Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ට්‍රම්ප්ගේ ආගමන නීතිවලට එරෙහිව නැගෙන විරෝධය

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෑතකදී නිකුත් කළ මුස්ලිම් බහුතරයක් වාසය කරන රටවල් හතක ජනයාට සහ සරණාගත ජනතාවට ඇමරිකාවට ඇතුල් වීම තහනම් කරන විධායක ආඥා හේතුවෙන් ඇමරිකාව පුරා උද්ඝෝෂණ හට ගත්තා.

මෙම ආඥා අනුව මුස්ලිම් බහුතරයක් සිටින රටවල් 7 ක ජනයාට දින 90 ක් යනතුරු ඇමරිකා එක්සත් ජනපදයට ඇතුල් වීම තහනම් වනවා. එමෙන්ම දින 120 ක් යනතුරු කිසිදු සරණාගතයකුට ඇමරිකාවට ඇතුල් වීමට අවසර ලැබෙන්නේ නැහැ.

මෙසේ ඇමරිකාවට ඇතුල් වීම තහනම් කර ඇත්තේ ඉරාකය , ඉරානය , සිරියාව , සුඩානය , ලිබියාව , යේමනය සහ සෝමාලියාව යන රටවල ජනතාවට ය .

මෙම රටවල් හතෙන්, ඉරානය සහ සුඩානය හැරුණ විට අනෙක් පහ ම සිවිල් යුධ තත්ත්වයන් දරුණු ලෙස පවතින රටවල් වනවා. එමෙන්ම ඉරානය සහ සුඩානය ද කළක පටන්ම ත්‍රස්තවාදීන්ට අනුබල දෙන්නේ යයි ඇමරිකාව විසින් චෝදනා එල්ල කරන රටවල් දෙකක්.

කෙසේ නමුත් ඉරානය සමඟ න්‍යෂ්ටික එකඟතාවකට පැමිණ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ද යම් තරමකට යහපත් කරගැනීමට හිටපු බැරක් ඔබාමා රජය කටයුතු කළ අතර ට්‍රම්ප් ඊට හාත්පසින්ම වෙනස් ස්ථාවරයක් ගන්නා බව පෙන්නුම් කරමින් සිටිනවා.

මෙම ආඥා නිකුත් කරන ලද්දේ ජනවාරි 26 වන දා. මේවා රැඩිකල් ඉස්ලාමයට වැට බැඳීමේ ක්‍රමවේදයක් ලෙස ට්‍රම්ප් විසින් හඳුන්වාදුන්නා.

මෙම විධායක ආඥා නිකුත් කිරීමත් සමඟ ඊට එරෙහිව විවිධ පාර්ශවයන් ප්‍රතික්‍රියා දැක්වීමට පටන් ගත්තා. එක් අතකින් අධිකරණ සහ නීතිපති දෙපාර්තමේන්තුව ද , තවත් අතකින් ට්‍රම්ප් විරෝධී දේශපාලන නායකත්වය ද , අනෙක් අතින් ඇමරිකාවේ නගර ගණනක මෙම තීරණයට එරෙහිව නැගී සිටි සාමාන්‍ය ජනතාව ද මේ අතර දකින්න ලැබුණා.

අධිකරණ තහනම් නියෝගය

ඇමරිකාවේ මුස්ලිම් ජනයා ද එරටෙහිම කොටසක් බව ඇය නිහඬවම පවසයි. (AFP)

ඇමරිකානු ෆෙඩරල් විනිසුරුවරියක වන ඈන් ඩොනෙලි ට්‍රම්ප්ගේ විධායක ආඥාවෙහි ඇතැම් කරුණු බල රහිත කරමින් නියෝගයක් දුන්නා . ඒ අනුව ඇය කියා සිටියේ ඇමරිකාවේ සරණාගතයන් ඇතුලත්කරගැනීමේ ප්‍රතිපත්තිය යටතේ පිළිගන්නා ලද සරණාගත ඉල්ලුම්පත් හිමි අය , නීත්‍යානුකූල සංක්‍රමණික හෝ සංක්‍රමණික වීසා හිමි අය සහ ඇමරිකාවට ඇතුලු වීමට අවසර ඇති ඉහත රටවල් හතෙහි වෙනත් ඕනෑම අයකු සඳහා මෙම තහනම ක්‍රියාවට නැංවීමට රජයට බලයක් නොමැති බව ය . මෙම නියෝගය දෙන ලද්දේ ඉරාක ජාතිකයන් දෙදෙනකු විසින් කරන ලද ඉල්ලීමක් සළකා බැලීමෙන් පසුවයි.

කෙසේ නමුත් රජය විසින් තවත් බොහෝ දෙනකු ගුවන්තොටුපළවල රඳවා තබා ගත්තේ ඇමරිකාවට ඇතුලු වීමේ අයිතිය අහෝසි කරමිනි.

නීතිපති ඉවත් කිරීම

ඇමරිකාවේ වැඩ බලන නීතිපතිවරිය වූ සැලී යේට්ස් ජනපති ට්‍රම්ප්ගේ ආඥාවෙහි නෛතිකභාවය ප්‍රශ්න කළ අතර එම ආඥාව වෙනුවෙන් අධිකරණවලදී පෙනී නොසිටින ලෙස සිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් දුන්නා. මෙයට ජනපති ට්‍රම්ප් පිළිතුරු දුන්නේ ඇය ධූරයෙන් පහ කිරීමෙන්.

සැලී යේට්ස් (Getty)

නව ඇමරිකානු නීතිපති ලෙස නැගෙනහිර වර්ජිනියාවේ ඇටර්නිවරයා වූ ඩානා බො’එන්ටේ පත් කෙරුණා. හිටපු වැඩ බලන නීතිපතිවරිය අධිකරණ දෙපාර්තමේන්තුවට ද්‍රෝහී වූ බවත් ඇය දේශසීමා කරුණු සම්බන්ධයෙන් දුර්වල බවත් ධවල මන්දිරය විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වුණා.

ජනතාව වීදි බසිති

ට්‍රම්ප්ගේ නියෝගයට එරෙහිව ඇමරිකාවේ නගර ගණනාවක ම විරෝධතා ව්‍යාපාර පැවැත්වුණි. ජනවාරි 28 වන ඉරිදා දිනයේ නගර ගණනාවක ම මෙවන් විරෝධතා පැවැත්විණ . බොස්ටන්, ෆිලෙඩෙල්ෆියා, නිව් යෝර්ක්, වොෂිංටන් ඩී.සී., ලොස් ඇන් ජලිස් යන නගරවල විශාල විරෝධතා දකින්න ලැබුණා. ලොස් ඇන්ජලිස් ජාත්‍යන්තර ගුවත් තොටුපළ අසළ වූ විරෝධතාව අවස්ථාවේ එකම වීදියක දෙපස ට්‍රම්ප් විරෝධීන් සහ ට්‍රම්ප් හිතවාදීන් උද්ඝෝෂණයක නිරත වූ අවස්ථාව මෙහිදී ඉතා උණුසුම් අවස්ථාවක් වුණා .

මෙම උද්ඝෝෂණ අතරතුරදී ඉදිරිපත් වූ සටන් පාඨ අතර , “ඔවුන්ට එන්න දෙන්න !” සහ “මුස්ලිම්වරුනි, ඔබ සාදරයෙන් පිළිගනිමු!” යනාදිය ද විය . “වෛරය එපා, බයත් එපා, සංක්‍රමණිකයන්ට මෙහි ඉඩ ඇත ” තවත් ප්‍රකට වූ සටන් පාඨයක් වුණා.

සැන් ෆ්‍රන්සිස්කෝ ගුවන් තොටුපලේත් උද්ඝෝෂණ පැවැතියා. (AP)

මේ අතර ඩිට්‍රොයිට් ප්‍රදේශයේ ද ප්‍රධාන උද්ඝෝෂණ කිහිපයක්ම දකින්න ලැබුණා.

ජනවාරි 29 සඳුදා දින ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිටට රැස් වූ ඩිමොක්‍රටික් පාක්ෂික කොන්ග්‍රස් සභිකයෝ ට්‍රම්ප්ගේ ආඥාවට එරෙහිව උද්ඝෝෂණයක් පවත්වන්න කටයුතු කළා .

ට්‍රම්ප් මෙම උද්ඝෝෂණ පිළිබඳ දැක්වූයේ ඉතාම සෘණාත්මක අදහසක්. ජනවාරි 31 වනදා සිය ට්විටර් ගිණුම ඔස්සේ ඔහු එම උද්ඝෝෂණය උපහාසයට ලක් කරමින් සටහනක් තැබුවා. ඔහු කියා සිටියේ උද්ඝෝෂණය පලක් නොවූ බවත් එය අවුලක් පමණක් වූ බවත්.

මේ අතර මෙම නියෝගවලට එරෙහිව අදහස් දක්වන්නන් සමහරෙක් ප්‍රකාශ කළේ මෙම නියෝග ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගික ගැටලුවලට හේතු වූ බවයි. ට්‍රම්ප්ගේ ආඥාවලින් පසු, ඇමරිකාවට ඇතුලු වීම තහනම් කරමින් ගුවන් තොටුපළවල රඳවා ගත් අය අතර ශ්‍රී ලාංකිකයන් පවා සිටි බවද වාර්තා වුණා. ඒෂියන් කොරෙස්පොන්ඩන්ට් ආයතනය විසින් සඳහන් කෙරුණේ තුර්කිය, ශ්‍රී ලංකාව , පකිස්ථානය , ප්‍රංශය , ඇල්ජීරියාව , ජෝර්දානය , කටාර්, සෙනගාල්, ස්විට්සර්ලන්තය , ඇල්ජීරියාව , ඊජිප්තුව සහ ගිනියාව ආදී රටවල වැසියන් මෙසේ නිව් යෝර්ක් හි ජෝන් එෆ්. කෙනඩි අන්තර්ජාතික ගුවන් තොටුපලේදී රඳවා තබාගත් බව යි.

ඉදිරි දිනවලදී මෙම නියෝගවලට අදාළව ජනතාව කෙසේ ප්‍රතික්‍රියා කරනු ඇතිදැයි අපට දකින්නට ලැබේවි. උද්ඝෝෂණවලට අමතරව විවිධාකාරයේ නෛතික ක්‍රියාමාර්ග ද එම පිරිස් විසින් ගනු ඇති. ඒ අතර ජාත්‍යන්තර වශයෙන් ද යම් යම් ප්‍රතික්‍රියා සිදු වීමට ඉඩ ඇති බව දිස් වනවා. ඉරානය මෙම නියෝගවලට එරෙහිව නෛතික , දේශපාලනික සහ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග ගන්නා බව මේ වනවිටත් ප්‍රකාශ කර තිබෙනවා.

මේ ගැන ඔබේ ආකල්පය මොනවගේද? Comment එකකින් අපිට කියන්නත් අමතක කරන්න එපා.

මූලාශ්‍ර : BBC, CNN, USA Today, Asian Correspondent

Cover Image: සිය පාලන සමයේ පළමු වැඩ සතිය මුළුල්ලේම ජනපති ට්‍රම්ප් විවිධ ආඥාවලට අත්සන් තැබීය (AFP/Getty Images)

Related Articles