Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ට්‍රම්ප්ගේ අණින් මෙක්සිකෝ දේශසීමාවට කිලෝමීටර 3000 ක තාප්පයක්

කිලෝ මීටර 3,110 ක් දිග මෙක්සිකෝ – ඇමරිකානු දේශසීමාව හරහා තාප්පයක් ඉදිකිරීම සඳහා වන විධායක ආඥාවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනවාරි 25 වනදා අත්සන් තැබුවා.

මෙය ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන පොරොන්දුවක් වූ අතර එහි අරමුණ වන්නේ මෙක්සිකෝවෙන් නීතිවිරෝධී සංක්‍රමණිකයන් පැමිණීම නැවැත්වීමයි.

මෙක්සිකෝ – එක්සත් ජනපද දේශසීමාව වර්තමාන මායිමට පැමිණියේ 1846 – 48 සමයේ මෙක්සිකානු – ඇමරිකන් යුද්ධය අවසන අත්සන් කළ ගුවාදලූපේ හිදල්ගෝ ගිවිසුම අනුවයි. පසු කාලීනව අවස්ථා කිහිපයක දී සුලු වෙනස්කම් මෙම දේශසීමාවට සිදුවුණා . මේ අතර රියෝ ග්‍රාන්ඩේ ගංගාව ගලන මාර්ගය සුලු වශයෙන් වෙනස් වීමෙන් සිදුවූ වෙනස්කම් සහ ඒවා නිවැරදි කරගැනීමට දෙරට අතර ඇතිවූ එකඟතාද ප්‍රධාන වෙනවා.

මෙක්සිකෝ – ඇමරිකා දේශ සීමාව (Public Domain)

මෙක්සිකෝ බොක්කේ වෙරළෙන් පටන් ගෙන රියෝ ග්‍රාන්ඩේ ගඟ දිගේ මෙක්සිකෝවේ සියුඩඩ් හුවාරෙස් සහ ඇමරිකාවේ එල් පැසෝ නගර ද්විත්වය තෙක් ඇදෙන දේශසීමාව එතැන් පටන් කැලිෆෝර්නියාවේදී පැසිෆික් සාගරය හමුවන තෙක් බොහෝ කොටම කාන්තාර ප්‍රදේශ හරහා ගමන් කරනවා. ඇමරිකාවේ ටෙක්සාක්, නිව් මෙක්සිකෝ, ඇරිසෝනා සහ කැලිෆෝර්නියා ප්‍රාන්ත එක් පසෙකින්ද , මෙක්සිකෝවේ තමවුලිපාස්, නුඒවෝ ලියොන්, කොආහුයිලා, චිහුවාහුවා, සොනෝරා සහ බාහා කැලිෆෝර්නියා අනෙක් පසිනුත් වනවා.

මෙම දේශසීමාව හරහා නීත්‍යානුකූලව ගමන් කරන්නට ස්ථාන රාශියක් දැනටත් තිබෙනවා. ඇතැම් විට සමහර ස්ථාවවලදී දේශසීමාව දෙපැත්තේම නගර දකින්න පුලුවන්. එක් උදාහණයක් වන්නේ ඇරිසෝනාවේ නොගාලෙස් නගරය සහ මෙක්සිකෝවේ නොගාලෙස් නගරය .

ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ නොගාලෙස් (වමේ) සහ මෙක්සිකෝවේ නොගාලෙස් (Public Domain)

ජනාධිපතිවරණ පොරොන්දුව

“අප මේ පිළිබඳව මුල පටන්ම ප්‍රකාශ කළා” යයි මෙම ආඥාවට අත්සන් තැබීම සඳහා ඇමරිකා එක්සත් ජනපද ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පැවති කෙටි උත්සවයකදී ට්‍රම්ප් ප්‍රකාශ කළා.

සිය මැතිවරණ ව්‍යාපාරය අතරතුර ට්‍රම්ප් මෙක්සිකෝව දෙසට දරුණු වාග් ප්‍රහාරයක් එල්ල කරමින් එරටින් ඇමරිකාවට පැමිණෙන්නේ එරට සමාජයේ පහත් අඩියක සිටින්නන් බව ප්‍රකාශ කළා. “මෙක්සිකෝව ඇමරිකාවට ජනයා එවද්දී ඔවුන් එවන්නේ හොඳම අය නෙවෙයි. එසේ එන්නේ ගොඩක් ප්‍රශ්න තියෙන අයයි. ඔවුන් මත්ද්‍රව්‍ය ගෙනෙනවා, අපරාධ වැඩි කරනවා, ඒ වගේම ඔවුන් ස්ත්‍රී දූෂකයන්” ට්‍රම්ප් එකළ කියා සිටියා.

“මම දකුණු දිග දේශසීමාවේ විශාල , ඉතා විශාල තාප්පයක් ඉදි කරනවා. ඒකට ගෙවන්නේ මෙක්සිකානුවන් විසින්. මතක තබා ගන්න ඒ බව ,” ට්‍රම්ප් එම කතාවේදීම තව දුරටත් කියා සිටියා.

නෛතික වශයෙන්, 2006 දී සම්මත කරන ලද පනතක් මත පදනම්ව මෙම පවුර ඉදි කරන්නට ට්‍රම්ප් කටයුතු කරනු ඇතැයි සඳහන්. එම පනත අනුව දේශසීමා ආරක්ෂා කිරීම සඳහා බාධක වැටවල් ඉදි කිරීමට ඇමරිකාවට හැකියාව තිබෙනවා. දැනටත් විවිධ ආකාරයේ බාධකවලින් ඇමරිකාවේ දේශසීමාවලින් කිලෝ මීටර 1000 ක් පමණ ආවරණය වෙනවා.

අධික වියදමක්

මෙක්සිකෝව විසින් මෙම පවුර සඳහා වියදම් කරනු ඇතැයි කළින් ඩොනල්ඩ් ට්‍රම්ප් වහසි බස් දෙඩුවද , මෙක්සිකෝව එවැන්නක් නොකරන බව නැවත නැවතත් ප්‍රකාශ කර තිබෙනවා. තවද, මෙම පවුර සඳහා අවශ්‍ය වියදම සපයා ගැනීම පිළිබඳ ට්‍රම්ප්ටද හරි ආකාර වැටහීමක් නැති බවයි පෙනෙන්නේ.

“මේ සඳහා මුදල් ගෙවනු ලබාවි. එය කුමක් හෝ ආකාරයකින් වේවි. ඇතැම් විට සංකීර්ණ ක්‍රමයකින් වේවි” ඔහු මෑතකදී රූපවාහිනී සාකච්ඡාවක් අතරතුර කියා සිටියා.

2016 පෙබරවාරියේදී ට්‍රම්ප් සඳහන් කළේ ඔහුට මෙම ව්‍යාපෘතිය ඇමරිකන් ඩොලර් බිලියන 8 ක් වැනි මුදලකින් සම්පූර්ණ කළ හැකිවනු ඇති බවය . සැතැපුම් 2000 ක් දිග දේශසීමාවක් තිබුණද ඉන් සැතපුම් දහසක් පමණ ස්වාභාවික බාධක සහිත හෙයින් වැටක් නිර්මාණය අවශ්‍ය නොවන බව ඔහු කියා සිටියා.

දැනටත් දේශසීමා වැටවල් නිමවා ඇතත් ඇතැම් ස්ථානවල එම වැටවල් මෙසේ නැවතී ඇත (Getty)

නමුත් දැනට පවතින බාධක ඉදි කිරීමටත් ඩොලර් බිලියන 2.4 ක් වියදම්වී ඇති අතර අනෙකුත් බාධක ඉදි කිරීමට ඩොලර් බිලියන 15 සිට 25 දක්වා ප්‍රමාණයක් වියදම් වනු ඇතැයි අනුමාන කර තිබෙනවා. මෙය ට්‍රම්ප් බලාපොරොත්තු වනවාට වඩා අති විශාල වියදමක්. මීට අමතරව තවත් ඩොලර් 700,000 ක් වාර්ෂිකව මෙහි නඩත්තුව සඳහා අවශ්‍ය වනු ඇති.

මුදල් ගෙවන්නේ කවුද ?

මේ තාප්පයට මුදල් ගෙවන්නේ කවුද යන්න ට්‍රම්ප් තවමත් පැහැදිලි කර නැහැ. කළිනුත් සඳහන් කළ ආකාරයට මෙක්සිකානුවන් මීට වියදම් කරනු ඇතැයි ට්‍රම්ප් සඳහන් කළත් මෙක්සිකෝ ජනාධිපති එන් රිකේ පෙඤා නීටෝ නැවත නැවතත් අවධාරණය කරන්නේ තමන් මේ සඳහා වියදම් නොකරන බවයි.

කෙසේ වෙතත් මෙම ක්‍රියාමාර්ගය හුදෙක් සංකේතාත්මක එකක් වන බව කෝර්නෙල් සරසවියේ ආගමන විගමන නීතිය පිළිබඳ මහාචාර්ය ස්ටීව් යේල් – ලෝහර් මාධ්‍යයට ප්‍රකාශ කළා .

මෙම තාප්පය සඳහා ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ දැනට ඇති මුදල් යෙදවීමට ට්‍රම්ප්ට බලය තිබෙන නමුත් එම මුදල් මේ සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් නැත . එහෙයින් අවශ්‍ය මුදල් සම්පාදනය සඳහා කොන්ග්‍රස් මණ්ඩලයේ අවසර ලබාගත යුතුයි. එහෙයින් මෙය සිදුවීමේ ඉඩකඩ සැක සහිතයි .

දැනට කොන්ග්‍රසයේ බලය ඇත්තේ රිපබ්ලිකන් පක්ෂයට වුවද මේසා විශාල මුදලක් වෙන් කිරීම කෙරෙහි කොන්ග්‍රස් සභිකයන් එතරම් සතුටු නොවනු ඇතැයි මහාචාර්යවරයා කියා සිටිනවා. රිපබ්ලිකානුවන් දේශසීමා මුරකාවල් දැඩිකිරීමට පක්ෂ වන නමුත් මේසා වියදමක් දරා තාප්පයක් ඉදි කිරීම කෙරෙහි ඔවුනගේ ඇත්තේ ඒකමතික අදහසක් නොවේ.

කැලිෆෝර්නියා වෙරළේ ටියුවානා හි 2016 නොවැ. 14 වනදා “සුපිරි සඳ ” බැස ගිය අවස්ථාව (Getty)

වෙනකක් තබා ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවට ට්‍රම්ප් විසින්ම පත්කළ නව ප්‍රධානී ජෝන් කෙලීද සඳහන් කර ඇත්තේ ස්ථර කිහිපයකින් යුතු දේශසීමා ආරක්ෂක වැඩපිළිවෙලක් කරා යායුතු බවයි .

ඩ්‍රෝන් යානා යොදා ගැනීම , නිලධාරීන් සංඛ්‍යාව ඉහළ දැමීම , අනෙක් රටවල් සමඟ සහයෝගයෙන් මුර සංචාර වැඩි කිරිම ආදිය මේ ආශ්‍රිතව සළකා බැලෙන පියවරයන්ය . මේ අතර වීසා කාළය ඉක්මවා රට තුල අනවසරයෙන් රැඳී සිටින්නන් සොයා ගැනීමට වඩා විධිමත් ක්‍රමයක් සැකසීම ආදී කරුණු ද යෝජනා ලෙස ඉදිරිපත් ව තිබෙනවා .

කවරයේ පින්තුරය: ජනාධිපතිවරණ සමයේ ඩොනල්ඩ් ට්‍රම්ප් නිතරම දේශසීමා පවුර පිළිබඳ කතා කළා (Reuters)

Related Articles