් ජනාධිපති ෂී ජින්පිං මුණ ගැසුණා.

කිම් සහ ෂී ජින්පිං දෙවන හමුව (Xinhua)

2018 මැයි 09

මයික් පොම්පෙයෝ දෙවන වතාවට උතුරු කොරියාවේ සංචාරය කරමින් කිම් ජොංග්-උන් හමු වුණා.

පොම්පෙයෝ සහ කිම්. දෙවන හමුව (KCNA)

2018 මැයි 10

ජූනි 12 වනදා සිංගප්පූරුවේ දී තමන් කිම් ජොංග්-උන්ව හමුවන බව ට්‍රම්ප් කියා සිටියා.

2018 මැයි 24

උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අත්හදාබැලීම් සිදු කරන ස්ථානය විනාශ කළ බව කියා සිටියා. නමුත් ඉන් පැය කිහිපයකට පසු ඩොනල්ඩ් ට්‍රම්ප් තමා හා කිම් අතර හමුව අවලංගු කරන බව ප්‍රකාශ කළේ කිම් විසින් මෑත දී පෙන්වූ “දරුණු කෝපය​” හේතුවක් ලෙස ඉදිරිපත් කරමින්.

2018 ජුනි 01

උතුරු කොරියානු විශේෂ නියෝජිත කිම් යොංග්-චොල් සමඟ ධවල මන්දිරයේ දී කළ සාකච්ඡාවලින් පසු ට්‍රම්ප්-කිම් සමුළුව ජූනි 12 වනදා පවත්වන බව ට්‍රම්ප් තහවුරු කළා.

2018 ජූනි 10

කිම් සහ ට්‍රම්ප් සිංගප්පූරුවට ළඟා වුණා. කිම් එරට වෙලාවෙන් සවස 3ට පමණ චැංගි ගුවන් තොටුපලෙන් ගොඩ බැස්ස අතර ට්‍රම්ප් එරට වෙලාවෙන් රාත්‍රී 8.30 ට පයාර් ලේබාර් ගුවන් හමුදා කඳවුරෙන් සිංගප්පූරුවට ගොඩ බැස්සා.

Cover Image: ට්‍රම්ප් සහ කිම් (The Independent)

මූලාශ්‍රයයන්:​

Bloomberg

Al Jazeera

The Straits Times

Related Articles